‘එල් නිනෝ’ පේරු සහ ඉක්වදෝර් ධීවරයින්ගේ ක්‍රිස්තු දරුවා
- Editor
- June 24, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments

සරත් ප්‍රේමලාල් කෙහෙලැල්ල, හිටපු අධ්යක්ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
බොහෝ දෙනෙකු සිතා සිටින ආකාරයට ‘එල් නිනෝ’ (El Niño) තත්ත්වයක් යනු අලුත් අදහසක් හෝ සංකල්පයක් ලෙස සැලකිය නොහැකිය. මෙය ඈත අතීතයේ සිටම සිදුවන ස්වභාවික සංසිද්ධියකි. නමුත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු වන්නේ මෑත කාලීනවය.
මෙහි දී එල් නිනෝ තත්ත්වයක් යනු කුමක් ද ? කියා සරලව පැහැදිලි කර ගැනීම වැදගත් වේ.
මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් හඳුනා ගත හැකි නැවත නැවත ඇතිවන දේශගුණික රටාවක් ‘එල් නිනෝ’ තත්ත්වයක් ලෙස නම් කෙරේ.
ලෝකයේ විශාලතම සාගරය වන්නේ පැසිෆික් සාගරයයි. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ අගයක් ගනී. මෙහි පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පැසිෆික් සාගරය “උණුසුම් තටාකයක්”ලෙ ස ද හැඳින්වේ.
පැසිෆික් සාගරය මෙන්ම ඉන්දියානු සාගරය ද ඉතාම උණුසුම්ය. මේ තත්ත්වය තුළ පැසිෆික් සාගරය මෙන්ම ඉන්දියානු සාගරය ද උණුසුම් තටාකයන් ය.
පැසිෆික් සාගරයේ මුහුදු මට්ටමේ සාමාන්‍ය උෂ්ණත්වය, එහි නැගෙනහිර කොටසට වඩා බටහිර කොටසේ උෂ්ණත්වය සාපේක්ෂව ඉහළය. නමුත් යම් යම් කාලවලදී බටහිර කොටසට සාපේක්ෂව නැගෙනහිර කොටසේ උෂ්ණත්වය ඉහළ යාම සිදුවේ. එය වසර දෙකේ සිට හත දක්වා කාලයක් තුළ සිදුවන බව ගණන් බලා ඇති අතර මෙම උෂ්ණත්ව ඉහළ යාම මාස 09-12ත් අතර කාල සීමාවක පවතී.
එල් නිනෝ තත්ත්වයක් ඇති වූ විට සමස්ත ගෝලීය කාලගුණික තත්ත්වය වෙනස් වීමකට ලක්වේ. ඒ අනුව එල් නිනෝ තත්ත්වය ලෝකය පුරා වර්ෂාපතන, උෂ්ණත්ව සහ කුණාටු රටාවන්ට සැලකිය යුතු බලපෑම් ඇති කරමින් ගෝලීය කාලගුණ රටාව විශාල ලෙස වෙනස් කරයි.
එල් නිනෝ යන නම නිර්මාණය වූයේ කෙසේ ද ?
El Niño යනු ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. එහි ස්පාඤ්ඤ අරුත වන්නේ ‘කුඩා පිරිමි දරුවා’ හෝ ‘ක්‍රිස්තු ළදරුවා’ ය. මෙම නම මුලින් භාවිතා කිරීම ආරම්භ කළේ දකුණු ඇමෙරිකාවේ පේරු සහ ඉක්වදෝර් ධීවරයින් විසින් බව විශ්වාස කෙරේ. ඔවුන් එසේ කළේ පැසිෆික් සාගරයේ උණුසුම් ජලය අසාමාන්‍ය ලෙස වෙරළ ආසන්නයට පැමිණීම සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ, නත්තල් සමයේ ආසන්නයේ සිදුවන බව නිරීක්ෂණ වූ නිසාය.
