එල් නිනෝ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම
- Editor
- June 26, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments

සරත් ප්‍රේමලාල් කෙහෙලැල්ල – හිටපු අධ්යක්ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
එල් නිනෝ සංසිද්ධිය සමඟ කතා කරන තවත් වැදගත් මාතෘකාවක් වන්නේ ඉන්දියානු සාගරයේ Dipole තත්ත්වයයි. මෙහි දී පැසිෆික් සාගරයේ උෂ්ණත්වය වෙනස් වීමක් සිදුවේ. පැසිෆික් සාගරයේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල උෂ්ණත්වය යම් යම් කාල වලදී වෙනස්වීම එල් නිනෝ තත්ත්වයක් ලෙස සැලකේ. පැසිෆික් සාගරය සේම ඉන්දියන් සාගරයේ ද උෂ්ණත්වය සාපේක්ෂව ඉහළය. ඒ අනුව ශ්‍රී ලංකාව දෙපස ද උෂ්ණත්වයන් වෙනස් විමක් සිදුවේ. මෙම තත්ත්වය Dipole තත්ත්වයක් ලෙස නම් කෙරේ.

ඉහත රූප සටහනට අනුව එක්තරා කාලයක ශ්‍රී ලංකාව දෙපස ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව තායිලන්තය පැත්තේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා අඩු වන අතර මැඩගස්කරය පැත්තේ උෂ්ණත්වය සමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ යාමක් සිදුවේ. උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා අඩුවන විට අධි පීඩන කාලයක් ඇති වන අතර, උෂ්ණත්වය වැඩි වන විට අඩු පීඩන කලාපයක් නිර්මානය වේ.
වැඩි පීඩන කලාපයක සිට අඩු පීඩන කලාපයකට සුළං ගමන් කිරීම සිදුවේ. මේ තත්ත්වය Positive IOD ලෙස හැඳින්වේ. මෙහි දී නැගෙනහිර දෙසින් බටහිරට අමතර වායු ධාරාවක් ගලා ඒම සිදුවේ. මෙසේ අඩු පීඩන වායු ධාරාවක් ගලා එන සමයේ නිරිත දිග මෝසම් සමය ක්‍රියාත්මක වී තිබුණොත් එමගින් ලැබෙන වර්ෂාපතනය අඩුවේ. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයට ඍජුව බලපාන අතර, මෙරට වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවේ.
එසේම මෙවැනි තත්ත්වයක් ඊසාන දිග මෝසම් සමයේ නිර්මාණය වුවහොත් (දෙසැම්බර්, ජනවාරී සහ පෙබරවාරී) ලංකාවට ඉහළ වාර්ෂාපතනයක් ලැබීම සිදුවේ. මේ වන විට කාලගුණ විද්‍යාඥයින් උපකල්පනය කර ඇත්තේ Positive IOD තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි.
Negative IOD තත්ත්වයක් නිර්මාණය වුවහොත් සිදුවිය හැකි තත්ත්වය වන්නේ ඊසාන දිග මෝසම් සමයේ ඉහළ වර්ෂාපතනයක් ලැබීම සහ නිරිතදිග මෝසම් සමයේ වර්ෂාව අඩුවීමය.
පැසිෆික් කලාපයේ බටහිර දිසවේ උෂ්ණත්වය ද අඩු වන අතර, මේ තත්ත්වය තුළ එල් නිනෝ තත්ත්වයක් සමඟම අනෙක් පස සාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය වීමේ සම්භාවිතාවක් ද පවතී.

දැනට පවතින උපකල්පනය වන්නේ නොැවැම්බර් මාසය වන විට මේ තත්ත්වය ‘ධනාත්මක’ වනු ඇති බවය.
ඉතා බලවත් එල් නිනෝ තත්ත්වයන් තුනක් (1982-83, 1997-98 සහ 2015-16) මෙම සියවස තුළ පවති අතර, එම අවස්ථා තුනේම Positive IOD තත්ත්වයක් පැවතියේය. එසේම 1972-73 සහ 2023-24 වර්ෂවල INO Index එක ඒකක දෙකට වඩා වැඩි අගයක පැවති අතර Positive IOD තත්ත්වයක් ද පැවතියේය. Positive IOD තත්ත්වයක් තුළ ඉතා බලවත් එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් එල් නිනෝ තත්ත්වය සමඟ වර්ෂාපතන රටාවේ යම්කිසි වෙනසක් වීමේ හැකියාවක් පවතී.
මැඩන් – ජූලියන් දෝලනය (Madden -Julian Oscillation – MJO) සමයක් වර්ෂයක් හෝ මාස 09ක් පැවතිය හැකිය. මැඩන් – ජූලියන් දෝලනය යනු සමකය ආසන්නයේ ලෝකය වටා නැගෙනහිර දෙසට ගමන් කරන විශාල ප්‍රමාණයේ නිවර්තන කැළඹීමකි. මෙය 1971-72 කලායයේ දී කාලගුණ විද්‍යාඥයෙකු වූ Roland Madden සහ Paul Julian විසින් සොයා ගන්නා ලද්දකි.
මාස කිහිපයක සිට වසර කිහිපයක් දක්වා පවතින එල් නිනෝ සංසිද්ධියකට වඩා වෙනස්ව MJO යනු කෙටි කාලීන, අන්ත්ර් ඍතුමය දෝලනයක් වන අතර එහි චක්‍ර කාලය සාමාන්‍යයෙන් දින 30-60ක් හා සමහර විට දින 30-90 පමණ මෙම තත්ත්වය නිර්මාණය වන්නේ බටහිර ඉන්දියානු සාගරයෙන් වන අතර එය ක්‍රමානුකූලව නැගෙනහිර දිශාවට ගමන් කරමින් පැසිෆික් සාගරය මැද දී අක්‍රීයභාවයට පත්වේ.

මෙම තත්ත්වයට අංශ 08ක් පවතී. මෙය 2-4 ස්ථානවලට පැමිණ, ශක්තිමත් වුවහොත් ශ්‍රී ලංකාවට තද වර්ෂාපතනයක් ලැබිය හැකිය. මෙය පැයට කිලෝ මීටර් 04 – 08ක පමණ වේගයකින් ගමන් කරන අතර කුමන තත්ත්වයන් යටතේ වුව ද මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයට තීරණාත්මක වේ. එනිසා මෙම තත්ත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතු අතර මෙහි බලපෑම හමුවේ බොහෝ උපකල්පන වෙනස් වීමට ලක්විය හැකිය.
එල් නිනෝ සහ ලා නිනෝ යනු නියමිත කාල පරාසයක් තුළ සිදුවන කාලගුණ සංසිද්ධියක් වන අතර මැඩන් – ජූලියන් දෝලනය (Madden -Julian Oscillation – MJO) ඍතුවක් තුළ ඇති වන කාලගුණ සංසිද්ධියක් වශයෙන් සැලකිය හැකිය.
ලංකාවට සිදුවිය හැකි බලපෑම
2-4 තත්ත්වයට (Phases) පැමිණි පසු වළාකුළු ස්වභාවය වර්ධනය විය හැකි අතර ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් ද පවතී. එසේම අධික වර්ෂාපතනයක් ඇති විය හැකි අතර ගංවතුර අවදානම ඉහළ යා හැකිය.
මේ තත්ත්වය 2-4 නොවී වෙනත් තත්ත්වයන් තුළ පැවතිය හොත් වර්ෂාපතනය අඩුවීම, උෂ්ණත්වය ඉහළ යාම, වළාකුළු තත්ත්වය පහව යාම සහ කෙටි කාලීන නියඟ වැනි තත්ත්වයන් නිර්මාණය කළ හැකිය.
වර්තමානයේ මැඩන් – ජූලියන් දෝලනය පවතින ස්ථානය
වර්තමානයේ මැඩන් – ජූලියන් දෝලනය පවතින ස්ථානය පහත සිතියමෙන් පැහැදිලි කරේ.

මෙහි අගය 01කට වඩා අඩු නම් ලංකාවට බලපෑමක් නැත. මෙය ස්ථානගතව පවතින ස්ථානය අනුව වර්තමානය වන විට ලංකාවට බලපෑමක් නැත.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ‘එල් නිනෝ ආශ්රිත කාලගුණික යථාර්ථය’ යන තේමාව යටතේ පසුගිය ඉරිදා සංවිධානය කළ කතිකාව 278 වැනි වැඩසටහනේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් කෙහෙලැල්ල මහතා දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
මෙම ලිපියේ 01 වැනි කොටස (‘එල් නිනෝ’ පේරු සහ ඉක්වදෝර් ධීවරයින්ගේ ක්‍රිස්තු දරුවා) පහත දිගුව ඔස්සේ පරිශීලනය කළ හැකිය. https://midpoint.lk/%e0%b6%91%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%9d%e0%b6%b4%e0%b7%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%89%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b6%af%e0%b7%9d/
සටහන – තුෂාල් විතානගේ

