‘ආර්ථිකය වැටීමට හේතු සාධක’ – වෙරිටේ රිසව් ආයතනයේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය නිශාන් ද මෙල්

එහිදී ආදායම වැඩිකර ගැනීමට ආණ්ඩුවට කළ හැක්කේ කුමක්ද අනෙක් රටවලට සාපේක්ෂව එහි යම් සාධාරණ බවක් ඇද්ද යන්න මෙහිදී සලකා බැලේ. ඉන්පසු අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි අවධානය යොමු වන්නේ ඔවුන් කී දේ ආණ්ඩුව ඉටු කරන්නේද යන්නයි. ඒ කියන දේ කරන්නට නම් ආණ්ඩුවේ ආදායම වැඩි කර ගැනීමට යම් වැඩපිළිවෙළක් අවශ්‍යය. ලෝකයේ රටවල් 152 අතුරින් අඩුම ආදායම් ලබන ආණ්ඩු පහ හය අතරට ලංකාවේ ආණ්ඩුව ඇතුළත් වේ. එයින් පෙනෙන්නේ ආණ්ඩුවේ ආදායම පැත්තෙන් ඉතාම පහළ තැනක සිටින බවය. මේ වනවිට රජයේ ආදායම  එම සියයට 15 දක්වා වැඩිකර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.  එය ආසියානු කලාපයේ සාමාන්‍ය අගයන්ටත් වඩා අඩු තත්ත්වයකි. දියුණු රටවල රජයේ ආදායම්වල සාමාන්‍ය අගය සියයට 30 කට 40කටත් වඩා වැඩි අගයක් ගනී. කොටින්ම මාලදිවයින් දූපත්වල පවා රජයේ ආදායම් අගය සියයට 35ක් පමණ වේ. මේ අගයන් දෙස බැලීමේදී ලංකාවේ රාජ්‍ය ආදායම සියයට පහළොවක් දක්වා රැගෙන ඒම සාපේක්ෂව ඉහළ අගයකැයි නොපෙනේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල අසන ඊළඟ ප්‍රශ්නය නම් එම ආදායම  වැඩිකර ගන්නේ කෙසේද යන්නයි. බදු වැඩි කිරීම් ආදිය සිදුවන්නේ මේ ඉලක්ක වෙත යාමට ක්‍රම සොයා බැලීමේදීය. තමන්ගේ හැකියාවන් අනුව යම් දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල බැඳී සිටි. එය තාක්ෂණික විශ්ලේෂණ වාර්තා මත පදනම් වූවකි. එම විශ්ලේෂණ  එකඟතා අනුව බදු පැනවීම පිළිබඳ තීරණය කිරීමට ආණ්ඩුවට හැකියාව ඇත.

එබඳු විශ්ලේෂණයක් ඇත්නම් වැට් බද්ධ සියයට 15 කිරීමට මුලින් තීරණය කර තිබියදී එය සියයට 18 ක් කළේ ඇයිද යන්න කෙනෙකුට මෙහිදී ප්‍රශ්නයක් නැගිය හැකිය. වෙනත් වත්කම් බද්දක් භාවිත නොකොට මේ සඳහා වැට් බද්ධම යොදා ගත්තේ ඇයිද යන්න තවත් පැනයකි. එසේ නම් මේ බදු බර බෙදා ගැනීම තීරණය වන්නේ කෙසේද බදු  බෙදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල උනන්දුවක් නොදක්වයි. ඔවුන් සිතන්නේ මෙය රට තුළ ප්‍රශ්නයක් හැටියටය. රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය අනුව එය රට තුළම විසඳා ගැනීමට ඔවුහු ඉඩ හරිති. ඒ අනුව මෙය අභ්‍යන්තර ප්‍රශ්නයකි.

සිගරැට් හා  ආරක්කු සඳහා අය කරන බද්ධ උද්ධමනයට සාපේක්ෂව වැඩි කර ගැනීමට ආණ්ඩුව උනන්දු නොවූ නිසා ආණ්ඩුවට ලැබිය යුතුව තිබූ ආදායම නොලැබී ගියේය. සමස්ත ආදායම අඩුවීම නිසා එය අයි.එම්.එෆ් අවධානයට යොමුවේ. මේ හේතු නිසා වැට් බද්ද නැවත වැඩි කිරීමට ආණ්ඩුවට සිදු විය. බදු පනවන්නේ කුමන ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ද යන්න ආණ්ඩුවේ තීරණයක් මිස  අයි.එම්එෆ් තීරණයක් නොවෙයි. බදු වැඩි කළ යුතු බව කීවත් එය කොතැනින් වැඩි කළ යුතුද යන්නට ඔහු බලපෑම් නොකරති.

අනෙක් පැත්තෙන් සූදු ක්‍රීඩා සම්බන්ධ බදු විශාල ලෙස අඩු කිරීමට ආණ්ඩුව තීරණය කළේය. මීට පෙර ඒ සම්බන්ධව විශාල බඳු තක්සේරුවක් පැවතියත් එය එකතු කළේ නැත. 2015 සිට එහි එකතු නොකළ බද්දක් පවතී. එයින් ද විශාල බදු ආදායමක් ආණ්ඩුවට අහිමි විය. එක තැනකින් බදු කප්පාදු කෙරෙන අවස්ථාවලදී එය තවත් තැනකින් ගෙවිය යුතුය. ඒ අනුව බදු බෙදා ගැනීම සම්බන්ධ කාරණය මුළුමනින්ම ආණ්ඩුවේ තීරණ අනුව සිදුවන්නකි. අයි.එම්.එෆ් හී අවධානය මූලිකව යොමු වන්නේ බදු ඉලක්කය වෙතය. එම ඉලක්කයට යන ආකාරය පිළිබඳ නිදහස ආණ්ඩුවට හිමි වේ.

මේ තත්ත්වය තුළ ඉදිරියේදී ද බදු වැඩිවීමට ඇති ඉඩකඩ දැකිය හැකිය. ඒ සඳහා ප්‍රධාන හේතු තුනක් හඳුනා ගත හැකිය. එක් හේතුවක් නම් බදු එකතු කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ප්‍රමාණවත් නොවීමය. එහෙත් බදු එකතු කිරීමේ නිර්දේශ හා ඇගැයීම්වල සංඛ්‍යා ලේඛන සකසා තිබෙන්නේ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි වැඩි කරනවාය යන අදහස ඇතිවය. අපේක්ෂිත ලෙස බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි නොවුනහොත් සිදුවන්නේ දැනට එකතු කරන බදු තවත් වැඩි කිරීමය.

දෙවැනි කාරණය නම් ආණ්ඩුව පැනවිය යුතු බදු පැහැර හැරීමය. මුලින් සඳහන් කළ පරිදි සිගරට් හා අරක්කු ආදියට පනවන බදු උද්ධමනයට අනුව වැඩි විය යුතුය යන්නට නීතියක් පැනවිය යුතුව තිබුණත් ඒ ගැන නිසි අවධානයක් යොමු වූ බවක් නොපෙනේ. මේ අනුව කොහොමටත් මේ බදු තක්සේරුව තුළ බදු හිඟයක් පවතී. අපට පෙනෙන්නේ ආණ්ඩුව තවමත් බදු විරාම ලබාදෙමින් යම් යම් ව්‍යාපෘතිවලට ඉඩ සලසන බවකි. අදානි සමාගමට අවුරුදු 25 බදු විරාම කාලයක් ලබාදීමත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා අවුරුදු 40 බදු විරාම කාලයක් ලබාදීමත් ආදී උදාහරණ මෙහිදී සිහිපත් කළ හැකිය. බදු විරාම ලබාදෙන තරමට අපේක්ෂිත බදු ආදායමය යම් අහිමිවීමක් දැකිය හැකිය. ආණ්ඩුවම 2022 දි පළ කළ ගැසට් පත්‍රයකට අනුව බදු විරාම හෝ අඩු කිරීම් ආදියෙන් එකතු නොකළ බදු ආදායම රුපියල් බිලියන 976 කට ආසන්න ගණනකි. ඇය පෙර වසරේ එකතු කළ මුළු ආදායමට සාපේක්ෂව සියයට 56කි. සමෘද්ධි හා අස්වැසුම ව්‍යාපෘති සඳහා යොදවන මුළු මුදල බැලුවත් මෙය එමෙන් පස් ගුණයකි. මෙබඳු තත්ත්වයක් තුළ ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ කොහෙන් හෝ බදු වැඩි කරන්නටය.

අපගේ අවධානයට යොමු විය යුතු තුන්වැනි කාරණය නම් ණය තිරසාරවීමේ ගමන සම්බන්ධව අයි.එම්.එෆ් ලබා දී ඇති තක්සේරුවයි. ණය වැඩිවීම සිදුවන්නේ පොලී අනුපාතය අනුවය. පොලී අනුපාතය සියයට 7  හා සියයට 10 අතර වෙතැයි යන අදහස තුළ සිටිමින් ආණ්ඩුව සැලසුම් සකස් කලත් අද වන විට පොලී අනුපාතය වැඩිවීමක් දැකිය හැකියි. ඒ අනුව කෙටි කාලීන ණය සියයට 9.5 කට අධික පොලී අනුපාතයකටත් දිගු කාලීන ණය සියයට 12 කට අධික පොලි අනුපාතයකටත් ලබාගන්නට ආණ්ඩුවට සිදු වී තිබේ. මේ තත්ත්වය තුළ පොලිසිය වෙනුවෙන් ගෙවන්නට සිදුවන මුදල වැඩි වී තිබේ. එම මුදල පියවා ගැනීමට ආදායම හිතුවාට වඩා වැඩි කරගන්නට සිදුවේ.

අප මේ යන ගමන තුළ දැනට පවත්නා තත්ත්වය අනුව අවම වශයෙන් සියයට 20 කවත් රාජ්‍ය ආදායමක් ලබා නොගත්තහොත් ණය තිරසාරවීමේ ගමන අඩාල වන්නට පුළුවන. මේ පරිසරය අනුව තවදුරටත් බදු ඉහළ නැංවීමේ ඉඩ කඩක් පැවතිය හැකිය. එහෙත් වඩා නිවැරදි ක්‍රමය නම් ආණ්ඩුව බදු වැඩි කිරීමට පමණක් අවධානය යොමු නොකොට පනවා ඇති බදු එකතු කිරීමේ වඩාත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමයි. දේශීය බඳු එකතු කිරීමේ ලෝකයේ වෙනත් ආයතන වලට සාපේක්ෂව අපේ රටේ ඊට සම්බන්ධ ආයතනය ඇත්තේ ඉතාම අඩු ක්‍රියාකාරී තත්ත්වකය. එම ආයතනය මීට වසර 30කට පෙර අද පවත්නා තත්ත්වයට වඩා යහපත් තැනක තිබුණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විධිමත් සක්‍රීය ආයතනයක් ලෙස කාර්යක්ෂමව නැවත පවත්වාගෙන යාම ඉතාම වැදගත්ය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව අද වන විට රටේ සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කොට තිබේ. එය රටේ විශාල අර්බුදයක් නිර්මාණය වීමට හේතුවකි. මේ අර්බුදය මුදල් ඉපයීම සම්බන්ධ එකක් නොවෙ. කාර්යක්ෂම නොවීමේ අර්බුදයකි.

එක් පාර්ශවයකින් බදු අය කරගන්නටත් තවත් පාර්ශවයකින් බදු අය නොකරන්නටත් හේතු සොයා බැලීමේ විශ්ලේෂණයක් අවශ්‍යය.  එහෙත් එබඳු කිසිම විශ්ලේෂණයක් එළි දක්වා නොතිබීම තවත් අර්බුදයකි. නිසි විශ්ලේෂණයක් නොමැතිව ආර්ථික ගමනක් යන විට එම ගමන නිවැරදි නොවීමට තිබෙන ඉඩකඩ වැඩිය. විශ්ලේෂණයක් දියුණු වන්නේ එය රටට නිසි පරිදි ඉදිරිපත් කිරීමෙනි. සාකච්ඡා කිරීමෙනි. එහෙත් බදු කැපීමේදිත් බදු වැඩි කිරීමේදීත් නිසි විශ්ලේෂණයක් නොමැතිව කටයුතු කරන බවකි මේ වන විට පෙනී යන්නේ. එසේ නැතහොත් විශ්ලේෂණය ගණනකට නොගෙන අසාධාරණ ලෙස වැඩ කරන සැටියකි මෙයින් පැහැදිලි වන්නේ. එබඳු නිසි විශ්ලේෂණයක් තිබේ තිබේනම් බදු පැනවීමේදී ජනතාවට එය පීඩාවක් නොවන අන්දමින් පැනවීමේ සැලැස්මක් ක්‍රියාත්මක වනු ඇත. එවැන්නක් නැති තැන බදු ගෙවන අයට තව තවත් බඳු ගෙවන්නට සිදුවනවා පමණක් නොව එයින් ආර්ථිකයද අඩපන වේ. එය රටට ලොකු අවාසියකි.

දැනට පවත්නා තත්ත්වය අනුව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අවධානය යොමු වූ විශේෂ අංශ දෙකකි. එකක් නම් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය අයි.එම්.එෆ්  තක්සේරුව සමඟ එකඟ නොවීමය. එසේ වූ විට ණය කප්පාදු අඩුකරගතහොත් එය ලංකාවට අවාසි සහගත තත්ත්වයකි. අනෙක් පැත්තෙන් ඔවුන් ඉදිරිපත් කොට ඇති තවත් අදහසක් වන්නේ ආණ්ඩුවේ ක්‍රියාදාමය සුබවාදී පැත්තකට හැරුණොත් ණය කප්පාදුව වැඩි කර ගැනීමය. එය ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හා සම්බන්ධ වෙයි. ණය  ප්‍රතිව්‍යුහගතකරණයේ  දී ලංකාවට මේ ක්‍රමය හඳුන්වා දෙන්නේ ප්‍රථම වතාවටය. ආණ්ඩුකරණය දියුණු කර ගැනීමට දැනටමත් පොරොන්දු වී ඇති දෑ ඉටුකළොත් වැඩි ණය කප්පාදුවක් මේ අනුව සිදුවේ.

ආණ්ඩුකරණය දියුණු වූ විට පෞද්ගලික ණය හිමියන් ලංකාවට වාසියක් ලබා දෙනවා කී විට එය ලංකාවේ ස්වෛරීභාවයට තර්ජනයකැයි ඇතැම්හු කල්පනා කරති. එහෙත් එවැනි තර්ජනයක් එහි නොවේ. හේතුව නම් මේ තක්සේරු ක්‍රමය ඉදිරිපත් කරන්නේ ණය හිමියන් නොවේ. එහි තීන්දුව ගන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුකරණය දියුණු කිරීම සම්බන්ධ ඇගැයීම් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවමයි. ගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආණ්ඩුව ඉදිරිපත් කළ ඇගයීම් වාර්තාවට සිවිල් සමාජයේ සියයට 80කගේ එකඟතාව ලැබී ඇති බව පෙනේ.අයි.එම්.එෆ් ගිවිසුමේ එකඟතාවලටත් මේ අනුව මේ එකඟතා එකතු කෙරේ.

ද්විතීක වෙළඳපළෙහි ලංකාවේ බැඳුම්කර විකිණීම සිදුවන්නේ ඒ සම්බන්ධ පවත්නා විශ්වාසවන්තභාවය අනුවය. අවිනිශ්චිත භාවය වැඩි වුවහොත් මිල අඩුවේ. අවිනිශ්චිතතාව අඩු වුවහොත් මිල වැඩි වේ. අවිනිශ්චිතතාව අඩුකර ගැනීමට ආණ්ඩුව තම ආණ්ඩුකරණය දියුණු කරගත යුතුය. ලංකාව වැනි රටකට වැඩි පොලියකට ණය ලබා ගැනීමට සිදුව ඇත්තේ අවිනිශ්චිතභාවය වැඩි නිසාය.

ලංකාවේ ආර්ථිකය කඩා වැටුනේ කොවිඩ් වැනි ගැටලු නිසාම නොවේ. ආණ්ඩුකරණය ගැටළු නිසාය. කිසිම විශ්ලේෂණයක් නොමැතිව වැඩ කිරීමෙන්, ආර්ථිකය සම්බන්ධ අත්තනෝමතික තීරණ ගැනීමෙන් ලංකාවට සිදු වූයේ ආර්ථික වශයෙන් අන්ත අසරණ තත්ත්වයට වැටීමටය. ඉදිරියේදී ආණ්ඩුකරණය දියුණු කිරීමට නම් ප්‍රධාන වශයෙන් පැහැදිලි විනිවිදභාවයක් ඇති කළ යුතුය. ඒ විනිවිද භාවය තුළ ආර්ථිකය සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණ ගැනීමට ඇති ඉඩකඩ අහුරාලිය යුතුය.

Tags:

Leave A Comment