ඇත්තෙන්ම ඔවුන් නිරීක්ෂණය කළේ කුමක් ද ?, මෙම උණුසුම් ජලය පැමිණීමත් සමඟ මත්ස්‍ය අස්වැන්නේ අඩුවක් ඔවුන් නිරීක්ෂණය කළේය. මෙය යම්කිසි නිශ්චිත වසර කිහිපයකට පසුව සිදුවන ක්‍රියාවලියක් බව ද ඔවුන්ට නිරීක්ෂණය විය.
පේරු රාජ්‍යයේ ජීවත් වූ මෙම ධීවරයින් ස්පාඤ්ඤ භාෂාව භාවිතා කළ අතර, ඔවුන් ක්‍රිස්තියානි භක්තිකයින් වේ. එසේම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ ධීවර කර්මාන්තයයි. එම නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන නත්තල් සමය සමඟ සම්බන්ධ කරමින් මෙම උණුසුම් සාගර ධාරාවට El Niño de Navidad (නත්තලේ දරුවා) යන නම ලබා දී ඇති අතර, පසුව එය කෙටි කර El Niño ලෙස ප්‍රචලිත විය.
මෙහි වැදගත් කරුණ වන්නේ මෙම ධීවරයින් උෂ්ණත්වයේ ඉහළ යාමක් ගැන අවබෝධයකින් තොර වූ අතර ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වූයේ අදාළ කාලය තුළ මත්ස්‍ය අස්වැන්නේ පහළ යාමය. ඔවුන් සිතුවේ නත්තල් මාසයේ දී සිදුවන මෙම ක්‍රියාවලිය දෙවියන් වහන්සේ තමන්ට දෙන දඬුවමක් බවය.
විද්‍යාත්මක පැහැදිලි කිරීම
නමුත් පසු කාලීනව විද්‍යාඥයින්ගේ අවධානය මේ සංසිද්ධිය කෙරෙහි යොමු විය. මෙය කිසිසේත් ආගමික ක්‍රියාවක් ලෙස නොසැලකූ ඔවුහු මේ සංසිද්ධියට අදාළ විද්‍යාත්මක සාධක සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට පටන් ගත්හ.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ නිවර්තන පැසිෆික් සාගරයේ නැගෙනහිර දෙස සිට බටහිර දෙසට හමන ‘වෙළෙඳ සුළං’ නිසා උණුසුම් සාගර ජලය බටහිර පැසිෆික් ප්‍රදේශයට (ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව ආසන්නයට) තල්ලු කෙරේ. මෙසේ නැගෙනහිර සිට බටහිර දෙසට හමන වෙළෙඳ සුළං සමඟ වායු ගෝලය තුළ ඇති වන සංසරණය (Circulation) Walker Circulation ලෙස හැඳින්වේ. Walker Circulation යනු නිවර්තන පැසිෆික් සාගරය හරහා නැගෙනහිර – බටහිර දිශාවට සිදුවන මහා පරිමාණ වායු ගෝලීය සංසිද්ධියකි. මෙය 1920 දී කාලගුණ විද්‍යාඥයෙකු වන Sir Gilbert Walker විසින් හඳුනා ගන්නා ලදි.
මේ ආකාරයෙන් සාගරය හරහා ගමන් කරන විශාල සුළං ප්රවාහයන් ‘වෙළෙඳ සුළං’ යන නමින් හැඳින්වේ. අතීතයේ සාගරය තරණය කළ නැවියන් තම රුවල් නෞකා ගමන් කිරීමට මෙම සුළං ප්‍රවාහය යොදා ගත්තේය.
මෙම Walker Circulation එකට සමගාමීව සාගරය තුළ ද සංසරණයක් ක්‍රියාත්මක වේ. එය Ocean Circulation ලෙස හැඳින්වේ. වෝකර් සංසරණය සමඟ සම්බන්ධ වන සාගර සංසරණය ප්‍රධාන වශයෙන් ‘නිවර්තන පැසිෆික් සාගර සංසරණය’ යන නමින් හැඳින්වේ. මෙය වෙළෙඳ සුළං මඟින් මෙහෙයවනු ලබන අතර පැසිෆික් සාගරය හරහා උණුසුම් සහ සිසිල් ජලය සංසරණය වීම සමඟ සම්බන්ධ වේ.
සාමාන්‍ය තත්ත්වයන්
සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෝකර් සංසරණය සහ සාගර සංසරණය එකට ක්‍රියා කරමින් සාගර – වායුගෝලීය ඒකාබද්ධ පද්ධතියක් ලෙස ක්‍රියා කරයි. මතුපිට සාගර සංසරණය දකුණු අමෙරිකාවේ සිට ඉන්දුනීසියාව දෙසට ශක්තිමත් වෙළෙඳ සුළං හමයි. මෙම සුළං මගින් උණුසුම් මතුපිට ජලය බටහිර දෙසට තල්ලු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දුනීසියාව සහ උතුරු ඕස්ට්‍රේලියාව ආසන්න බටහිර පැසිෆික් ප්‍රදේශයේ උණුසුම් ජලය රැස් වන අතර බටහිර පැසිෆික් මුහුදු මට්ටම නැගෙනහිර පැසිෆික් ප්‍රදේශයට වඩා සෙන්ටි මීටර් 40-60ක් පමණ ඉහළ යයි.
සාගරය මතුපිට ජලය බටහිර දෙසට තල්ලු වීමත් සමඟ පේරු සහ ඉක්වදෝර් වෙරළ ආසන්නයේ ස්ථරවල ඇති සිසිල් පෝෂක බහුල ජලය මතුපිටට නැගෙන අතර මෙම ක්‍රියාවලිය Up Welling ලෙස හැඳින්වේ. Up Welling නිසා පේරු සහ ඉක්වදෝර් ලෝකයේ වඩාත්ම ඵලදායී ධීවර කලාපයක් බවට පත්ව තිබේ.
කුමක් ද වෙන්නේ ?
එල් නිනෝ සමයේ වෝකර් සංසරණය දුර්වල වන විට සාගරයේ ප්‍රතිචාරය හඳුනා ගැනීම ද මෙහි දී වැදගත්වේ.
මෙහි දී වෙළෙඳ සුළං දුර්වල වීම හෝ ආපසු හැරීම සිදුවන අතර උණුසුම් ජලය පැසිෆික් සාගරය හරහා නැගෙනහිර දෙසට ගමන් කරයි. මේ අතර පේරු වෙරළ ආසන්නයේ දී Up Welling දුර්වල වේ.
මෙහි ප්‍රතිඵල ලෙස නැගෙනහිර පැසිෆික් සාගරය සාමාන්‍ය තත්ත්වයට වඩා උණුසුම් වන අතර පෝෂක ද්‍රව්‍ය සැපයුම අඩුවේ. එහි ප්‍රතිඵලය වන්නේ මත්ස්‍ය ගහනය අඩුවීමය. එසේම වර්ෂාපතනය ඉන්දුනීසියාවේ සිට නැගෙනහිර සහ මධ්‍යම පැසිෆික් දෙසට මාරුවේ.
මෙහි දී දුර්වල සාගර සංසරණය සමඟ Up Welling අඩුවීමක් සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ප්‍රදේශවල මත්ස්‍ය ගහනයේ අඩු වීමක් සිදුවේ. අතීතයේ පේරු ධීවරයින් මේ තත්ත්වය දුටු අතර එනිසාම මේ අසාමාන්‍ය තත්ත්වය ‘එල් නිනෝ’ ලෙස නම් කළේය. නමුත් පසු කාලයක දී කාලගුණ විද්‍යාඥයින් මේ ස්වභාවික සංසිද්ධියට විද්‍යාත්මක හේතු සොයා ගත්තේය.
එල් නිනෝ සංසිද්ධිය සමඟ සාමාන්‍ය සාගර උෂ්ණත්වය කෙරෙහි අවධානය යොමු කරන විට පෙනී යන්නේ බටහිර පැසිෆික් කලාපයේ රැස්වී වී ඇති උණුසුම් සාගර ජලය විශාල ප්‍රමාණයකින් නැගෙනහිර පැසිෆික් කලාපය වෙත සංක්‍රමණය වන බවය. මෙය එල් නිනෝ තත්ත්වයක් වශයෙන් සැලකේ.
වෝකර් සංසරණය ගත් විට එය සාමාන්‍ය තත්ත්වය (Normal Condition) සහ During El Nino තත්ත්වය ලෙස පවතී. මෙහි ඕස්ට්‍රේලියාවට ආසන්නයේ දී ඉහළට ගමන් කරන වාතය පවතින අතර එයත් සමඟ වලාකුළු නිර්මාණය වීම සිදුවේ. නමුත් එල් නිනෝ තත්ත්වයක් ඇති වන විට වළාකුළු පැසිෆික් සාගරයේ මධ්‍යයට, නැතහොත් නැගෙනහිර දිශාවට ගමන් කරන අතර ඒ සමඟ සංස්රණය වෙනස් වේ.
එල් නිනෝ තත්ත්වය අධීක්ෂණය කිරීම
එල් නිනෝ තත්ත්වය අධීක්ෂණය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම ද මෙහි දී වැදගත් වේ.
එල් නිනෝ තත්ත්වය අධීක්ෂණය කිරීම කළ හැක්කේ කෙසේදැයි විද්‍යාඥයින් සොයා බැලූ අතර එහි දී ඔවුන් සොයා ගත්තේ පැසිෆික් සාගරයේ මධ්‍ය ලක්ෂය හරහා උෂ්ණත්වය මැන බැලිය යුතු බවයි. එම යුගයේ චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය හෝ සාගර උෂ්ණත්වය මැන බැලීමට විශේෂ ක්‍රම නොතිබූ අතර ඊට පිළියමක් වශයෙන් මෙම ප්‍රදේශයේ භූමි දැලක් දැමීමට විද්‍යාඥයෝ පියවර ගත්හ. උෂ්ණත්වය වෙනස් වන විට කාලගුණය වෙනස් වන්නේ කෙසේදැයි සොයා බැලීම මෙහි අරමුණ විය.
පසුකාලීන සිදු කළ සොයා ගැනීමේ වලින් විද්‍යාඥයෝ තත්ත්වයන් තව දුරටත් තහවුරු කර ගැනීමට සමත් වූහ. ඒ අනුව ‘Nino 03 සහ Nino 04 යනුවෙන් කොටස් දෙකක් සහ Nino 01 සහ Nino 02 වෙන්කර ගැනීමට විද්‍යාඥයෝ සමත් වූහ. පසු කාලීනව Nino3.4 කොටසේ උෂ්ණත්වය මෙම තත්ත්වය අධීක්ෂණය කිරීම සඳහා හොඳම කොටස ලෙස විද්‍යාඥයෝ හඳුනා ගත්හ. ඒ අනුව මෙහි උෂ්ණත්වයේ වෙනස අනුව එල් නිනෝ තත්ත්වයක් තිබේ ද – නැද්ද කියා සොයා බැලීම සිදුවේ.
ඒ අනුව මෙහි උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා +0.5කින් ඉහළ යන්නේ නම් එල් නිනෝ තත්ත්වයක් පවතින බව ප්‍රකාශයට පත්කරන අතර එය අගය 0.5ට වඩා අඩු අගයක් ගන්නේ නම් ලා නිනා තත්ත්වයක් පවතින බව ප්‍රකාශ කෙරේ.
මෙහි දී තවත් වැදගත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුය. එනම් මේ තත්ත්වය සාමාන්‍යයෙන් මාසයක කාලයක් නොව ඊට වඩා වැඩි කාලයක් පැවතිය යුතුය.
මේ දක්වා සොයා ගෙන ඇති තොරතුරුවලට අනුව එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වීම සාමාන්‍ය ලෙස සිදුවන්නේ මාර්තු මාසයේ දීය. ඒ අනුව මාර්තු, අප්‍රේල් සහ මැයි මෙහි සංවර්ධිත අවධිය ලෙස සලකන අතර ජූනි, ජූලි සහ අගෝස්තු වන විට එල් නිනෝ තත්ත්වය මධ්‍යය අවධියට පැමිණෙන අතර දෙසැම්බර් සහ ජනවාරී එහි උපරිම තත්ත්වයට පැමිණේ. යළි පෙබරවාරී – මැයි අතර කාලයේ දී එල් නිනෝ තත්ත්වය දුර්වල අවධියට පැමිණේ.

මෙම පසුබිම තුළ ලෝකය එල් නිනෝ තත්ත්වයකට මුහුණ දී සිටින බව නිල වශයෙන් නිවේදනය කර ඇත. නමුත් මෙහි උච්ච අවධිය දෙසැම්බර් – ජනවාරී වන අතර එල් නිනෝ වල දරුණුම බලපෑමට මුහුණ දීමට මෙම මාසවල දී සිදුවේ.
මෙම උෂ්ණත්වය වර්ධනය වීම නිරීක්ෂණය කිරීමට Oceanic Nino Index – ONI නම් සූත්‍රය යොදා ගැනේ. මෙය ගණනය කිරීමේ දී මාස තුනක සාමාන්‍ය තත්ත්වයක් ලබා ගන්නා අතර Oceanic Nino Index – ONI අගය 0.5 සිට 0.9 දක්වා ඉහළ ගියහොත් (පසුව යළි අඩු වුණොත්) එය වසර Weak තත්ත්වයක් ලෙස සලකනු ලබන අතර 1.0 සිට 1.4 දක්වා ඉහළ යන්නේ නම් එම තත්ත්වය Moderate තත්ත්වයක් ලෙස ද 1.5 සිට 1.9 දක්වා තත්ත්වයක් Strong තත්ත්වයක් ලෙස ද1.9 සිට 02.00 දක්වා තත්ත්වයක් Very Strong තත්ත්වයක් ලෙස ද හැඳින්වේ.
වර්තමානය වන විට ලෝකය මුහුණ දී සිටින එල් නිනෝ තත්ත්වය Very Strong තත්ත්වයක් ලෙස සැලකෙන අතර ඒ සම්බන්ධයෙන් තවත් කරුණු රැස් කිරීමට සිදුවේ.
වර්තමාන තත්ත්වය කුමක් ද ?

වර්තමානය වන විට දකුණු ඇමෙරිකාවේ පේරු සහ ඉක්වදෝරය අවට ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර මැයි 17 සිට ජූනි 17 දින දක්වා තත්ත්වය ඉහළ රූප සටහනෙන් බලාගත හැකිය. මෙම රූප සටහන අනුව පෙනී යන්නේ එල් නිනෝ තත්ත්වය ආරම්භ වී ඇති බවයි.
එසේම මෙහි මතුපිට උෂ්ණත්වය / Subsurface Temperature ඉහළ යමින් පවතින අතර සාගරයේ ගැඹුරට යන තෙක් උෂ්ණත්වය ඉහළ යාමක් හඳුනා ගත හැකිය.

වත්මන් තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී එල් නිනෝ තත්ත්වයක් ඇති වීමේ 98%ක පමණ සම්භාවිතාවක් ඇති අතර එයය 100%ක් වීමට හැකියාව ඇත. වර්තමාන එල් නිනෝ තත්ත්වය Very Strong එල් නිනෝ තත්ත්වයක් වීමට ඇති සම්භාවිතාව 63%ක් පමණ වේ. Weak හෝ Moderate තත්ත්වයේ එල් නිනෝවක් වීමට ඇති සම්භාවිතාව 33%කි. මේ පසුබිම තුළ 2026 වර්ෂයේ දී Very Strong එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට ඉහළ සම්භාවිතාවක් තිබේ.
ඓතිහාසික විශ්ලේෂණය
එල් නිනෝ තත්ත්වයේ ඓතිහාසික විශ්ලේෂණයක් පහත දැක්වේ.

1950 සිට 2026 දක්වා එල් නිනෝ තත්ත්වයන් ඇති වූ ආකාරය ඉහත ප්‍රස්තාර සටහනේ දැක්වේ. මෙම ප්‍රස්තාර සටහන අනුව 1982-83 වසර වලදී ONI අගය 2.2 දක්වා ඉහළ ගොස් ඇත. 1997/98 වර්ෂවල දී මෙම අගය 2.4 දක්වාත්, 2015/16 වර්ෂවලදී 2.8 දක්වාත් ඉහළ ගොස් ඇති බවක් ඉහත ප්‍රස්තාර සටහනේ දැකගත හැකිය. මෙම ඓතිහාසික විකාශන අනුව 2026/27 වර්ෂවලදී එල් නොනෝ තත්ත්වයක් උද්ගත වුවහොත් එය කුමන අගයක එල් නිනෝ තත්ත්වයක් වේදැයි මේ දක්වා උපකල්පනය කළ නොහැකිය.
එසේ ප්‍රකාශ කිරීමට හේතුව වන්නේ දේශගුණික විපර්යාස හමුවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර එල් නිනෝ තත්ත්වය සහ දේශගුණික විපර්යාස අතර අන්තර් සම්බන්ධයක් තිබේදැයි පසුව සොයා ගත හැකිවනු ඇත.
ඉහත දත්ත අනුව පසුගිය සියවසක කාලය තුළ Very Strong එල් නිනෝ තත්ත්වය තිබෙන්නේ 03ක් පමණය. මෙම වසරේ කුමනාකාර තත්ත්වයක් උද්ගත වේ දැයි උපකල්පනය කිරීමට අපහසුය.
ලංකාවට සිදුවිය හැකි බලපෑම
එල් නිනෝ තත්ත්වයක් නිර්මාණය වුවහොත් ලංකාවට සිදුවිය හැකි බලපෑම මෙහි දී අවධානයට ගත යුතුය.

සාමාන්‍ය තත්ත්වයක් යටතේ ගෝලීය වශයෙන් උද්ගත විය හැකි තත්ත්වය ඉහත ඡායාරූපයේ දැක්වේ. මේ අනුව ඉන්දියාවට ‘වියළි’ තත්ත්වයක් උද්ගත විය හැකි බවට අනාවැකි පළ කර තිබුණ ද ශ්‍රී ලංකාවට එවැනි සංඥාවක් ලබා දී නැත.
උෂ්ණත්වය ගත් විට මාර්තු සිට මැයි දක්වා ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වයේ ඉහළ යාමක් දැකගත හැකිය.
වර්ෂාපතනයේ වෙනස
පහත ඡායාරූපයේ එල් නිනෝ තත්ත්වය සමඟ වර්ෂාපතනයේ සිදුවිය හැකි වෙනස්කම් දැක්වේ.

අප්‍රේල් සහ මැයි යන මාස තුන තුළ උෂ්ණත්වය අංශ 1.5ක් හෝ 02.0ක් වැනි අගයකින් ඉහළ යා හැකිය. එසේම මාර්තු සහ අප්‍රේල් උෂ්ණත්වය ඉහළ යාම වඩාත් දැනෙන සුළු එකක් විය හැකිය.
මෙම පසුබිම තුළ 2027 වර්ෂයේ මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුන තුළ උෂ්ණත්වය අංශ 1.5ක් හෝ 02.0ක් වැනි අගයකින් ඉහළ යා හැකිය. එසේම මාර්තු සහ අප්‍රේල් උෂ්ණත්වය ඉහළ යාම වඩාත් දැනෙන සුළු එකක් විය හැකිය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ‘එල් නිනෝ ආශ්රිත කාලගුණික යථාර්ථය’ යන තේමාව යටතේ පසුගිය ඉරිදා සංවිධානය කළ කතිකාව 278 වැනි වැඩසටහනේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් කෙහෙලැල්ල මහතා දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – තුෂාල් විතානගේ

