ආර්ථික අර්බුදයෙන් බැට කන ලාංකිකයින්ගේ ඛේදවාචකය

යුද්ධෙට ගිහින් මම මැරුණොත් දරුවන්ට හරි වන්දියක් ලැබේවිනේ මහත්තයෝ” – ආර්ථික අර්බුදයෙන් බැට කන ලාංකිකයින්ගේ ඛේදවාචකය

විශේෂයෙන්ම පසුගිය දශක දෙකක් පුරා ලංකාව පාලනය කළ රාජපක්ෂ සහෝදරයින් වගේම මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ කියන පාලකයින්ගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති සහ බරපතල වංචා, දූෂණ නිසා උණසන්නිපාතය හැදිලා බංකොලොත් වුණ ලංකාවේ ආර්ථිකය දැන් යළිත් වර්ධනය වීමේ මාර්ගයට එළඹිලා කියල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව වගේ ජාත්‍යන්තර ආයතන කියනවා.

අප්‍රේල් 02 වෙනිදා ශ්‍රී ලංකාව ගැන අර්ධ වාර්ෂික වාර්තාව නිකුත් කරපු ලෝක බැංකුව කියන විදියට 2024 දී ලංකාවේ ආර්ථිකය 2.2% කින් වර්ධනය වීමේ මාර්ගයට අවතීර්ණ වෙලා. මීට කලින් අවුරුද්දේ ලංකාවේ වර්ධන වේගය තිබුණේ සෘණ 2.3ක්.

එක පැත්තකින් ගත්තම මහ පොළොවේ යතාර්ථය කවරක් වුණත්, ලංකාව වගේම ආර්ථිකයේ පතුලටම කඩා වැටිලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිටෙන් ඔලුව උස්සපු පාකිස්ථානය වගේ රටක් ආයෙත් වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලන්න සැරසෙද්දී ලංකාව මේ තරම් ඉක්මනින් ඔලුව උස්සන්න උත්සහ කිරීම ඇත්තෙන්ම අගය කළ යුතු තත්වයක්.

ඇත්තටම රනිල් වාදීන් හැම දෙනෙක් වගේම පොහොට්ටුව ඇතුළු රනිල්ට සමිප අය කියන්නෙත් ඒ කතාවම තමයි. ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන ආකාරයට ලංකාවේ ආර්ථිකය වර්ධනය වීමේ මාර්ගයට පිවිසිලා නම් පැහැදිලිවම ඒ ක්‍රියාමාර්ගයට නායකත්වය දීමේ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිවිය යුතුයි.

නමුත් ලෝක බැංකුව අඟහරුවාදා නිකුත් කරපු වාර්තාවේ තිබුණ තවත් ප්‍රධානම කරුණක් රනිල්වාදී බොහෝ විශ්ලේෂකයින් අමතක කරනවා. ඒ තමයි දිගින් දිගටම වාර්තාගත ලෙසින් ඉහළ යන දිළිඳුකම, ආදායම් බෙදී යාමේ විෂමතාව වගේම නාගරික පළාත්වල සහ කාන්තාවන් අතර ශ්‍රම බලකායට ලැබෙන දායකත්වය පහළ වැටීම.

විශේෂයෙන්ම, ලෝක බැංකුව පෙන්වා දෙන විදියට පසුගිය අවුරුදු හතර පුරාම ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රතිශතය දිගින් දිගටම වැඩි වෙලා. 2023 දී ලංකාවේ ජනගහනයෙන් ජීවත් වුණේ 25.9% ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ.

ජාත්‍යන්තර සංවිධානත්, ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත්, ආර්ථික විශේෂඥයිනුත් ලංකාවේ ආර්ථිකය ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරද්දී, විශේෂයෙන්ම රටේ ආර්ථිකය ආයෙත් හොඳ ට්‍රැක් එකකට වැටිලා කියල ඔවුන් කැට තියල කියද්දී ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ඒ බව ඇඟට දැනෙනවද?

