ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි පාලනය සහ ඩිජිටල් නීතිමය රාමුව

ශ්‍රී ලංකාව වර්තමානයේ පසුවන්නේ ඩිජිටල් පරිවර්තනයක තීරණාත්මක සන්ධිස්ථානයකය. රටේ අභිලාෂකාමී ඉලක්කය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම වන අතර, ඒ සඳහා කෘතිම බුද්ධිය (AI) අංශයෙන් සැලකිය යුතු දායකත්වයක් අපේක්ෂා කෙරේ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා නවෝත්පාදනයන් දිරිමත් කරන අතරම, ශක්තිමත් නියාමන රාමුවක් ස්ථාපිත කිරීමේ අභියෝගයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී. මේ පිළිබඳව අදහස් දක්වන ‘ජූලියස් සහ ක්‍රීසි’ (Julius and Creasy) ආයතනයේ තාක්ෂණ, මාධ්‍ය සහ විදුලි සංදේශ නීතිය පිළිබඳ නීති උපදේශිකා අශ්විනි නටේසන් මහත්මිය අවධාරණය කරන්නේ කෘතිම බුද්ධිය (AI) පාලනය සහ නියාමනය වර්තමානයේ වහා අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතාවයක් බවයි.

AI පාලනය සහ නවෝත්පාදනය

බොහෝ දෙනෙකු තර්ක කරන්නේ දැඩි නියාමනයන් මගින් නවෝත්පාදනයන් අඩාල වන බවයි. නමුත් නටේසන් මහත්මිය මෙයට එකඟ නොවන අතර ඇය පවසන්නේ ශක්තිමත් AI රාමුවක් සඳහා ශක්තිමත් පාලනයක් අවශ්‍ය බවයි. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ජාතික AI උපායමාර්ගය (National AI Strategy) මේ සඳහා තැබූ වැදගත් පළමු පියවරකි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අංශවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම්, දැඩි නීති මගින් තාක්ෂණය භාවිතය අඩාල නොකර, එම ප්‍රතිලාභ සහ නිසි පාලනය අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉදිරි වසර පහ තුළ පමණක් නොව, දැනටමත් AI පාලනය ප්‍රමුඛතාවයක් වී ඇත්තේ වගකීම් සහගත AI භාවිතයකට මග පාදා ගැනීම සඳහායි.

මාර්ගගත සුරක්ෂිතතාව සහ මූලික අයිතිවාසිකම්

2024 වසරේ හඳුන්වා දුන් මාර්ගගත සුරක්ෂිතතා පනත (OSA) නිදහස් ප්‍රකාශනයට බලපෑම් කළ හැකි බවට විවේචන එල්ල වී ඇත. අන්තර්ජාලය දැන් හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් නොව, අන්තර්ක්‍රියා සඳහා වන මූලික මාධ්‍යයක් බවට පත්ව ඇති බැවින්, මාර්ගගත හානි නියාමනය කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. කෙසේ වෙතත්, සුළුතර කණ්ඩායම් සහ ලිංගික අනන්‍යතාවය මත පදනම් වූ (LGBTQIA+) ප්‍රජාවන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට අදහස් ප්‍රකාශ කිරීමට ඇති ඉඩකඩ ආරක්ෂා කරමින්, මෙම නියාමනයන් සිදු කළ යුතුය.

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ මහජන උපදෙස් ලබා ගැනීමයි. මුල් පනත කෙටුම්පත් කිරීමේදී මෙම අඩුව පැවති අතර, දැනට පවතින සමාලෝචන ක්‍රියාවලිය හරහා සිවිල් සමාජය සහ උනන්දුවක් දක්වන පාර්ශවයන් තම අදහස් ඉදිරිපත් කළ යුතුය. මානව හිමිකම්වලට ගරු කරන සහ සියල්ලන් ඇතුළත් කරගන්නා නීතියක් සකස් කළ හැක්කේ මහජන සහභාගීත්වය තුළින් පමණි.

දත්ත ආරක්ෂණය සහ මහජන විශ්වාසය

ශ්‍රී ලංකාව 2022 වසරේදී පුද්ගල දත්ත ආරක්ෂණ පනත (PDPA) සම්මත කළ අතර, එවැනි පුළුල් නීති සම්පාදනයක් සිදු කළ දකුණු ආසියාවේ පළමු රට බවට පත්විය. මෙම පනත රජයට මෙන්ම පෞද්ගලික අංශයටද එකලෙස අදාළ වීම විශේෂත්වයකි. විශාල වශයෙන් දත්ත රැස් කරන රාජ්‍ය ආයතන දත්ත හැසිරවීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු අතර, මෙය මහජන විශ්වාසය ගොඩනැගීමට බෙහෙවින් ඉවහල් වේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අද්විතීය ඩිජිටල් අනන්‍යතාවයක් (Unique Digital ID) කරා ගමන් කරන විට, පුද්ගල දත්ත භාවිත කරන ආකාරය පාලනය කිරීමට මෙම පනත ඉතා වැදගත් වේ. පනත ක්‍රියාත්මක කිරීමේදී දේශසීමා හරහා දත්ත හුවමාරු කිරීම (cross-border transfer of data) වැනි කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී සංශෝධන අපේක්ෂා කෙරේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) මෙම නීතිවලට අනුගත වීම පිරිවැය අධික සහ අභියෝගාත්මක විය හැකි වුවද, එය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම මගින් ජයගත හැකිය.

සයිබර් ආරක්ෂණය සහ සහයෝගීතාව

සයිබර් අපරාධ ඉහළ යන වර්තමාන පරිසරයක, ඩිජිටල් විශ්වාසය ගොඩනැගීම සඳහා සයිබර් ආරක්ෂණය සහතික කිරීම පළමු පියවරයි. මෙයට තාක්ෂණික විසඳුම් මෙන්ම මානව සම්පත් ආයෝජනයන් ද අවශ්‍ය වේ. රජයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය (Public-Private Partnerships) හරහා සයිබර් ආරක්ෂණ ප්‍රමිතීන් ගොඩනැගිය හැකි බව නටේසන් මහත්මිය පෙන්වා දෙයි.

එසේම, විවිධ නියාමන ආයතන අතර පවතින කාර්යභාරයන් සම්බන්ධීකරණය කිරීම සඳහා මධ්‍යගත අධිකාරියකට වඩා පවතින ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම ප්‍රායෝගික වේ. උදාහරණයක් ලෙස, තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) සහ දත්ත ආරක්ෂණය අතර පවතින ගැටුම් නිරාකරණය කර ගැනීමට අදාළ ආයතන එක්ව කටයුතු කළ යුතුය.

ගෝලීය ප්‍රමිතීන් සහ දත්ත ස්වෛරීභාවය

ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කිරීමේදී ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් අපගේ සංස්කෘතික වෙනස්කම් සහ සුවිශේෂී අවශ්‍යතාවලට අනුකූලව එම ප්‍රමිතීන් අනුවර්තනය කර ගත යුතුය. දත්ත ස්වෛරීභාවය (Data Sovereignty) යනු දත්ත දේශීයව ගබඩා කිරීම පමණක් නොව, රට තුළ යම් මට්ටමක හැකියාවක් සහතික කිරීම සඳහා දේශීය විසඳුම් සංවර්ධනය කිරීමයි.

ඉදිරි දැක්ම

ඩිජිටල් ආර්ථිකයක් සඳහා මූලික යටිතල පහසුකම් ලෙසඩිජිටල් හැඳුනුම්පත සහ ප්‍රවේශ විය හැකි ඩිජිටල් පොදු යටිතල පහසුකම අත්‍යවශ්‍ය වේ. නීති සහ ප්‍රතිපත්ති තිබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, මහජන විශ්වාසය දිනා ගත හැක්කේ ඒවා විනිවිදභාවයකින් යුතුව සහ වෙනස් කොට සැලකීමකින් තොරව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පමණි. ඩිජිටල් පරිවර්තනයක සාර්ථකත්වය රඳා පවතින්නේ නීතිමය මාර්ග, තාක්ෂණික විසඳුම් සහ නිසි පාලන ප්‍රතිපත්ති එකිනෙක හා ගැටීමකින් තොරව සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වීම මතය.

| නෙත්මා හෙට්ටිආරච්චි

Tags:

Leave A Comment