2027 අයවැය කොහොමද?: සම්පත් උපයෝගී කර ගැනීමේ රටාව පිළිබඳව කැපී පෙනෙන හැරවුමක් තිබෙනවා  – ආචාර්ය අනුර ඒකනායක

ආචාර්ය අනුර ඒකනායක

2027 අයවැය ලේඛනයේ කැපී පෙනෙන ප්‍රවණතා කිහිපයක් නිරීක්ෂණය වන අතර එහි සම්පත් උපයෝගී කර ගැනීමේ රටාව පිළිබඳව කැපී පෙනෙන හැරවුමක් තිබේ. අනෙක් වැදගත් කරුණ වන්නේ 2027 මාර්තු මාසයේ දී මේ වන විට ක්‍රියාත්මකව පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්දැයි තවමත් පැහැදිලි නැත.

නමුත් අප මෙහිදී 2020-22 ආර්ථිකයේ කඩා වැටීම කිසිසේත් අමතක නොකළ යුතුය. ඒ පසුබිම තුළ සිට ආර්ථික ස්ථායීකරණය ගැන යම්කිසි තක්සේරුවක් කරන්නේ නම් වර්තමානය වන විට ආර්ථිකය යම්කිසි ස්ථායීකරණයක් වෙත පැමිණ ඇති බව ප්‍රකාශ කළ හැකිය. මේ තත්ත්වය ප්‍රදර්ශනය වන්නේ සාර්ව ආර්ථික දර්ශක මතය. අයවැය හිඟය, ප්‍රාථමික ගිනුමේ ශේෂය, උද්ධමන අනුපාතය ආදි දර්ශක මඟින් මේ සම්බන්ධ පැහැදිලි අදහසක් ලබා ගත හැකිය.

සාර්ව ආර්ථික දර්ශක ධනාත්මක තත්ත්වයක් ප්‍රදර්ශනය කළ ද ජනතාව අතර දරිද්‍රතාව ඉහළ මට්ටමක පවතින බව අප මෙහි දී අමතක නොකළ යුතුය. ආර්ථික අර්බුදයට පෙර කාලයට වඩා වර්තමානයේ ද දරිද්‍රතාව ඉහළ අගයක් ගන්නා අතර සමාජයේ අන්තික කණ්ඩායම් සාර්ව ආර්ථික දර්ශකවලට හසු නොවේ. උදාහරණයක් ලෙස 2018-20 සමයේ මධ්‍යම පංතියට ළඟා වූ විශාල පිරිසක් වර්තමානයේ පහළ මධ්‍යම පංතියට වැටී ඇත. උද්ධමනය, ආදායම් ඉහළ නංවා ගැනීමට අවස්ථා අහිමි වීම, උගත් තරුණ ප්‍රජාව අතර ඉහළ විරුකියාව සාර්ව ආර්ථික ඉලක්ක හරහා පෙන්නුම් කරන ප්‍රගතිය, දියුණුවට බාධාකාරී ලෙස ක්‍රියාත්මක වී ඇත. නමුත් සමස්තයක් ලෙස මේ වන විට ආර්ථිකයේ දියුණුවක්, ස්ථාවරභාවයක් තිබෙන බව පිළිගැනීමට ඉහත කරුණු බාධාවක් නොවේ.

රාජ්‍ය ආයෝජන ඉහළ යාම

වර්තමානයේ දැකගත හැකි තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ රාජ්‍ය ආයෝජන විශාල වශයෙන් ඉහළ යාමය, එහි කැපී පෙනෙන වර්ධනයක් තිබේ. 2026 අයවැයට සාපේක්ෂව බලන විට රාජ්‍ය ආයෝජන වියදම්වල 25-35%ක පමණ කැපී පෙන වර්ධනයක් දැකගත හැකිය. මෙය ආර්ථික වර්ධනයට ඍජු දායකත්වයක් ලබා දෙන බව ද දැකගත හැකිය.

නමුත් රාජ්‍ය ආයෝජන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විවේචන තිබේ. නමුත් රුපියල් ට්‍රිලියන දෙකක් රාජ්‍ය ආයෝජන ලෙස වැය වන විට, එයින් රුපියල් ට්‍රිලියන 1.76ක් පමණ ලැබෙන්නේ ණය ගැනීම් හරහා ය. වර්තමානය වන විට විදේශීය ණය ගැනීම් විශාල වශයෙන් අඩු වී ඇති තත්ත්වයක් තුළ දේශීය ණය ගැනීම් සඳහා ඉහළ නැඹුරුවක් ද තිබෙන අතර මේ හරහා ඇතැම් සාර්ව ආර්ථික ගැටලු ඇති වීමේ අවදානමක් ද තිබේ.

බැංකු පද්ධතිය හරහා සහ බැඳුම්කර හරහා ජනතාවගෙන් ණය ලබා ගන්නා විට ආර්ථිකයේ ගාමක බලවේගය වන පුද්ගලික අංශයට ණය ලබා ගැනීමට ඇති හැකියාව අඩුවේ, නැතහොත් සිමිත වේ. රජයේ මේ ණය ගැනීම හරහා උද්ධමනයට ද සැලකිය යුතු බලපෑමක් ඇති වීමේ හැකියාව පවතී.

සාකච්ඡා නොවන කරුණක්

මෙහිදී මේ දක්වා විධිමත් ලෙස සාකච්ඡා නොවූ, අමතක කළ කරුණක් වෙත ද අප අපගේ අවධානය යොමු කළ යුතුය. ඒ අති දැවැන්ත රාජ්‍ය ආයෝජනයක් සිදුවන්නේ අධිවේගී මාර්ග, දුම්රිය, පුනර්ජනනීය බලශක්තිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙතය. නමුත් මෙහි ඇති ඍණාත්මක කරුණ වන්නේ මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ඇස්තමේන්තු ගත වියදමෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නැවත විදේශවලට ඇදී යාමය. යන්ත්‍රෝපකරණ, යෙදවුම් ඇතුළු ආනයනික භාණ්ඩ සඳහා මේ මුදල් වැය වේ. එපමණක් ද නොවේ, අපේක්ෂිත ප්‍රමාණයට විදේශ විනිමය ගලා ඒමක් සිදු නොවූවහොත් මේ හරහා විදේශ විනිමය අනුපාතය මත ද පීඩනයක් ඇති විය හැකිය.

මෙහිදී තවත් වැදගත් කාරණා දෙකක් වෙත අවධානය යොමු කළ යුතුය. ඉන් ප්‍රධාන කරුණ වන්නේ ‘රාජ්‍ය අංශයෙන් සිදුකරනු ලබන ඇතැම් ආයෝජන රාජ්‍ය අංශය විසින්ම කළ යුතුද ?’ යන ප්‍රශ්නය පැනනගී. ඊට හේතුව වන්නේ මෙවැනි ව්‍යාපෘති වෙනුවෙන් රාජ්‍ය ආයෝජන වෙනුවට පුද්ගලික ආයෝජන උපයෝජනය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නම්, සමාජයේ රැකවරණය අත්‍යවශ්‍ය ජනතාවට ලබාදිය යුතු සහනාධාර සහ සුභසාධන සේවා තව දුරටත් පුළුල් කිරීමේ අවස්ථාවක් පවතී.

මෙහි ඇති අනෙක් බරපතළ ගැටලුව වන්නේ රාජ්‍ය අංශයේ ආයෝජන වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරනු ලැබුව ද ඒවා අවශ්‍ය වේගයෙන් සිදු නොවීමය. උදාහරණයක් ලෙස 2026 රාජ්‍ය ආයෝජන වෙනුවෙන් වෙන් කරන ලද මුදල් වලින් මේ වන විට වියදම් කර ඇත්තේ (සැප්තැම්බර් වන විට) 40%ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් පමණය. මෙය රාජ්‍ය අංශයේ ආයෝජනවල පොදු ස්වභාවය වන හෙයින් 2027 වර්ෂයේ දී රාජ්‍ය ආයෝජන වෙනුවෙන් රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කළ පමණින් ‘විශාල දෙයක්’ සිදුවේ යැයි විශ්වාස කිරීම අසීරුය. නමුත් පුද්ගලික අංශයේ ආයෝජන වෙනුවෙන් මීට වඩා දිරිගැන්වීමක් කළා නම් ආයෝජනවල කාර්ය සාධනය මීට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි අපට තර්ක කළ හැකිය.

තාක්ෂණය සම්බන්ධ ගැටලු

තාක්ෂණය සම්බන්ධ ගැටලු වෙත ද අප අපගේ අවධානය යොමු කළ යුතුය. ආයෝජන ඉහළ නැංවීම තුළින් ලැබෙන ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ඵලදායීත්වය ඉහළ නැංවීම තුළින් ලබා ගත හැකි බව ප්‍රකට කරුණකි. ඵලදායීතාවය වර්ධනය කර ගැනීමට නම් තාක්ෂණය වෙත යොමු විය යුතු අතර තාක්ෂණය මඟින් සාම්ප්‍රදායික ආයෝජන මඟින් ලබා ගන්නා වර්ධනයට වඩා සැලකිය යුතු ඉහළ වර්ධනයක් ලබා ගත හැකි බව ආර්ථික විද්‍යා න්‍යාය අනුව පිළිගත් කරුණකි.

නමුත් 2027 අයවැය කතාවේ දී සඳහන් වන්නේ පර්යේෂණ ආයතන ඒකාබද්ධ කිරීමක් පමණක් වන අතර, මේ හරහා තාක්ෂණික වශයෙන් ඉහළ වර්ධනයක් හෝ සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබුණු ඇතැයි සිතීම උගහටය. එය අප අත්දැකීමේ උගත් පාඩමක් ලෙස ද සැලකිය හැකිය.

මේ තත්ත්වය තුළ කළ යුතුව ඇත්තේ කුමක් ද ? යන ප්‍රශ්නය මීළඟ ඇති වේ. මෙහි දී අනුගමනය කළ යුතු වඩාත් සාර්ථක විකල්පය වන්නේ මෙරට තාක්ෂණ ක්ෂේත්‍ර තුළ ආයෝජන කිරීම වෙනුවෙන් දේශීය සහ විදේශීය පුද්ගලික ආයෝජකයින් දිරිගැන්වීමය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 299 වැනි සංවාදයේ දී (මෙවර අයවැය කොහොමද ?) ආචාර්ය අනුර ඒකනායක මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි. මෙම සංවාදය හරීන්ද්‍ර බී. දසනායක මහතා විසින් මෙහෙයවන ලදි.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment