ආපදාවෙන් මිදී රටක් ලෙස නැගී සිටීමේ විද්‍යාත්මක ප්‍රවේශය – මහාචාර්ය ජගත් මුණසිංහ

පසුගිය වසර අවසාන වූයේ ජනජීවිතයට වැස්ස සහ සුළඟ තවත් එක් භයානක දෙයක් කරමිනි. තමන්ගේ ස්වෝස්සාහයෙන් උපයාගත් මුදලින් හදාගත් ගේදොර හරකාබාන පමණක් නොව උපන්දා සිට ජීවත්වූ පාරම්පරික ගම්මාන අතහැර යාමට සිදුවිය. තමන් දන්නා කියන බොහෝ අය මළ සිරුර පවා සොයාගත නොහැකිව මිහිදන් විය. මේ ස්වාභාවික විපත අදක ඊයෙක ඇරැඹි දෙයක් නොවේය. එය කාලාන්තරයක් පුරා අපි රටක් ලෙස මුහුණ දෙන්නකි. ස්වභාවික විපත් වුවද කළමනාකරණය කළ හැකි තාක්ෂණයක් අද ලෝකයේ තිබේ. ඒ සඳහා දැන්වත් රටක් ලෙස පියවර ගැනීම කළ යුතුය. ජාතික භෞතික සැලැස්මේ වැදගත්කම, එහි නාගරික හා පාරිසරික පසුබිම සහ වර්තමාන ආපදා තත්ත්වයන්ට එහි ඇති සම්බන්ධය පැහැදිලි කෙරෙන සාකච්ඡාවකදී මහාචාර්ය ජගත් මුණසිංහ මහතා දැක්වූ අදහස් ඇසුරින් වූ ලිපියකි.
ජාතික භෞතික සැලැස්ම: ආපදාවෙන් මිදී රටක් ලෙස නැගී සිටීමේ විද්‍යාත්මක ප්‍රවේශය
රටක් ලෙස අප මුහුණ දෙන ස්වභාවික ආපදා හුදෙක් කාලගුණික විපර්යාසයන් පමණක් නොව, අපගේ භූමිය සහ අවකාශය නිසි ලෙස කළමනාකරණය නොකිරීමේ ප්‍රතිඵලයක් බව වර්තමාන සිදුවීම් හරහා මනාව පැහැදිලි වේ. ආපදාවකදී පමණක් මතක් වන නමුත්, රටක තිරසාර පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක් වන “ජාතික භෞතික සැලැස්ම” (National Physical Plan) පිළිබඳව අපට පුළුල් අවබෝධයක් තිබීම අද දවසේ කාලීන අවශ්‍යතාවයකි.
ජාතික භෞතික සැලැස්ම යනු කුමක්ද?
ජාතික භෞතික සැලැස්ම යනු හුදෙක් ආපදා කළමනාකරණ සැලැස්මක් පමණක් නොවේ. එය අප සතු භූමිය, ජලය, ජෛව විවිධත්වය, සංස්කෘතික දායාද සහ මානව සම්පත යන සියල්ල ඒකාබද්ධ කර රටේ අනාගත සංවර්ධනය තීරණය කරන මූලික සැලැස්මයි.
මෙය ලංකාවේ ගොඩබිම පමණක් නොව රට වටා ඇති මහද්වීපික තටාකය (Continental Shelf) ද සැලකිල්ලට ගනිමින් සකස් කර ඇත. මධ්‍යම කඳුකරයට පමණක් සීමා නොවී මුළු රටේම භූමිය පරිහරණය කළ යුතු ආකාරය මෙමගින් පෙන්වා දෙයි.
නීතිමය පසුබිම සහ සකස් කිරීමේ ක්‍රියාවලිය
මෙම සැලැස්ම කිසිවෙකුගේ හිතලුවක් හෝ සිහිනයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ බලාත්මක නීතියක් වන “නගර හා ග්‍රාම නිර්මාණ පනත” (1947 මුල් පනත සහ 2000 වසරේ සංශෝධිත පනත) මගින් නියම කර ඇති නීතිමය ලියවිල්ලකි.
බලධාරීන්: මෙය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් “ජාතික භෞතික සැලසුම් සභාව” මගින් අනුමත කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ.
සම්බන්ධීකරණය: අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවක්, තාක්ෂණික උපදේශක කමිටුවක්, විශ්වවිද්‍යාල ප්‍රජාව, පර්යේෂකයන් සහ සිවිල් සංවිධාන ඇතුළු පුළුල් පරාසයක පාර්ශවකරුවන්ගේ අදහස් ලබාගෙන මෙය සකස් කරනු ලබයි.
යාවත්කාලීන කිරීම: සමාජ, ආර්ථික සහ තාක්ෂණික වෙනස්කම් මත සෑම වසර 10කට වරක්ම මෙම සැලැස්ම යාවත්කාලීන වේ (උදා: 2007 සකස් කර 2011 ගැසට් කළ සැලැස්ම 2017/2019 වසරවලදී යාවත්කාලීන විය)
ජාතික භෞතික සැලැස්මේ ප්‍රධාන ප්‍රතිපත්ති හතර
මෙම සැලැස්ම ප්‍රධාන ප්‍රතිපත්ති 04ක් මත පදනම්ව ගොඩනගා ඇත:
- සංරක්ෂණය (Conservation): පාරිසරිකව, සමාජීයව සහ ආර්ථිකව වැදගත් වන සංවේදී කලාප ආරක්ෂා කිරීම. (උදා: ජල පෝෂක ප්‍රදේශ, වනාන්තර).
- ජනාවාස (Human Settlement): ජනතාවට සෞඛ්‍ය සම්පන්නව ජීවත් විය හැකි, ආපදා අවදානම අඩු ප්‍රදේශ වෙත ජනාවාස යොමු කිරීම සහ ආකර්ෂණය කිරීම.
- යටිතල පහසුකම් හා සම්පත් ප්‍රශස්තකරණය: දැනට පවතින මාර්ග, ජලය, විදුලිය වැනි යටිතල පහසුකම් අවම ආයෝජනයකින් උපරිම ඵලදායිතාවක් ලැබෙන ලෙස භාවිත කිරීම.
- නව ආර්ථික විභවයන් හඳුනා ගැනීම: මෙතෙක් භාවිතයට නොගත් හෝ හඳුනා නොගත් රටේ සංවර්ධන විභවයන් සොයා බලා ඒවා ආර්ථිකයට දායක කර ගැනීම.
කලාපකරණය සහ අවදානම් කළමනාකරණය
විවිධ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සකස් කළ මෙම සැලැස්මේ සිතියම් හරහා රටේ භූමිය විවිධ කලාපවලට බෙදා දක්වයි:
- රතු පැහැති කලාප (අධි සංවේදී කලාප): මේවා “ඇලර්ට්” (Alert) එකක් ලෙස ක්‍රියා කරයි. මෙම ප්‍රදේශවල සංවර්ධන කටයුතු කිරීමේදී ඉතා කල්පනාකාරී විය යුතුය. මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශ (මහනුවර, නුවරඑළිය, බදුල්ල, මාතලේ, රත්නපුර, කෑගල්ල ආදිය) “මධ්‍යම පාරිසරික සංවේදී කලාපය” (Central Fragile Area) ලෙස හඳුනාගෙන ඇත.
- ලා නිල් පැහැති කලාප: මිනිස් වාසයට වඩාත් සුදුසු සහ යටිතල පහසුකම් දියුණු කළ හැකි ප්‍රදේශ.
- දුඹුරු පැහැති කලාප: ආර්ථික ආයෝජනයන් සඳහා යොදා ගත හැකි ප්‍රදේශ.
වර්තමාන අභියෝගය
වර්තමානයේ අප මුහුණ දෙන නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් බොහොමයක් සිදුව ඇත්තේ ජාතික භෞතික සැලැස්ම මගින් මීට වසර ගණනාවකට පෙර “සංරක්ෂණය කළ යුතු සංවේදී කලාප” ලෙස හඳුනාගත් ප්රදේශවලය.
බොහෝ දෙනා මෙය හුදෙක් ඉඩම් වෙන් කරන හෝ මාර්ග ඉදිකරන සැලැස්මක් (Corridor plan) ලෙස වරදවා වටහා ගත්තද, මෙය ඊට වඩා පුළුල් විද්‍යාත්මක පසුබිමක් සහිත ප්‍රතිපත්තිමය රාමුවකි (Policy Framework). අප මෙම සැලැස්ම නිසි ලෙස අනුගමනය කළේ නම්, අද සිදුවන බොහෝ විනාශයන් අවම කර ගැනීමට හැකියාව තිබුණි.
අනාගතයේදී හෝ අප මෙම සැලැස්ම අනුව කටයුතු කිරීම, රටේ ජල සම්පත, භූමිය සහ ජන ජීවිතය ආරක්ෂා කර ගනිමින් තිරසාර දියුණුවක් කරා යාමට ඇති එකම මාර්ගයයි.
ඉරෝෂා දීපානි