ඒ ප්‍රශ්නෙට දෙන්න තියන හොඳම පිළිතුර ජීවිතේ පරදුවට තියල හරි මේ රටින් පැනගන්න බලන දස දහස් සංඛ්‍යාත පිරිසගේ අත්දැකීම් කියල මට හිතෙනවා. තරුණ පිරිස් වගේම, වැඩිහිටියනුත් නුපුහුණු ශ්‍රමිකයින් වගේම සරසවි ගුරුවරුන් සහ වෛද්‍ය විශේෂඥයින් වගේ බුද්ධිමතුනුත් ඒ අතර ඉන්නවා.

“මම බලාගෙන ඉන්නේ මේ කාලකන්නි රටෙන් පැන ගන්නේ කොයි වේලාවේද කියල,” අවුරුදු 34ක තරුණයෙක් කලකිරීමෙන් මට වට්ස්ඇප් පණිවුඩයක් එවල තිබුණ.

ඔහු තාමත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබලෙක්. කොයි තරම් ජීවිත අවදානමක් තිබුණත් දැන් සති කිහිපයක් තිස්සේ ඔහු උත්සහ කරන්නේ ලංකාවෙන් පිටවෙලා රුසියානු-යුක්රේන යුද්ධයට සම්බන්ධ වෙන්න.

කොහොම වුණත් ඔහු විශ්වාස කරන දේශපාලනය නිසා යුද වදින දෙපැත්තෙන් එක පාර්ශවයකට ඔහු කැමති නැහැ.

රුසියානු-යුක්රේන යුද්ධයට බැඳෙන්න උදවු කරන්න කියල ඒ තරුණයා ඇතුළු විශාල පිරිසක් උත්සහ කරමින් ඉන්නේ යුද්ධයට බැඳුනු ශ්‍රී ලාංකිකයින්ට අත්වුණ ඉරණම ගැන නොදැන නෙවෙයි.

රුසියාවත් එක්ක යුක්රේනයට විරුද්ධව සටන් කරන ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනක්වත් බිමේ දී මියගිහින් කියල අල් ජසීරා ජාත්‍යන්තර පුවත් සේවය පසුගියදා වාර්තා කරලා තිබුණ. (https://www.aljazeera.com/news/2024/3/26/waiting-for-a-call-from-daddy-sri-lankans-die-in-ukraine-for-both-sides) බලහත්කාරයෙන් වගේ සටන් පෙරමුණට යවපු එක සෙබලෙක් රතු කුරුස සංවිධානයේ පිහිටෙන් මෑතදී ලංකාවට පැමිණි බවත් වාර්තාවෙනව. දැනගන්න තිබෙන ආකාරයට රුසියානු හමුදාවට බැඳුනට පස්සේ එයින් ඉවත්වෙලා ආපු එකම ලාංකිකයා ඔහුයි.

යුක්රේනය වෙනුවෙන් සටන් කරද්දී මිය ගිය රනිෂ් හේවගේ ගැන වගේම යුක්රේනයට එරෙහිව රුසියාවත් එක්ක එකතුවෙලා සටන් කරන සෙබළු ගැනත් මම “Sandeshaya by Saroj” නාලිකාවේ වාර්තා කළාට පස්සේ (https://www.youtube.com/watch?v=Ck7ygBf4qOs&t=2s) ලංකාවේ විතරක් නෙවෙයි මැලේසියාවේ කොටුවෙලා ඉන්න මිනිස්සු පවා, සිය ගණනක පිරිසක්, විස්තර අහල මට calls දුන්න, msg කළා.

“මාව මැරුණත් කමක් නෑ, මගේ දරුවන්ට වන්දියක් හරි ලැබේවිනේ,” එහෙම කිවුවේ එක්කෙනෙක් දෙන්නක් නෙවෙයි.

ඒ හැම දෙනෙක්ම වගේ ගෙයක් හදාගන්න, දරුවන්ගේ අධ්‍යාපනයට, දරුවන්ගේ නැත්නම් දෙමාපියන්ගේ බෙහෙත් හේත්වලට ලක්ෂ ගණන් ණය වෙලා. ඒ මදිවට සමහරු රටින් පිටවෙන්න කියල ඒජන්සිවලට තවත් ලක්ෂ ගාණක් ගෙවල බව අල් ජසීරා නාලිකාව පළ කළ දීර්ඝ ලිපියේ දැක්වෙනවා. හමුදාවෙන් විශ්‍රාම ගියපු අය වගේම තවමත් හමුදාවේ සේවය කරන සොල්දාදුවනුත් මේ අතරේ ඉන්නවා. ඒ බොහෝ දෙනා කියන්නේ මේ රටේ ඉඳල නම් සෙතක් වෙන්නේ නෑ, ඒ නිසා රුසියාවේ යුද්ධෙට ගිහින් මැරුණත් කමක් නෑ කියල.

