උතුරේ පවතින දරිද්‍රතාවය සහ සමාජ-ආර්ථික අභියෝග: අමාත්‍ය චන්ද්‍රශේකර් නෝර්වීජියානු නියෝජිතයින්ට පැහැදිලි කරයි

උතුරු පළාතේ සංවර්ධනය සහ නවීන තාක්‍ෂණය තුළින් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නෝර්වේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙහි දී අදහස් දක්වමින්, උතුරු කලාපයේ ජනතාව සහ නෝර්වේ ජනතාව අතර ඇති විශේෂ මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියට නෝර්වීජියානු රජය විසින් ලබා දුන් දායකත්වය කෘතඥතාවයෙන් සිහිපත් කළේය.

වසර 76 කට පසු උතුරු කලාපයේ ජනතාව ජාතික ජන බලවේගය රජය කෙරෙහි තබා ඇති විශ්වාසය මත පදනම්ව, රජය කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛත්වය දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ පවතින දරිද්‍රතාවය සහ සමාජ-ආර්ථික අභියෝග පිළිබඳව අමාත්‍යවරයා නෝර්වීජියානු නියෝජිත පිරිසට සවිස්තරාත්මක විස්තරයක් ලබා දුන්නේය.

යුද්ධයට ගොදුරු වූවන් සහ ක්ෂුද්‍ර මූල්‍ය උගුල හේතුවෙන් ජනගහනයෙන් 60%කට වඩා වැඩි පිරිසක් මුහුණ දෙන අතිශය දුෂ්කරතා ඔහු විශේෂයෙන් අවධාරණය කළේය.

මෙම ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම සඳහා රජය විවිධ වැඩසටහන් ආරම්භ කර ඇති බවත්, නව කාර්මික කලාප පිහිටුවීම, පලාලි ගුවන්තොටුපළ පුළුල් කිරීම, මයිලිටි ධීවර වරාය සහ පරන්තන් රසායනික කම්හල සංවර්ධනය කිරීම වැනි ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ද රජය දැනටමත් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අනාගත පරම්පරාවන් සඳහා උතුරු පළාතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සහ ගෘහස්ථ ක්‍රීඩාංගනයක් ඉදිකරමින් පවතින බව ද අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළේය.

ධීවර අංශය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරේ මත්ස්‍ය නිෂ්පාදනය සහ අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවයි. ජලජීවී වගාව සංවර්ධනය කිරීම සඳහා නෝර්වීජියානු රජයෙන් තාක්ෂණික සහයෝගීතාව අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් නෝර්වීජියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ තිරසාර ධීවර පිළිවෙත් අගය කළ ඔහු, ධීවර ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

නෝර්වීජියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අප්‍රේල් මාසයේදී නෝර්වේහි නිල සංචාරයක නිරත වන බවත්, එම සංචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

මෙම සංචාරයේදී මෙරට ක්ෂේත්‍ර විශේෂඥයින් හමුවීමටත්, තාක්ෂණික දැනුම හා විශේෂඥතාව බෙදා ගැනීමටත්, දෙරට අතර ධීවර සහයෝගීතාව නව මාවතකට ගෙන යාමටත් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී සමුද්‍ර දූෂණය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වසර 15 කට වැඩි කාලයක් ධීවර වරායන්හි ගොඩගැසී ඇති භාවිතයට නොගත් ෆයිබර්ග්ලාස් බෝට්ටු ප්‍රතිචක්‍රීකරණය කරන ෆයිබර්ග්ලාස් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා නෝර්වීජියානු නියෝජිත පිරිසට කරුණු පැහැදිලි කළේය.

Tags:

Leave A Comment