මැතිවරණයන්හි දී ඡන්දය දැමීමේ අවස්ථා අහිමි වන දේශීය ඡන්දදායකයින්ට විකල්ප ඡන්ද ක්‍රම හඳුන්වාදීමේ අවශ්‍යතාව
- Editor
- March 29, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 267 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘මැතිවරණයන්හි දී ඡන්දය දැමීමේ අවස්ථා අහිමි වන දේශීය ඡන්දදායකයින්ට විකල්ප ඡන්ද ක්‍රම හඳුන්වාදීමේ අවශ්‍යතාව’ යන මාතෘකාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක යන විද්වතුන් සම්බන්ධ වූහ. මෙම කතාව සංවාදය අසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රම තුනක් තිබෙනවා – එම්.එම්. මොහොමඩ්, මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික
ශ්‍රී ලංකාව තුළ ජීවත් වන නමුත් මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට විකල්ප ක්‍රම හඳුන්වා දීමේ අවශ්‍යතාව සම්බන්ධ කතිකාව මේ වන විට සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ පැෆරල් සංවිධානය පසුගිය මාර්තු 13 වැනිදා මේ සම්බන්ධයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කරන ලද අතර මෙම සම්මන්ත්‍රණය මෙකී කතිකාව සමාජගත කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ් මහතා ඇඟයීමට ලක් කළේය.
ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙමින් සිටිය ද මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන පුරවැසි කණ්ඩායම් ගණනාවක් සිටින බව කී මොහොමඩ් මහතා ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විකල්ප අවස්ථා හෝ ක්‍රම යෝජනා කිරීම සඳහා මුලින්ම අදාළ කණ්ඩායම් (නිශ්චිතව) හඳුනාගත යුතු බව ද කීවේය.
විකල්ප ඡන්ද ක්‍රම මොනවා ද ?
- පූර්ව ඡන්ද විමසීම් ක්‍රමය
මෙවැනි විකල්ප අතර වඩාත් ඵලදායී විකල්ප ක්‍රමය ලෙස ‘පූර්ව ඡන්ද විමසීම් ක්‍රමය’ (Advance Voting System) හෙවත් ඡන්දය විමසීමට පෙර දිනයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ වැදගත්ම ඔහු පැහැදිලි කළේය. මෙවැනි කණ්ඩායම් අතර සිටින පුද්ගලයින්, නැතහොත් වෘත්තීය කණ්ඩායම් කිහිපයක් ඔහු මෙහි දී නම් කළේය. ඒ අතර රාජකාරී හෝ වෘත්තීය කටයුතු හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට නොහැකි වන (ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථානයට වඩා බොහෝ දුරින් රාජකාරියේ නිරත) නමුත් තැපැල් ඡන්ද හිමිකම ද අහිමි රාජ්‍ය සේවකයින් හෝ අත්‍යාවශ්‍ය සේවා නිලධාරීන් වෙනුවෙන් මැතිවරණයට පෙර දිනයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට හැකියාව පවතින බව මොහොමඩ් මහතා කීවේය. මෙහි දී අදාළ ඡන්දදායකයාට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ඡන්දපොළ පිහිටි ස්ථානයක දී පිහිට වනු ලබන විශේෂ ඡන්ද මධ්‍යස්ථානයක දී පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දිය හැකි බව මොහොමඩ් මහතා පෙන්නා දුන්නේය.
පූර්ව ඡන්ද විමසීමේ ක්‍රමයට ඇතුළත් කළ යුතු නිලධාරීන් ලෙස වෛද්‍යවරුන් ද ඇතුළත් වන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල, ජාත්‍යන්තර ගුවවන්තටුපොළ සහ වරාය කාර්ය මණ්ඩල, අධිවේගී මාර්ග කාර්ය මණ්ඩල, පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ජනමාධ්‍යවේදීන්, දේශීය මැතිවරණ නිරීක්ෂකයින් මොහොමඩ් මහතා විසින් නම් කළේය.
මෙහි දී ඔහු පෙන්නා දුන්නේ අදාළ නිලධාරීන් නිසි පරිදි හඳුනා ගෙන, මැතිවරණය දිනයේ දී ඔහුට හෝ ඇයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට නොහැකි හේතු (සේවා ස්ථානයේ සිට අදාළ ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර, රාජකාරියේ ස්වභාවය ආදි) නම්කර ආයතන ප්‍රධානීන් විසින් සහතික කළ ලිපියක් හරහා පූර්ව ඡන්ද විමසීම් ක්‍රමයට ඇතුළත් වීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.
