සුමුදු චතුරාණි ‘සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරයෙන්‘ ඉවත් කිරීම යුක්ති සහගත නෑ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
- Editor
- January 10, 2025
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments
සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළ සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය අදාළ තනතුරින් ඉවත් කිරීම කරුණු ගණනාවකට අදාළව සැලකීමේදී කිසිසේත්ම යුක්ති සහගත නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසය බව ද එම ලිපියේ සඳහන් වේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම්, ලසන්ත ද සිල්වාගේ අත්සනින් නිකුත් කළ එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.
වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා, ගරු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍යංශය, කොළඹ 05.
ගරු අමාත්‍යතුමනි,
සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරයෙන් ඉවත් කිරීම
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කළ සුමුදු චතුරාණි ජයවර්ධන මහත්මිය අදාළ තනතුරින් ඉවත් කිරීම කරුණු ගණනාවකට අදාළව සැලකීමේදී කිසිසේත්ම යුක්ති සහගත නොවන බව අපගේ විශ්වාසයයි.
ඇයට සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරය හිමිව ඇත්තේ කිසියම් දේශපාලන ළැබැඳියාවක් නිසා හෝ හුදු පාලන අධිකාරියේ අනුග්‍රහයක් හේතුවෙන් හෝ නොවේ. ලේක්හවුස් ආයතනය අදාළ පුරප්පාඩුව සඳහා අභ්‍යන්තරික වශයෙන් අයදුම් පත් කැඳවීමෙන් අනතුරුව ඒ සඳහා ඉදිරිපත් වී පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම සුදුසුකම් සහතික කිරීමෙන් පසුවය.
එවැනි පසුබිමක ඇය දරමින් සිටි තනතුරින් ඉවත් කරන්නේ නම් එය සිදුකල හැකි වන්නේ නිසි ලෙස තනතුරේ වගකීම් ඉටු කිරීමට අසමත් වීම හෝ වෙනත් විනය විරෝධී කටයුත්තකට වරදකාරියෙකු බවට චෝදනා ඉදිරිපත් කරමින් සිදුකරන විධිමත් පරීක්ෂණයකින් අනතුරුවය. එමෙන්ම ආයතනයේ අවශ්‍යතා සඳහා ඇයගේ සේවය ලබාගැනීම සඳහා ඇයට ස්ථාන මාරුවක් ලබාදෙන්නේ නම් එය ලබා දිය යුතුව තිබුණේ ද මාධ්‍යවේදිනියක ලෙස ඇයගේ සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨත්වය අනුව ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන වෙනත් පුවත පතක් වෙතටය. එහෙත් සභාපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන ආකාරයට ඇය ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ඇකඩමියට ඇය අනුයුක්ත කර ඇත්තේ තනතුරින් ද පහත හෙළමින් වන බව පැහැදිලිවම පෙනෙන කරුණකි.
මේ සියළු කරුණු සලකා බැලීමේදී වත්මන් ලේක්හවුස් පාලනාධිකාරිය මගින් සුමුදු චතුරාණි මාධ්‍යවේදිනිය වෙත සිදුකර ඇත්තේ බලවත් අසාධාරණයකි. අයුක්ති සහගත ක්‍රියාවකි.
එබැවින් ගරු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකර ඇයට සාධාරණයක් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි!
මෙයට, ලසන්ත ද සිල්වා, ලේකම්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

