නව ව්‍යාවස්ථා සම්පාදන ක්‍රියාවලියට තරුණ ප්‍රජාවගේ වැදගත්ම
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට තරුණ ප්‍රජාවගේ වැදගත්කම අද විශේෂයෙන් කතා කළ යුතු කරුණක් ලෙස පෙනී යයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අපේ රටට සැබෑ අවස්ථාවක් තිබේද යන්නත්, සමාජයේ මිනිසුන් ඒ පිළිබඳව කොතරම් උනන්දුවක් දක්වනවාද යන්නත් අද විමසා බැලිය යුතු වේ. මේ වනවිටත් ඇතැම් දේශපාලනික පාර්ශව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ව්‍යවස්ථාවක් ගැන සිතන බව පෙනී යන නමුත්, 2015–2016 කාලයේ තිබූ සමාජමය උනන්දුව හා සාකච්ඡා තත්ත්වය වර්තමානයේ අඩු වී ඇති බවක් ද දක්නට ලැබේ.
ඇත්ත වශයෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක මූලික පාලන පද්ධතිය තීරණය කරන ලේඛනයකි. එබැවින් එය දේශපාලන නායකයින් අතර පමණක් සිදු වන සාකච්ඡාවක් නොව, සමාජයේ සියලුම පිරිස් සම්බන්ධ වන විවෘත සංවාදයක් විය යුතුය. විශේෂයෙන්ම සිවිල් සමාජය මෙම ක්‍රියාවලියේ වැදගත් භූමිකාවක් ඉටු කරයි. බොහෝ අවස්ථාවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා සිදු වන්නේ ශ්‍රාස්ත්‍රීය හෝ විද්‍යාත්මක මට්ටමින්ය. නමුත් සමාජය තුළ සිටින සාමාන්‍ය ජනතාවට ඒ පිළිබඳව කොතරම් අවබෝධයක් තිබේද, ඔවුන්ගේ දෛනික ජීවිතයට ඒක කෙසේ සම්බන්ධ වේද යන්න ගැන අවධානය යොමු කිරීමද ඉතා වැදගත්ය.
විශේෂයෙන්ම අලුත් රටක් ගොඩනගන්න අවශ්‍යය බවට තරුණයන් අතර ඇති උනන්දුව අද දක්නට ලැබේ. මෙය දකුණේ සිංහල තරුණයන් අතර පමණක් නොව, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දෙමළ තරුණයන් අතරද පවතින අදහසක් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව, නව ව්‍යවස්ථා සාකච්ඡාවක් ආරම්භ කළ යුතු නම් එය තරුණ ප්‍රජාවගේ අදහස් හා බලාපොරොත්තු වලින් ආරම්භ කිරීම වැදගත් වේ. බලය බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කළ විට තරුණයන්ටද එහි සක්‍රීය භූමිකාවක් ලබා දීම වැදගත්ය.
අද ශ්‍රී ලංකාවේ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ බලය මධ්‍යගත වී තිබීමයි. එබැවින් බලය බිම් මට්ටමේ සිට ඉහළට ගෙන ඒම සහ ජනතාවගේ සහභාගීත්වය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. ස්වෛරීභාවය පිළිබඳව කතා කරන විටද එය අවසානයේ ජනතාව අතේ ඇති බලයක් බව අවබෝධ කරගත යුතුය. එබැවින් යහපාලනයක් ගොඩනගා ගැනීම සඳහා සමාජයේ සියලුම පිරිස් සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ප්‍රජාවන් සම්බන්ධ කරගැනීම වැදගත් වේ.
පසුගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී මහජන විමසුම්දායක කමිටුව හරහා රට පුරා ජනතාවගෙන් අදහස් විමසීමක් සිදු කර තිබුණි. එම අදහස් වලින් සමහර පොදු මූලධර්ම හඳුනාගත හැකි වුවත්, එම ක්‍රියාවලියට සම්බන්ධ වූයේ දේශපාලනික හෝ නීතිමය අවබෝධයක් ඇති පිරිසක් බවද පෙනී යයි. එබැවින් එයට එහා සිටින සමාජයේ සාමාන්‍ය ජනතාවගේ සහ විශේෂයෙන්ම නව පරම්පරාවේ අදහස් දැනගැනීම අත්‍යවශ්‍ය වේ. Z පරම්පරාව ලෙස හඳුන්වන නව තරුණ පරම්පරාවගේ අවශ්‍යතා, අගයන් සහ අනාගත දැක්ම කුමක්ද යන්න වටහා ගැනීම නව ව්‍යවස්ථා ක්‍රියාවලියකට ඉතා වැදගත් වේ.
උදාහරණයක් ලෙස, නේපාලය යුද්ධයෙන් පසු සහ බලය පරිවර්තනය වූ පසු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත් රටක් ලෙස සඳහන් කළ හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ දකුණේ කැරැල්ල අවසන් වී දශක ගණනාවක් ගත වී ඇති අතර, උතුරු–නැගෙනහිර යුද්ධය අවසන් වීද වසර කිහිපයක් ගත වී ඇත. එහෙත් නව පරම්පරාවට ඒ ඉතිහාසය, ඒවායේ අයිතිවාසිකම් හා සම්බන්ධතා පිළිබඳ විශ්ලේෂණාත්මක අවබෝධයක් බොහෝවිට නොමැත. එබැවින් නව ව්‍යවස්ථාවක් ගැන කතා කිරීමට පෙර මෙම ඉතිහාසය, ගැටලු සහ අයිතිවාසිකම් පිළිබඳ විවෘත සමාජ සංවාදයක් ඇති කිරීම ඉතා වැදගත් වේ. ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාව සම්බන්ධ විවිධ වාර්තා සහ යෝජනා වසරින් වසර තිබුණද, ඒවා බොහෝවිට සමාජයෙන් වෙන් වූ ලේඛන ලෙස පවතී. එබැවින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ සැබෑ සමාජීය සම්බන්ධතාවයක් ඇති කිරීමට නම්, එම ක්‍රියාවලිය සමාජය අතරට ගෙන යාම අවශ්‍ය වේ.
අවසන් වශයෙන් කිව යුතු වන්නේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ක්‍රියාවලිය සාර්ථක වන්නේ එය ජනතාවගේ සහභාගීත්වය මත පදනම් වූ විවෘත සංවාදයක් බවට පත් වූ විටය. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව දකුණ, උතුර සහ නැගෙනහිර ඇතුළු රට පුරා සියලුම ප්‍රදේශවලින් මෙම සංවාදයට සම්බන්ධ කර ගැනීම අනාගතයට වගකිව යුතු පියවරක් වේ. එවිට රටේ විවිධත්වය පිළිගන්නා, යහපාලනය ශක්තිමත් කරන සහ සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්රගතිශීලී ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීමට හැකි වේ.
ඒ අනුව, නව ව්‍යවස්ථාවක් ගැන කතා කිරීම පමණක් නොව, එයට සුදුසු සමාජ පරිසරයක් ගොඩනගා ගැනීමද අපගේ වගකීමකි. එම පරිසරය සකස් කරගැනීම සඳහා තරුණයන්ගේ අදහස්, ඔවුන්ගේ අවශ්‍යතා සහ අනාගත දැක්ම අවධානයට ගනිමින්, සමාජයම සම්බන්ධ කරගන්නා විවෘත සංවාදයක් ආරම්භ කිරීම අද කාලයේ අතිශය වැදගත් වේ.
| නෙත්මා ප්‍රියමාලි හෙට්ටිආරච්චි

