අර්බුදයෙන් ගොඩ ඇවිත් ද? කඩු තුඩෙන් ගැලවීමට කළ යුත්තේ කුමක් ද?
- Editor
- July 5, 2024
- ආර්ථික, මුල් පිටුව
- Economy
- 0 Comments
ශ්‍රී ලංකාව වසර කිහිපයක් පුරා මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට අලුත් කතිකාවතක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ ජනපතිවරයා පසුගිය 26 වැනිදා මේ සම්බන්ධයෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම සහ පසුගිය ජූලි 02 වැනි දා ‘ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව‘ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමය.
රට පුරා දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමින් ද, විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ දැන්වීම් පළ කරමින් ද ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමට විශේෂ වැදගත්කමක් ලබාදීමට පියවර ගෙන තිබූ අතර සිය දීර්ඝ ප්‍රකාශය මගින් එදින ජනපතිවරයා පවසා සිටියේ, ‘ ජූනි 26 වැනිදා පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත්ය. රටට ආදරය කරන සියලුදෙනාට මෙය සුබ ආරංචියක් බව පැවසීමට ද ජනපතිවරයා මේ අවස්ථාවේදී අමතක නොකළේය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට සමාජය තුළ මිශ්‍ර ප්‍රතිචාර පළ වූ අතර මෙහි පොදු අදහස වූයේ ‘ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදය සහ බංකලොත්භාවය‘ අවසන් බවය.
මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය 184 වැනි කතිකාවත සංවාදය ‘අර්බුදයෙන් ගොඩ ඇවිත් ද? කඩු තුඩෙන් ගැලවීමට කළ යුත්තේ කුමක් ද?‘ මැයෙන් පසුගිය ඉරිදා පැවැත්වීය. මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සංවාදයට ….ආයතනයේ සාර්ව ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල සහ ආචාර්ය මහේෂ් හපුගොඩ එක්ව සිටීහ.
ආර්ථික අර්බුදයේ ආරම්භ 2007 වුණත් හැරවුම් ලක්ෂය යහපාලන සමය – මහාචාර්ය රොහාන් සමරජීව
මෙම සංවාදයට ප්‍රවේශයක් ගනිමින් මහාචාර්ය රොහාන් සමරජීව ණය අර්බුදය රටේ සාමාන්‍ය ජනජීවිතයට බලපාන ආකාරය සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛනාත්මක පැහැදිලි කිරීමක් කළේය. කාර්තු හයක් ඍණ තත්ත්වයට ගිය, නැතහොත් සංකෝචනය වෙමින් පැවැති මෙරට ආර්ථිකය වර්තමානය වන විට ධනාත්මක ප්රවණතා පෙන්වමින් සිටින බවය. එය අර්බුදයේ ආරම්භයට පෙර පැවැති තත්ත්වය සමාන නොවූව ද සැලකිය යුතු ප්‍රගතියක් බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
