මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වූ රණවිරුවෝ – ජීවත්වීම ද මරණය ද ?

අවුරුදු 22ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකායේ සේවය කරලා මනෝජ් වික්‍රමරත්න විශ්‍රාම ගිය දවසේ ඉඳන් වැටුප රුපියල් 45,000ක් දක්වා අඩු වුණා. මනෝජ්ගේ දරුවෝ තවමත් පාසල් යන වයසේ.

ලංකාවේ ආර්ථික අර්බුදය මතුවෙන්න කලින් නම් රුපියල් 45,000ක් කියන්නේ යාන්තමින් ජීවිතේ ගැටගහගන්න පුළුවන් මුදලක්. ඒත් අද ඇත්තටම ඒකෙ සැබෑ වටිනාකම එදාට සාපේක්ෂව රුපියල් 15,000ක් විතර. මේ සොච්චමෙන් ජීවත්වෙන්න බැරි නිසා මනෝජ් රට රස්සාවක් සොයා ගත්ත. ඒක රුසියාවේ යුද්දෙට සම්බන්ධ ජොබ් එකක්.

ගියාට පස්සේ තමා මනෝජ්ට තේරුණේ ඇත්තටම ඇවිත් තියෙන්නේ මොකටද කියල.

මනෝජ් කියන විදියට රුසියාවේ යුද්ධයක් තියන බව ඔහු හොඳින්ම දන්නවා. ගියේ යුද හමුදාවට කියන එකත් ඇත්ත. ඒත් මනෝජ් කියන්නේ, හමුදාවට බඳවාගන්න zoom meeting තියපු චතුරංග කියන පුද්ගලයා කිවුවේ ලංකාවෙන් යන අය යුද පෙරමුණට යවන්නේ නැති බවට පොරොන්දු වුණා කියල. ලංකාවෙන් බඳවාගන්නේ support services වලට කියල තමයි, සරත් වීරසේකර මන්ත්‍රීගේ ලේකම් කියල හඳුන්වාගත්ත චතුරංග ඔවුන්ට කිවුවේ. ඒ zoom meeting වලදී චතුරංග තවත් ලොකු ලොකු අයගේ නම් ගණනාවක් කිවුව. හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකුත් ඒ නම් අතරේ හිටිය.

පොලිසිය මේ මිනිස් ජාවාරම ගැන හොයන්න ගත්තම චතුරංග දැන් ලංකාවෙන් පැනල ගිහින්.

රුසියාවට ගිහින් වැඩේ වැරදුන බව දැනගත්තම මනෝජ් කොහොම හරි හමුදාවෙන් පැනල ආව. කිසිම හැඳුනුම්පතක් නැතුව, භාෂාවත් බැරුව, දවස් දෙකක් ටොපියක් විතරක් හප, හප කිලෝමීටර් 1800ක් දුර ගෙවාගෙන දවස් හයක් විතර මනෝජ් මොස්කව් නගරයට ආපු ගමන හරියට හින්දි චිත්‍රපට කතාවක් වගේ. මනෝජ් තමයි රුසියානු හමුදාවෙන් පැනල ආපු පළවෙනි ශ්‍රී ලාංකිකයා. (

)

ඒජන්සිවලට ලක්ෂ 16ක් විතර ගෙවල, හිස් අතින් ගෙදර ආපු මනෝජ් ආයෙත් පාරක් රස්සාවක් හොයන්න ගත්ත. එහෙම හොයද්දි security firm එකක ජොබ් එකක් ගැන ආරංචියක් ලැබුණ.

“එතන ගෙවන්නේ දවසට රුපියල් 1400ක් විතර සර්. මට බස් ගාස්තුයි, කෑමටයි අඩු ගානේ රුපියල් 800ක් වත් යනවා.”

මනෝජ් ඒ රස්සාවත් එපා කිවුව.

හමුදාවේ විශේෂ බලකායේ දක්ෂතා පෙන්නපු මනෝජ් දැන් ආයෙත් හතර වටේටම ණය වෙච්ච රැකියා විරහිතයෙක්. ජීවිතේ ගැටගහගන්න ඔහු ආයෙත් රැකියාවක් හොයනවා.

මනෝජ් විතරක් නෙවෙයි, තවත් ශ්‍රී ලාංකිකයින් 1000ක් විතර, සමහරවිට 1200ක විතර පිරිසක් දැන් රුසියාවත් එක්ක සම්බන්ධ වෙලා යුක්රේනයට එරෙහිව යුද වදිමින් ඉන්නවා.

මෑතදී රුසියාවේ සංචාරයක යෙදුන සමගි ජන සන්ධානයේ වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් සොයාගත් තොරතුරුවල විදියට 290ක පමණ පිරිසක් තවදුරටත් යුද කඳවුරු වල හෝ යුද භූමියේ සිටිනවා යයි විශ්වාස කෙරුණත් දීර්ඝ කාලයකින් ඔවුන් ගැන තොරතුරක් ලැබී නැහැ.

ඔවුන් අතරින් කිසියම් පිරිසකට ජීවිත අහිමිවෙලා. එක මළ සිරුරක්වත් හමුවෙලා නැති නිසා ඒ කී දෙනෙක්ද කියල කවුරුවත් දන්නේ නැහැ. සජබ මන්ත්‍රී කණ්ඩායම කියන්නේ තුවාල ලැබූ 10 දෙනෙක් පමණ රෝහල්ගතවත් ඉන්නවා කියල. අවුරුද්දක ගිවිසුමකින් බැඳිලා ඉන්න නිසා තුවාල සුව වුණාට පස්සේ ඔවුන්ට ආයෙත් යුද බිමට යන්න වෙනව. (

)

ගිවිසුම්ගතව ප්‍රකාශ කළ වැටුප් නොගෙවීම, වැටුප බැංකු ගිණුමෙන් අතුරුදහන්වීම, තුවාල වූ අයට වන්දි නොගෙවීම වගේ අසාධාරණ ගැනත් නිරන්තරයෙන් වාර්තා වෙනවා. ගොඩක් වෙලාවට ඒ වගේ හොරකම් කරන්නේ රුසියාවේ ඉන්න අතරමැදි ජාවාරම්කරුවන්.

යුද්ධයෙන් මුලින්ම පැනල ආපු මනෝජ් වගේම රෝහල්ගතව ඉන්න බොහෝ දෙනෙකුත් කියන්නේ ඔවුන් රුසියාවේ හමුදාවට සම්බන්ධ වුණේ ආර්ථික අගහිඟකම් නිසා කියල.

රුසියාවේ හමුදාවට බැඳෙන්නේ කොහොමද කියල අහල ලංකාවේ ඉන්න අය විතරක් නෙවෙයි මැලේසියාවේ කොටුවෙලා ඉන්න මිනිස්සු පවා, සිය ගණනක් මටත් වරින්වර කතා කළා.

“මාව මැරුණත් කමක් නෑ, මගේ දරුවන්ට වන්දියක් හරි ලැබේවිනේ,” එහෙම කිවුවේ එක්කෙනෙක් දෙන්නක් නෙවෙයි.

ඒ හැම දෙනෙක්ම වගේ ගෙයක් හදාගන්න, දරුවන්ගේ අධ්‍යාපනයට, දරුවන්ගේ/දෙමාපියන්ගේ බෙහෙත් හේත්වලට ලක්ෂ ගණන් ණය වෙලා. ඒ මදිවට සමහරු රටින් පිටවෙන්න කියල ඒජන්සිවලට තවත් ලක්ෂ ගාණක් ගෙවල. හමුදාවෙන් විශ්‍රාම ගියපු අය වගේම තවමත් හමුදාවේ සේවය කරන සොල්දාදුවනුත් මේ අතරේ ඉන්නවා. ඒ බොහෝ දෙනා කියන්නේ මේ රටේ ඉඳල නම් සෙතක් වෙන්නේ නෑ, ඒ නිසා රුසියාවේ යුද්ධෙට ගිහින් මැරුණත් කමක් නෑ කියල.

“මම බලාගෙන ඉන්නේ මේ කාලකන්නි රටෙන් පැන ගන්නේ කොයි වේලාවේද කියල,” අවුරුදු 34ක තරුණයෙක් කලකිරීමෙන් මට වට්ස්ඇප් පණිවුඩයක් එවල තිබුණ.

ඔහු තාමත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබලෙක්. කොයි තරම් ජීවිත අවදානමක් තිබුණත් ඔහුගේ උත්සහය ලංකාවෙන් පිටවෙලා රුසියානු-යුක්රේන යුද්ධයට සම්බන්ධ වෙන්න.

ඒ අතරේම ලංකාවේ තරුණ සහ මැදිවියේ පරපුර පෙලන මේ ආර්ථික අඟහිඟකම් සහ ඉච්ඡා භංගත්වය මිනිස් ජාවාරම්කරුවන් පිරිසකට කදිම ඉල්ලමක් වෙලා.

රුසියාවේ යුද්ධයට ශ්‍රී ලාංකිකයින් බඳවාගන්න මේ මිනිස් ජාවාරම්කරුවන් විශ්‍රාම ගිය සොල්දාදුවන්ගේ නම් ලැයිස්තුවක් අරගෙන වෙන වෙනම ඔවුන් ආමන්ත්‍රණය කළ බව ජාවාරමට ගොදුරු වුන අය කියනවා. යුද්ධයට ගියත් ඔවුන්ට ආයුධ අරගෙන යුද පෙරමුණට යන්න වෙන්නේ නෑ කියලත් මේ ජාවාරම්කාරයෝ කැට තියල කිවුව.

ඇත්තටම මේක දැවැන්ත ජාවාරමක්.

එක පැත්තකින් ලංකාවේ රැකියා ඒජන්සිත් ජාවාරම්කාරයොත් විශ්‍රාමික සොල්දාදුවන් රවටද්දී, තවත් කණ්ඩායමක් රුසියාවේ ඉඳගෙන ලංකාවේ ඉඳල එන පිරිස්වලින් මුදල් ගරාගන්න පටන් ගත්ත. සමහරු මොස්කව් ඉඳලම ලංකාවේ ඒජන්සිවලට කෝල් කරලා හමුදාවට සෙනග ඉල්ලුව. මේ හැම කෙනෙක්ම එකිනෙකාට සම්බන්ධයි.

හමුදාවට විදේශිකයින් ලබා දුන්නම මොස්කව් ඉන්න ඒජන්තයට හමුදාවෙන් විශාල මුදලක් ලැබුණ බව සමහරු කියනවා. ඒ නිසාම ඔවුන් ලංකාවෙන්, ඉන්දියාවෙන්, නේපාලයෙන් විශ්‍රාමික සොල්දාදුවෝ බඳවා ගැනීම ශීඝ්‍රයෙන් කරගෙන ගියා.

ඔවුන්ගේ වැඩපිළිවෙල කඩාකප්පල් වුණේ ලංකාවේ ගොඩක් දෙනා තුවාල වෙන්න, අතුරුදහන් වෙන්න පටන් ගත්තම.

විශේෂයෙන්ම මනෝජ් ගේ හෙළි කිරීම නිසා ලංකාවේ මේ ගැන මාධ්‍ය ඔස්සේ ලොකු ආන්දෝලනයක් මතුවුණත්, ඉක්මනින් මුදලක් හොයා ගන්න රුසියාවට යන්න තිබුණ උනන්දුව එහෙම පිටින්ම අඩු වෙලා නෑ.

කුරුණෑගල ඒජන්සියක ප්‍රධානීන් අත්අඩංගුවට ගත්තට දින කිහිපයකට පස්සේ රුසියාවට යවනවා කියන ඒජන්සියක් ඉස්සරහ සිය ගණනක් පොර කකා හිටිය කියල ගාමිණී වලේබොඩ මන්ත්‍රීතුමා මා එක්ක කීව.

ඒ නිසා රුසියාවට යන ගමන නැවතුණත් දරිද්‍රතාව, පිටරට යන්න තියන උනන්දුව වගේම ලංකාවේ වැසියන් ජාවාරම්වලට අසුවීමේ ඉහළ ප්‍රවණතාව නිසා ලංකාවේ මිනිස්සු ජාවාරම්කරුවන්ට අසුවීම ඉදිරියටත් ලෙහෙසියෙන් වළක්වාගන්න ලැබෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ.

බලධාරීන් වුණත් මේ සිද්ද්දවෙන දේ නොදැන හිටිය කියල හිතන්නත් අමාරුයි.

එක පැත්තකින් ලංකාවේ මිනිස්සු ඩොලර් ගේන්න පිටරට යන එක ගැන ආණ්ඩුවත් සතුටුයි. සතුටු විතරක් නෙමෙයි ආණ්ඩුව ඒක promote කරනවත් නේ.

අනෙක් පැත්තෙන් රැකියාවක් නැතුව, ණය තුරුස් වෙලා ජීවිතේ ගැටගහගන්න දඟලන දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් රට ඇතුළේ ඉන්නවා කියන එක ආණ්ඩුවට දේශපාලනිකවත් අභියෝගයක්.

අනික ඇත්තෙන්ම රුසියාව වගේ බලවත් මිත්‍ර රටක් අමනාප කරගැනීමත් ලංකාවට සුබදායක නැහැ. ඒ අතරේම ආණ්ඩුවේම සමහර ප්‍රධානීන් පවා මේ ජාවාරමට සම්බන්ධ බවටත් චෝදනා එල්ලවෙලා තිබුණ.

ඒ කවර හේතුවක් නිසා හරි මුලින්ම ආණ්ඩුවත් මේ ගැන මුලින් නිහඬව බලා සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමණය කළා ද කියලත් මට හිතෙනවා.

ප්‍රමාද වෙලා හරි පොලිසියත්, විදේශ අමාත්‍යාංශයත් ගත්ත පියවර නිසා රුසියාවට හමුදා භටයින් යැවීම දැන් තාවකාලිකව නැවතිලා.

ඒත් ලංකාවේ දස දහස් ගණනක් තරුණ පරපුර තවමත් ඉන්නේ මේ රටින් පිටවෙන්න කොයි මොහොතේද කියල බලාගෙන.

ඒ නිසා ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුවෙන රටක්, අනාගතයක් බිහිවෙන තුරු මිනිස් ජාවාරම්කරුවන්ට අපේ රටේ මිනිස්සු ගොදුරුවීම සම්පූර්ණයෙන් වලක්වන්න හැකි වෙන නැහැ කියල තමයි කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ.

– සරෝජ් පතිරණ

Leave A Comment