නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් සාධාරණ සමාජය සම්පාදනය කළ දස වැදෑරුම් යෝජනා

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත’ නම් කතිකාවේ දී ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සාමූහික සාකච්ඡා වට ගණනාවකින් පසු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් මීට කලකට පෙර ප්‍රසිද්ධ කළා. එහි තේමාව වුණේ ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ‘දස වැදෑරුම් යෝජනා’ යන්නයි. එහි සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු කොටස් ගැන යෝජනා වුණේ නැහැ.

එහි මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම, රාජ්‍යයේ ස්වරූපය සහ පරමාධිපත්‍ය ගැන සඳහන් කළ යුතු බවට අදහසක් අප අතර තිබුණා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම ගැන සඳහන් නොවුණත් වර්තමාන ලෝකයේ සෑම අවස්ථාවකම වාගේ ව්‍යවස්ථා මූලධර්ම ගැන ප්‍රකාශයට පත්කරනවා. යම්කිසි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමට අවශ්‍ය වුණොත් මේ මූලධර්ම ගැන සටහන වැදගත් වෙනවා, ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා.

අපේ දස වැදෑරුම් යෝජනා වල ‘නිදහස්, ස්වෛරී, ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වාධීන ජනරජයක් වන ශ්‍රී ලංකාව පහත සඳහන් මූලධර්ම මත ගොඩනැගී ඇත’ යනුවෙන් සඳහන් කරලා තිබුණා. එහි මූලික මූලධර්ම ලෙස, මානව ගෞරවය, සමාජ සාධාරණත්වය, සමානාත්මතාව සහ මානව හිමිකම් සහ නන් වැදෑරුම් නිදහස, වාර්ගිකත්වයෙන් තොරවීම සහ ලිංගික සමානාත්මතාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය සහ නීතියේ මහිමය, නිතිපතා පවත්වන මැතිවරණ සහ බහු පක්ෂ ක්‍රමය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය, වගවීම, ප්‍රතිචාරාත්මක වීම සහ පාරදෘශ්‍යභාවය.

මෙහි තවත් වැදගත් වගන්ති කිහිපයක් ඇතුළත්ව තිබුණා. ඒ අනුව, ‘ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම සහ පළාත්බද ආයතනවලින් සමන්විත ඒකීය රාජ්‍යයක් වනු ඇත’ කියන වගන්තිය තිබුණා මෙහි ‘ඒකීය’ යන්නෙහි අදහස වුණේ, නොබෙදු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්චින්න කොට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා ඇති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව සහ (අදාළ තැන්හි) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතිනු ඇති රාජ්‍යයක් වනු ඇත’ යන්නයි.

ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර පරමාධිපත්‍ය අත්හල නොහැක්කේය යන්නත්, පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් බව අපේ දස වැදෑරුම් වැඩපිළිවෙළේ සඳහන් වුණා.

  • ව්‍යවස්ථාදායකය

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබෙන දෙයක් තමයි, අපි ව්‍යවස්ථාදායකය පිළිබඳව ද යෝජනා කිහිපයක් සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක්, ව්‍යවස්ථාදායකයේ නිල කාලය වසර පහක් වීම, ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට හැරෙන්නට වෙනත් අවස්ථාවන්වලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි බව අපේ යෝජනා අතර තිබෙනවා. නමුත් අයවැය ලේඛනය පරාජයට පත්වීම, විශ්වාසභංගයක් සම්මත වීම, සති දෙකක් ඇතුළත නව ආණ්ඩුවක් පිහිටු වීමට නොහැකි වීම සිදුවන අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙනවා.

එසේ නොමැති නම්, විපක්ෂ නායකයාගේ සහ පාර්ලිමේන්තුවේ තුන්වන විශාලතම පක්ෂයේ නායකයාගේ එකඟත්වය ඇතිව අගමැතිවරයා විසින් සභාගත කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. මෙහි දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2/3ක බහුතර බලයක් අවශ්‍යයි කියන 19 වැනි සංශෝධනයේ යෝජනාව අපේ දස වැදෑරුම් යෝජනා වලදී වෙනස් කළා. ඒකට හේතුව තමයි මෙවැනි යෝජනාවකට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ගැනීම අසීරුයි. ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ තුනේම එකඟත්වයකින් පමණයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ. මේ අවස්ථාවේ දී විපක්ෂ නායකවරයාගේ සහ පාර්ලිමේන්තුවේ තුන්වන විශාලතම පක්ෂයේ නායකයාගේ එකඟත්වය සහිතව අගමැතිවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කළ යුතුයි. එසේ නොමැති අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැහැ.