වර්තමානයේ කැනඩාව ආදි රටවල් ගණනාවක මේ ක්‍රමය ක්‍රියාත්මක වන බව පෙන්නා දුන් මොහොමඩ් මහතා දින 08කට පමණ පෙර මෙම ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවන බව ද කීවේය.
“මේත් හරියට අපේ තැපැල් ඡන්දය වාගේමයි. වෙනස තමයි තැපැල් ඡන්ද හිමිකම නොලබන ඡන්දදායකයින්ට මේ අවස්ථාව උදාවීම” ඔහු පැහැදිලි කළේය.
පූර්ව ඡන්ද විමසීම් ක්‍රමය ක්‍රමය වඩාත් සාර්ථක හා ඵලදායී විකල්පයක් ලෙස අගය කළ මොහොමඩ් මහතා මේ ආකාරයෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තවත් පුද්ගල කණ්ඩායමක් ගැන ද සඳහන් කළේය.
- විශේෂ ඡන්ද මධ්‍යස්ථාන
ඒ අනුව ඡන්දය විමසන දිනයේ දීම තමන්ට හිමි ඡන්ද පොළට යාමට අවස්ථාව අහිමිවන ඡන්දදායකයින් ඔවුන් ජීවත් වන ස්ථානයේ සිටම සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ‘විශේෂ ඡන්ද මධ්‍යස්ථානයක්’ පිහිටුවිය හැකි බව ද මොහොමඩ් මහතා කීවේය.
මෙම ක්‍රමයට යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පුද්ගලයින්, නේවාසික රෝගීන්, ආයෝජන කලාපවල සේවක – සේවිකාවවන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බව ඔහු සඳහන් කළේය.
‘හැබැයි මෙහි ගැටලුවක් තිබෙනවා. මේ ක්‍රමය පුළුවන් වෙන්නේ ජාතික මැතිවරණ වල දී පමණයි. පළාත් පාලන මැතිවරණ වල දී මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැහැ’ මොහොමඩ් මහතා මෙම විකල්පයේ පවතින ගැටලුවක් ද හෙළි කළේය.
- ජංගම ඡන්ද මධ්‍යස්ථාන
මෙහිදී ඔහු තෙවැනි විකල්ප ක්‍රමයක් ගැන ද සඳහන් කළේය. ඒ අනුව ඡන්දය විමසන දිනයේ දී ඡන්ද පොළට යාමට නොහැකි (අබාධිත, වයෝවෘද්ධ, දිගුකාලීන රෝගී තත්ත්වයෙන් පෙළෙන) ඡන්දදායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන ‘ජංගම ඡන්ද විමසීම් ක්‍රමය’ ඔහු මෙහි දී තවත් සාර්ථක විකල්පයක් ලෙස නම් කළේය.
“මෙවැනි ඡන්දදායකයින් ග්‍රාම නිලධාරී මාර්ගයෙන් ඉල්ලීමක් කළ විට ජංගම ඡන්ද විමසීම් ක්‍රමය යටතේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා ගන්න පුළුවන්” මෙම ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය දීර්ඝව පැහැදිලි කරමින් මොහොමඩ් මහතා සඳහන් කළේය.
ප්‍රායෝගිකව කළ හැකි ද ?
ඉහත දක්වන ලද විකල්ප ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රම ඉතාම පහසුවෙන් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි බව මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජිකයා අවධාරණය කළේය.
“ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී මේ විකල්ප ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රම අත්හදා බලන්න පුළුවන්. ඒකට හේතුව තමයි බොහෝ විට මුළු දිවයිනම ආවරණය වන පරිදි, සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනක පවත්වා නැහැ. ඒ නිසා පළාත් සභාවක හෝ පළාත් සභා කිහිපයක් වෙනුවෙන් පවත්වන මැතිවරණය දී මේ අලුත් ක්‍රම පහසුවෙන් අත්හදා බලන්න මැතිවණ කොමිෂමට පහසුයි. ඒ වගේම මැතිවරණ කොමිෂමේ ඉතාම පළපුරුදු නිලධාරීන් සාමාජිකයින් කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ඔවුන් ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් අත්දැකීම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙන තෙක් බලාගෙන සිටිනවා. ඒ නිසා ඉදිරි පළාත් සභා මැතිවරණය තමයි මේ විකල්ප ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රම අත්හදා බැලීමට හැකියාව ලැබෙන” මොහොමඩ් මහතා තව දුරටත් පැහැදිලි කළේය.
නීතියක් තිබේද ?
මෙම විකල්ප ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රම හඳුන්වා දීම සඳහා ඉතාම පහසුවෙන් අදාළ මැතිවරණ පනත් සංශෝධනය කළ හැකි බවත් වත්මන් රජයට ඒ වෙනුවෙන් අවශ්‍ය 2/3ක බලය තිබෙන බවත් මොහොමඩ් මහතා කීවේය. එසේම ඔහු පෙන්නා දුන්නේ මෙවැනි සංශෝධනයකට විපක්ෂයේ ද පූර්ණ සහයෝගය ලැබෙන බවයි. ඒ අනුව ‘මැතිවරණයන්හි දී ඡන්දය දැමීමේ අවස්ථා අහිමි වන දේශීය ඡන්දදායකයින්ට විකල්ප ඡන්ද ක්‍රම හඳුන්වාදීමේ අවශ්‍යතාව’පැහැදිලිව ඉටුකර ගත හැකි බව ද එම්.එම්. මොහොමඩ් මහතා පෙන්නා දුන්නේය.

ක්‍රමවේද යථාර්ථවාදී කර ගන්න නම් අලුත් නීති සම්මත කළ යුතුයි – ආචාර්ය නිමල්කා ප්‍රනන්දු
මැතිවරණයන්හි දී ඡන්දය දැමීමේ අවස්ථා අහිමි වන දේශීය ඡන්දදායකයින්ට විකල්ප ඡන්ද ක්‍රම හඳුන්වාදීමේ දී මූලික කාරණ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කතිකාවට ප්‍රවේශයක් ගනිමින් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු කීවාය.
මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම සහ ඊට ඇති නෛතික වටිනාකම පැහැදිලි කළ ආචාර්ය නිමල් ප්‍රනාන්දු මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට කැමති නමුත් ඒ සඳහා අවස්ථාව අහිමිවන විශාල පිරිසක් රට තුළ ම ජීවත් වන බව පෙන්නා දුන්නාය.
අයිතියක් උදෙසා සටනක්
“ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැතියි, නමුත් ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අභියෝග නිසා ඒ අවස්ථාව අහිමි වෙනවා. මේක ඉතාම අයහපත් තත්ත්වයක් වන්නා සේම ප්රජාතන්ත්රවාදයේ ජීවගුණයට හානියක්” ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
මේ සම්බබන්ධයෙන් සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කළ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ‘පුරවැසියා ලංකාව තුළ සිටියත්, විදේශ රටක සිටියත් (සේවය කළත්) ඔහුට හෝ ඇයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිය යුතුයි කියන සංවාදය තුළ තමයි, මැතිවරණයන්හි දී ඡන්දය දැමීමේ අවස්ථා අහිමි වන දේශීය ඡන්දදායකයින්ට විකල්ප ඡන්ද ක්‍රම හඳුන්වාදීමේ අවශ්‍යතාව’කියන මේ සංවාදය බිහිවෙන්නේ. ඒකට හේතුව තමයි වර්තමානය වන විට ශ්‍රමිකයින් ලෙස මිලියකට අධික මෙර පුරවවැසියන් පිරිසක් විදේශ රටවල, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ රැකියාව කරනවා. ඔවුන් විදේශගතව සිටියත් මෙරට පුරවැසියෝ. මෙම පුරවැසියන්ට මැතිවරණයකදී යළි මෙරටට පැමිණ ඡන්ද ප්‍රකාශ කරනවාට වඩා ඔහු හෝ ඇය ජීවත් වන රට තුළ දීම ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බවට කාලයක් පුරා පවතින සංවාදයක් තිබෙනවා. ඒ වගේම රට ඇතුළෙත් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන පුරවැසියන් විශාල පිරිසක් ඉන්නවා. විවිධ ප්‍රායෝගික හේතු නිසා ඔවුන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වෙනවා. මේ දෙපාර්ශ්වයටම සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමට හැකි ජාත්‍යන්තරව භාවිතා වන, පිළිගත් ක්‍රමවේද ගණනාවක් තිබෙනවා. අපි අවස්ථා ගණනාවකදී මේ ගැන සාකච්ඡා කර තිබෙනවා” යැයි පැවසුවාය.
ඩේප් කොමිෂන් සභා වාර්තාව
මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජිකයෙකු වන එම්.එම්. මොහොමඩ් මහතා විසින් පෙන්නා දුන් ඡන්දය ප්‍රකාශ කිරීමේ විකල්ප ක්‍රම තුනටම තමා එකඟ වන බව ද ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු කීවාය.
“මේ සම්බන්ධයෙන් මම ද සාමාජිකාවක ලෙස කටයුතු කළ විශ්‍රාමික අගවිනිසුරු ප්රියසත් ජෙරාර්ඩ් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මූලිකව එකඟ වුණා. එහිදී අපි මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන දෙස් සහ විදෙස් යන කාණ්ඩ දෙක ගැනම අධ්‍යයනය කළා. මෙම ඡන්දදායකයින්ට මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි ක්‍රමවේද සොයා බැලිය යුතු බව අපි අවසන් වාර්තාවෙන් නිර්දේශ කළා” ආචාර්ය නිමල්කා එකී වාර්තාවේ පිටපතක් ද ප්‍රදර්ශනය කරමින් සඳහන් කළාය.
ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති විකල්ප ක්‍රම ගැන තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මෙසේ ද කීවාය, “මේ වන විට භාවිතයේ තිබෙන ජාත්‍යන්තර ක්‍රම අනුව විදෙස් ගත ශ්‍රමිකයින්ට සහ ද්විත්ව පුරවැසියන්ට ඔවුන් ජීවත් වන හෝ රැකියාව කරන රටේ තානාපති කාර්යාලය හෝ මහ කොමසාරිස් කාර්යාලය තුළ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා. ඒ වගේම ජංගම ඡන්ද මධ්‍යස්ථාන, තැපැල් ඡන්ද සහ පූර්ව ඡන්ද විමසීම් ක්‍රමයට (Advance Voting System) අනුව සිය ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අපි නිදහස් වෙළෙඳ කලාපයේ වෘත්තීය සමිති, අබාධිත ප්‍රජාවට සම්බන්ධ විවිධ සංවිධාන, ආබාධිතයින් සමඟ කටයුතු කරන විවිධ සංවිධාන, මැදපෙරදිග රැකියා කරන ප්‍රජාව සමඟ කටයුතු කරන විවිධ සංවිධාන සහ කාන්තා සංවිධාන සමඟ සාකච්ඡා කළා. ඒ සංවිධාන විසින් ලබා දුන් යෝජනා සියල්ලම අධ්‍යයනය කළා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් තිබෙන්නා වූ (කැනඩාව, ඉන්දියාව, එස්තෝනියාව, පිලිපීනය සහ සිංගප්පූරුව වැනි රටවල්) ක්‍රමවේදයන් ගැනත් අපි අධ්‍යයනය කළා. ඒ අනුව අපි යෝජනා කළා, ‘විශේෂ ඡන්ද මධ්‍යස්ථානවල දී පෙර ඡන්දය ලබදිය යුතුයි’කියලා. අපි ඉදිරිපත් කළ පළමු වැනි විකල්පය තමයි පූර්ව ඡන්ද විමසීම් ක්‍රමය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය, සෞඛ්‍ය සේවකයින්, පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්රයට සම්බන්ධ සේවකයින්, ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඉන්ධන සැපයුමට සම්බන්ධ පුද්ගලික සමාගම්වල සේවකයින්ට (අදාළ දිනයේ රාජකාරීවල නිතර වන්නේ නම් පමණක්) පූර්ව ඡන්ද විමසීම් ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි කියලා අපි නිර්දේශ කළා”
නිදහස් වෙළෙඳ කලාප
මෙරට තුළ ජීවත් වන, නමුත් සිය ඡන්දය ප්‍රකාශය කිරීමට අවස්ථාව අහිමි වන බහුතර කණ්ඩායම වන්නේ නිදහස් වෙළෙඳ කලාප වල සේවය කරන සේවක සේවිකාවන්ය. විශේෂයෙන් ග්‍රාමීය පළාත්වලින් පැමිණ නේවාසිකව රැකියාව කරන මොවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් යළි ගම්බිම් කරා යාමට ඇති හැකියාව අවමය. එනිසා මෙම ප්‍රජාවට සම්බන්ධ වෘත්තීය සමිති සමඟ අදාළ ගැටලු සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කළ බව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සඳහන් කළාය.
“බියගම, කටුනායක, මීරිගම, හොරණ ආදි නිදහස් වෙළෙඳ කලාපවල රැකියාව කරන අති බහුතරය බොහෝ දුර බැහැර පළාත් වලින් පැමිණි අය. ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම්වලට යාමට ඇති හැකියාව අවමයි. ආයතන මඟින් ප්‍රමාණවත් නිවාඩු ලබා නොදීම හෝ නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ආදි හේතු ගණනාවක් නිසා ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි වෙනවා. අපි මේ ගැන අදාළ වෘත්තීය සමිති සහ සුභසාධන සංවිධාන සමඟ සාකච්ඡා කළා. ඔවුන් වෙනුවෙන් විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කළා. මෙහි දී අපි තවත් විකල්ප ක්‍රම හඳුනා ගත්තා. ඒ අනුව ජංගම ඡන් මධ්‍යස්ථාන වගේම විශේෂ ඡන්ද මධ්‍යස්ථානත් ක්‍රියාත්මක කළ හැකි බව අපි හඳුනා ගත්තා” යැයි කී ආචාර්ය නිමල්කා මෙවැනි විකල්ප ක්‍රම ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂමට දැනුම හා හැකියාව තිබෙන බව ද ඒ වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික පහසුකම් ද වර්තමානය වන විට සුලභව පවතින බව ද පෙන්නා දුන්නාය.
ප්‍රශ්න මොනවා ද ?
මෙම ක්‍රම ක්රියයාත්මක කිරීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ද මෙහි දී ආචාර්ය නිමල්කා හෙළි කළාය. “මේ ක්‍රම ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවෙන ප්‍රශ්න තමයි, අපට මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට සිදුවීම. වර්තමානය වන විට මැතිවරණ නීති සංශෝධනය කිරීමට යාම කියන්නෙම අනවශ්‍ය කලබලයක් ඇති වෙන වැඩක්. මැතිවරණ නීති සංශෝධනයක් ගැන කතා කළ වහාම කියන්නේ ‘මෙන්න ඡන්දය කල් දාන්න තවත් උප්පරවැටියක් ගෙනත්’ කියලා. ඉතිහාසය පුරාම මේවගේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නෙත් මැතිවරණ කල් දාන්නම තමයි. ඒ නිසා අපි යෝජනා කරන ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නෛතික පසුබිම හදා ගන්න ඒක කිසිසේත්ම පහසු නැහැ. මේවා දිහා ජනතාව වගේම දේශපාලන පක්ෂත් බලන්නේ උපන්ගෙයි සැකයෙන්. මේ තත්ත්වය ලංකාවේ පමණක් නොවෙයි දියුණු බටහිර රටවල පවා දැක ගන්න පුළුවන් තත්ත්වයක්”.
මෙවැනි විකල්ප ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට යාමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික අභියෝග සහ දුෂ්කරතා ගැන දීර්ඝව කරුණු පැහැදිලි කළ ආචාර්ය නිමල්කා මෙවැනි සාධනීය යෝජනා ඉදිරියට ගෙන ආ යුත්තේ පාර්ලිමේන්තුව වුවත් දේශපාලනිකව තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුවකින් ස්වාධීන දේශපාලන තීන්දුවක් හෝ නිර්දේශපාලනික යෝජනාවක් අපේක්ෂා කළ නොහැකි බව ද සඳහන් කළාය.

පාර්ලිමේන්තුව නීති හදලා දෙනකම් බලාගෙන ඉන්න බැහැ – මංජුල ගජනායක – ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ
ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂවරයා ඉහත කරුණු දක්වන ලද සම්පත්දායකයින් දෙදෙනාගේම අදහස් වලට සිය එකඟත්වය ප්‍රකාශ කරමින් මැතිවරණයන්හි දී ඡන්දය දැමීමේ අවස්ථා අහිමි වන දේශීය ඡන්දදායකයින්ට විකල්ප ඡන්ද ක්‍රම හඳුන්වාදීමේ අවශ්‍යතාව සම්බන්ධ සිය ස්ථාවරය පැහැදිලි කළේය.
‘අපි ඔක්කොම රජවරු – ඔක්කොම වැසියෝ’ කියලා වික්ටර් රත්නායක මහතා ගායනා කළත් ලංකාවේ ඡන්දයකදී නම් ‘ඔක්කොම වැසියෝ’ යැයි කිව නොහැකි බව මංජුල ගජනායක කීවේය. ඊට හේතු වශයෙන් ඔහු සඳහන් කළේ මැතිවරණයක දී සිය ඡන්දය ප්‍රකාශ නොකරන පුරවැසියන් විශාල පිරිසක් මෙරට තුළ වාසය කරන බවයි.
“ලංකාවේ ඡන්දායකයින් ප්‍රමාණය අනුව මිලියන ගණනකට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැත්ත තිබුණත් ඒ අවස්ථාව අහිමිවෙනවා.” මංජුල තව දුරටත් පැහැදිලි කළේය.
හෝද හෝද් මඩේ දැමීමක්
මැතිවරණයක දී ඡන්දය පොළට ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි ඡන්දදායකයින්ට ඒ වෙනුවෙන් විකල්ප අවස්ථා හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙරට තුළ සිදුවන සාකච්ඡාව ‘සෝද සෝද මඩේ දැමීමක්’ ලෙස හැඳින්විය හැකි බව කී මංජුල ගජනායක ලෝකයේ වෙනත් රටවල් දශක ගණනාවකට පෙර මෙම ක්‍රම සාර්ථකව අත්හදා බලා, ක්‍රියාත්මක කර ඇති ආකාරය ද පෙන්නා දුන්නේය.
“1987 දී මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි ඇමෙරිකානු ගගනගාමියෙක් එහි සිට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළා” මෙම ක්‍රම ගමන් කර ඇති දුර ගැන අවබෝධයක් ලබා දෙමින් මංජුල සඳහන් කළේය.
‘මේ ක්‍රම මේ තරම් දියුණු වෙලා තිබෙන්නේ’ ඔහු යළි අවධාරණය කළේය.
‘ආසියාවේ මුලින්ම ඡන්ද බලය ලැබුණු රට ලෙස අපි තාමත් දුක් වෙනවා මේ රටේම ඉන්න පුරවැසියන් විශාල පිරිසකට ඡන්ද පොළට නොගිහින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබීම, නොදීම ගැන. ලංකාවේ සහ ලෝකයේ වෙනස තමයි මේක” ඔහු පැහැදිලි කළේය.
රට තුළ ජීවත් වුව ද මැතිවරණයක දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන ප්‍රජාවන් 18ක් හඳුනා ගෙන ඇතැයි මෙහි දී මංජුල හෙළි කළේය.
“මේ ප්‍රජාවන් 18ටම ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකියි. නමුත් මේ ගැන හෙළි වුණාට පස්සේ (වාර්තාව ප්‍රකාශයට පත් කළ පසු) තවත් පිරිස් සිටින බව බොහෝ අය කියනවා. ඒ අනුව ප්‍රජාවන් 25-26ක් ගැන පමණ අපට මේ වන විට යෝජනා ලැබී තිබෙනවා” යැයි පෙන්නා දුන් මංජුල ගජනායක මේ සම්බන්ධ අතුරු වාර්තා කිහිපයක් ද තිබෙන බව පැවසුවේය.
“2004 සහ 2007 අතුරු වාර්තා දෙකක් තිබෙනවා. එකක් දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාව, 2021 දී 171වැනි සැසි වාර්තාව නිකුත් වෙනවා. එහිත් දිනේෂ් ගුණවර්ධන තමයි සභාපතීත්වය දරන්නේ. ඒ වාර්තාව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහායි. මීට අමතරව 2023 දී විශ්‍රාමික අගවිනිසුරු ප්රියසත් ජෙරාර්ඩ් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට නිකුත් වෙනවා. ඊට අනුෂංශික පදනම් වාර්තා ගණනාවක් තිබෙනවා. නමුත් මේවා පිළිබඳව කතා කතා කරද්දී පවා කාට හරි හිතෙන්න පුළුවන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරය විසින් යළි මෙවැනි සංවාදයක් ආරම්භ කරන්නේ ඇයි කියලා. නමුත් අපි මේ කරන්නේ ‘නැවත රෝදය සොයා ගන්නවා වාගේ වැඩක්’ නොවෙයි. මේ වැඩේ කොතරම් කාලයක් කළත්, මොන තරම් වැඩ කළත් ඊට අදාළ සමාජ අනුමැතිය ලැබිලා නැහැ. ඒ නිසා මේ සමාජ අනුමැතිය ලබා ගන්න වැඩේ තමයි අපි මේ කරන්නේ. මගේ අදහස තමයි කවුරු හරි පුරවැසි සමාජයක් මේ කතිකාව ඉදිරියට ගෙන ආ යුතුයි. මෙන්න මේ වැඩේ තමයි අපි මේ කරන්නේ” මංජුල ගජනායක තව දුරටත් පැහැදිලි කළේය.
වැඩේ හරියට කරලා නැහැ
මෙහි දී මංජුප ගජනායක අවධාරණය කළේ මීට පෙර ඉදිරිපත් කරන ලද කිසිම වාර්තාවක් ‘වැඩේ හරියට කර නැති’ බවයි.
මෙහි දී මංජුල පුරවැසියන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා විවිධ රටවල් ගෙන ඇති උදාහරණ ගැන පැහැදිලි කිරීමක් කළේය. ඔහු මෙහිදී පෙන්නා දුන්නේ ඉන්දියාව වැනි රටවල් පුරවැසියන් කිහිප දෙනකුගේ ඡන්ද බල අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් විශාල කැපවීමක් සහ වෙහෙසක් ගන්නා බවයි.
“ඉන්දියාවේ අඩි 14,000ක පමණ ඉහළ තිබුණ ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දදායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දුන්නේ කොහොමද ? ආදි වශයෙන් සාර්ථක ඡන්ද කතා විශාල ප්‍රමාණයක් අප හමුවේ තිබෙනවා. ඉන්දියාව, භූතානය වැනි රටවල් තමන්ගේ ඡන්දදායකයින්ගේ අයිතිය ආරක්ෂා කරදීම වෙනුවෙන් විශාල වෙහෙසක් සහ කැප කිරීමක් කරනවා” ඔහු තව දුරටත් පැහැදිලි කළේය.
අපි මොකද කළේ ?
මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ් මහත්මයා කිව්වා ‘මැතිවරණ කොමිෂම අලුත් දේවල් අත්හදා බලන්න බලාගෙන ඉන්නවා’ කියලා. මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස මම දකින්නේ මෙය අපරාධයක් ලෙසයි. අලුත් අත්හදා බැලීම් කරන්න ඇයි මැතිවරණ කොමිෂම මේ තරම් කාලයක් බලාගෙන ඉන්නේ ?. මේකට දේශපාලනඥයෝ පමණක් නොවෙයි වගකිව යුත්තේ අදාළ විෂයභාර රාජ්‍ය ආයතනත් මේ තත්ත්වයට ඍජුව වගකිව යුතුයි. තමන්ගේ විෂය පථයට අයත් ප්‍රතිපත්ති, නීති නැතිනම් ඒවා හදා ගැනීම අදාළ ආයතනවල ප්රමුඛ වගකීමක්. ඒ වගකීමෙන් කර අරින්න කිසිම ආයතනයකට බැහැ. විෂයභාර ඇමැති කරනකම්, පාර්ලිමේන්තුව කරනකම් බලාගෙන ඉන්න බැහැ. අදාළ ආයතන, ආයතන ප්‍රධානීන් මේ වෙනුවෙන් නායකත්වය ලබා දිය යුතුයි. අනෙක් කෙනෙක් කරලා බන්දේසියක තියලා දෙනකම් බලා ඉන්න බැහැ. තමන්ම නායකත්වය ගත යුතුයි” මෙම විෂයගත කරුණේ දී මැතිවරණ කොමිෂමේ කාර්යභාරය විවේචනය කරමින් මංජුල ගජනායක පැහැදිලි කළේය.
ජනතාවගේ ගෞරවය සහ විශ්වාසය දිනාගත් රාජ්‍ය ආයතන අතර අංක ලෙස මැතිවරණ කොමිෂන් සභාව තමා විසින් සලකන බව කී මංජුල ගජනායක මෙකී විශ්වාසය කොමිෂම විසින් ප්‍රයෝජනයට ගන්නේ දැයි ප්‍රශ්න කළේය.
“මැතිවරණ කොමිෂමට ජනතාව අතර විශාල විශ්වාසයක් සහ ගරුත්වයක් තිබෙනවා. නමුත් ඔවුන් ඒ විශ්වාසය ප්‍රයෝජනයට ගන්නවා ද ?” මංජුල යළි විමසුවේය.
සටහන – තුෂාල් විතානගේ

