අයවැය කතාවට පූර්විකාවක් වන ආදායම් සහ වියදම් ලියවිලි තේරුම් ගන්නේ කෙසේද? – රෙහානා තවුෆික් – සම අධ්‍යක්ෂ, අරුත ආයතනය

අයවැය කතාවට පූර්විකාවන් වන ආදායම් සහ වියදම් ලියවිලි තේරුම් ගැනීමට පෙර මූලික කරුණක් ලෙස 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Financial Management Act) පිළිබඳ සරල අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ගැසට් කරන ලද්දේ 2024 අගෝස්තු 08 වැනි දිනය. මෙම පනත පැමිණෙන්නේ 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතට පසුවය. මෙම පනත් දෙකේම අරමුණ වන්නේ රාජ්‍ය ආදායම සහ වියදම කළමනාකරණය කිරීම වුව ද රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් පනත් දෙකේ යම් යම් වෙනස්කම් දැකගත හැකිය.

මේ වන විට ක්‍රියාත්මක වන්නේ 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පනතය. එයට සම්බන්ධ වාර්තා කිහිපයක් පවතින අතර, එහි වගකීම මුදල් අමාත්‍යාංශය සතු වේ. මෙම අනිවාර්ය වාර්තා අතර වැදගත් වාර්තාවක් වන්නේ වසර මැද මූල්‍ය තත්ත්වය සම්බන්ධ වාර්තාව නිකුත් කිරීමය. ඊට අමතරව මූල්‍ය උපාය මාර්ග ප්‍රකාශය, මූල්‍ය අවදානම් ප්‍රකාශය සහ රාජ්‍ය ආයෝජන වැඩසටහනට අදාළ වාර්තා මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ යුතුය.

2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත අනුව ද මුදල් අමාත්‍යාංශය විසින් ඇතැම් වාර්තා ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව මෙම වාර්තා ප්‍රකාශයට පත් කිරීම ‘අනිවාර්ය’ වගකීමකි. මෙම වාර්තා ප්‍රකාශයට පත් කළ යුතු දිනයන් ද නියම කර ඇති අතර අදාළ දිනය වන විට අදාළ වාර්තාව අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත් කිරීම මුදල් අමාත්‍යාංශයේ වගකීමකි. යම්කිසි ආකාරයකින් මෙම වාර්තා ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වුවහොත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු අතර අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

  • වසර මැද මූල්‍ය තත්ත්වය

2026 වසර මැද මූල්‍ය තත්ත්වය සම්බන්ධ වාර්තාවට මුලින්ම අවධානය යොමු කළහොත් ආණ්ඩුවේ ආදායම සහ වියදම ගැන මූලික අවබෝධයක් ලබා ගැනීමට හැකිය. එම වාර්තාවට අනුව 2026 වර්ෂයේ මුල් මාස හයේ ආර්ථිකය 4.7%කින් වර්ධනය වී ඇති අතර උද්ධමනය 8%කට වඩා අගයක් දක්වා ළඟා වී ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුධ ගැටුම මේ සඳහා හේතු වී ඇති බව අදාළ වාර්තාව පවසයි.

විදේශ ප්‍රේෂණ පසුගිය 2025 වර්ෂයේ මුල් මාස හයට සාපේක්ෂව 23%කින් ඉහළ ගොස් ඇති අතර සංචාරය ආදායම 11.8%කින් පහළ ගොස් තිබේ.  ආනයන විදයම 26.9%කින් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන ආනයන වියදම ඉහළ යාම මීට හේතුව බව සඳහන් වේ. ආනයන වියදම ඉහළ ගිය ද අපනයන ආදායම ඉහළ ගොස් ඇතේ 6.3%ක් වැනි අගයකිනි.  මේ හේතුව මත, වසර හතරකට පසු ජංගම ගිනුමේ හිඟයක් වාර්තා වී ඇත.

මේ අතර කැපී පෙනෙන ලෙස ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අනුපාතය 2026 වසරේ මුල් මාස හයේ දී 7.9%කින් පහළ ගොස් තිබේ.

2026 වසරේ මුල් මාස හයේ දී රාජ්‍ය ආදායම 24.6%කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. මේ ආකාරයෙන් රාජ්‍ය ආදායම විශාල වශයෙන් ඉහළ යාමට මෝටර් රථ ආනයනය විශාල වශයෙන් ඉහළ යාම සහ ඒ හරහා විශාල බදු ආදායමක් උපයා ගැනීමට අවස්ථාව උදාවීම දැක්විය හැකිය. ඒ අනුව රේගු ආදායම 63%කින් ඉහළ ගොස් ඇත.

මෙම වසරේ මුල් මාස හය තුළ වැට් බදු ආදායම 24%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ආදායම් බදු 16%කින්  ඉහළ ගොස් ඇත. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ (අල සහ ළුෑණු) මත පනවා ඇති බද්දෙන් ලබා ගත් ආදායම ද 7%කින් පමණ ඉහළ ගොස් ඇත.

ප්‍රාථමික ගැනුමේ ශේෂය (ආණ්ඩුවේ ආදායම සහ වියදම අතර වෙනස – ණය පොලිය රහිත) රුපියල් ට්‍රිලියන 1.2කට වඩා ඉහළ අගයක් වාර්තා කර ඇත.  මෙයට හේතු වශයෙන් සඳහන් වන්නේ රාජ්‍ය බදු ආදායම ඉහළ යාම සහ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කරන ලද මුදල් වැඩි ප්‍රමාණයක් ඉතිරි වී තිබීමය.

  • රාජ්‍ය වියදම

2026 වසරේ මුල් මාස හයේ දී රාජ්‍ය වියදම සම්බන්ධ දත්ත පරිශීලනය කරන විට පැහැදිලි වන්නේ, රාජ්‍ය වියදම 7.9%කින් ඉහළ ගොස් ඇති බවයි.  දිත්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය ප්‍රතිසංස්කරණය කිරීමට වෙන් කළ මුදල් ප්‍රමාණවත් තරම් වැය නොකිරීම මෙම තත්ත්වය හේතුව බව අදාළ වාර්තා වේ වැඩි දුරටත් සඳහන් වේ.

රාජ්‍ය ණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට, 2026 මුල් මාස හය තුළ එය රාජ්‍ය ආදායමෙන් 90%ක් පමණ වෙතැයි උප කල්පනය කර ඇත.

2027 වර්ෂය සඳහා ආණ්ඩුවේ වියදම රුපියල් ට්‍රිලියන 4.99ක් ලෙස ගණනය කර ඇත. මෙහි දී පුනරාවර්තන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 3.7ක් ද, ප්‍රාග්ධන වියදම රුපියල් ට්‍රිලියන 1.2ක් ද වශයෙන් ගණනය කර ඇත.

රාජ්‍ය ණය ගැනීම් සඳහා රුපියල් ට්‍රිලියන 3.7ක සීමාවක් පනවා ඇත.

පසුගිය වර්ෂවල මෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවලට මෙවර විසර්ජන පනතින් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත.

මෙය 2026 වර්ෂයේ වියදම් සමඟ සැසදීමේ දී 2027 වර්ෂයේ දී සමාජ ආරක්ෂණ වැඩසටහන්වලට 100%කින් අවශ්‍ය ප්‍රතිපාදන වැඩි කර ඇති අතර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට වෙන් කරන ලද ප්‍රතිපාදන 63%කින් ඉහළ නංවා ඇත.

  • මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගික සැලැස්ම

මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගික සැලැස්ම / Medium-Term Revenue Strategy – MTRS) ද වැදගත් වාර්තාවකි. මෙම වාර්තාව අනුව, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 17%ක බදු ආදායමක් රජය විසින් උපයා ගැනීමට අපේක්ෂා කර ඇත. ඊට අමතරව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2.7%ක ප්‍රාථමික ගැනුමේ ශේෂයක් ද රජය බලාපොරොත්තු වේ.

මීට අමතරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ, රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 20%කට සීමා කර ඇති අතර රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 13%කට සීමා කර ඇත.

  • මාධ්‍ය කාලීන ණය කළමනාකරණ සැලසුම

මධ්‍ය කාලීන ණය කළමනාකරණ සැලසුම ද වැදගත් වාර්තාවකි. මෙම වාර්තාවට අනුව රාජ්‍ය ණය ගැනීම්. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස 13%ක අගයකට සීමා විය යුතුය.

රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ආණ්ඩුව ආදායම්, වියදම් සහ රාජ්‍ය ණය කළමනාකරණය යම්කිසි රාමුවක් තුළ ක්‍රියාත්මක කරන ආකාරයක් අපට මේ වන විට දැක ගත හැකි අතර එය කලින් ක්‍රියාත්මක වූ රාමුවට වඩා දියුණු රාමුවක් වශයෙන් ද සැලකිය හැකිය.

මෙහි දී තවත් වැදගත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුය. ඒ 2022 ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වෙනුවෙන් ගිවිසුම් ගත වූ පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින් තොරව සම්පාදනය කරන පළමු අයවැය 2027 අයවැය වීමය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ “අයවැය කතාවට පූර්විකාවක් වන ආදායම් සහ වියදම් ලියවිලි තේරුම් ගන්නේ කෙසේද?” යන තේමාව යටතේ පැවැති වැඩසටහනේ දී අරුත සංවිධානයේ සම අධ්‍යක්ෂ රෙහානා තවුෆික් මහත්මිය විසින් ඉදිරිපත් කළ අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment