සත්‍යය සහ සංහිදියාව – සියලු පාර්ශ්වකරුවන්ට එකග විය හැකි වැඩපිළිවෙළක් ගොඩනගා ගන්නේ කෙසේද?
- Editor
- September 10, 2024
- කාලීන පුවත්, සිංහල Header
- opinion
- 0 Comments
ජාතික දේශපාලනය තුළ සිය නියෝජනය ශක්තිමත් කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය ඉතා වැදගත් බව ඇතැම් සුළුතර ප්රජාවන්ගේ සාමාන්‍ය මතය වේ. කෙසේවෙතත්, විධායක ජනාධිපති ධුරය බලය මධ්‍යගත කර ඇති අතර, වගවීමක් නැති රාජ්‍ය පාලනයක් සඳහා මඟ පාදා ඇත. සුළුතර කණ්ඩායම්වල දේශපාලන අයිතීන් ආරක්ෂා කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හැක්කේ කෙසේද යන්න වර්තමානය වන විට උද්ගත වී ඇති ඉතා වැදගත් ගැටලුවකි.
රටක් ලෙස ශ්‍රී ලංකාවේ අනාගත යහ පැවැත්ම කෙරෙහි තීරණාත්මක සාධකයක් වන ජාතික ඒකාග්‍රතාවය ගොඩනැඟීම උදෙසා අත්‍යාවශ්‍යයෙන්ම දායක විය හැකි විද්වත් සම්භාෂණයක් පසුගිය මස 26 වන දින පේරාදෙණියේ දී පැවැත්විණ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද එකී විද්වත් සම්භාෂණය නම් කර තිබුණේ “සත්‍ය හා සංහිඳියාව පිළිබඳ ශ්රාස්ත්රඥයන්ගේ සහ වෘත්තිකයන්ගේ ජාතික සම්මන්ත්‍රණය” ලෙසටය.
මෙම අවස්ථාවට පේරාදෙණිය, කොළඹ, සබරගමුව, නැගෙනහිර, රුහුණ සහ බෞද්ධ හා පාලි යන විශ්වවිද්‍යාලයන් හි කටයුතු කරන මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සමඟ විද්වත් වෘත්තිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එයට අමතරව එකී සම්මන්ත්‍රණයේ නිරීක්ෂකයන් ලෙස ශ්‍රී ලංකා හින්දු මහා සභාව සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් යන සංවිධානයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජනය කරන පිරිසක් ද එක්ව සිටියහ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා විසින් කැඳවන ලද මෙම ජාතික සම්මන්ත්‍රණයේ දී මූලික වශයෙන් අවධානය යොමු කරන ලද්දේ සත්‍යය හා සංහිඳියාව ගොඩනැඟීමේ ක්රියාවළිය සඳහා සියළු පාර්ශවයන්ට එකඟ විය හැකි වැඩපිළිවෙළක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳවය. මේ සමඟ ඇත්තේ එම කටයුත්තට අදාළ සංක්ෂිප්ත වාර්තාවකි.
යුද්ධයක් නැති වීමෙන් පමණක් සාමයක් ඇති බව නොකියවෙයි. උතුරු සහ නැගෙනහිර පළාත් මුල් කර ගත් සන්නද්ධ අරගලය අවම වශයෙන් මිනිස් ජීවිත සියක් දහසක් සහ නොගිණිය හැකි තරම් වටිනා දේපල රටට අහිමි කරන ලදී. එමෙන් ම, යුද්ධය හේතුවෙන්, ගැටුම් පැවති ප්‍රදේශ ද ඇතුලුව සමස්ත රටෙහි ම මානව ප්රාග්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවිය යුතු වී මුදල් වැය කෙරුණේ, භෞමික අඛ්යණ්ඩතාව ආරක්ෂා කිරීම යැයි කියමින්, එකී සම්පත් විනාශ කිරීම පිණිස ය. රටේ වර්ධනය වෙමින් පැවති අසමානතාව, තරුණයන්ට අවස්ථා අහිමි වීම ආදී ව්‍යුහාත්මක ගැටලු උතුරු නැගෙනහිර පළාත්වලදී වාර්ගික ස්වරූපයක් ගනු ලැබීය. යුද්ධය ආරම්භ වීමෙන් අනුතුරුව, එකී ව්‍යුහාත්මක ගැටලු තවත් උත්සන්න වූවා මිස සංසිඳුනේ නැත.