සී.එල්.අයි ආයතනය විසින් පසුගිය දා නිකුත් කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ආර්ථිකය සියලුම අංශයන්ගෙන් (උද්ධමනය, පොලී අනුපාතය ආදි) සැලකිය යුතු ධනාත්මක තත්ත්වයක සිටින බව පැවසූ මහාචාර්ය සමරජීව කර්මාන්ත අංශයේ විදුලිබල ඉල්ලුම 14%කින් වර්ධනය වීම ධනාත්මක ලක්ෂණයක් බව කීවේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය රොහාන් සමරජීව මහතා, ‘පසුගිය දා පැවැති සාකච්ඡාවකදී විදුලිබල ඉල්ලුමේ සිදුවන වර්ධනය ගැන කතා කරද්දී ජාතික ජනබලවේගයේ නියෝජිතයෙක් කිව්වා දස ලක්ෂයකගේ විදුලිය විසන්ධි කරලා කියලා. නමුත් ලංකාවේ විදුලි පාරිභෝගිකයෝ ඉන්නේ ලක්ෂ 70යි. ඒ කියන්නේ 1/7කගේ විදුලිය විසන්ධි කරලා. මේක පුදුම කරුණක්. විදුලියට ඇති ඉල්ලුම වර්ධනය වෙලා. මම මේ පුදුමය ගැන සොයා බැලුවා. විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය පුරුද්දක් තිබෙනවා බිල නොගෙවන සම්බන්ධතා ඉතාම කඩිනමින් විසන්ධි කරනවා. අනෙක් ආයතනවලට වාගේ බිල් නොගෙවා කල්මරන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතිං මේ ගැන කරුණු විමසූ විට විදුලිබල මණ්ඩලය කියන්නේ, ‘ඔය කතා බොරු, අපි උදේට විදුලිය විසන්ධි කරනවා, ඔවුන් දවල්ට බිල ගෙවනවා. අපි ආයේ හවසට විදුලිය ලබා දෙනවා‘ කියලා. ඇත්තටම බිල්පත් නොගෙවීම නිසා ස්ථිර විසන්ධි කිරීම් කර ඇත්තේ 3300කට ආසන්න පිරිසකගේ පමණක් බවයි ඔවුන් කියන්නේ. මේක ආර්ථික අර්බුදයේ වත්මන් තත්ත්වය ගැන සරල පැහැදිලි කිරීමක් ලෙස ගත හැකියි‘
ආර්ථික අර්බුදයේ වත්මන් ප්රවණතා සහ තත්ත්වය ගැන පැහැදිලි කරමින් මහාචාර්යවරයා කීවේ ඇතැමුන් වත්මන් තත්ත්වය ලඝු කරමින් කතා කරන බවය. ණය නොගෙවීම නිසා වත්මන් යහපත් වාතාවරණය උදාවී පවතින බව ඔවුන් කියන බවය. නමුත් රට ආර්ථික අර්බුදයක් කරා ළඟා වූයේ කෙසේ දැයි වටහා ගැනීම වැදගත් බව ද මහාචාර්ය සමරජීව කීවේය.
‘මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නොකියන කරුණු කිහිපයක් කියන්න මම බලාපොරොත්තු වෙනවා. 2007 වන විට අපි බොහෝ විට ගත්තේ වානිජ නොවන ණය, නැතහොත් ද්විපාර්ශ්වික ණය. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වාගේ තැන්වලින් තමයි අපි ණය ගත්තේ. වසර 30ක් වැනි දීර්ඝ කාලයක් තුළ ගෙවන්න 02%ක් වැනි අවම පොළියකට තමයි ඒ කාලේ ලෝක බැංකුව ණය දුන්නේ. නමුත් මේ ණය සමග පරිසරය ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර ප්‍රසම්පාදනය (කැමැති කෙනෙකුට ටෙන්ඩරය දෙන්න බෑ) වාගේ විවිධ කොන්දේසි තිබුණා. නමුත් 2007 යුද්ධය තීව්රර වීමත් එක්ක ආණ්ඩුව කොන්දේසි සහිත සහනදායී ණය වෙනුවට, කිසිම ආකාරයක කොන්දේසියකින් තොර චීනයෙන් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ගැනීමට යොමු වුණා. මෙහි වැදගත්ම කොටස තමයි බැඳුම්කර ණය. ලෝකය පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පිරිසකගේ ආයෝජනවලින් සැදුම්ලත් මේ ණය දෙන කොට ‘අවදානම වැඩි රටවලට ඉහළ පොළියකුත්, අවදානම අඩු රටවලට අඩු පොළියකුත් අය කරනවා. මේ ණයවල ඇති විශේෂත්වය තමයි ලෝක බැංකුවට වාගේ හිමින් හෙමින් කාලයක් පුරා ගෙවන්න බැහැ. කල් පිරුණ ගමන් එකවර ගෙවිය යුතුයි. මේ ණය හමුදාවට ආයුධ ගැනීමට පවා වියදම් කළ හැකියි“
මෙහිදී මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ 2012 වන විට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය කල්පිරීම සහ ඒ වන විට ආරම්භ කර තිබූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ආදියට ලබාගත් ණය ආදි වශයෙන් තවත් ණය ගෙවීමට සිදුවීම සමග තව තවත් බැඳුම්කර ණය ගැනීමට සිදු වූ බවයි. මේ තත්ත්වය තුළ ‘ණයක් ගෙවීමට තවත් ණයක් ගැනීම‘ට යාමෙන් ‘ණය රොල් කිරීමට‘ ලංකාව සිදු වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස 2014 දී හදිසි ජනාධිපතිවරණයකට යාමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදුවූ බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
යහපාලන ආණ්ඩුව ද ‘ණය රෝල් කිරීමට‘ 2015 සිට 2019 දක්වා විශාල වශයෙන් ජාත්‍යන්තර ස්වෙරීත්ව බැඳුම්කර ණය ගත් බව කී මහාචාර්ය සමරජීව 2019 දී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ‘දැවැන්ත බදු කප්පාදුව‘ සමග ආණ්ඩුවට ණය ගෙවීමට ඩොලර් මිලදී ගැනීමට මුදල් අහිමි වූ බව ද පෙන්වා දුන්නේය. මේ අර්බුදකාරී තත්ත්වය තුළ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ සමාගම් 2020 දී ලංකාව ‘ණය ගෙවාගත නොහැකි‘ රටක් ලෙස පහත දැමූ බවත් ඒ සමග ‘ණය රෝල‘ හිර වූ බවත් පෙන්වා දුන්නේය. ඒ සමග කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දැමීම, විදේශ ප්‍රේෂණ අඩුවීම ආදි හේතු නිසා ආර්ථික අර්බුදය උග්‍ර වූ බව ද මහාචාර්ය සමරජීව සඳහන් කළේය.
‘2022 අප්‍රේල් මාසේ අර්බුදය උග්‍ර වීම සමග ආණ්ඩුව කිව්වා ‘අපි යම්කිසි ණය ප්‍ර භේදයන් ගෙවන්නේ නෑ. ඒ ණය හිමියෝ සමග සාකච්ඡා කරලා සහනයක් ලබා ගන්නවා කියලා. මේ අර්බුදය අවසන් වුණේ මේ ආකාරයෙන්‘ මහාචාර්ය සමරජීව ලංකාව ණය ගෙවාගත නොහැකි රටක් දක්වා ගමන් කළ ආකාරය පැහැදිලි කරමින් කීවේය.
කිසිම ආකාරයක ණය කපා හැරීමක් සිදුවන්නේ නැහැ – ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල
ජාත්‍යන්තර ණය ගෙවීමේ ක්‍රියාවලියේ වත්මන් ප්රවණතා ගැන පැහැදිලි කළ ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවාල කියා සිටියේ වත්මන් තත්ත්වය තුළ ‘කිසිම ණයක් නොගෙවා සිටීමක්‘ අදහස් නොවන බවය. 2028 දක්වා ද්විපාර්ශ්වික ණය වෙනුවෙන් පොළිය ගෙවීමට සිදුවන බවත් ණය වාරික ගෙවීම 2028 දී ආරම්භ වන බවත් ඔහු සඳහන් කළේය. වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් තිළිණ පඬුවාවල පෙන්වා දුන්නේ ලංකාව වැනි මධ්‍ය ආදායම් ලබන රටවලට කිසිම ආකාරයකින් ද්විපාර්ශ්වික ‘මූලික ණය කපා හැරීමක්‘ ලබාගත නොහැකි බවය.
තිළිණ පඬුවාවල මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද කීවේය. ‘මේක චීනය ද, ජපානය ද කියලා අදාළ නැහැ. ඔවුන් කරන්නේ ණය ගෙවීමට ලබා දෙන කාලය දීර්ඝ කිරීම පමණයි. ඒ නිසා 2028 සිට මුළු ණයම ගෙවන්න සිදුවෙනවා. මේකෙන් ලංකාවට පොඩි සහනයක් හිමි වෙනවා. නමුත් අපි ණය හිමියෝ සමග ගිවිසුම් අත්සන් කර ඒවා නැවත සමාලෝචනය කළ යුතුයි. යළි ගිවිසුම් ගත විය යුතුයි. ඒත් ඉදිරියේ මැතිවරණ සමයන් නිසා මේක කවදා කළ හැකිදැයි කියන්න බැහැ. ඒත් මේ ක්‍රියාවලියේ අවසානයක් දකින්න නම් මේ ගිවිසුම් ගත වීම අනිවාර්යයෙන් ම සිදුවිය යුතුයි‘
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ 2022 සිට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතුව තිබූ පොළිය ද ඇතුළත්ව අලුතින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීමක් සිදුකළ යුතු බවය. මේ සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන් ඉදිරිපත් කර ඇති යෝජනා සහ ආණ්ඩුවේ යෝජනා අතර යම්කිසි ආකාරයක ගැටුම්කාරී තත්ත්වයක් පවතින බවත් ජූලි මාසය අවසන් වන විට මෙම එකඟතා අවසන් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් පඬුවාවල කීවේය.
චීන ණය සම්බන්ධයෙන් ද යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බවත් එම ගැටලුව ද විසඳා ගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට යා යුතුව ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

අර්බුදයෙන් ගොඩඒමේ ගෞරවය සාමාන්‍ය ජනතාවටයි – ආචාර්ය මහේෂ් හපුගොඩ
ණය අර්බුදය සාමාන්‍ය ජනතාවට බලපා ඇති ආකාරය පැහැදිලි කරමින් ආචාර්ය මහේෂ් හපුගොඩ කියා සිටියේ ලංකාව මෙන්ම බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ග්‍රීසිය වර්තමානය වන විට ඉතාම ධනාත්මක තැනකට පැමිණ ඇති බවයි. දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද ග්‍රීසියේ ධනාත්මක ගමන ඇගයීමට ලක්ව ඇති බව පෙන්වා දුන් ආචාර්ය හපුගොඩ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සම්බන්ධයෙන් ග්‍රීසිය යහපත් පූර්වාදර්ශයක් බව ද සඳහන් කළේය.
ග්‍රීසියේ තත්ත්වය සමග ශ්‍රී ලංකාව සැසදීමක් කරන්නේ නම් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී වඩාත්ම වේගයෙන් යළි යථා තත්ත්වයට පත් රට ලංකාව බවයි. ලංකාව සහ ලංකාවේ මිනිසුන් ලෝකයේ අනෙක් රටවල ජනතාවට වඩා ධනාත්මක බව මෙම අර්බුදයේදී පැහැදිලි වූ බවත් ආචාර්ය හපුගොඩ වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ආචාර්ය හපුගොඩ මෙසේ ද සඳහන් කළේය, ‘අපි බංකලොත් බව කිව්වත්, අපේ ජනතාව සිතාගත නොහැකි තරම් ශක්තියකින්, ජවයකින් හා අනුරාගයකින් ආර්ථික ක්‍රියාකාරීත්වයට දායක වුණා. පසුගිය නත්තල, සිංහල අලුත් අවුරුද්ද, වෙසක් සහ පොසොන් දිනය ඔවුන් ජයටම සැමරුවා. මේ ගැන විවේචන තියෙන්න පුළුවන්. මේ රටේ හැම දෙයක් දෙසම නිශේධනාත්මකව බලන එක්තරා දේශපාලන කොටසක් ඉන්නවා. ඔවුන් සාමාන්‍ය ජන මනසට බරපතළ ලෙස ඍණාත්මකව බලපෑම් කරනවා‘
වර්තමානය වන විට ආර්ථිකයේ සෑම අංශයක්ම ක්‍රියාකාරීව පවතින බව පෙන්වා දුන් ආචාර්ය මහේෂ් හපුගොඩ මෙරට ජනතාව අර්බුදය සාමාන්‍යකරණය කරගෙන ඊට මුහුණ දුන් බව ද පෙන්වා දුන්නේය.