දැනටමත් රුසියාවේ යුද්ධයට බැඳිලා ඉන්න දෙසීයකට වැඩි ශ්‍රී ලාංකිකයින්ගේත්, යුද්ධයට බැඳෙන්න යන්න මාර්ගයක් හොයන තවත් සිය ගණනක් පිරිසගේත් එකම අභිප්‍රාය ආර්ථික අර්බුදය නිසා වැටුණු වලෙන් ගොඩ ඒම. එහෙම ගියොත් තමන්ගේ ජීවිතේ නැති වුණත් දරු මල්ලන්ට හරි හොඳ කලක් යාවි කියල එයාල විශ්වාස කරනවා.

ඒත් ඒ විශ්වාසය පවා මිරිඟුවක් වෙන්න පුළුවන් බවත් ඒ සමහරු නොදන්නවා නෙවෙයි.

ආර්ථික විද්‍යාවෙන් ගණන්, හිලවු හදන ඉහළ පන්තියේ ආචාර්ය, මහාචාර්යවරු වගේම පාලක පැලැන්තියත් පිළිගන්න අකමැති තිත්ත ඇත්ත ඒකයි.

ඒ අතරේ පාසල් ගාස්තු ගෙවාගන්න බැරුව 11 හැවිරිදි දියණිය අවුරුදු දෙක හමාරක් පාසල් නොයවපු අම්ම කෙනෙක් මට හමුවුණා.

ඇය ප්‍රතිභා ප්‍රනාන්දු. (https://www.youtube.com/watch?v=W_ixWhv19X0) හිටපු මාධ්‍යවේදිනියක් සහ හිටපු ගුරුවරියක්. ආර්ථික අර්බුදයත් එක්ක මතුවුනු සිදුවීම් දාමයක් නිසා ඇයටත්, සැමියාටත් රැකියා අහිමි වෙලා. ඒ අතරේ ඔවුන් උකස් තියල තිබුණ නිවස පවරාගන්න බැංකුව උත්සහ කරලා.

මේ සියල්ල හමුවේ ක්‍රියාකාරීව ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වෙලා හිටපු කාලයේ තමන් සහ සැමියා දෙදෙනාම රනිල් වික්‍රමසිංහ පාලනයේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් ප්‍රහාර නිසා දැන් ශ්වසන රෝගීන් බව ප්‍රතිභා මා එක්ක කීව.

පාරට බැස්සොත් යන යන තැන අහන්න ලැබෙන්නේ ඒ වගේ කඳුළු කතාවල්.

දරුවන්ට එක වේලක් කන්න දෙන්න බැරුව ලතවෙන කළුතර, ගල්ලැස්සේ අම්මලා ටික කලකට ඉහතදී හමුවුන වෙලාවේ ඔවුන් කිවුවේත් ඒ වේදනාව. (https://www.youtube.com/watch?v=t6lKNYV0D-I&t=8s)

ආර්ථික විද්‍යාවෙන් ගණන් හදන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හරි ලෝක බැංකුවට හරි මහ පොළවේ දුක් විඳින මේ මිනිස්සුන්ගේ වේදනාව පේන්නෙ නැහැ. කවුරුවත් ඔවුන්ට කියන්නෙත් නැහැ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටසක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මූල්‍ය බලතල තියන පාර්ලිමේන්තුවට පවා වසන් කරමින් පාලකයින් සමග පමණක් සාකච්ඡා කරමින් ගෙනෙන සංශෝධනවලින් ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත දුප්පතුන්ගේ වේදනාවට සැබෑ සහනයක් ලැබේවි කියල විශ්වාස කරන්නත් බැහැ.

සරෝජ් පතිරණ

Tags:

Leave A Comment