මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය පිහිටුවීමට මාළිමාව ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නෑ – සුනිල් ජයසේකර
- Editor
- September 26, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන පෙත්සම්කාර සුනිල් ජයසේකර කියයි
ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් නිදහස් මාධ්‍ය ව්යාපාරයේයේ සුනිල් ජයසේකර සහ උදය කලුපතිරණය ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාදිකරණ විනිසුරු මඬුල්ල එම පනත් කෙටුම්පතේ වගන්ති තුනක් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව තීරණය කළේය.එහි එක් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය තවත් වගන්ති දෙකක් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුබවට නියෝග කර තිබේ.
මෙම අධිකරණ තීන්දුව ද ඇතුළුව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් වරලත් ආයතන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් පසුගිය දා ONE WORLD යූටියුබ් නාළිකාවේ විකාශනය විය. මෙම සාකච්ඡාවට මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුනිල් ජයසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂාන් විජේතුංග, ආචාර්ය ධම්ම දිසානායක සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී. දොඩාවත්ත මහතා විසින් සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේය. එම සාකච්ඡාවේදී සුනිල් ජයසේකර මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
ලංකාවේ මාධ්‍ය ඉතිහාසය ගත් විට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා විවිධ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ ඉතිහාසයක් තිබෙනවා. ආසන්න දශකයක කාලය තුළ ගත් විට ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගත් උත්සාහයන්ගේ යම්කිසි සාර්ථකත්වයක් ඔබ දකිනවා ද ?, මාධ්‍යවේදීන් ලෙස, මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරීන් ලෙස ඔබ ගැන සෑහීමකට පත්වෙනවා ද ?
තනි වචනයෙන් කිව්වොත් නැහැ. උදාහරණ වශයෙන් එහිදී දශක තුනකටත් එහා යන්න වෙනවා. නමුත් අපේ සක්‍රීය මාධ්‍ය ජීවිතය ගත්විට ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර කොමිෂන් සභා වාර්තාව, සිදත් සී නන්දලෝචන වාර්තාව ගත් විට ඒවායින් තමයි ලංකාවේ මෑත යුගයේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළේ. ඒ සියල්ල සිදු වුණේ 1994න් පස්සේ. නමුත් ඉතාමත්ම අවාසනාවන්ත විදිහට ඒවා යටපත් වෙලා තිබෙනවා.
ඊපස්සේ මේ රටේ මාධ්‍ය සංවිධාන පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීමට දැඩි අරගලයක් ගෙන ගියා. එක අවස්ථාවක ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අක්‍රිය කළා, නමුත් අවාසනාවට යළි ඒක සක්‍රීය වෙලා තිබෙනවා. මේ ආදි වශයෙන් ගත් විට මාධ්‍ය වෘත්තිකයින්ට අදාළව පමණක් නොවෙයි, ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය පරිවර්තනීය අවධියකට ගේන්න ගත්ත කිසිම ප්රතිසංස්කරණයක් අපි මෑත කාලයේ දැක්කේ නැහැ. නමුත් මෑත ඉතිහාසය ගත් විට ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සම්බන්ධ සාකච්ඡාවක් ආවා. ඒක යහපත් දෙයක්. නමුත් අවාසනාවට ඒකත් යටපත් වුණ ස්වභාවයක් පේනවා.
ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඔබ සහ උදය කළුපතිරණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යනවා. මෙහිදී ඔබගේ අවධානය යොමු වුණේ කුමන ප්‍රශ්න කෙරෙහි ද සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීරණය සහ මාර්ගෝපදේශ මොනවද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද ?. අදාළ වගන්ති ඇසුරින් මේක පැහැදිලි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතන පනත් කෙටුම්පතේ පරමාර්ථ සහ අපේක්ෂා කියන ඒවා ගත් විට, ඒවා ඉතාමත්ම සුන්දර, අපි සියලු දෙනාටම එකඟවෙන්න පුළුවන්, හැමෝම එකඟවිය යුතු රාමුවක් තමයි අපට ඉදිරිත් කළේ. නමුත් ඒකේ හරය ගත් විට තත්ත්වය වෙනස්. ජූනි 05 වැනි දින ගැසට් කළ ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ පනත් කෙටුම්පතේ හරය සම්බන්ධයෙන් ගත් විට අපි දකින මූලික වශයෙන් අපට එකඟ විය නොහැකි කරුණු කාරණා ගණනාවක් තිබෙනවා. පළමු කරුණ තමයි මේක රාජ්‍ය ආයතනයක් ලෙස ගොඩනැගෙන, මාධ්‍ය සහ මාධ්‍යකරුවන්, පරිශීලකයින් පාලනය කරන, නීති හදන, ආචාරධර්ම හදන, දඬුවම් කරන ඉතාමත්ම විසකුරු ආයතනයක් හැටියට තමයි අපි මේක දැක්කේ. මේක මාධ්‍යකරුවන්ගේ ප්‍රශ්නයක් හැටියට පමණක් නොවෙයි අපි මේක දැක්කේ. රටේ ප්රජාතන්ත්රවාදය අගයන, ප්රජාතන්ත්රවාදයේ මූලික හරයන් අගය කරන කණ්ඩායමක් ලෙස අපි දැක්කා, මෙවැනි ආයතනයක් ගොඩනැගුණොත් මේ ගොඩනැගෙන්නේ මීට දශක ගණනාවකට පෙර ගොඩනැගුණු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට වඩා ඉතාම විසකුරු ආයතනයක් කියලා. ඒක තුළ ‘නිදහස් මාධ්‍ය’ කියන ක්‍රියාවලියට විශාල හානියක් වෙනවා, මාධ්‍යකරුවන්ගේ නිදහසටත් ඒක තුළින් බරපතළ හානියක් වෙනවා. එපමණක් නොවෙයි මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැන ගැනීමේ අයිතියට, අදහස් පළ කිරීමේ අයිතියට විශාල හානියක් වෙනවා. ඒ හානිය වෙන්නේ මේ රටේ පවතින ආණ්ඩුවලට රිසි රිසි ආකාරයට මාධ්‍යවලට අදාළ නීති පනවන්න, අණපනත් ගේන්න, ආචාරධර්ම මුවාවෙන් විවිධ නියෝග පණවන්න, එපමණක් නොවෙයි දඬුවම් කරන්න අවශ්‍ය සම්පූර්ණ හැකියාව ලැබෙන පනත් ලෙස තමයි අපි මේ පනත දැක්කේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදීලා තිබෙන අයිතිවාස්කම් ගොන්නක් මේ ආයතනය ස්ථාපිත කළොත් අපට අහිමි වෙනවා කියලා අපි දැක්කා. අපි අන්න ඒ හේතුවෙන් තමයි අප ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ. මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව පසුගිය අගෝස්තු 7 වැනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා. අපි ඒ තීන්දුවට ඉතාම ගරු කරනවා. ඒ තීන්දුව අනුව නම්, ආණ්ඩුව නැවතත් තම අධිකාරී බලය පාවිච්චි කළොත් මිසක මේ ආයතනය පිහිටුවන්න බැහැ.
ඔබට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ?
ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පනත් කෙට්ටුම්පත අභියෝග ලක් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ තීන්දුව ලබා දුන්නේ 2026 අගෝස්තු 07 වැනිදා. SC -SD 27/2026 යන තීන්දුවේ තමයි මේ ගැන සඳහන් වෙන්නේ. ඔබ මුලින් සඳහන් කළ ආකාරයට මේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ, ඒ කියන්නේ පෙත්සම්කරුවන් වුණේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් උදය කළුපතිරණ සහ මමයි. වගඋත්තර කරුවන් ලෙස, නීතිපති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ නම් කළා.පෙත්සම්කරුවන් වෙනුවෙන් දයානි පණ්ඩිරත්නගේ උපදෙස් මත නීතිඥ මතීෂා කුමාරසිංහ සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් පෙනී සිටි අතර රජය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමාලිකා වික්‍රමසිංහගේ උපදෙස් මක රයීදදු රිස්වි (රජයේ නීතිඥ) සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ඨ ද සිල්වා බාලපටබැඳි පෙනී සිටියා.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ජනක් ද සිල්වා, ආචාර්ය සෝහිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් විභාගයට ගත්තා.
පසුගිය අගෝස්තු 07 වැනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කළා. ශ්රේෂ්ඨාධිකරණයමෙම පනත් කෙටුම්පතේ 3(i) වගන්තිය ජේදය අපැහැදිලි වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(ජ) වගන්තිවලට අනුකූල නොවන බවත්, (84(2) විශේෂ බහුතරයක් අවශ්‍ය බවත්, 3(i) ඉවත් කළහොත් නොගැළපීම නැති බව බවත් තීරණය කර තිබුණා.
ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතන පනත් කෙටුම්පතේ (4(o) වන වගන්ති ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (12(1) සහ 14(1)(ජ) වගන්තිවලට අනුකූල නොවන බවත් (82(2) බහුතර බලයක් අවශ්‍ය බවත් තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, යෝජිත පරිදි සංශෝධනය කළහොත් නොගැළපීම් නැති වන බව සඳහන් කළා.