මග ඇණ හිටි ආරම්භයන්
සන්නද්ධ ගැටුම් වර්ෂ 2009 මැයි මාසයේදී නිමා වූ තැන පටන් යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ යළි සංවර්ධනය කිරීමත්, එම ගැටුම්වලට තුඩු දුන් ව්‍යුහාත්මක ගැටලු නිරාකණය කිරිමත් වෙනුවෙන් විවිධ ආරම්භයන් ගනු ලැබිණි. වර්ෂ 2010 දී පත් කළ උගත් පාඩම් සහ ප්රතිසන්ධාන කොමිසමේ වාර්තාව මෙරට ප්රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ ජාත්‍යන්තර කතිකාවක් සඳහා අවශ්‍ය පදනම සැකසිණි. පසුකාලීනව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පුමුඛ සියලු ජාත්‍යන්තර සංවාදයන්හි දී එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු විය.
2015 වසරේ බලයට පත් වූ සිරිසේන-වික්‍රමසිංහ රජය එම වසරේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකාව විසින් නව ප්‍රවේශයක් ගත් අතර, ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහය සහිතව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කෙරිණි. බොහෝ සාධනීය පියවර තිබුණ ද ප්‍රමාණවත් සංවාදයක් සිදු නොවීම සහ එගඟතාවක් නොමැතිවීම හේතුවෙන් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ සත්‍ය සෙවීම සහ වගවීම පිළිබඳ ඇතැම් කොටස් ප්‍රතික්ෂේප කළහ.
නව අභියෝග සහ දියවන්නා ප්රකාශනය
ගෝලීය වශයෙන් ඉස්ලාම් භීතිකාවක් වර්ධනය වෙමින් පැවති පසුබිමක බෞද්ධ ජාතිකවාදී කණ්ඩායම් හරහා සිදු වූ ඉස්ලාම් විරෝධී බලමුළු ගැන්වීමේ ප්‍රතිපලයක් ලෙස මුස්ලිම් ප්‍රජාව බහුතර ප්‍රජාව විසින් එල්ල කළ ප්‍රහාර කිහිපයක වින්දිතයින් බවට පත් විය. අලුත්ගම සහ දිගන වැනි ප්‍රදේශවල සිදු වූ මෙම ප්‍රහාර තුළින් ප්‍රජාවන් අතර පැවති අනවබෝධය පිළිබිඹු විය. දමිළ ජනතාව බහුතර වශයෙන් ජීවත් වන ඇතැම් ප්රදේශවලද ඉස්ලාම් විරෝධී බවක් නිරීක්ෂණය වන්නට විය. 2019 වසරේදී ශ්‍රී ලංකාව තුළ වාර්ගික සහ ආගමික සමගිය ඇති කිරීම පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා දියත් කළ ‘දියවන්නා ප්රකාශනය’ සංහිඳියාව ඉලක්ක කර ගත් කැපිපෙනෙන මුලපිරීම් අතරින් එකකි.

සංහිඳියාව සඳහා ජය ගත යුතු ආතතීන්
සාමය සහ සංහිඳියාව ළඟා කර ගැනීමට නම් පුද්ගලයින් සහ ප්‍රජාවන් වශයෙන් ආත්ම ගෞරවය සහ ස්වයං-වටිනාකම පෙරදැරි කර ගෙන ජීවත් විය හැකි වටපිටාවක් නිර්මාණය කළ යුතුය. ඒ වෙනුවෙන් පහත සඳහන් කර ඇති කරුණු පිළිබඳව සංවාදයක් ඇති කිරීම වැදගත් වනු ඇත.
මානව අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය පිළිබදව ආරාක්ෂක අංශවලට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරක්ෂක අංශ දුර්වල කිරීමක්ය යන ජාතිකවාදී දෘෂ්ටියෙන් වෙන් කිරීම ජයගත යුතුව තිබෙන අභියෝගයකි. ජාතිකවාදී හැඟීම් බලමුලු ගැන්වීමකින් තොරව යුද්ධයේ අවසාන අදියරේදී සහ ඉන් පසුව සිදු වූ බව කියන යුද අපරාධ මධ්‍යස්ථව සහ ස්වාධීනව නිර්ණය කර, වගවීමේ යාන්ත්‍රණයන් සකස් කළ හැක්කේ කෙසේද?
