වරදකරුවෙකුට සමාව දීමට ජනාධිපතිට ඇති ව්‍යවස්ථාපිත බලය සංවරණ හා තුලනයකට යටත් කළ යුතුයි  – නීතිඥ සුදර්ශන ගුණවර්ධන

නීතිඥ සුදර්ශන ගුණවර්ධන

‘ජනාධිපති සමාව’ ලබාදීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ සමාජය තුළ පුළුල් සංවාදයක් ආරම්භ වෙලා තිබෙන්නේ ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ප්‍රදානය කිරීම, එම සමාව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක්වීම, එසේ ජනාධිපති සමාව ලබාදීම ‘වරදක්’ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම සහ ඊට පසුව ඇති වූ ක්‍රියාදාමය හේතුවෙනි.

මගේ අදහස වන්නේ ලෝකයේ වෙනත් ඕනැම රටක රාජ්‍ය නායකයාට තිබෙන බලයක් වන යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමට තිබෙන බලය මෙන්ම, අධිකරණයක් විසින් වරදකරුවෙකු කරන පුද්ගලයෙකුට සමාව ප්‍රදානය කිරීමට අවශ්‍ය බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී තිබෙනවා. මෙම බලතල ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද විධායක ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම බලතල විධායක ජනාධිපතිවරයාට හිමිවිය යුතුය යන්න මාගේ ස්ථාවරයයි.

නමුත් වර්තමානය වන විට ලෝකය පුරා වර්ධනය වී තිබෙන නෛතික පූර්වා දර්ශයන් සහ ලංකාවේ තිබෙන තත්ත්වයක් සමඟ මෙම බලය කිසියම් ආකාරයක සංවරණ හා තුලන ක්‍රමයක් තුළ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. එහි අදහස වන්නේ හේතු දැක්වීමකින් තොරව, හේතු රහිතව ජනපති සමාව ප්‍රදානය කිරීම ගැටලු සහගතය. එනිසා ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රමයක්  අවශ්‍ය වේ.

  • ප්‍රායෝගික ප්‍රශ්න

නමුත් මෙහි දී ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක් මතු කළ යුතුය.

වත්මන් ප්‍රශ්නයේ ආරම්භය දෙස අවධානය යොමු කරමින් කරුණු පැහැදිලි කරන්නේ නම්, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(අ) වගන්තියෙන් අධිකරණය විසින් වරදකරුවෙකු කරන පුද්ගලයෙකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති සමාව ප්‍රදානය කළ පසුව අදාළ දඬුවම මැකී නොයන නමුත් එම දඬුවම ක්‍රියාත්මක වීම පමණක් නතර වීම සිදුවේ. එහි අදහස වන්නේ අධිකරණය විසින් ලබා දුන් දඬුවම අහෝසි නොවන අතර එය ක්‍රියාත්මක කිරීම පමණක් නතර වන බවයි.

මෙහිදී තවත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුය. ඇතැම් අවස්ථාවල ජනාධිපති සමාව හිමිවන්නේ කොන්දේසි සහිතවය, තවත් අවස්ථාවක කොන්දේසි රහිතව සමාව ප්‍රදානය කිරීමක් සිදුවේ.

රටක පරමාධිපත්‍ය බලය ජනතාව සතු වන අතර ජනතාව සතු එම පරමාධිපත්‍ය බලයේ විධායක බලය දරන්නේ ජනාධිපතිවරයාය. ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය දරන ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ බලතල ද දරන්නේය.  නමුත් මෙහි දී අවධාරණය කළ යුත්තේ ජනාධිපතිවරයා විධායක බලයේ ‘භාරකරුවෙකු’ පමණක් වන බවයි.

  • 19 වැනි සංශෝධනය

නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී මේ භාරකාර බලයේ යම්කිසි වෙනසක් සිදුවිය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධ ක්‍රියාකාරකම් අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවිය. මේ සමඟ විසඳා ගත යුතු ප්‍රශ්නයක් නිර්මාණය වේ.

2015 යහපාලන ආණ්ඩුව විසින්, විපක්ෂයේ ද පූර්ණ එකඟත්වය අනුව සම්මත කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් මේ ආකාරයෙන් ප්‍රශ්න කළ හැකි තත්ත්වයක් නිර්මාණය කරන ලද්දේ කුමන හේතුවක් මත ද, කුමන සන්දර්භයක් මත ද යන කාරණය මෙහි දී පැහැදිලි කරගත යුතුය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නායකත්වය දුන් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය’ යන සටන් පාඨය 2015 ජනාධිපතිවරණයේ ප්‍රබලම සටන් පාඨය විය. 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු පවා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණේ මේ සටන් පාඨය හේතුවෙනි.

මෙම අවස්ථාවේ දී පොදු අපේක්ෂකයාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රකාශයට පත් වූ කරුණ වූයේ ‘පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ ව්‍යවස්ථා සංශෝධන සිදු කරනුයේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන ආකාරයේ සංශෝධන පමණක් බවත්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දී බලයට පත්වන පාර්ලිමේන්තුව මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව පොදු අපේක්ෂකයාගේ පාර්ශ්වය විසින් ලබා දුන් පොරොන්දුව විය. ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ‘එක්තරා ආකාරයක අන්තර්වාර’ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එහි අදහස වන්නේ, ‘අනාගතයේ වඩාත් හොඳ, විධිමත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන තෙක් කරන තාවකාලික ව්‍යවස්ථා සංශෝධනයක්’ ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සැලකිය හැකි බවයි.

ජනාධිපතිවරණයේ දී මෙම ප්‍රතිඥාව වෙනුවෙන් ජනවරමක් ලැබුණු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළ හෙයින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ ‘ඇතැම් විධායක බලතල’ කප්පාදු කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබා දුන්නේය.

  • ජනාධිපති සමාව ඇති කළ අවුල

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතැම් විධායක බලතල කප්පාදු කරගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දුන්නේ විධායක ජනාධිපතිවරයා ලෙස තමාට එකී බලතල ලැබී තිබෙන බවට වන විශ්වාසයෙනි. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එය අභියෝගයට ලක් කළ හැකි බවට වන කාරණය ඔහු නොදැන සිටියා හෝ නොසලකා හැරියා විය හැකිය. නැතහොත් ඒ ගැන කල්පනා නොකළා විය හැකිය. ඔහු එසේ කල්පනා නොකළ නිසා අදාළ තීරණය සම්බන්ධයෙන් (ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම) හේතු දැක්වීමක් ඉදිරිපත් නොකළේය.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුව විභාග වන අවස්ථාවේ දී ද පැමිණිලිකාර පාර්ශ්වය විසින් තර්ක කරන ලද්දේ ‘සිය තීන්දුව පිළිබඳව කිසිම හේතු දැක්වීමකින් තොරව ජනාධිපතිවරයා ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කළ බවයි’.

පොදුවේ සලකා බලන විට ‘රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට සමාව ප්‍රදානය කිරීමේ බලතල තිබිය යුතුය. එහෙත් එම බලතල ක්‍රියාත්මක විය යුත්තේ සාධාරණ පදනමක් මතය’ යන තර්කය පහසුවෙන් බැහැර කළ නොහැකිය.

නමුත් මීට පෙර (19 සංශෝධනයට පෙර) මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ තීරණයක්  අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නොවීය. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට එම අයිතිය හිමි විය.

මෙහි දී තවත් කරුණක් වෙත ද අවධානය යොමු විය යුතුය. ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සිදුවන්නේ 2019 මැයි මාසයේ දීය. ඒ වන විට ඊට මාසයකට පමණ පෙර සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් රට තුළ බරපතළ වියවුල්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණේය. නෛතික පසුබිමකින් තොරව පොදුවේ දේශපාලනමය අර්ථයෙන් ගත්විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගනු ලබන්නේ රට තුළ බරපතළ දේශපාලන වියවුල්කාරී තත්ත්වයක් පැවැති පසුබිමකය.

නමුත් මෙම තීරණය ගැනීමට පෙර 2018 නොවැම්බර් මාසයේ දී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ආකාරයේම තීරණයක් ගත්තේය, ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයයි. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබුණ ද, ව්‍යවස්ථාවේ ම සඳහන් වන්නේ ජනාධිපතිවරයාට එම තීරණය ගත හැකි වන්නේ පාර්ලිමේන්තුවේ 2/3ක බලයකින් යෝජනාවක් සම්මත වූ පසු පමණක් බවය. ඊට අමතර පාර්ලිමේන්තුවට අවුරුදු හතරක් සම්පූර්ණ වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන බව ව්‍යවස්ථාවේ සඳහන් වේ.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ප්‍රතිපාදන වෙනස් ආකාරයකින් අර්ථකථනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාගේ මෙම තීරණය ද මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්විය. මේ අවස්ථාවේ දී නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ තීරණය වෙනුවෙන් පෙනී සිටි නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ තීන්දුව බල රහිත කරමින් නියෝගයක් නිකුත් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 294 වැනි කතිකාවේ දී (ජනාධිපති සමාව: නීතිය, පටිපාටිය හා ගැටලු) මහාචාර්ය දීපිකා උඩුගම විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

මෙම කතිකාව හරීන්දු බී දසනායක විසින් මෙහෙය වන ලදි.

සටහන – තුෂාල් විතානගේ

02 කොටස හෙට

Tags:

Leave A Comment