5(4)(b) වන වගන්ති ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට අනුකූල නොවන බවත් (84(2) විශේෂ බහුතර බලයක් අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, යෝජිත පරිදි අදාළ වගන්තිය සංශෝධනය කළහොත් නොගැළපීම් නැති බව ද සිය තීරණයේ සඳහන් කර තිබුණා.
ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතන පනත් කෙටුම්පතේ 3(1) වන වගන්ති ඡේදය මෙමඟින් ආයතනයේ එක් අරමුණක් ලෙස මාධ්‍ය වෘත්තිකයින්ගේ කාර්යක්ෂමතා ඇගයීමේදී මාධ්‍ය වෘත්තීයභාවය සම්බන්ධයෙන් ඔවුන් ප්රමිතිකරණය / වෘත්තීය සහතික කිරීමක් හඳුනා ගෙන තිබුණා. අපේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙය බාධාවක් වන අතර මාධ්‍ය වෘත්තිකයින්ට ඔවුන්ගේ වෘත්තීය කාර්යයන් ඉටුකිරීම වැළැක්වීමේ බලපෑමක් ඇති කරන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(ජ) වගන්තිවලට පටහැණි වන බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පැවැසුවේ ‘එවැනි සීමා කිරීමක් පැනවීමට අපේක්ෂා නොකරන බවයි’.
4(o) වන වගන්ති ඡේදය මෙහි දී විස්තර කරන ලද අතර, මෙමගින් මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය ප්රමිතීන් හඳුන්වා දිමට, සංවර්ධනය කිරීමට, පවත්වා ගෙන යාමට සහ නිරීක්ෂණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට බලය පවරනවා.
‘පවත්වාගෙන යාම’ (Maintain) සහ නිරීක්ෂණය කිරීම (Monitor) යන වචන පුළුල් අර්ථයක් දරන අතර අස්පෘශ්‍ය / අපැහැදිලි බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 12(1) සහ 14(1)(ජ) වගන්තිවලට අනුකූල නොවන අතර 84 වන පරිච්ඡේදයේ (2) ඡේදයේ විධිවිධාන යටතේ අවශ්‍ය කරන විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. 4(o) වන වගන්ති ඡේදය පහත පරිදි සංශෝධනය කළහොත් එකී නොගැළපීම නැති වී යනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.
5(4)( B) වන වගන්ති ඡේදය – මෙමගින් ආයතනයට තෝරා ගත යුතු සාමාජිකයින් සංඛ්‍යාව සහ එවැනි සාමාජිකයින් තේරීමේ නිර්ණායක සම්බන්ධයෙන් සහ සභාව සඳහා සාමාජිකයින් සහ නිලධාරීන් තෝරා පත් කර ගැනීමට අදාළ නීති සෑදීමට අන්තර්කාලීන සභාවට බලය පවරනවා. මෙය යම් දුරකට 26(1)(අ) සහ (ආ) වගන්ති මඟින් සභාව වෙත ලබා දී ඇති බලය නිරූපණය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළා. කෙසේ වෙතත් 26(03), (4) සහ (5) වගන්තිවල සභාව විසින් සාදන ලද එවැනි නීති ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුුතු බවට පටිපාටියක් දක්වා ඇති බව කී ශ්‍රේෂ්ඨාධිකරණය එසේ වුව ද 5(4)(b) වගන්ති ඡේදය යටතේ අන්තර්කාලීන සභාව විසින් සාදනු ලබන නීති සඳහා එවැනි ආරක්ෂණ/ සුරක්ෂිතාවන් දක්වා නොමැති බව සිය තීන්දුවේ සඳහන් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වන ආකාරයට, මෙය අත්තනෝමතික වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට අනුකුල නොවන අතර 84 වන වගන්තියේ (2) ඡේදයේ විධිවිධාන යටතේ අවශ්‍ය කරන විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා.
මෙහි දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය ලිඛිත දේශනවල පහත සඳහන් කාරක සභා අවස්ථා සංශෝධන යෝජනා කර ඇති බව අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇති ආකාරයට ඒවා පැහැදිලි කරන්න පුළුවන්. ඒ අනුව,
5 වන වගන්තිය – 31 සිට 33 දක්වා පේළි ඉවත් කර පහත දැක්වෙන දේ ආදේශ කරන්න –
(ඇ) (අ) ඡේදය යටතේ සාදන ලද නීති මාස තුනක් ඇතුළත ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ යුතුය.
(ඈ) අන්තර්කාලීන සභාව විසින් සාදනු ලබන සෑම නීතියක්ම, ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර මාස තුනක් ඇතුළත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව හමුවට පැමිණවිය යුතුය.
(ඉ) (ඈ) ඡේදය යටතේ යම් නීතියක් අහෝසි වූවා සේ සලකනු ලබන දින සිට වසරක කාලයක් ඇතුළත (1) වන උප වගන්තියේ නියමයන්ට අනුකූලව සභාව වෙත සාමාජිකයින් තෝරා පත් කර ගැනීම හෝ පත් කිරීම කළ යුතුය”.
යෝජිත පරිදි 5 වන වගන්තිය සංශෝධනය කළහොත් අනුකූල නොවන බව නැතිවී යන බව සිය මතය බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා. ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ මෙසේ සඳහන් කළා. “අප පනත් කෙටුම්පතේ සෙසු වගන්ති පරීක්ෂා කර ඇති අතර ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව තිරණය කරමු” ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සිය SC -SD 27/2026 තීන්දුවේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
මේ කාරණා තමයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණයේ සඳහන් කරලා තියෙන්නේ. මේකේ ඇති වැදගත්කම තමයි මේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක ඒකමතික තීන්දුවක්.
අපි දන්නා තරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමයි පාර්ලිමේන්තුවට යොමු කරන්නේ. අපි විශ්වාස කරනවා මේ ලබා දුන් නඩු තීන්දුවේ ස්වභාවය අනුව මේ වගන්ති සංශෝධන කරලා, සාමාන්‍ය බහුතර බලයකින් මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ගියොත් මේ පනත් කෙටුම්පතේ හරය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. රාජ්‍ය කේන්ද්‍රීයත්වය සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව කටයුතු කළොත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ආණ්ඩුව විශේෂ බහුතරයකින්, තුනෙන් දෙකකින් මේ පනත් කෙටුම්පත සම්මත කර ගන්න ගියොත් ඊට වඩා වෙනස් තත්ත්වයක් ඇති වෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව ආණ්ඩුව තමන් සතු තුනෙන් දෙකකට වඩා අධික බලය පාවිච්චි කරලා මේ පනත් කෙටුම්පත සම්මත කරගනී කියලා අදහස් මාධ්‍ය සමාජය තුළ තිබෙනවා. ඔබ මේ ගැන දරන අදහස කුමක් ද ?
මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන මාර්ගෝපදේශ තුළ ආණ්ඩුවට වංගුවක් ගහන්න බැහැ. කරන්න පුළුවන් දේවල් දෙකක් තිබෙනවා. එකක් මේ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම. නම්‍යශීලී වීම. ඒ සංශෝධන සිදුකරන කොට, ඒක ආණ්ඩුවේ නීතිඥයින් කණ්ඩායමක් විසින් කරන සංශෝධනයක් නොවිය යුතුයි. ඒක මාධ්‍ය ක්ෂේත්රය සමඟ පමණක් නොවෙයි, සිවිල් සමාජයත් එක්ක, ඉතා දියුණු, විවෘත හා අව්‍යාජ සංවාදයක් තුළින් සිදුවිය යුතුයි. මේකට විශාල කාලයක් යන්නේ නැහැ. අපට ඉතාම කෙටි කාලයකින්, මේක සාධනීය අරමුණත් ඇතිව, රටටත් යහපතක් වන, මාධ්‍ය ක්ෂේත්රයටත් යහපතක් වන, පොදුවේ පුරවැසියන්ටත් ඒ ප්රතිලාභ ලැබෙන ආයතනයක් ලෙස මේක ගොඩනගන්න පුළුවන්.
ඒ සාමාන්‍ය බහුතරයකින් සම්මත කර ගන්නවා නම් නේද ?
නැහැ, මම කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ගෝපදේශ පිළිගනිමින්, ජාතික අභිලාෂයක් ඇති ඒ අවශ්‍ය සංශෝධන කරනවා නම් පමණයි. එසේ නොමැතිව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණයේ සඳහන් කර ඇති ආකාරයට අදාළ සංශෝධන නොකර ‘සුවිශේෂ බලයකින්’, ඒ කියන්නේ 2/3ක බලයකින් මේ පනත සම්මත කර ගන්න ගියොත් ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන අභියෝග දෙකක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම්කිසි පනතක් පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් සම්මත විය යුතුයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ නීතිය ‘බහුපාර්ශ්විකත්වයක්’ තුළ කියන එක. ආණ්ඩුකට 2/3ක බලයක් තිබෙනවා කියන එක නිශ්චිත තත්ත්වයක් නෙමෙයිනේ. ඒ නිසා බහුපාර්ශ්වීය අනුමැතියක් අවශ්‍යයි. 2/3ක බලයක් කියලා කියන්නේ ‘බහුපාර්ශ්වීය අනුමැතිය’, එකතුවක් කියන එක. අද ජාතික ජන බලවේගය ආණ්ඩුවට තිබෙන තුනෙන් දෙකට වඩා වැඩි බලය කිසිසේත්ම බහුපාර්ශ්වීය බලයක් නෙමෙයි. ජනතාව මේ ආණ්ඩුවටලය දුන්නේ සද්භාවයෙන් වුණත්, ඔවුන් අසීමාන්තික බලයක් ලබා දීමක් අපේක්ෂා කළේ නැහැ. ආණ්ඩුවට අවශ්‍ය ඔ්නෑම දෙයක් කරන්න’ බලය ලබාදීමක් සිදු වුණේ නැහැ. යහපත් දේ කරනවා නම් එතැන අධිකාරී බලයට ඉඩක් නොතිබිය යුතුයි. තනි දේශපාලන පක්ෂයකට, තනි දේශපාලන කණ්ඩායමකට, තනි පාර්ලිමේන්තු කණ්ඩායමකට අනික් සියල්ලම පැත්තකට දාලා, තනි ආධිපත්‍යයක් දරමින් ‘ඔ්නෑම දෙයක් කරන්න’ මේ රටේ ජනතාව දීලා නැහැ. අපි අපේක්ෂා කරනවා, දේශපාලන පක්ෂයක, ආණ්ඩු පක්ෂයක බලහත්කාරී බලයක් තුළින්, 2/3ක බලයකින් මේක සම්මත නොකරයි කියලා.
අපි එහෙම අපේක්ෂා කරන හේතුත් තිබෙනවා. එකක් තමයි මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර, 2024 අගෝස්තු ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කළා. එහි 1.8 ඡේදයේ තියෙන්නේ, ‘නිදහස් ජනමාධ්‍ය කර්මාන්තයක් සහ සමබර තොරතුරු සමාජයක් වෙනුවෙන් කැපවෙන’ බවයි. ඒ අරමුණු , පොරොන්දු දෙකම නැති කරන, විනාශ කරන මේ වගේ පනතක් ජාතික ජන බලවේගය ආණ්ඩුව තමන්ගේ තනි මතයට සම්මත කරයි කියලා හිතන්න බැහැ. ඒක අපි විතරක් නෙමෙයි මේ ආණ්ඩුවට බලය දුන්න පුරවැසියෙක් අපේක්ෂා කරන්නේ නෑ. පුරවැසි අපේක්ෂාවට පටහැනි ආකාරයට ආණ්ඩුව කටයුතු නොකරයි කියන අපේක්ෂාව තමයි අපටත් තියා ගන්න වෙලා තියෙන්නේ.
මාධ්‍ය ප්‍රජාව අපේක්ෂා කරන්නේ කුමනාකාරයේ ආයතනයක් ද ?
මේ රටේ මාධ්‍ය ප්රතිසංස්කරණක අවශ්‍යතාව වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ මාධ්‍ය ප්‍රජාව. හොඳම උදාහරණය තමයි ‘කොළඹ ප්රකාශනය’.ඒක තමයි මෑත ලෝකයේ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රටේ ප්රජාතන්ත්රවාදයත්, ජනතාවගේ නිදහසත්, ජනමාධ්‍යකරුවන්ගේ වගකීමත් කියන කාරණා තුනම සැලකිල්ලට ගෙන ඇතිකර ගත්ත එකඟත්වය. ඊට පස්සේ තෝලංගමුව ප්රකාශනය, බේරුවල ප්රකාශනය මාධ්‍ය වෘත්තිකයින්, මාධ්‍ය සංවිධාන විසින් ඉදිරිපත් කළා. මෙහි මූලික හරය වුණේ ‘නිදහස සහ සමාජ වගකීම’යි. ඒ කාරණා දෙකම සැලකිල්ලට ගත්තා. ඒ නිසා තමයි මේ රටේ මාධ්‍ය සංවිධාන, මාධ්‍ය හිමිකරුවන්ගේ සංවිධාන, කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය සහ තවත් සංවිධාන ගණනාවක් එකතු වෙලා හදපු ‘ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අද කතා කරන්නේ ‘ස්වාධීන මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක්’ ගැන. ඒ සම්බන්ධ පනත් කෙටුම්පතක්, ආයතන ව්‍යුහය පවා හැදුවේ මාධ්‍ය සමාජය. මාධ්‍ය සමාජය ඒකට සූදානම්.
මෙම අදාළ දිගුව – https://www.youtube.com/watch?v=c1StzKJo5cA
සටහන – තුෂාල් විතානගේ