පක්ෂ මාරුවට විධිවිධාන

පක්ෂ මාරුව ලංකාවේ දේශපාලනය තුළ කාලයක් පුරා දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. පක්ෂ මාරුවක් කළාට පස්සේ පක්ෂයෙන් නෙරපීම වළක්වා ගන්න දිස්ත්‍රික් අධිකරණයට ගිහින් අතුරු තහනම් නියෝගයක් ගන්නවා. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයකින් තොරව ඉදිරි කාලය ආණ්ඩුවට සහයෝගය දෙමින් ඉන්නවා.

පක්ෂ මාරුව සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිකර්මයක් යෝජනා කළා. ඒ අනුව යම් මන්ත්‍රීවරයෙක් පක්ෂ මාරුව හේතුවක් කර ගනිමින් පක්ෂයෙන් ඉවත් කළොත් දිස්ත්‍රික් අධිකරණයට ගිහින් වාරණ නියෝගයක් ගන්න බැහැ, ශ්‍රේෂ්ඨාධිකරණයටම යා යුතුයි. නමුත් මේ යෝජනාවට එදා විපක්ෂය ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා එම යෝජනාව ඉවත් කර ගැනීමට අපට සිදු වුණා. සාධාරණ සමාජය ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට අදාළ දස වැදෑරුම් වැඩපිළිවෙළට පක්ෂ මාරුව සම්බන්ධ මේ යෝජනා ඇතුළත් කරලා තිබෙනවා.

ඒ වගේම අපි දෙවන මන්ත්‍රණ සභාවකුත් යෝජනා කරලා තිබෙනවා. නිසි පරිදි බලතල බෙදා ගත්ත බොහෝ රටවල දෙවන මන්ත්‍රණ සභාවක් තිබෙනවා. ඒ අනුව සෑම පළාතකින්ම ‘පැවරිය හැකි තනි ඡන්ද ක්‍රමය’අනුව නියෝජිතයින් 05 දෙනකු දෙවන මන්ත්‍රණ සභාවට පත් කළ යුතුයි. ලංකාවේ පළාත් 09 අනුව දෙවන මන්ත්‍රණ සභාව නියෝජිතයින් 45 දෙනෙකුගෙන් සමන්විත වෙනවා. මේ පස් දෙනා පත් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට නොහැකි වුණත් විකල්ප දෙකක් ඉදිරිපත් වුණා. පළමු විකල්පය වුණේ, දෙවන මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් පොදු හා වෘත්තීය ජීවිතයේ දස්කම් පෑ, කීර්තිමත් හා අවංකභාවයෙන් යුතු පුද්ගලයින් විය යුතු බවයි. දෙවන යෝජනාව වුණේ,  පත්කර එවන නියෝජිතයින් පළාත් මන්ත්‍රීවරු විය යුතුය, හෝ පළාත් ඇමතිවරුන් ද පත්කර එවිය හැකිය යන්නයි.

සාමාන්‍ය නීති සංශෝධනය කිරීමට දෙවන මන්ත්‍රණ සභාවට බලයක් නැති බවත්, පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන සියලු පනත් කෙටුම්පත් පිළිබඳව දෙවන මන්ත්‍රණ සභාවේ මතය අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමට පෙර ලබා ගැනීම සඳහා එම මන්ත්‍රණ සභාවට යොමු කළ යුතු බවත් අපි අපේ දස වැදෑරුම් වැඩපිළිවෙළ තුළින් යෝජනා කළා.

කෙසේ වෙතත් පළාත් සභා ලැයිස්තුවේ ඇතුළත් විෂයක් හෝ කාරණයක් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති හෝ  ප්‍රමිති සෑදීම සඳහා වූ පනත් කෙටුම්පතක් දෙවන මන්ත්‍රී මණ්ඩලය විසින් ද සම්මත කළ යුතු බව අපි යෝජනා කළා. එසේම දෙවන මන්ත්‍රී මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් නියම කරනු ලබන අධීක්ෂණ හා අනෙකුත් කාර්යයන් ඉටු කළ හැකි බව අපි යෝජනා කර තිබෙනවා.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී නම් මණ්ඩල දෙකම 2/3ක බලයකින් එය සම්මත කළ යුතු බව දස වැදෑරුම් යෝජනා තුළ තිබෙනවා.

විධායක ගැන පැහැදිලි අදහසක්

විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධ ඉතාම පැහැදිලි අදහසක් මාදුළුවාවේ සෝහිත හිමියන් විසින් ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරයට තිබෙනවා. ඒ අනුව ඉතාම පැහැදිලිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස අපි යෝජනා කර තිබෙනවා.

අපේ යෝජනාව වන්නේ, ජනාධිපතිවරයා ඒකාබද්ධව රැස් වෙන පාර්ලිමේන්තුව සහ දෙවන මන්ත්‍රී මණ්ඩලය විසින් තෝරා පත්කර ගත යුතු බවයි. අපි උප ජනාධිපතිවරයෙක් ද යෝජනා කර තිබෙනවා. මෙසේ පත්කරන උප ජනාධිපතිවරයා ජනාධිපතිවරයා නියෝජනය කරන ජන වර්ගයට අයත් නොවිය යුතු බවත් අපේ යෝජනාවක්.

ජනාධිපතිවරයා විධායකයේ නාමික ප්‍රධානියා විය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව සඳහන් කර ඇති අවස්ථාවල දී හැර අන් සියලු අවස්ථාවල දී අග්‍රාමාත්‍යවරයා මඟින් තමාට අමාත්‍ය මණ්ඩලය විසින් දෙන උපදෙස් අනුව ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු බවයි සාධාරණ සමාජයේ දස වැදෑරුම් යෝජනා නිර්දේශ කරන්නේ.

එසේම ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් සිටිය යුතු බවත්, අමාත්‍ය මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටිය යුතු බවත් අපි යෝජනා කර තිබෙනවා.

එසේම ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබෙන මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කළ යුතුයි, නමුත් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සම්මත වුවහොත් හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් වුවහොත් අග්‍රාමාත්‍යවරයා ‘ඉල්ලා අස් වූ ලෙස’ සැලකෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් සාධාරණ සමාජයේ යෝජනාව වන්නේ, අදාළ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර රාජ්‍ය සේවා කොමිෂම විසින් ඔවුන් පත් කළ යුතු බවයි.

  • බලය බෙදා හැරීම

අපේ දස වැදෑරුම් යෝජනා අතර බලය බෙදා හැරීම සම්බන්ධ කාරණය වෙත වඩාත් පුළුල්ව අවධානය යොමු කර තිබෙනවා. අනුපූරකතා මූලධර්ම, එනම්, යම් කාර්යයක් වඩාත් කාර්යක්ෂම පහළ මට්ටමක් විසින් කළ හැකි නම්, එම මට්ටමට බලය පැවරීම අනුව උපරිම බලය බෙදා හැරීම කළ යුතු බව අපේ යෝජනාවයි. පළාත් පාලනය ආණ්ඩුකරණයේ ස්ථරයක් ලෙස පිළිගත යුතු අතර ආණ්ඩුකරණයේ ස්ථර තුන අතර විෂයන් සහ කාර්යයන් වෙන් කිරීම අනුපූරකතා මූලධර්මයේ මග පෙන්වීම අනුව සිදුවිය යුතු බවත්, එසේ වෙන් කිරීම පැහැදිලි සහ නිශ්චිත විය යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තොරව ඒවා අභිබවා නොයා යුතු බවත් සාධාරණ සමාජය යෝජනා කළා.

පළාත බලය බෙදීමේ ප්‍රාථමික ඒකකය විය යුතු බව අපේ යෝජනාවයි. පළාත් සභාවක නිල කාලය වසර පහක් විය යුතු අතර, සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතු බව අපි යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය මෙන් පළාත් සභා මැතිවරණය ද නිතිපතා පැවැත්වෙන බව සහතික කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව අපේ නිර්දේශ අතර තිබෙනවා.

පළාත් සභාවේ දී පරිපාලනය කෙරෙහි විශ්වාසභංගයක් සම්මත වුවහොත් හෝ විසර්ජන පනත් කෙටුම්පත් (අයවැය) පරාජයට පත් වුවහොත් හෝ පළාත් පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරාජයට පත් වුවහොත් හෝ, පිහිටුවන නව පරිපාලනය සති දෙකක් ඇතුළ විශ්වාසය පළ කරන යෝජනාවකින් ජයගතහොත් මිස පළාත් සභාව විසුරුවා හැරිය යුතු බවට සාධාරණ සමාජය සිය දස වැදෑරුම් යෝජනාවලින් නිර්දේශ කළා. එතැන් සිට අනෙකුත් පළාත් සභා සංස්ථාපනය කිරීම සඳහා පවත්වන මැතිවරණ සමඟ පළාත් සභාවේ මැතිවරණය පවත්වන තෙක් පළාත් පරිපාලනය ආණ්ඩුකාරවරයා භාරයේ පැවතිය යුතු බව සාධාරණ සමාජයේ යෝජනාවයි.

ඉතිරි කොටස හෙට

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 300 වන කතිකාවේ දී (නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත) ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment