‘ලයිසන් මාධ්‍යවේදියෙක්’ හදන ආණ්ඩුවේ වෑයම අනතුරුදායකයි – මාධ්‍යවේදිනී සුරේඛා ධර්මසේන
- Editor
- June 19, 2026
- කාලීන පුවත්, මතවාද
- opinion
- 0 Comments
අදින් දශක දෙක තුනකට පමණ පෙර මාධ්‍ය වෘත්තිකයා සම්බන්ධයෙන් තිබූ අදහසට වඩා සපුරා වෙනස් අදහසක් වර්තමානයේ මාධ්‍ය වෘත්තිකයා සම්බන්ධයෙන් තිබේ. වර්තමානයේ මාධ්‍ය වෘත්තිකයා යනු පුවත්පත් වාර්තාකරුවෙක්, රූපවාහිනී නිවේදකයෙක් , එසේ නොමැති නම් ඊට වෙනස් පුද්ගලයෙක් ද ලෙස අර්ථ දැක්වීමේ ගැටලු තිබේ. එහි අදහස වන්නේ අදින් දශක දෙක තුනකට කලින් තිබූ මාධ්‍ය වෘත්තිකයා සම්බන්ධයෙන් තිබූ තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි.
එය කොතරම් පරිණාමය වී තිබේ ද යත් වර්තමානයේ ප්‍රවෘත්තියක් මුලින්ම වාර්තා කරන්නේ බීබීසී හෝ සීඑන්එන් ආයතනය නොවේ. මෙම පුවත් මුලින්ම වාර්තා කරන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසිනි. එසේම වර්තමානයේ ‘මාධ්‍යවේදියා’ තනතුරක් ලෙස පිළිනොගනී. වෘත්තීය මාධ්‍යවේදියා යන සංකල්පය වර්තමානය වන විට ලෝකයෙන් තුරන් වෙමින් පවතී. වර්තමානයේ වෘත්තිය මාධ්‍යකරණයට වඩා වැඩි ඉල්ලුමක් තිබෙන්නේ සහ විශාල බලයක් තිබෙන්නේ සමාජ මාධ්‍යවලටය. මෙය යථාර්ථයක් ලෙසත්, කතාවේ එක් පැත්තක් ලෙසත් සැලකිය හැකිය. මෙම කතාවේ තවත් පැත්තක් තිබේ. වෘත්තීය මාධ්‍යවේදියෙකුගේ ග්රාහක පිරිස සීමා සහිතය. නමුත් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට, යූ ටියුබර් කෙනෙකුට හෝ ටික්ටොක් නිර්මාණකරුවෙකුට අසීමිත ග්රාහක පිරිසක් සිටිය හැකිය.
මාධ්‍යවේදියා යනු කවුද ?
“අපි මාධ්‍ය වෘත්තියට පිවිසෙන විට තිබූ තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් කරා වර්තමානය වන විට ලෝකය ගමන් කරමින් තිබෙනවා. මගේ අදහසට අනුව වෘත්තීය මාධ්‍යවේදියෙකුගේ තත්ත්වයේ සිට සහභාගීත්ව ක්රියාධරයෙකුගේ තත්ත්වය දක්වා අද මාධ්‍ය වෘත්තිකයා ගමන් කරමින් සිටිනවා. මාධ්‍යවේදියා යනු කවුරුන් ද යන්න අපට හඳුනා ගැනීමට සිදුවෙන්නේ මේ කරුණු කාරණා සමඟයි” කතිකාව සංවාදයේ සිය ප්‍රවේශය සනිටුහන් කරමින් සුරේඛා ධර්මසේන පැවසුවාය.
එහි දී සුරේඛා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිට වීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මෙසේ පැවසුවාය.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ පනත් කෙටුම්පත සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සම්බන්ධ නොවීම තමාගේ විමතියට කරුණක් බව කී සුරේඛා මෙම පනත් කෙටුම්පත තුළ සාධනීය කරුණු ගණනාවක් තමාට නිරීක්ෂණය වන බව ද කීවාය. මාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම වෙනුවෙන් පුහුණු වැඩසටහන්, ශිෂ්‍යත්ව ආදිය ලබාදීමට මෙම පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇති බව පෙන්වා දුන් ඇය මෙම පනත් කෙටුම්පත තුළ සාධනීය ලක්ෂණ කිහිපයක් ඇති බව යළි අවධාරණය කළාය.
මෙහිදී සුරේඛා පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම්පත තුළ යම් යම් සාධනීය ලක්ෂණ තිබුණ ද එහි නිශේධනීය කාරණා කිහිපයක් ද තමාගේ නිරීක්ෂණයට ලක් වූ බවයි.
නිශේධනීය කාරණා කිහිපයක්
කමිටු පත් කිරීමට ආදිය සම්බන්ධයෙන් දේශපාලන බලාධිකාරයට අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් සුරේඛා මෙහි දී සිය විවේචනය පළ කළාය. “එය කිසිසේත් හොඳ දෙයක් නෙමෙයි” ඇය අවධාරණය කළාය.
“නිදහස් මාධ්‍ය කියන දෘෂ්ටිකෝණයෙන් බලන විට එහි විශාල ගැටලු සහගතභාවයක් පේනවා. එසේම ‘ලියාපදිංචි මාධ්‍යවේදියා’ යන අදහස ගැටලුකාරීයි. මාධ්‍යවේදියා කියන්නේ ලියාපදිංචි තනතුරක් ද යන ප්‍රශ්න සහ විවේචනය අපට මෙහි දී ඇති වෙනවා” තම විවේචනයට හේතු පැහැදිලි කරමින් සුරේඛා පෙන්වා දුන්නේ පසුගිය කාලයේ අමාත්‍යවරුන්ගේ ප්රවෘත්ති ආවරණයට ගිය ඇතැම් මාධ්‍යවේදීන් මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධ ගැටලුවලට මුහුණ දුන් බවයි.
“මගේ ප්රශ්නය තමයි ආණ්ඩුව ද තීරණය කරන්නේ ඔහු මාධ්‍යවේදියෙක් ද නැද්ද කියලා. එතකොට නිදහස් මාධ්‍ය කියන සංකල්පයට මොකද වෙන්නේ. නෝම් චොම්ස්කි වගේ කෙනෙක් මේ පනත දිහා බැලුවොත් අහන දේ ගැන මට හිතා ගන්න පුළුවන්. ‘මාධ්‍යවේදියා යනු කවුරුන්දැයි තීරණයට කිරීමට බලයලත් ආයතනයක් තිබේ ද ?’ කියලා ඔහු ප්‍රශ්න කරනු ඇති බව මට නම් නිසැකයි. මගේ අදහසට අනුව මෙම කාරණය හමුවේ නිදහස් මාධ්‍ය කියන සංකල්පය බිඳ වැටෙනවා. මාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය කියලා අයිසින් එකක් තවරලා ගේන එක මර්දනයේ හස්තයක් විය හැකියි. ඒ වගේ බියක්, සැක සංකාවක් අපට මතු වෙනවා. ඒ වගේම තමයි මේක මේ ආකාරයෙන් යන විට Reporters Without Borders වැනි ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන මේක ප්‍රශ්න කරන්න පුළුවන්” මෙහි දී සුරේඛා පෙන්වා දුන්නේ මේ තත්ත්වය හා සමගාමීව ලෝක තත්ත්වය ද සැලකිල්ලට ගත යුුතු බවයි.
ප්‍රමිතිය සම්බන්ධ ගැටලු සහ විහිළු
“Without Borders කියන සංකල්පය මේ පනත් කෙටුම්පතක් එක්ක කොතරම් දුරට ගැටෙන සංකල්පයක් වෙනවා ද ? කියන එක අපි අවධානයට යොමු කළ යුතුයි” කී සුරේඛා පැවසුවේ මාධ්‍යවේදීන්ට ප්‍රමිති හදන විට තත්ත්වය තව දුරටත් සංකීර්ණ විය හැකි බවයි.
