ලංකාව ඉන්දියා – චීන භූමිකාව
- Editor
- October 14, 2024
- විශේෂාංග, සිංහල Header
- features
- 0 Comments
නව ජනාධිපතිවරයකු බලයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව 2022 දී උච්චස්ථානයට ළඟා වූ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයක ප්‍රතිවිපාක සමඟ පොර බඳිමින් සිටි. වේදනාකාරී කප්පාදු පියවර බලාත්මක කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මහජන අප්‍රසාදයට ලක් වූ අතර, ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු එතැන් සිට රටේ පැවති අවිනිශ්චිත බව අවතක්සේරු කර දමා හෝ අමතක කර දමා ඇත.
රට යළි ප්‍රකෘතිමත් වීමේ යහපත් සංඥා පෙනෙන්නට තිබුණත් ශ්‍රී ලංකාව දිගින් දිගටම පෙනී සිටින්නේ තරඟකාරී ගෝලීය බලවතුන් අතර උපායමාර්ග සංධිස්ථානයකය. ඉන්දියන් සාගරයේ පිහිටා තිබීම නිසා මෙම දුප්පත් රාජ්‍ය දීර්ඝ කාලයක් තිස්සේ කලාපීය සහ ජාත්‍යන්තර තරඟකරුවන්ගේ උනන්දුව ආකර්ෂණය කර ගනිමින් සිටී. ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීමට සහ රටේ අනාගතය සුරක්ෂිත කිරීමට උත්සාහ කරන බැවින්, එහි ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා දේශීය හා බාහිර බලපෑම් පරෙස්සමින් සමතුලිත කිරීමට සහ අපගේ දැවැන්ත ණය තොගය සැලකිල්ලට ගෙන මාධ්‍ය කාලීන දිගුකාලීන ප්‍රකෘතිමත් වීම සහතික කිරීම විශාල අභියෝගයක් වනු ඇත.
මිනිසා විසින් නිර්මාණය කරන ලද අර්බුදය
2022 දී ඇති වූ සම්පූර්ණ ආර්ථික කඩා වැටීම හරහා බාහිර හා අභ්‍යන්තර ණය ගැනීම් මත අධික ලෙස රඳා පැවතීම, බිඳෙන සුළු ආර්ථික පදනමක් සහ ප්‍රමාණවත් තරම් විදේශ මුදල් සංචිත නොමැති වීම වැනි ගැඹුරු අවදානම් රාශියක් හෙළිදරව් විය. එහිදී රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම අසල්වැසි ඉන්දියාව සහ චීනය ඇතුළු බහුවිධ ක්‍රියාකාරීන්ගෙන් ආධාර ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, මෙම සෑම හවුල්කරුවකුම තමන්ගේම වූ උපාය මාර්ගික අවශ්‍යතා රැගෙන එන අතර, ශ්‍රී ලංකාවේ නව නායකත්වය දේශීයව සහ ජාත්‍යන්තරව සියුම් සමතුලිත ක්‍රියාවක් කිරීමට අවශ්‍ය වෙයි.
තරගකාරී බලවතුන්ගේ භූමිකාව.
ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන කොටස්කරුවකු වන චීනය දශක ගණනාවක් තිස්සේ අප රටේ ප්‍රධාන හවුල්කරුවකු වශයෙන් කටයුතු කරයි. කියන ආයතන විසින් අරමුදල් සපයන කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති මගින් චීනයේ ගැඹුරු ආර්ථික පැවැත්ම අවධාරණය කරයි. කෙසේ වෙතත් මෙම මුල පිරීම් ණය මත යැපීම පිළිබඳ උද්වේගයන් අවුළුවා ඇති අතර ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවය අඩපණ කළ හැකි “ණය උගුලක්” ගැනද විවේචකයෝ අනතුරු අඟවති. මෙම උද්වේග සමහරක් දේශපාලනිකව අභිප්‍රේරණය කර ඇති නමුත්, ඒවායින් 1957 අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක විසින් මහජන චීන සමූහාණ්ඩුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට ශක්තිමත් වූ චීන ආයෝජනවල පුළුල් ප්රතිලාභ සම්පූර්ණයෙන් පිළිබිඹු නොවේයි. අග්‍රාමාත්‍යය සිරිමාවෝ බණ්ඩාරනායකයාට යටතේ දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ළඟා වූ අතර, විශේෂයෙන් එම වසරේම චීන අග්‍රාමාත්‍ය චෞ එල්ලායිගේ ඓතිහාසික ශ්‍රී ලංකා සංචාරයත් සමඟ මෙම සබඳතා වඩාත් ශක්තිමත් විය.
