අලුත් ආර්ථික මාවතකට පිවිසීමෙන් තොරව ශ්‍රී ලංකාවට IMF බැඳීමෙන් ගැළවෙන්න හැකියාවක් නැහැ – මහාචාර්ය රොහාන් සමරජීව
- Editor
- September 2, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
IMF වැඩසටහන අවසන් වීමේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොයිබට ද?
ශ්‍රී ලංකාව එකතැන පල් වෙමින් සිටින අතර 4%ක් හෝ 5%ක් වැනි ආර්ථික වර්ධනයක් ගැන බලාපොරොත්තු තබා සිටී. නමුත් මෙවැනි පහළ ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීම දුෂ්කර හෝ අභියෝගාත්මක එකක් නොවේ. උදාහරණයක් ලෙස වියට්නාමය ගත හැකිය. වර්තමානයේ වියට්නාමය කතා කරන්නේ 9%ක් හෝ 10%ක් වැනි ඉහළ ආර්ථික වර්ධන වේගයක් ගැනය. මෙහි අදහස වන්නේ ශ්‍රී ලංකාවට අලුත් ආර්ථික මාවතකට ගමන් කිරීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්රහණයෙන් මිදීමට හැකියාවක් නොමැති බවය. ඒ සම්බන්ධයෙන් එතරම් විශ්වාසයක් තැබීමට ද හැකියාවක් නැත.
ශ්‍රී ලංකාව 2007 වර්ෂයේ සිට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අලෙවි කිරීමෙන් අවශ්‍ය මුදල් සොයා ගත්තේය. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා වන ‘රෝල ගැසීමක්’ ලෙස විස්තර කළ හැකිය. එයට හේතුව වන්නේ මෙම බැඳුම්කර කල් පිරුණු පසු ලබා ගත් මුදල් ආපසු ගෙවීමට සිදුවන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදි ආයතනවලින් ලබා ගත් ණය ගෙවන ආකාරයට වාරික වශයෙන් නොව ‘සම්පූර්ණ මුදල’ වශයෙනි.
එවැනි අවස්ථාවල ආණ්ඩුව නිරන්තරයෙන් කළ කාර්යය වූයේ තවත් ණයක් ලබා ගෙන අදාළ මුදල් ගෙවා දැමීම ය. මෙය අඛණ්ඩව සිදු වූ ක්‍රියාවලියක් බවට පත් විය. මේ ආකාරයෙන් ‘රෝල ගැසීම’ අඛණ්ඩව සිදුවිය.
මේ තත්ත්වය හේතුවෙන් 2015-19 කාලය තුළ විශාල වශයෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර අලෙවි කිරීමට එවකට පැවැති යහපාලන ආණ්ඩුවට සිදු වූ අතර 2007 සිට මේවා අලෙවි කරමින් රෝල ගැසූ පසුගිය ආණ්ඩුව මේ ක්‍රියාවලිය දැඩිව විවේචනය කළ ආකාරයත් ජනතාවට අමතක නැත. නමුත් මෙහි දී සිදු වූ කරුණ වන්නේ 2007 සිට අලෙවි කළ, මේ වන විට කල් පිරී තිබුණ බැඳුම්කර වෙනුවෙන් මුදල් ගෙවීමට යළි යළිත් බැඳුම්කර අලෙවි කිරීමට සිදු වූ බවය.
- වෙළෙඳපොළ ප්‍රවේශය
මෙම ක්‍රියාවලිය දිගින් දිගටම කර ගෙන යාමට ආණ්ඩුවට අපහසු නොවූවේ ඒ වන විට ශ්‍රී ලංකාවට ‘වෙළෙඳපොළ ප්‍රවේශයක්’ තිබීමය, නැතහොත් ජාත්‍යන්තර වාණිජ ණය වෙළෙඳපොළට යාමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබීමය. එසේම මෙම කාලය තුළ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අතර ශ්‍රී ලංකාවට B කාණ්ඩයේ පහළ ශ්‍රේණිගත කිරීමක් ද හිමිවී තිබුණේය.
මෙම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම රටක් වාණිජ ණය ලබා ගැනීමේ දී ඉතාම වැදගත් වේ. ඉහළම ශ්‍රේණිගත කිරීමක් ඇති රටවලට (A කාණ්ඩයේ) ඉතාම අඩු පොළියකට වාණිජ ණය ලබා ගැනීමට අවස්ථාව උදා වන අතර B කාණ්ඩයේ රටවලට සැලකිය යුතු පොළී ප්‍රතිශතයත් ගෙවීමට සිදුවේ. ලංකාව බී කාණ්ඩයේ පහළ අගයක පසු වූ හෙයින් ජාත්‍යන්තර වාණිජ ණය ලබා ගැනීමේ දී ඉහළ පොළියක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
ආර්ථික අර්බුදය අවසන් වුව ද, ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද ශ්‍රී ලංකාව තවමත් පසුවන්නේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල C කාණ්ඩයේ ය. ආර්ථික අර්බුදය අවසන් බව හෝ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව ප්‍රකාශ කළ ද ශ්‍රී ලංකාව තවමත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල 2022 ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට පැමිණ නැත.
- ඩොලර්වලින් ණය ගෙවීම
මෙහි දී වැදගත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුය. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල් පිරුණු පසු අදාළ මුදල් ගෙවිය යුතු වන්නේ ඩොලර් වලින්ය. එම මුදල් කිසිසේත්ම විදේශ සංචිත වලින් ගෙවීමට හැකියාවක් නැත. මෙවැනි අවස්ථාවක දී සාමාන්‍යයෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වෙත ගොස් වාණිජ බැංකු සතු ඩොලර්වලින් අදාළ බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු මුදල ගෙවා දැමීමය. විදේශ ප්‍රේෂණ, අපනයන ආදායම් ආදි වශයෙන් පුද්ගලයින්ට, සමාගම්වලට ලැබෙන මෙම ඩොලර් ආණ්ඩුවට අයිති නොවන බව ද මෙහි දී වටහා ගත යුතුය. මෙහි දී ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු වලින් අදාළ ඩොලර් ලබා ගැනීම කරනු ලබන්නේ අදාළ දිනයේ පවතින විනිමය අනුපාතය අනුව අදාළ මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවා දැමීම හරහා ය.
මෙම ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු සිදු වන්නේ නම් විදේශ සංචිත තිබීම වැදගත් වේ. මෙහි දී විදේශ සංචිත සැලකිය හැකි වන්නේ මෙම ක්‍රියාවලිය සුමට කිරීමට සහ විශ්වාසනීයත්වය ලබා දීමට අදාළ කරුණක් ලෙසය. තවත් සරල ආකාරයකින් පවසන්නේ නම් විදේශ ණය ගෙවීම ‘ෂේප් කර ගැනීමට’ තිබෙන උපකරණයක් ලෙස විදේශ සංචිත සැලකිය හැකිය.
- ලොකුම අඩුපාඩුව
ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාවට අදාළ නිර්ණායක දෙස බලන විට, ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ගැටලුව වන්නේ විදේශ සංචිත ප්‍රමාණවත් තරම් නොමැති වීමය.
ශ්‍රී ලංකාවෙි විදේශ සංචිත දෙස බලන විට බරපතළ ගැටලුවක් පවතී. සාමාන්‍ය පරිදි භාවිතයට ගත නොහැකි චීන ණය මුදලක් සංචිත වල පවත්වා ගෙන යන අතර පොදුවේ බලන විට ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් තරම් විදේශ සංචිතයක් නොමැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ශ්‍රී ලංකාව සතු ‘සත්‍ය’ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.4කි. ශ්‍රී ලංකාවට පාවිච්චි කළ හැකි විදේශ සංචිත ප්‍රමාණය මෙපමණකි.
මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන සඳහන් කිරීම් දෙස ද අවධානය යොමු කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ වාර්තාවල නිරන්තරයෙන් අවධාරණය කරන්නේ ‘ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් තරම් විදේශ සංචිත නොමැති බව’ය.
මේය වැදගත් කරුණක් හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් නිර්ණායකයක් ද සකස් කර ඇත. එම නිර්ණායකය අනුව ‘පරමාදර්ශී ඉලක්කම 100%ක් විය යුතුයි’ යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත. තවත් වසර හතරකට පමණ පසු ශ්‍රී ලංකාව 100%ක අගය කරා ළඟා වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපකල්පනය කර ඇති අතර ඔවුන්ගේ වාර්තා තුළ ද ඒ බව සඳහන් වේ.
- අද අපි ඉන්න තැන
නමුත් ප්රශ්නය ඇත්තේ වෙනත් තැනකය. වර්තමානය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දුන් 100%ක් නිර්ණායකයේ අසලකටවත් පැමිණ නැත. වර්තමානය වන විට ශ්‍රී ලංකාව පසුවන්නේ 60%ක අගයක් තුළය. මෙය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන අතර ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා සැලකිය යුතු තරම් අඩුය.
නමුත් මේ අගයෙන් ‘ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමට නො හැකි’ බවක් අදහස් නොවේ. එහි අදහස වන්නේ ශ්‍රී ලංකාවට විදේශ ණය විශ්වාසනීය ආකාරයෙන්, සුමටව සහ අඛණ්ඩව ගෙවීමට අසීරුතා පවතින බවය.
මේ තත්ත්වය තවත් සංකීර්ණ වීමට හේතුවක් ද තිබේ. ශ්‍රී ලංකාවේ මෙම දත්ත දෙස ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ද අවධානයෙන් පසු වන අතර, ඔවුන්ගේ නිර්ණායක අනුව ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් තරම් විදේශ සංචිත නොමැත.
එපමණක් නොවේ, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තවත් නිරීක්ෂණයක් ද ඉදිරිපත් කර ඇත. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ආදායමෙන් 50%ක් හෝ ඊට ආසන්න ප්‍රතිශතයක් ණය වෙනුවෙන් පොළිය ගෙවීමට පමණක් වැය වන බවය. මෙය ශ්‍රී ලංකාව විෂයෙහි යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාව කිසිසේත් ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණය කර නොමැති බවයි. ශ්‍රී ලංකාව එසේ කළා නම් රාජ්‍ය ආදායමෙන් ‘බදු නොවන ප්‍රතිශතය (7%ක් පමණ වන) ඊට වඩා ඉහළ නංවා ගැනීමට හැකියාවක් පවතින බව’ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවල අදහසය.
එපමණක් නොවේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම්වලින් රුපියල් බිලියන සිය ගණනක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැනි පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩු පියවීමට වැය කරන බවට ද ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මැසිවිලි නගා තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේ නම් මෙවැනි වියදම් ද සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමේ හැකියාවක් පවතින බවය.
මෙහි සරල අදහස වන්නේ ‘විදේශ ණය ගෙවීමට අවශ්‍ය ඩොලර් මිල දී ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබේද ?’ යන්න තහවුරු කර ගැනීමය.
- ශ්‍රේණිගත කිරීම් එකතැන
මෙහි සමස්ත අදහස වන්නේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම මේ දක්වා ඉහළ නො යාමය. ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් අනාවරණය කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම CCC+ අගයක පවතී. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට නො හැකි වාතාවරණයක් නිර්මාණය වී නොතිබුණත් එය ඉතා අසීරු සහ ඉහළ පොළියක් ගෙවිය යුතු ක්‍රියාවක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව යම් ආකාරයකින් B ශ්‍රේණිගත කිරීමක් ලබා ගන්නේ නම් විදේශ වාණිජ ණය ලබා ගැනීමේ දී යහපත් වාතාවරණයක් උදාවන අතර ගෙවිය යුතු පොළිය ද සැලකිය යුතු ලෙස අඩුකර ගත හැකිය.