“උපාධියක් තිබීම මාධ්‍යවේදියෙකුට වෘත්තීයභාවය ලබාදීමට ප්‍රමිතියක් ද ?. වෛද්‍යවරයෙකුට, ඉංජිනේරුවෙකුට උපාධිය කියන එක වෙන දෙයක්. නමුත් මාධ්‍යවේදියෙකුට උපාධියක් තිබීම, ඔහුට අලුතින් පිහිට වීමට නියමිත වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනයේ සාමාජිකත්වය තිබීම වැනි දේවල් අනාගතයේ මාධ්‍යකරුවාගේ ප්‍රමිතිය සම්බන්ධ කාරණා බවට පත්වීම මට අනුව නම් විහිළුවක්” යැයි කී සුරේඛා මෙහි දී පෙන්වා දුන්නේ ‘මාධ්‍යෙව්දියා යනු කවුරුන්ද ?’ යන්න සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා අදහසක් තිබූ බවයි.
“කලක සිට මාධ්‍යවේදියෙක් යනු කවුරුන් ද යන්න පැහැදිලි කිරීමට සම්භාව්‍ය අරුතක් තිබුණා. ප්රවෘත්ති සොයා යාමට ඔහුට ඇති ඉව ගැන, දරා ගැනීම ගැන, තීක්ෂණ බුද්ධිය ගැන යම් අදහසක් තිබුණා” සුරේඛා මෙහි දී යළි පෙන්වා දුන්නේ මාධ්‍යවේදීන් පුහුණු කිරීම, ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට පියවර ගැනීම ආදිය සම්බන්ධයෙන් තමාට විවේචනයක් නොමැති බවයි.
“නමුත් ඒක මතම, ඒ වගේ දේවල් එක්කම මාධ්‍යවේදියා යනු කවුරුන්දැයි අර්ථ දැක්වීමට මම එකඟ වෙන්නේ නැහැ” සුරේඛා යළි අවධාරණය කළාය.
සමාජ මාධ්‍ය පාලනය
පසුගිය කාලය පුරා බලයට පත් වූ විවිධ ආණ්ඩු සමාජ මාධ්‍ය පාලනය කිරීමට තැත් කළ බව සිහිපත් කළ සුරේඛා යෝජිත පනත අනුව සමාජ මාධ්‍යවේදීන්ගේ අනාගතය සම්බන්ධයෙන් තමාට සැක සංකා මතුවන බව සඳහන් කළාය.
“මෙහි කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි ඔවුන්ට පුහුණු වැඩමුළු, ශිෂ්‍යත්ව ආදිය ලබා දීමක් සිදුවෙනවා. ඒ හරහා ඔවුන්ට පුහුණුව, අධ්‍යාපනය ලබාදීමක් සිදුවෙනවා. ඒවා මෙහි ධනාත්මක දේවල් ලෙස සැලකිය හැකියි. නමුත් මෙහි ඍණාත්මක පැත්තකුත් තිබෙනවා. ‘ඔබලා මාධ්‍යවේදීන් නෙමෙයි, මොකක්ද ඔබලාට සමාජය ඉදිරියේ ප්රවෘත්ති කියන්න තියෙන අයිතිය, ඔයාගේ යූ ටියුබ් එක වසා දමන්න’ වැනි ඍණාත්මක තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. මේ අනුව මේ පනත තුළ අන්ත දෙකක් තිබෙනවා. ඒ වගේම අපි දන්නේ නැහැ මේ පනත කුමනාකාරයකට ක්‍රියාත්මක වෙයි ද කියලා” යෝජිත වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ සාධනීය හා නිෂේධනීය ලක්ෂණ පැහැදිලි කරමින් සුරේඛා තව දුරටත් පැහැදිලි කළාය.
කිසිවක් වියුක්ත නැහැ
වත්මන් රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ගැන ද සුරේඛා මෙහි දී සිය අදහස් ඉදිරිපත් කළාය. ඇය මෙහි දී පැවසුවේ වර්තමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ද අදහස් ඉදිරිපත් කළ බවයි.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ඔවුන් පොරොන්දුවක් දුන්නා. එවැනි පොරොන්දුවක් දුන්න ආණ්ඩුව ඒ පනත හොඳට පාවිච්චි කරන්න පටන් ගත්තා. ඔවුන් ඒක පාවිච්චි කළේ වෙන කිසිවකටවත් නෙමෙයි ‘මර්දනය’ සඳහායි. ඒ සමඟ ආණ්ඩුව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” (PSTA) කෙටුම්පත් කළා. එහි දී ත්‍රස්තවාදය යනු කුමක්දැයි අර්ථ නිරූපණය කළා. ඒ අර්ථ නිරූපණය අනුව හිතන එක පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමට ආණ්ඩුව සූදානම් වුණා. පසුගිය දා අධිකරණ අමාත්‍යවරයා කිව්වා මේ පනත් කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. මෙවැනි දේවලුත් මේ අස්සේ වෙනවා. එතකොට අපි ව්‍යුහාත්මකව දැන ගත යුතු දේ තමයි වරලත් මාධ්‍ය වෘත්තිකයෙක් හදන්න අවංක වුවමනාවක් මේ ආණ්ඩුවට තිබෙනවා කියලා එක පැත්තකින් කිව්වොත් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත වගේ දේවලුත් තවත් පැත්තකින් ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ කිසිවක් අපට වියුක්තව ගන්න බැහැ. මේ සියල්ලම එකට තමයි අපට සාකච්ඡාවට ගන්න වෙන්නේ. ‘මොන පොල් පැළේට ද මේ ගොනා හැරෙන්නේ ?’ කියලා අපට කල්පනාවෙන් ඉන්න වෙනවා” සුරේඛා පැවසුවාය.
විවේචනයට ඉඩක් නෑ
මෙහි දී සුරේඛා සිය පුද්ගලික අත්දැකීමක් ද හෙළි කළාය. ඇය පැවසුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය සිය ෆෙස්බුක් ගිනුමේ ප්‍රතිචාර දැක්වීමට ඇති අවස්ථාව නිතර නිතර අවහිර කරන බවයි.
“ඒ කියන්නේ ඒ ගොල්ලෝ විවේචනයට ඉඩක් දෙන්නේ නැහැ. අපි හිතුවා මේ පත්වෙලා ඉන්නේ පසුගිය ආණ්ඩුවලට වඩා යම් ප්රගතිශීලී පිරිසක් කියලා. නමුත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරියගෙන් මම එවැනි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වගේ මානසිකත්වයක් තමයි මේ පසුබිමේ තියෙන්නේ. ඒ වගේම ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය වැනි අය තමයි මේ පනත් පිටිපස්සේ ඉන්නේ. ඒ නිසා මාධ්‍ය වෘත්තිකයන්ගේ කිසිම සම්බන්ධයක් නැතිව ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිට වීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරිපත් වීම සම්බන්ධ ගැටලුවක් අපට තිබෙනවා.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න
මෙහි දී සුරේඛා පෙන්වා දුන්නේ ලංකා මාධ්‍යවේදීන්ට නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් තිබෙන බවයි. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එදා මෙන්ම අද ද ප්‍රශ්න තිබෙන බව පෙන්වා දුන් සුරේඛා දණ්ඩ මුක්තිය සම්බන්ධ නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් තිබෙන බව කීවාය.
“මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම පිළිබඳ ප්‍රශ්න ගණනාවක් අප හමුවේ තිබෙනවා. ඒ ලිපි ගොනු පැත්තකට දාලා තියෙන්නේ. එසේම මාධ්‍යවේදීන්ට නිදහසේ වැඩ කරන්න නොහැකි වාතාවරණයක් රට තුළ තිබෙනවා. මේ ආණ්ඩුවට බලයට පත් වුණාට පස්සේ ජනමාධ්‍ය නිදහස ඇතුළු ගැටලුවලට විසඳුම් ලැබෙයි කියලා හිතුවා. නමුත් ඒවට විසඳුම් ලැබුණ ද ?. ජනමාධ්‍ය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ගේන පළමු වැනි පනත මේකයි. මේ පනතින් අපේක්ෂා කරන්නේ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීමයභාවයයි. නමුත් අපට වෘත්තීයභාවය සම්බන්ධ ප්‍රශ්නවලට වඩා දැවැන්ත ප්‍රශ්න තිබුණා, තිබෙනවා. මාධ්‍ය හිමිකරුවන්ගේ ප්‍රශ්න තිබෙනවා, ඔවුන්ගේ දේශපාලන ලැදියාවන් සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා, මාධ්‍ය පිටුපස තිබෙන ප්රාග්ධනය සම්බන්ධ විශාල අර්බුද තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා ප්‍රශ්න තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වුණා කියලා රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් කිසිම වෙනසක් සිදු වුණා ද ?. නැහැ කිසිවක් වුණේ නැහැ” සුරේඛා පෙන්වා දුන්නේ දීර්ඝ කාලයක් පුරා මෙරට ජනමාධ්‍යවේදීන් හමුවේ තිබූ කිසිම ප්‍රශ්නයකට වත්මන් ආණ්ඩුවෙන් විසඳුම් නොලැබුණ බවයි.
මහජන මාධ්‍යවේදය මෙරට තුළ බිහි නොවීම පිළිබඳ ප්‍රශ්න, මාධ්‍යවේදීන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න ආදි කිසිවකට පිළිතුරු ලබා නොදී මාධ්‍යවේදීන්ගේ වෘත්තීමයභාවය සම්බන්ධ ප්‍රශ්නවලට පමණක් පිළිතුරු ලබා දෙන යෝජිත පනත් කෙටුම්පත දැඩිව විවේචනය කළ සුරේඛා ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී ඉදිරිපත් කළ විසඳුම් යෝජනා කිසිවක් ඉටු නොකළ බව යළි පෙන්වා දුන්නාය.
“අපට මහජන සේවා මාධ්‍යයක් නැහැ, ඒවට කිසිම මුල පිරීමක් හෝ ආයෝජනයක් සිදු වුණේ නැහැ. අඩුම තරමේ රාජ්‍ය මාධ්‍ය ඒ තැනට ගේන්න තිබුණා. නමුත් ඒවා කළේ නැහැ” සුරේඛා ධර්මසේන යළි යළිත් පෙන්වා දුන්නාය.
සිය අදහස් දැක්වීම සාරාංශ කරමින් සුරේඛා ධර්මසේන මෙසේ ද පැවසුවාය. “ලංකාවේ මාධ්‍ය සම්බන්ධ ප්‍රශ්න ගණනාවක් තිබුණා. වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය හරහා මේ ප්‍රශ්නවලින් ඉතා කුඩා කොටසකට පමණයි විසඳුම් ඉදිරිපත් කරන්නේ. මේ ආයතනය මාධ්‍යවේදීන්ගේ වෘත්තීමයභාවය වැඩි දියුණු කිරීමට යෝජනා කළත් මාධ්‍යවේදීන්ට වාර්තාකරණයට තිබෙන නිදහස ගැන කිසිවක් කියන්නේ නැහැ. මාධ්‍යවේදීන්ගේ ජීවිත වල සුරක්ෂිතභාවය පිළිබඳව, අතුරුදන් වීමකින් හෝ බිය ගැන්වීමකින් තොරව කටයුතු කිරීමට ඇති අවකාශය පිළිබඳව, දණ්ඩ මුක්තිය පිළිබඳ කිසිවකට මේ ආයතනය හරහා විසඳුම් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මාධ්‍යවේදියා කියන්නේ කවුද ? යන්න පිළිබඳව අපට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට කුමනාකාරයේ අර්බුද මේ ආයතනය හරහා ඇතිවෙන්න පුළුවන් ද කියලා අපි කල්පනා කළ යුතුයි. මම හිතනවා අනාගතයේ දී මේ ආයතනය හරහා මාධ්‍ය සංවිධාන වලටත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. මොකද මේ ආයතනය මාධ්‍ය සංවිධානයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සංවිධානවලටත් බලපෑමක් සිදුවෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ හරහා නිදහස් මාධ්‍ය පිළිබඳ කේවල් කරන සංවිධානවල බලය යටපත් වෙන්න පුළුවන්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අත් වුණ ඉරණම මේ සංවිධාන වලටත් හිමි වෙන්න පුළුවන්. මම හිතන්නේ අවසානයේ මාධ්‍යවේදීන් ද අර්බුදයට යන කටයුතු මේ හරහා වෙන්න පුළුවන්.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 277 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘යෝජිත වරලත් මාධ්‍ය ආයතන ගැන විමසුමක්’ යන තේමාව යටතේ පැවැත්විණි. එහි දී ජනමාධ්‍යවේදිනී සුරේඛා ධර්මසේන විසින් ඉදිරිපත් කළ අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත. මෙම වැඩසටහන මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් මෙහෙයවනු ලැබුවේය.
සටහන – තුෂාල් විතානගේ