නිදහස ලබා ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලාංකික ජනගහණයෙන් 80%කට ආසන්න පිරිසක් තෙත් කලාපයේ ජීවත් වූ අතර, ඉඩම් අහිමි වීම පිළිබඳ ගැටලුව පැවතියේ ඉතා අල්ප වශයෙනි. ඔවුන් ප්‍රධාන වශයෙන් සිංහල ජනතාව විය. නිදහසින් පසු උතුරු සහ නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ යෝජනා ක්‍රම පැහැදිලිවම සිංහලකරණ ස්වභාවයක් ගෙන ගෙන ඇතැයි යන්න බැහැර කළ නොහැකි චෝදනායක් ද එල්ල වී තිබේ. බහුතරවාදී න්‍යාය පත්‍රයෙන් බැහැර වෙමින් නැවත ඉඩම් බෙදා දීම සිදු කළ හැක්කේ කෙසේද?
ද්‍රවිඩ ජනතාවගේ භාෂා අයිතීන් දීර්ඝ කාලයක් තිස්සේ උල්ලංඝනය වී ඇති අතර, සේවා සැපයීමට අදාළව පවතින ගැටලු විසඳීමට පැවති රජයන් ගත් පියවර ප්‍රමාණවත් වී නැත. එමෙන්ම, විමධ්‍යගත කිරීම් අවහිර කිරීමට මධ්‍යම රජය ජාතිකවාදී බලවේග බලමුළු ගැන්වීමේ සම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට යමින්, ප්‍රාදේශීය ප්‍රජාවන්, විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත් තුළ ජීවත් වන ප්‍රජාව, ප්‍රාදේශීය පරිපාලනය තුළ බලගැන්විය හැක්කේ කෙසේද?
ජාතික දේශපාලනය තුළ සිය නියෝජනය ශක්තිමත් කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය ඉතා වැදගත් බව ඇතැම් සුළුතර ප්රජාවන්ගේ සාමාන්‍ය මතය වේ. කෙසේවෙතත්, විධායක ජනාධිපති ධුරය බලය මධ්‍යගත කර ඇති අතර, වගවීමක් නැති රාජ්‍ය පාලනයක් සඳහා මඟ පාදා ඇත. සුළුතර කණ්ඩායම්වල දේශපාලන අයිතීන් ආරක්ෂා කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හැක්කේ කෙසේද යන්න වර්තමානය වන විට උද්ගත වී ඇති ඉතා වැදගත් ගැටලුවකි.
සංහිඳියාව පිළිබඳව වන සංවාදයට මලයහ (උඩරට දෙමළ) වැනි නැඟී එන අනන්‍යතා කණ්ඩායම්වල අවශ්‍යතා අදාළ කර ගත හැක්කේ කෙසේද? බෙදුම්වාදය පිළිබඳ සැකයක් ඇති වීමට මඟ පෑදීමෙන් තොරව වියෝ වූවන් ස්මරණය සඳහා ඇති අයිතිය තහවුරු කළ හැක්කේ කෙසේද? සංහිඳියා සන්දර්භයට සාධාරණත්වය සහ පරිසර හායනය වැනි පුළුල් ගැටලු ඒකාබද්ධ කළ හැක්කේ කෙසේද?
සාධාරණයත්වය උදෙසා භූමිකාව
මෙකී තත්ත්වය තුළ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය තිරසර සංහිඳියා ක්‍රියාදාමයක් උෙදසා දිවයින පුරා කුඩා සහ විශාල ප්‍රමාණයේ රැස්වීම් මාලාවක් පවත්වන්නට යෙදුණි. එම රැස්වීම්වලදී උගත් කරුණු ඇසුරින් සැකසූ වාර්තාවක් සංහිඳියාව සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ශාස්ත්‍රඥයන් සහ ක්‍රියාධරයන්ගේ සමුළුවකදී සංවාදයට බඳුන් කෙරිණි. ඒ් අගෝස්තු 26 වැනිදා පේරාදෙණියේදීය. ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ශාස්ත්‍රයන් 35කට අධික විද්වත් පිරිසක් ඊට සහභාගී වූහ. සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරෙය් සභාපති දේශමාන්‍ය කරු ජයසූරිය ප්රමුඛ සිවිල් ක්‍රියාධරයන් පිරිසක් සහභාගී විය. සමුලුවේදී ඉදිරිපත් වූ අදහස් ඇසුරින් වඩාත් පරිපූර්ණත්වයට පත් කළ යෝජනා මාලාවක් ඉදරියේදී එළි දැක්වීමට නියමිතය. එය සියලු පාර්ශ්වයන්ගේ එකඟත්වය වර්ධනය පිණිස නාභිගත කෙරෙනු ඇත.

