GSP+ බදු සහනයේ ඇති වැදගත්කම සහ එහිදී යුරෝපා සංගමය අපේක්ෂා කරන වගවීම

එක්සත් ජනපද ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 44%ක තීරු බදු සමඟ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට සිදුකරනු ලබන අපනයන, විශේෂයෙන් ඇඟළුම් සහ ස්වභාවික රබර් ආශ්‍රිත නිෂ්පාදන බරපතළ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන වාතාවරණය තුළ යුරෝපා සංගමය වෙත අපනයන කර්මාන්ත හිමියන්ගේ සහ රජයේ අවධානය යොමුවී තිබේ. එහිදී යුරෝපා සංගමය විසින් ලබා දෙන GSP+ බදු සහනය හරහා අභියෝගයට ලක්ව ඇති ඇමෙරිකානු අපනයන වