ජනසභා: සැබෑ ජනතා බලයක් සඳහා වන අපේක්ෂාව
ශ්‍රී ලංකාවට පළාත් පාලන සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇත. මහාවංශයට අනුව පණ්ඩුකාභය රජ්‍ය පාලනය (ක්‍රි.පූ. 474 – ක්‍රි.පූ. 367) ‘ගම’ මත පදනම් වී ඇත. පණ්ඩුකාභය රජුගෙන් පසු බලයට පත් සියලුම රජවරුන් අතර මෙම ගම් පරිපාලන ඒකකයක් ලෙස භාවිතා කරන ලදී. ගම්සභා ක්‍රමය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කරන ලද ආචාර්ය මාලිනී ඇඳගම පෙන්වා දෙන පරිදි වඩා දියුණු ශිෂ්ඨාචාරයක ලක්ෂණ ඒ මගින් පෙන්නුම් කර ඇත.
-
යටත් විජිත සමයේ පළාත් පාලනය
1818 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ගම් සභා අහෝසි කරන ලදි. නමුත්1833 කෝල්බෲක් – කැමරන් කොමිසම යම් ආකාරයක ගම්සභා ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව නිර්දේශ කළේය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී පළාත් පාලන ආයතන සංවර්ධනයන් ගණනාවක් දුටුවේය. 1856 අංක 9 දරන කුඹුරු ඉඩම් සහ වාරිමාර්ග ආඥාපනත (The Paddy Lands and Irrigation Ordinance No. 9 of 1856) 1861 අංක 10 දරන මාර්ග කමිටු පනත (The Road Committees Act No 10 of 1861), 1865 අංක 17 දරන නගර සභා ආඥාපනත (The Municipal Council Ordinance No. 17 of 1865), 1871 අංක 26 දරන ගම් ප්‍රජා ආඥා පනත (The Village Communities Ordinance No. 26 of 1871), 1892 අංක 18 දරන සනීපාරක්ෂක මණ්ඩල ආඥාපනත (The Sanitary Boards Ordinance No. 18 of 1892), 1898 අංක 13 දරන ප්‍රාදේශීය මණ්ඩල ආඥාපනත (The Local Boards Ordinance No. 13 of 1898), 1920 අංක 11 දරන පළාත් පාලන ආඥාපනත (The Local Government Ordinance No. 11 of 1920), 1939 අංක 61 දරන නගර සභා ආඥාපනත (The Urban Councils Ordinance No. 61 of 1939) සහ 1946 අංක 3 දරන නගර සභා ආඥාපනත (The Town Councils Ordinance No. 3 of 1946) ඒ අතර විය.
-
නිදහසින් පසු පළාත් පාලනය
1948 දී ලංකාව නිදහස ලබාගත් අවස්ථාවේ සිට වර්තමානය දක්වා පනත් කිහිපයකින් සහ කොමිෂන් සභා කිහිපයකින් ඉදිරිපත් වූ නිර්දේශ අනුව පළාත් පාලන ආයතනවල බලතල හා කාර්යභාරයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවිය. ඒ අනුව, 1952 අංක 8 දරන පළාත් පාලන ආයතන බලතල පුළුල් කිරීමේ පනත (The Local Authorities Enlargement of Powers Act No. 8 of 1952) මගින් මධ්‍යම රජයෙන් පළාත් පාලන ආයතන වෙත යම් යම් බලතල පවරා දී නගර සභාවලට නව බලතල ලබා දෙන ලදී. 1979 තෙන්නකෝන් කොමිෂන් සභාව විසින් මධ්‍යම රජය විසින් දැනට කරගෙන යනු ලබන සංවර්ධන කාර්යයන් ඉටු කිරීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභා (District Development Councils – DDC) පිහිටුවන ලෙස නිර්දේශ කරන ලදී.
1980 අංක 35 දරන දිස්ත්‍රික් සභා පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර 1987 අප්‍රේල් 15 වැනි දින 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත (The Local Authorities (Amendment) Act Nos. 20 and 24 of 1987) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මඟින් පළාත් පාලන පාලනය සහ අධීක්ෂණය මධ්‍යම රජයෙන් අලුතින් පිහිටුවන ලද පළාත් සභා වෙත පැවරිණි.
2012 ඔක්තෝම්බර් 10 වැනි දින පාර්ලිමේන්තුව විසින් 2012 අංක 21 දරන පළාත් පාලන (විශේෂ විධිවිධාන) පනත සහ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත සම්මත කරන ලද අතර 2016 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුව 2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත සම්මත කරන ලදි. මේ අතර 2017 අගෝස්තු 25 දින පාර්ලිමේන්තුව විසින් 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත සම්මත කරන ලදී.
-
පළාත් පාලනය, ප්‍රභූ අධිපත්‍ය සහ තරුණ අරගල
ගම් සභා ක්‍රමය තුළ අපේක්ෂිත පුළුල් ප්‍රජා සහභාගීත්වය සිංහල රාජාණ්ඩු යුගය තුළ පැවැති බව විශ්වාස කළ හැකි වුව ද යටත් විජිතවාදී පාලනය තුළ ගම් සභාව නව ‘ප්‍රභූ ආධිපත්‍යයට’ යට වූ බවට පැහැදිලි සාක්ෂි හමුවේ. පළාත් පාලන ආයතන ද ප්‍රභූ සහ පවුල් ආධිපත්‍යයට ගොදුරු වී ඇති ඇති අතර බරපතළ ලෙස දේශපාලනීකරණය ද වී ඇත. මෙම තත්ත්වය 1971 සහ 1986-1990 දකුණේ තරුණ විප්ලව වලට මෙන්ම උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරය තීව්රර වීමට ද හේතු වූ බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.
-
එකම විසඳුම ජනසභා
මේ සියලු තත්වයන් සලකා බලමින් රටේ පොදු පුරවැසියන්ට තම සමාජ ආර්ථික හා මූලික දේශපාලන අභිලාශයන් සාක්ෂාත් කරගැනිම උදෙසා යොමුවිය හැකි නව ප්‍රවේශයක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් යෝජනා කර තිබේ. ඒ මගින් ග්‍රාමීය හා නාගරික කුඩා ප්‍රජා ඒකක පදනම් කරගනිමින් රටේ පුරවැසියනට තම අභිලාශයන් රටට ඉදිරිපත් කළ හැකි හා රටේ ස්ථාපිත පාලන ඒකකයන් මගින් තමන්ට අදාළව ගනු ලබන ක්රියාමාර්ගයන්හි දී ඒවාට සෘජුවම මැදිහත්විය හැකි ආයතන ව්‍යුහයක අවශ්‍යතාවය පෙන්නුම් කර ඇත. එය කිසිදු දේශපාලන පක්ෂයකට පහසුවෙන් යටපත් කරගත නොහැකි, එමෙන්ම කොම්ප්රදෝරු සමාජ බලයන්ට හෝ මුදල් බලය මගින් කිසිවෙක්ගේ හෝ පාලනයට යටත්කරගැනීමට ඇති හැකියාවන් බලවත් ලෙස අවහිර කරන, උපරිම අන්දමින් පොදු සම්මුතියකට දිරි දෙන ආයතන ව්‍යුහයක් ලෙස එය හඳුන්වා දිය හැකිය.
ජනසභා ලෙස අද සමාජයේ අවධානයට ලක්ව ඇත්තේ එයයි. එකී යෝජනා සකස් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ විද්වතුන්ද ඇතුළු සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් රාශියක් එක්ව සිදුකරන ලද සාකච්ඡා හා සම්මන්ත්රණ ගණනාවකින් අනතුරුවය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප එයට මගපෙන්වමින් මූලික කාර්යහාරයක් ඉටු කළා වුවද සැබැවින්ම එය සාමුහික ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙස රටට ඉදිරිපත් කළ යෝජනාවකි. එමෙන්ම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ හෝ ඉන් පිටස්තර කිසිදු පුද්ගලයෙක් තබා සංවිධානයක් හෝ දේශපාලනිකව ප්‍රවර්ධනය කිරීම උදෙසා සම්පාදනය කරන ලද්දක් ද නොවේ. ජන සභා යනු ජනතාව විසින් වෙර යොදා අත්පත් කරගත යුතු ජයග්‍රහණයකි. ඒ අනුව ජනසභා සංකල්පය බල දේශපාලනය ඉලක්කයක් කර නොගත් සිවිල් සමාජ ව්‍යාපාරයක් විසින් ගෙන එන ලද වැදැගත් ප්‍රතිසංස්කරණ යෝජනාවක් ලෙස අනාගතය විසින් නිවැරදි විනිශ්චයක් ලබා දෙනු ඇතයි යන්න අපගේ විශ්වාසයයි.

