අපරාධකරුවන්ගේ නීතිමය නියෝජනය සහ නීතිඥ වගකීම
මෑතකදී සිදුවූ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතාගේ ඝාතනයත් සමඟ ශ්‍රී ලාංකේය සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. විශේෂයෙන්ම, “සංවිධානාත්මක අපරාධකරුවන්” ලෙස සමාජය විසින් හඳුන්වනු ලබන පුද්ගලයන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටීම මෙම කතිකාවේ කේන්ද්‍රස්ථානයක් ගත්තේය. නීතිඥවරුන් මෙලෙස පෙනී නොසිටින්නේ නම් අපරාධ ජාලය ඉක්මනින් මර්දනය කළ නොහැකිද? යන ප්රශ්නය සමාජය හමුවේ මතු විය.
මෙම සංකීර්ණ ගැටලුව සම්බන්ධයෙන් නීතිඥ හශානි පතිරණ ‘ඉන්සයිඩ් යූටියුබ් නාල්කාවේදී දැක්වූ අදහස් ඇසුරෙන්, නීතිඥ වෘත්තියේ සැබෑ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව මහා සමාජයේ ඇති වැරදි වැටහීම් නිවැරදි කිරීම මෙම ලිපියේ අරමුණයි.
‘අපරාධකරුවා’ යනු අධිකරණයේ තීරණයක් මිස සමාජයේ මතයක් නොවේ.
මාධ්‍ය සහ සමාජය විසින් යම් පුද්ගලයෙකු ‘සංවිධානාත්මක අපරාධකරුවෙකු’ ලෙස නම් කළද, නීතිය ඉදිරියේ ඔහු හෝ ඇය හුදෙක් සැකකරුවෙකු පමණි.
* නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, යම් පුද්ගලයෙකු සාධාරණ සැකයකින් තොරව අධිකරණයක් ඉදිරියේ වරදකරු වන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ.
* නීතිඥවරයෙකුගේ රාජකාරිය වන්නේ තම සේවාදායකයාගේ අපරාධයට ‘සුදුහුණු ගෑම’ නොව, ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියට සහය වීමයි.
*Cab-Rank Rule: ඕනෑම අයෙකුට නීති සහය ලැබීමේ අයිතිය
නීතිඥ වෘත්තියේ මූලික ආචාර ධර්මයක් වන මෙය, ටැක්සි රථයකට (Cab) නගින ඕනෑම මගියෙකු ඔහුගේ ගමනාන්තය දක්වා රැගෙන යාමට රියදුරා බැඳී සිටිනවා හා සමාන සංකල්පයකි.
* පුද්ගලික අපහසුතාවයක් හෝ වෘත්තීයමය ගැටුමක් නොමැති නම්, මාධ්‍ය හෝ සමාජය විසින් මවන ලද ප්‍රතිරූපය මත පමණක් පදනම් වී සේවාදායකයෙකු ප්‍රතික්ෂේප කිරීමට නීතිඥයෙකුට අයිතියක් නැත.
* යම් හෙයකින් සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥයෙකු ඉදිරිපත් නොවුණහොත් හෝ සැකකරුට ඒ සඳහා වත්කමක් නොමැති නම්, ඔහුට නීතිඥයෙකු ලබා දීමට රජය නීතිමය වශයෙන් බැඳී සිටී.
සේවාදායක රහස්‍යභාවය සහ නීතිඥ මුක්තියේ සීමාව
සාමාන්‍ය ජනතාව නිතර නගන ප්‍රශ්නයක් වන්නේ, ‘තමා මිනීමැරුමක් කළ බව සේවාදායකයා නීතිඥයාට පැවසුවහොත්, නීතිඥයා එය පොලිසියට නොකියන්නේ ඇයි?’ යන්නයි.
* සාක්ෂි ආඥා පනතේ 126 වැනි වගන්තිය: නීතිඥයෙකු සහ සේවාදායකයෙකු අතර හුවමාරු වන තොරතුරු රහසිගතව තබා ගැනීමට නීතිඥයා නීතියෙන් බැඳී සිටී. සිදු කර අවසන් වූ අපරාධයක් ගැන සේවාදායකයෙකු කරන පාපොච්චාරණයක් එළිදරව් කිරීමට නීතිඥයාට නොහැකිය.
* මුක්තියේ සීමාව: කෙසේ වෙතත්, නීතිඥයෙකුට සහය ලබා දිය හැක්කේ සිදුකර අවසන් වූ වරදක් වෙනුවෙන් පමණි. අනාගතයේදී අපරාධයක් කිරීමට උපදෙස් දීම, ආයුධ සැපයීම හෝ ඊට අනුබල දීම නීතිඥ වෘත්තියට අයත් නොවන අතර, එවැනි ක්‍රියාවකදී ඔහු නීතිඥයෙකු නොව අපරාධ සහායකයෙකු බවට පත්වී සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් ලබයි.
සමාජයේ වගකීම සහ නීතිඥ භූමිකාව
යම් පුද්ගලයෙකු අපරාධකරුවෙකු බවට පත්වන්නේ නීතිඥවරුන් නිසා නොවේ. එය පවුල, පාසල, ආගම සහ සමස්ත සමාජ ක්රමයේම බිඳවැටීමක ප්රතිඵලයකි. වෛද්‍යවරයෙකු, ගුරුවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකු අපරාධකරුවෙකුට සේවා සැපයීමේදී සමාජය ඔවුන්ව විවේචනය නොකළද, නීතිඥවරුන් පමණක් ඉලක්ක කර ගැනීම නීතිය පිළිබඳ සමාජයේ ඇති නොදැනුවත්කම පෙන්නුම් කරයි.
මෑතකදී නීතිඥ සංගමය විසින් ගනු ලැබූ වර්ජන ක්‍රියාමාර්ගය ද අධිකරණය කඩාකප්පල් කිරීමේ අරමුණින් නොව, තම වෘත්තීය සගයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස රජයට බලකිරීමේ අරමුණින් ගත් පියවරකි.
| නෙත්මා හෙට්ටිආරච්චි