ඉන්දියාව, ශ්‍රී ලංකාවේ “ලොකු සහෝදරයා“
ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීපතම අසල්වැසියා වන අතර දෙරට අතර සබඳතාව වසර 2500 කට වඩා ඈතට දිවෙයි. මෑත වසර වලදී, වර්ධනය වන වෙළඳාම සහ ආයෝජන, අධ්‍යාපනයේ සහයෝගීතාව, සංස්කෘතිය, ආරක්ෂක, ක්‍රිකට්, බොලිවුඩ් සහ ප්‍රධාන ජාත්‍යන්තර ගැටලු පිළිබඳ පුළුල් අවබෝධයෙන් මෙම සම්බන්ධතාව තවත් පුළුල් වී ඇත. ඓතිහාසික වශයෙන්, බණ්ඩාරනායක පවුල ඉන්දියාවේ නේරු පවුල සමග සමීප සබඳතා පැවැත්වූ අතර, 1956 මැතිවරණයෙන් පසු ලංකාවේ විදේශ ප්‍රතිපත්ති දිශානතිය කෙරෙහි එම සබඳතාව විශාල වශයෙන් බලපෑමක් එල්ල කළේය. වසර ගණනාවක් පුරා දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා උච්ඡාවචනය වුවද, ඉන්දියාව 2022 දි සිය බලපෑම යළි තහවුරු කළේ ඩොලර් බිලියන 4කට අධික ණය, ඉන්ධන සැපයුම් සහ අනෙකුත් තීරණාත්මක ආධාර ලබා දීමෙනි. එම ණය සහ ආධාර ශ්‍රී ලංකාව ලෙබනනය වැනි බිඳ වැටීමකට යාම වැළැක්වීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.
ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීමේ ප්‍රධාන සහචරයකු ලෙස සිය භූමිකාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව ප්‍රමුඛත්වය ලබා දුන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සහ වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම හරහාය. කෙසේ වෙතත්, ඉන්දියන් සාගරයේ ඉන්දියාවේ උපාය මාර්ගික අවශ්‍යතා, විශේෂයෙන් ගෝලීය බලපෑම තුලනය කිරීමේදී, මෙම හවුල්කාරීත්වය මත කේන්ද්‍රීයව පවතින බව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. ජාතීන් දෙක අතර ඇති මෙම භූගෝලීය සමීපත්වය, ව්‍යාකූලත්වයට හෝ ආතතියට වඩා, වැඩි සහයෝගීතාවක් සඳහා හේතුවක් ලෙසින් සැලකිය යුතුය.
බටහිර බලවතුන්ගේ භූමිකාව
බටහිර බලවතුන්, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහු පාර්ශ්වික ආයතන හරහා මූල්‍ය ආධාර ලබා ගැනීමේදී ඔවුන් දැඩි කොන්දේසි පනවා ඇත. මෙම කොන්දේසි දිගුකාලීන ස්ථාවරත්වය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, එනම් මූල්‍ය ඒකාග්‍රතාව, ආර්ථික පරිවර්තනය සහ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ යන කොන්දේසි අවධාරණය කරයි. මෙම ක්‍රියාමාර්ග අවශ්‍ය වුවද, බොහෝවිට ඒවා දේශපාලනික වශයෙන් සංවේදී වන අතර ඇතැම් විට ප්‍රාදේශීය ජනතාව අතර ජනප්‍රිය නොවීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකෘති ප්රයත්න අවුල් කරයි.