නමුත් ප්රශ්නය වන්නේ මේ ශ්‍රේණිගත කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් අදාළ ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන සතු වීමය. එයට මැදිහත් වීමට හෝ බලපෑම් කිරීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නැත. නමුත් ඔවුන්ගේ තීන්දු – තීරණ වෙනස් කිරීමට කළ යුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සහ ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායමෙන් විදේශ ණයවලට පොළිය වශයෙන් ගෙවන ප්‍රමාණය අඩුකර ගැනීම තීරණාත්මක පියවර වේ.
නමුත් ගැටලුව වන්නේ මේ කිසිවක් පහසු පියවර නොවීමය. එම නිසා ශ්‍රී ලංකාව යම්කිසි ආකාරයක ‘ගැටයකට’ හසු වී සිටින ආකාරයක් හඳුනා ගත හැකිය.
- සෑම දේම යහපත් වීම
නමුත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආකාරයට ‘සියල්ල යහපත් ආකාරයෙන්’ සිදුවන්නේ නම් 2028 දී විදේශ ණය ගෙවීම ‘ඇද ගෙන යාමට’ ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබේ. ශ්‍රී ලංකාව ලබා ගනිමින් සිටින ආර්ථික වර්ධන වේගය මේ ආකාරයෙන් ඇද ගෙන යාමකට ප්‍රමාණවත් බව ආර්ථික විශේෂඥයින්ට පොදුවේ එකඟ විය හැකි කරුණක් බවට පත්වේ.
නමුත් ප්‍රශ්න වන්නේ වර්තමාන ලෝකය දැඩි අවිනිශ්චිතභාවයකින් පිරුණු එකක් වීමය. උදාහරණයක් ලෙස පසුගිය 2025 වසරේ නොවැම්බර් මස ලංකාවේ දිස්ත්‍රික්ක බහුතරයකට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා නිර්මාණය වූ තත්ත්වය ගත හැකිය. මෙහිදී සිදු වූ විනාශය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද තමන් විසින් පනවන ලද කොන්දේසි සහ ඉලක්ක ලිහිල් කළ නමුත් මේ අර්බුදය තවමත් අවසන් අදියරට පැමිණ නැත. විනාශයට පත් නිවාස ඇතුළු භෞතික සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් තව දුරටත් මුදල් වියදම් කිරීමට ආණ්ඩුව සිදුව ඇත.
මෙහි අදහස වන්නේ, අපට පාලනය කළ නොහැකි බාහිර සාධක හේතුවෙන් ආර්ථික සංවර්ධන ඉලක්ක යළි සමාලෝචනය කිරීමට හෝ පසුපසට ගැනීමට සිදුවන බවය.
ජාත්‍යන්තර සාධක ගත් විට මැදපෙරදිග අර්බුදය ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ඉලක්ක වෙත දැඩි බලපෑමක් කළේය. රසායනික පොහොර මත නිර්මාණය කළ අර්බුදය මේ අතර වඩාත් සංවේදී කරුණක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවට අවශ්‍ය රසායනික පොහොරවලින් 30%ක් පමණ හෝමුස් සමුදු සන්ධිය හරහා ආනයනය කරන ලද අතර මේ හේතුවෙන් රසායනික පොහොර හිඟයක් සහ මිල ඉහළ යාමක් සිදුවිය. ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රතිශතයක් රසායනික පොහොර ආනයනය කරන චීනය මේ වන විට සිය අපනයන ප්‍රතිපත්ති ක්‍රමිකව ලිහිල් කරමින් සිටියත් මෙම අර්බුදය අවසන් යැයි සිතීමට හැකියාවක් නැත.
මේ අර්බුදය තව දුරටත් සංකීර්ණ කරන කරුණ වන්නේ පොහොර හිඟය හේතුවෙන් ප්‍රශ්න නිර්මාණය වන්නේ කාලයක් ගත වූ පසුව වීමය.
LP ගෑස් සම්බන්ධයෙන් නිර්මාණය වූ අර්බුදයෙන් ඉන්දියාව පීඩාවට පත් වුව ද ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ඇති කරගෙන ඇතැයි කියන ගිවිසුමක් හේතුවෙන් ගෘහස්ත ගෑස් සම්බන්ධ අර්බුදයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය නොවීය.
ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් බරපතළ ගැටලුවක් වන්නේ ඛනිජ තෙල්, ඉන්ධන සම්බන්ධ ගැටලුවයි. මේ වන විට ‘ඉරාන – ඇමෙරිකානු යුද්ධ අවසන්’ යැයි බොහෝ දෙනෙක් සිතා ගෙන සිටියත් යුද්ධය අවසන් වන බවක් දැකගත නොහැකිය. එනිසා දැඩි අවිනිශ්චිතභාවයක් නිර්මාණය වී තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යාමට ඍජුව හේතුවක් වන අතර එය ප්‍රවාහනය, බලශක්තිය ඇතුළු සියලු ක්ෂේත්රවල මිල ගණන් ඉහළ යාමට හේතුවක් වී තිබේ. මෙය ද ඍජුව ආර්ථික වර්ධනයට ගැටලුකාරී බලපෑමක් ඇති කරන අතර එය ඉදිරියේ දී විදේශ ණය ගෙවීම ද ඇතුළුව සියලු ආර්ථික ක්‍රියාකාරකම්වලට ඍණාත්මක බලපෑමක් කිරීමට ඉඩ ඇත.
මේ අතර ශ්‍රී ලංකාව ද ඇතුළු ආසියානු කලාපය පුරා එල් නිනෝ බලපෑම තීව්රර වෙමින් පවතින අතර එහි බලපෑම ද කෘෂිකර්මාන්තය, බලශක්තිය ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් වලට ඍජුව ඍණාත්මක බලපෑමක් කරනු ඇති බව පැහැදිලිය.
- සුමට ක්‍රියාවලියක්
දේශීය, ජාත්‍යන්තර හා කලගුණික ආදි වශයෙන් නිර්මාණය වන අවිනිශ්චිතතා හමුවේ 2028 සිට විදේශ ණය සුමටව, විශ්වාසනීය ගෙවීමට ඇති හැකියාවට යම් යම් බලපෑම් කළ හැකි හෙයින් එය තිරසාර කිරීමේ අවශ්‍යතාවක් පවතින අතර, මේ අවස්ථාවේ දී විදේශ සංචිත ඉහළ නංවා ගැනීම තීරණාත්මක සාධකයක් බවට පත්වීම සිදුවේ.
වත්මන් ආර්ථික ප්රක්ෂේපණ අනුව ශ්‍රී ලංකාව සිය විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට යන්නේ නම් වේගයෙන් ඩොලර් මිලදී ගැනීමක් වෙත ගමන් කිරීමට මහ බැංකුවට සිදුවේ. මේ මිලදී ගැනීම සිදුවීමත් සමඟ විදේශ විනිමය අනුපාතය ‘වහාම’ ඉහළ යාමක් සිදුවේ. මේ සියල්ල අතර සමබරතාවක් ඇති කර ගැනීමේ අභියෝගය මහ බැංකුව හමුවේ පවතින අතර මෙය කිසිසේත් පහසු කටයුත්තක් නොවේ. එය දුෂ්කර මෙන්ම අභියෝගාත්මක එකක් බවට පත්වේ.
- අලුත් උපායක්
මේ අතර ආණ්ඩුව අලුත් සංවර්ධන උපාය මාර්ගයක්, නැතහොත් ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමේ ක්‍රමවේදයක් වෙත ගමන් කර ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධුර කාලයේ මෙන් මහා මාර්ග සංවර්ධනය හරහා ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ සැලසුමක් ආණ්ඩුවට ඇති බව නිරීක්ෂණ වේ.
මෙහි දී වත්මන් ආණ්ඩුව ‘ආඩම්බරයෙන් කියන කතාවක් ද තිබේ. ආණ්ඩුව පවසන්නේ මෙම සංවර්ධන කාර්යයන් විදේශ ණය ගැනීමකින් තොරව ‘අපේම සල්ලි වලින් කරන ඒවා’ බවය.
මේ ආකාරයේ දීර්ඝ කාලීන ආර්ථික ප්රතිලාභ ලබා ව්‍යාපෘති අගය කළ යුතු ඒවා වුව ද ඒවා මහා භාණ්ඩාගාරය විසින් රැස් කරගෙන තිබෙන බදු මුදල් වලින් කිරීමට වඩා අඩු පොළී විදේශ ණය හරහා කිරීම වඩාත් ඵලදායී බව පිළිගත යුතුය.
මේ හරහා යම්කිසි ආකාරයක අවිනිශ්චිත යුගයකට ශ්‍රී ලංකාව යළි ගමන් කරමින් සිටින බවක් නිරීක්ෂණය කළ හැකිය.
මේ අතර ‘යළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතුය’ යන අදහසක් නිර්මාණය වෙමින් තිබේ. ඔවුන්ට අනුව මෙහි වාසි දෙකක් ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමේ දී ‘බාහිර ණයකරුවෝ ශ්‍රී ලංකාව දෙස අනුකම්පාවෙන් බලයි’ යන්න ඔවුන් දකින පළමු වාසියයි. ඔවුන්ට අනුව යළි ජා.මූ.අ වෙත යා යුත්තේ ණය ලබා ගැනීමේ අරමුණින් නොව විශ්වාසය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිවය.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව දැඩි නියාමනයකට, නිරීක්ෂණයකට ලක් කිරීම ආර්ථික ක්‍රියාකාරකම් විෂයෙහි ධනාත්මක බව ඔවුන්ගේ අදහසය.
ඔවුන් පෙන්වා දෙන ඉහත වාසි ධනාත්මක ලෙස පෙනුණ ද කළ හැකි වඩාත් ධනාත්මක ක්‍රියාව වන්නේ හැකි තාක් කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමය. නමුත් යථාර්ථයේ දී එය අවසන් කළ හැකි වනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාවට විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට හැකියාවක් නොවීමය. උදාහරණයක් ලෙස ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය විට විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කළේය. ඔවුන් ඉන්දියාව නව මාවතකට යොමු කළේය.
නමුත් ශ්‍රී ලංකාව තුළ එවැනි පරිවර්තනයක් මේ දක්වා සිදුවී නැත. ශ්‍රී ලංකාව එකතැන පල් වෙමින් සිටින අතර 4%ක් හෝ 5%ක් වැනි ආර්ථික වර්ධනයක් ගැන බලාපොරොත්තු තබා සිටී. නමුත් මෙවැනි පහළ ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීම දුෂ්කර හෝ අභියෝගාත්මක එකක් නොවේ. උදාහරණයක් ලෙස වියට්නාමය ගත හැකිය. වර්තමානයේ වියට්නාමය කතා කරන්නේ 9%ක් හෝ 10%ක් වැනි ඉහළ ආර්ථික වර්ධන වේගයක් ගැනය. මෙහි අදහස වන්නේ ශ්‍රී ලංකාවට අලුත් ආර්ථික මාවතකට ගමන් කිරීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්රහණයෙන් මිදීමට හැකියාවක් නොමැති බවය. ඒ සම්බන්ධයෙන් එතරම් විශ්වාසයක් තැබීමට ද හැකියාවක් නැත.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 288 වැනි කතිකාවේ දී මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියක.

