මැතිවරණ ක්‍රියාවලිය හමුවේ රටේ ආර්ථිකය
- Editor
- December 3, 2024
- ආර්ථික, සිංහල Header
- Economy
- 0 Comments
මහා මේඝ
මේ දවස්වල තවත් ඡන්දයක් සම්බන්ධ සාකච්ඡාවක් කරලියට ඇවිල්ලා. ඒ පවත්වන්න නියමිතව තිබිලා කල්ගිය පලාත් පාලන ඡන්දය සම්බන්ධවයි.පලාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකුත් තියනවා. ඒක නිසා කොහොමත් පලාත් පාලන මැතිවරණය ඉක්මණින් තියන්න ඕනි.
දැනට ආණ්ඩුව පැත්තෙන් කියන්නේ ලබන අවුරුද්දේ ජනවාරිවල පලාත් පාලන ඡන්දය තියනවා කියලයි.පලාත් පාලන මැතිවරණයේ නාම යෝජනා බාරගත්තත් මැතිවරණය තියන්න හිටපු ආණ්ඩුව කටයුතු කළේ නෑ. ඒකට හේතුව විදිහට කිව්වේ ඒ වෙනුවෙන් වැය කරන්න ආණ්ඩුවට සල්ලි නෑ කියලයි. කොහොම උනත් ඒ බාරගත්ත නාමයෝජනා කැන්සල් කළේ නෑ.
තවදුරටත් ඒ නාමයෝජනා වලංගුයි. ඇත්ත වශයෙන්ම ඒ නාමයෝජනා සම්බන්ධව ප්‍රායෝගික ප්‍රශ්නයක් තියනවා. සමහර අපේක්ෂකයෝ ඒ හිටපු පක්ෂවල දැන් නෑ.සමහරු මිය ගිහින්. තවත් සමහරු පහුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරිලා. මේ තත්වය සියලු දේශපාලන පක්ෂවලට බලපාලා තියෙන නිසා පලාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරලා අලුතෙන් නාමයෝජනා කැදවන්න තියන ඉඩ වැඩියි.
ඒ යෝජනාව බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වෙයි. මෙතනදී ජනවාරි මාසේ පාලාත් පලන මැතිවරණය තියන්න ආණ්ඩුව සැලසුම් කරනවා නම් ඊට මුදල් වෙන්කර ගන්න මේ පාර්ලිමේන්තු සතිය ඇතුලත අතුරු සම්මත ගිණුම හරහා මුදල් වෙන් කරගන්න ඕනි.
දේශපාලන වශයෙන් හිතද්දී ආණ්ඩුව හිතනවා ඇත්තේ ඉක්මනින් පලාත් පාලන මැතිවරණයට යන එක හොඳයි කියලයි. අයවැයෙන් පස්සට පාලාත් පාලන මැතිවරණය ගැනීමට මේ පවතින තත්වය වඩාත් අපහසු වෙන බව ආණ්ඩුව දන්නවා. ඇත්තටම පහුගිය මැතිවරණ ක්‍රියාවලිය ඇතුලේ අපට ජනාධිපතිවරණය නොවැලැක්විය හැකි දෙයක්.
හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ තියපු මහ මැතිවරණය ජනාධිපතිවරයා විසින් ගත්ත දේශපාලන තීරණයක ප්‍රතිපලයක්. ඒ තීරණයෙන් දැවැන්ත දේශපාලන ජයග්‍රහණයක් මාලිමාවට ලැබුණා තමයි. හැබැයි අපේ රටේ ආර්ථිකය ඉළක්කවල යම් පසුබෑමක් වෙලා තියනවා.එකක් තමයි ජනාධිපතිවරණයත් එක්ක බිඳ වැටුණ වෙළඳපොල ක්‍රියාවලිය තවම සක්‍රීය වෙලා නෑ.
පලාත් පාලන මැතිවරණය ජනවාරිවල තියනවා නම් ඒ දක්වාම වෙළඳපොල ක්‍රියාවලිය සක්‍රීය වෙන්නේ නෑ. අනික තමයි අපේ රටේ මූල්‍ය කළමණාකරණ ක්‍රියාවලියත් එක්ක ගැටගැහිලා තියෙන IMF වැඩපිලිවෙලේ බිඳ වැටීම. අපි දන්නවා අපිට IMF තුන්වෙනි සමාලෝචනය යෙදිලා තිබුණේ ඔක්තොම්බර් මාසෙට. තුන්වෙනි සමාලෝචනය අවසන් වෙනවත් එක්ක නොවැම්බර් මාසේ අයවැය ඉදිරිපත් කරන්න නියමිතව තිබුණේ.
එකක් මහ මැතිවරණය නිසා IMF තුන්වෙනි සමාලෝචනය ඔක්තොම්බර් තියන්න උනේ නෑ. ඒක නොවැම්බර් දක්වා කල් ගියා. අනික මහ මැතිවරණය නිසා මේ නොවැම්බර්වල අයවැයක් ඉදිරිපත් කරන්න කොහොමවත් බෑ. අයවැය සම්මත කරගැනීම 2025 මාර්තු දක්වා කල්යනවා. ඒ නිසාම IMF හතර වෙනි වාරිකය අයවැයෙන් පස්සට කල් යනවා. බොහෝ වෙලාවට ඒක අප්‍රේල් දක්වා කල් යයි.
ඒක නිසා මැතිවරණ ක්‍රියාවලිය ඇතුලේ රටේ අර්ථික ස්ථායිකරණයට යම් බාධා පැමිණෙන බව පිලිගන්න ඕනි. ඒ් වගේම පලාත් පාලන මැතිවරණයත් රටේ අර්ථික ස්ථායිකරණ ක්‍රියාවලියට සහ IMF ක්‍රියාවලියට යම් බලපෑමක් කරන බව පිලිගන්න ඕනි. ඒකෙන් කියන්නේ මැතිවරණ තියන්න අවශ්‍ය නෑ කියලා නෙවෙයි.
අනිවාර්යයෙන්ම කලට වෙලාවට මැතිවරණ තියන්න ඕනි. ඒ වගේම මැතිවරණ ක්‍රියාවලිය අපේ රටේ අර්ථිකයට ගේන අසුභවාදී බලපෑම අවම කරගන්න එකත් පාලකයන්ගේ වගකීමක්. මොකද අපි තවමත් බරපතල ආර්ථික අර්බුදයක් හමුවේ ඉන්න රටක්. ආර්ථිකයේ වෙන පොඩි කම්පනයකින් ආයෙත් අපි හිටපු තැනට වැටෙන්න පුළුවන්.