ආර්ථික වර්ධනය සඳහා සබඳතා සමතුලිත කිරීම
මෙම සංකීර්ණ භූ දේශපාලනික භූ දර්ශනය හසුරුවා ගැනිමට ශ්‍රි ලංකාව ප්‍රායෝගික සහ සමබර විදේශ ප්‍රතිපත්ති ප්‍රවේශයක් අනුගමනය කල යුතුය. ඵෙතිහාසික ප්‍රවේශයට සමාන නොබැදි උපාය මාර්ගයක් ගොඩනඟා ගැනිම සඳහා කිසිවකු මත යැපිමෙන් තොරව සියලු ප්‍රධාන බලවතුන් සමඟ නිර්මාණාත්මක සහ ප්‍රයෝජනවත් සබඳතා පවත්වා ගැනිමට සහාය වනු ඇත. මෙම ප්‍රවේශය වෙනුවෙන් චිනය, ඉන්දියාව සහ බටහිර ආයතනවල සහාය ශ්‍රි ලංකාවේ ජාතික සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන බව සහතික කිරිම සඳහා පරෙස්සම් සහගත රාජ්‍යතාන්ත්‍රික කළමනාකරණයක් අවශ්‍ය වේ.
මීට අමතරව, ශ්‍රි ලංකාව සිය කලාපීය හවුල්කාරිත්වය ශක්තිමත් කළ යුතුය. බහු – ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක මුලපිරීම (BIMSTEC) සහ කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සංගමය සංගමය (SAARC) වැනි සංවිධාන කලාපීය වෙළදාම, ආයෝජන සහ තාක්ෂණික සහයෝගීතාව පෝෂණය කිරිම සඳහා වටිනා වේදිකා ඉදිරිපත් කරයි. ASEAN සහ දකුණු ආසියාතික රටවල් සමඟ සබඳතා ශක්තිමත් කිරිමෙන් ගෝලිය බලවතුන් මත යැපීම සඳහා විකල්ප සැපයිය හැකි අතර, එමඟින් ශ්‍රි ලංකාවේ ආර්ථික හවුල්කාරිත්වය, වෙළදාම, ආයෝජන සහ වර්ධනය සඳහා වඩාත් සමබර මාවතක් නිර්මාණය වේ.
ඉදිරි මඟ
2027 වසර වන විට ශ්‍රි ලංකාවේ පූර්ණ ප්‍රකෘතිය රදා පවතින්නේ තිරසාර ආර්ථික වර්ධනයක්හඹා යන අතරම තරඟකාරි බාහිර බලපෑම දක්ෂ ලෙස සමතුලිත කිරීමට, ණය තොග කළමනාකරණය කිරිමට ඇති හැකියාව මතය. සෑම නායකයෙකුටම තමන්ගේම වු ආකෘතියක සහ උපකල්පන ඇති නමුත්, ශ්‍රි ලංකාවේ අනාගතය රදා පවතින්නේ එහි ස්වෛරිභාවය ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම, යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ ප්රාග්ධනය මානව සංවර්ධනය කිරිම සඳහා විදේශීය හවුල්කාරිත්වය උත්තේජනය කිරීම තුළ ය.තිරසාරභාවය හා ඉලක්කගත සෘජු විදේශ ආයෝජන (FDI) මත පදනම් වූ විවිධාංගීකරණය වු රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික උපාය මාර්ගයක්, ශ්‍රි ලංකාව සහ එහි ජනතාව සඳහා ස්ථාවර සහ සමෘද්ධිමත් අනාගතයක් සුරක්ෂිත කිරිම සඳහා ප්‍රධාන කාරණයක් වනු ඇත.අවසාන විග්රහයේ දි ඉන්දියාව සහ චීනය යන දෙඅංශයටම ඔවුන්ගේ උපායමාර්ගික ආයෝජන, ඵෙතිහාසික සබඳතා, ආර්ථික බලපෑම සහ කලාපය තුළ දේශපාලන බලපෑම සැලකිල්ලට ගැනීමේදි, ශ්‍රි ලංකාවේ තිරසාර ප්‍රකෘතිය සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය තම්බා සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කල හැකිය.
දිනේෂ් වීරක්කොඩි
ඩේලි එෆ්ටි පුවත්පතේ පළවු ලිපිය සිංහලයට පරිවර්තනය කළේ, අනිල් කරුණාරත්න.

