ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති දැවැන්ත අභියෝගය – අද සහ හෙට
- Editor
- November 19, 2026
- ආර්ථික, සිංහල Header
- Economy
- 0 Comments

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට 2026 නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කරන ලද 2027 වසර සඳහා වූ අයවැය, මෙරට ආර්ථික ඉතිහාසයේ තවත් එක් වාර්ෂික මූල්‍ය ප්රකාශනයක් පමණක් ලෙස සැලකිය නොහැකි ය. 2022 වසරේ ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව යම් ස්ථාවරත්වයකට පැමිණෙමින් තිබෙන මෙරට ආර්ථිකය, දිගුකාලීන වර්ධනයක් සහ මූලික වෙනසක් කරා මෙහෙයවීමේ දී මෙම අයවැය තීරණාත්මක ලේඛනයක් බවට පත්වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, ණය බර කළමනාකරණය, ආයෝජන ප්‍රවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම යන අරමුණු අතර සමතුලිතතාවක් ඇති කිරීම රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. එබැවින් මෙම අයවැය විමසා බැලිය යුත්තේ එහි සහනාධාර හා සංවර්ධන යෝජනා පමණක් පදනම් කරගෙන නොවේ; රටේ නිෂ්පාදන ධාරිතාව, අපනයන ආදායම, රැකියා උත්පාදනය සහ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට එය දක්වන දායකත්වය ද සැලකිල්ලට ගනිමිනි.
අර්බුදයෙන් මිදීම සහ ඉදිරි අභියෝග
මෑත ඉතිහාසය දෙස බැලීමේදී, අප රට 2022 වසරේදී මුහුණ දුන් ආර්ථික කඩාවැටීම හුදෙක් විදේශ විනිමය හිඟයක් පමණක් නොවී ය. එය දුර්වල ආර්ථික කළමනාකරණය, අධික ණය ගැනීම්, රාජ්‍ය මූල්‍ය විනයේ දුර්වලතා සහ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට අපොහොසත් වීම වැනි සාධක රැසක ප්රතිඵලයකි. කෙසේ වුවද, එම අර්බුදයෙන් පසුව ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පැමිණීම සහ විදේශ සංචිත යළි ගොඩනගා ගැනීමට හැකිවීමම, ධනාත්මක ප්‍රවණතාවක් ලෙස අපි පිළිගත යුතු වෙමු. ශ්‍රී ලංකා භාණ්ඩාගාරයේ 2027 අයවැය වාර්තාව අනුව, 2026 පළමු අර්ධයේ සැබෑ ආර්ථික වර්ධනය 4.7% ක් ලෙස වාර්තා වී තිබේ. ලෝක බැංකුවේ 2026 ඔක්තෝබර් වාර්තාව ද මෙම ප්‍රකෘතිය තහවුරු කරන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩ කාර්තු දොළහක් පුරා වර්ධනය වී 2018 වසරේ පැවති මට්ටමට යළි ළඟා වී ඇති බව පෙන්වා දෙයි. කර්මාන්ත හා සේවා අංශවල ක්‍රියාකාරිත්වය සහ රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් වීම මෙම ප්‍රගතියට දායක වී ඇතිබව නොරහසකි.
එහෙත් ලෝක බැංකු පුරෝකථන අනුව 2026 වසරේ 4.4% ක් වන ආර්ථික වර්ධනය, ඵලදායිතාවයේ දුර්වලතා හේතුවෙන් 2027 වසරේදී 4.2% දක්වා මන්දගාමී විය හැකි ය. ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ අස්ථාවරත්වය, යුරෝපා සංගමයේ නව රෙගුලාසි සහ ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වයේ බලපෑම් ද මෙරට ආර්ථිකය කෙරෙහි අවදානම් තත්ත්වයක් උදාකරනු ඇත. මේ අතර 2025 වසරට අදාළව ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබූ 16.9% ක් වූ දරිද්‍රතා අනුපාතය, 2026 වසරේදී එය 15.8% දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එසේ වුවද, එය 2019 වසරේ පැවති 11.5% මට්ටමට වඩා ඉහළ අගයකි. මෙහිදී, වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ, ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද, එහි වර්ධනයේ හා ප්රසාරණවීමේ ප්රතිලාභ ජනතාවගේ ජීවන තත්ත්වය තුළ තවමත් පූර්ණ වශයෙන් පිළිබිඹු වී නොමැති බවයි. විශේෂයෙන්ම ආර්ථිකයක් අර්බුදයකින් ගොඩ ඒම සහ එය දිගුකාලීනව සමෘද්ධිමත් කිරීම එකිනෙකට වෙනස් කාරණා දෙකකි. එහෙයින් වර්තමානයේ දෘෂ්‍යමානවන ස්ථාවරත්වය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන තිරසාර සංවර්ධනයක් බවට පරිවර්තනය කිරීම 2027 අයවැය යෝජනා හා සංකල්ප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වනු ඇත.
රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ ණය බර
2027 අයවැය ඇස්තමේන්තු අනුව, ප්‍රදානයන් ද ඇතුළත්ව රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 6.18 කි. සමස්ත වියදම රුපියල් ට්‍රිලියන 7.673 ක් වන බැවින් සාමාන්‍ය අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 1.493 ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.8% කි. එහෙත් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජිත රුපියල් බිලියන 260 ක අමතර ප්‍රතිපාදන ද සැලකිල්ලට ගත් විට, සමස්ත වියදම රුපියල් ට්‍රිලියන 7.933 ක් දක්වාත්, අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 1.753 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%) දක්වාත් ඉහළ යාම අපේක්ෂා කළ යුතුවේ.
කෙසේ වුවද, මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ 2027 වසරේ ණය පොලී ගෙවීමට පමණක් රුපියල් ට්‍රිලියන 2.643 ක් වැය කිරීමට සිදුවීමයි. එනම් රජය උපයන සෑම රුපියල් සියයකින්ම රුපියල් 43 ක් පමණ වැය වන්නේ ණය පොලී ගෙවීමට ය. මේ තත්ත්වය රාජ්‍ය මූල්‍යය මත පැටවී ඇති ණය බරෙහි තරම මැනවින් අපට පැහැදිලි කර දෙයි. එවැනි තත්ත්වයක් යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන කප්පාදු නොකර පවත්වාගෙන යාම අභියෝගයකි. රජයේ වගකීම විය යුත්තේ වැය කරන සෑම රුපියලකින්ම උපරිම ආර්ථික හා සමාජ ප්‍රතිලාභයක් අත්පත් කරගැනීමයි.
බදු සාධාරණත්වය
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම මූල්‍ය ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය වුවද එම ආදායම උපයා ගැනීමේ ක්‍රමවේදය සමාජ සාධාරණත්වය ආරක්ෂා කරන එකක් විය යුතුය. විශේෂයෙන් ආහාර, ප්‍රවාහනය, සෞඛ්‍යය සහ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත පැටවෙන වක්‍ර බදු අඩු ආදායම්ලාභී ජනතාවට දැඩි බලපෑමක් ඇති කරයි. එබැවින් ඉහළ ආදායම් ලබන පුද්ගලයන් සහ ආයතනවලින් සාධාරණ ලෙස සෘජු බදු අයකර ගැනීම, බදු වංචා වැළැක්වීම, බදු දැලට හසු නොවී පවතින ආර්ථික ක්‍රියාකාරකම් විධිමත් කිරීම සහ රාජ්‍ය ආදායම් කාන්දුවීම් අවම කිරීම කෙරෙහි ප්රමුඛ අවධානය යොමු කළ යුතු ය.
නිෂ්පාදන ආර්ථිකයක් කරා
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික දුර්වලතාවක් වන්නේ දේශීය නිෂ්පාදන ධාරිතාව වර්ධනය නොකර ආනයන මත රඳා පැවතීමයි. 2026 පළමු මාස නවය තුළ අපනයන ආදායම 5.3% කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 10.75 ක් උපයාගෙන තිබුණද, ආනයන වියදම 21.3% කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 18.67 ක් වී ඇත. ඒ අනුව වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.91 ක් දක්වා පුළුල් වී තිබේ. මෙවැනි තත්ත්වයකින් විතැන්වීමට කාලය දැන් පැමිණ ඇත. එබැවින් සාම්ප්‍රදායික තේ, පොල්, රබර් සහ ඇඟලුම්වලින් ඔබ්බට ගොස් අගය එකතු කළ නිෂ්පාදන, ඖෂධ, ආහාර සැකසුම් සහ තොරතුරු තාක්ෂණ සේවා සැපයීම් ජාත්‍යන්තරයට රැගෙන යාමට අප උත්සුක විය යුතු වේ. විශේෂයෙන්ම තරුණ පරපුරේ තාක්ෂණික දැනුම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඵලදායී ආර්ථික වටිනාකමක් බවට පත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට හිතකර බදු ප්‍රතිපත්ති, උසස් තාක්ෂණික පුහුණුව, ඩිජිටල් යටිතල පහසුකම් සහ නව ව්‍යවසාය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය දෙයකි.
සහනාධාරයෙන් ඔබ්බට යන කෘෂිකර්මය
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කෘෂි හා වැවිළි කර්මාන්තයට සුවිශේෂී ස්ථානයක් හිමි වුවද, 2026 පළමු අර්ධයේදී කෘෂිකාර්මික අංශය 0.6% කින් හැකිළී තිබේ. විශේෂයෙන් වී නිෂ්පාදනය 11.2% කින් ද, රබර් 8.5% කින් සහ තේ 2.6% කින් ද පහළ ගොස් ඇත. මෙහිදී, පොහොර සහනාධාර සහ මිල නියාමනය වැදගත් වුව ද, ඒවා පමණක් ගොවියාගේ ආර්ථිකය නැංවීමට ප්‍රමාණවත් ද යන්න විමසා බැලිය යුතුව තිබේ. අස්වැන්නෙන් පසු සිදුවන නාස්තිය සහ අතරමැදියන්ගේ බලපෑම අවම කිරීම සඳහා ශීත ගබඩා සහ වියළන යන්ත්‍ර සහිත ද්විතීයික සැකසුම් කර්මාන්ත අංශ ප්‍රවර්ධනය ඊට වඩාත් සාර්ථක පිළියමක් වනු ඇත. ඒ අනුව සහනාධාර මත යැපෙන කෘෂි හා වැවිළි කර්මාන්තය, තාක්ෂණය සමගින් ව්‍යවසායකත්ව අරමුණ පෙරදැරිකරගත් පසු අස්වනු සැකසීමේ කර්මාන්ත අංශයක් දක්වා සංවර්ධනය කිරීමට ද ඉන් අවස්ථාව සලසා ගත හැකිවේ.
කර්මාන්ත සහ බලශක්ති අභියෝග
2026 පළමු අර්ධයේ කර්මාන්ත අංශය 7.2% කින් වර්ධනය වී ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත්රයේ 15.1% ක වර්ධනය ඊට විශේෂ දායකත්වයක් සපයා තිබේ. එහෙත් එකී ක්ෂේත්රයන්හි තිරසාර සංවර්ධනයක් වීමට නම් ඒ උදෙසා තවදුරටත් අහිතකර ලෙස බලපාන නෛතික බාධක ලිහිල් කිරීම කෙරෙහි රජයේ දැක්ම පුළුල්විය යුතුව තිබේ.මෙහිදී ඊට සමගාමියව බලශක්ති ක්ෂේත්රය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කළ යුතු වේ. 2026 පළමු අර්ධයේ ජල විදුලි උත්පාදනය 22.9% කින් පහළ යාමත් සමඟ ඉන්ධන තෙල් මඟින් විදුලි උත්පාදනය 87.8% කින් ඉහළ ගොස් ඇත. මෙය විදුලි නිෂ්පාදන පිරිවැයට සහ විදේශ විනිමයට සෘජු ලෙසම බලපෑමක් කරයි. එබැවින් සූර්ය, සුළං ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සහ බලශක්ති ගබඩා තාක්ෂණය තව තවත් පුළුල් කිරීම ජාතික අවශ්‍යතාවක් කරගත යුතු ය. මෙවර අයවැයෙන් ඒ උදෙසා කර ඇති යෝජනාව නැවත සමාලෝචනය කළයුතු වන්නේ එබැවිනි.
සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ
විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, 2026 පළමු මාස නවය තුළ 18.1% කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 6.87 ක් උපයාගෙන තිබීම රටේ ආර්ථිකයට විශාල ශක්තියකි. කෙසේ වුවද, මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙම ප්‍රේෂණ සංඛ්‍යාවට ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ලැබුණු ඇතැම් වෙනත් ප්‍රේෂණ ද ඇතුළත් විය හැකි බවයි. කෙසේ වුවද, විදේශ රැකියා ක්ෂේත්රය තුළ වෘත්තීය හා ඉහළ නිපුණතා අවශ්‍ය රැකියා සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීම හා එවන් අවස්ථා කෙරෙහි යොමුකරවීම තුලින් මෙම ආදායම තවදුරටත් වර්ධනයකර ගැනීමට අපි උත්සුක විය යුත්තෙමු. මේ අතර ඉහත සඳහන් කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් වෙතින් ඩොලර් බිලියන 2.245 ක් ආදායමක් උපයා ගත්තද, එය පෙර වසරවලට සාපේක්ෂව 9.2% කින් පහළ ගොස් ඇතිබව වාර්තාවේ. මෙයින් පෙනී යන්නේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව පමණක් නොව, එක් සංචාරකයකුගෙන් උපයාගන්නා ආදායම ද ඉහළ නැංවීමේ අවශ්‍යතාවයි. ඒ සඳහා සේවාවල ගුණාත්මකභාවය, සංචාරක පහසුකම්, විවිධාංගීකරණය වූ සංචාරක අත්දැකීම් සහ දිගුකාලීනව සංචාරකයන් රඳවා ගැනීමේ ඉඩ ප්රස්ථා වැඩිදියුණු කළ යුතුවේ. එය හුදු ප්රචාරාත්මක සංකල්පයෙන් ඔබ්බට යන ප්‍රායෝගික දැක්මක් විය යුතුය.
මානව සම්පත සහ තරුණ විරැකියාව
2026 දෙවැනි කාර්තුවේ සමස්ත විරැකියා අනුපාතය 4% ක් වුවද වයස අවුරුදු 15-24 අතර තරුණ විරැකියාව 17.8% ක් වීම බරපතළ ගැටලුවකි. එසේම උසස් පෙළ හා ඊට ඉහළ සුදුසුකම් ඇති පිරිස අතර විරැකියාව 6.7% ක් (උසස් පෙළ හා ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති කාන්තාවන් අතර විරැකියා අනුපාතය 9.6% ) වීමෙන් පෙනී යන්නේ අධ්‍යාපනය සහ රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතා අතර පවතින නොගැළපීමයි. මේ උදෙසා තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය පුළුල් කිරීම, ඉංග්‍රීසි භාෂා දැනුම හා ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කිරීම වඩාත් සාධනීය පියවරක් වනු ඇත. තරුණ පරපුර වැටුපකට, රැකියා සොයන්නන් වෙනුවට නව ව්‍යාපාර බිහිකරන ආදායම් උපයන ව්‍යවසායකයන් බවට පත් කිරීම රජයේ වගකීමකි.
මූල්‍ය වගවීම සහ අයවැයේ සැබෑ පරීක්ෂණය
ජනතාවගෙන් වැඩි බදු ආදායමක් අපේක්ෂා කරන රජයක් තම වියදම් පිළිබඳව ද උපරිම වගකීමක් දැරිය යුතු ය. අනවශ්‍ය වියදම්, නාස්තිය සහ දූෂණය වැළැක්වීම සඳහා රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් පවත්වාගෙන යාමත්, විගණන නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍ය වේ. දූෂණය මැඩපැවැත්වීම ආයෝජක විශ්වාසය තහවුරු කරන මූලික ආර්ථික සාධකයකි.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් පසුව රටේ ආර්ථිකය ස්වාධීනව පවත්වාගෙන යාමට නම් විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කරගනිමින් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයකට පරිවර්තනය විය යුතුමය. එසේ නොවුවහොත් අනාගතයේදී නැවතත් විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීමේ අවදානම ඉවත් කළ නොහැකිය.
අවසාන වශයෙන්, අයවැයක් සාර්ථක වන්නේ එහි වෙන් කරන මුදල් ප්‍රමාණය අනුව නොව, ඒවා නියමිත කාලයට ක්‍රියාත්මක කර මහජන මුදල්වලට සාධාරණ ප්‍රතිලාභයක් ලබාදීම අනුව බව අවබෝධ කර ගැනීම වටියි. පසුගිය කාලයේ සිදු වූ ප්‍රමාදවීම් සහ අකාර්යක්ෂමතා මගහරවා ගැනීමට 2027 අයවැයේ ප්‍රධාන යෝජනා සඳහා අරභයා කාලසීමා නිර්ණය සහ කාර්යසාධන ඉලක්ක සපුරාගැනීමේ සාර්ථකත්වය නිරීක්ෂණය, පාර්ලිමේන්තු අධීක්ෂණය යටතේ සිදුකිරීම වඩා සාධනීය පියවරක් වනු ඇත. කෙසේ වුවද,රටේ ආර්ථික ඉරණම ලියැවෙන්නේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන අයවැය කථාවෙන් පමණක් නොව, එමඟින් සාමාන්‍ය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් සමස්ත ආර්ථිකය තුළ ඇති කරන සැබෑ වෙනස ඔස්සේ බව අප සැම වටහාගත යුතු ය.
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ
මූලාශ්‍ර:
- අයවැය, ආර්ථික හා මූල්‍ය තත්ත්ව වාර්තාව-2027, ශ්‍රී ලංකා භාණ්ඩාගාරය
- වසරේ අර්ධ වාර්ෂික මූල්‍ය තත්ත්ව වාර්තාව -2026, ශ්‍රී ලංකා භාණ්ඩාගාරය
- දරිද්‍රතාව පිළිබඳ වාර්තාව-ඔක්තෝබර් 2026, ලෝක බැංකුව
- ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාව- ඔක්තෝබර් 2026, ලෝක බැංකුව
- මාසික සංචාරක පැමිණීම් වාර්තා – 2026, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
- ශ්‍රම බලකාය පිළිබඳ කාර්තුමය සමීක්ෂණය-2026 දෙවන කාර්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

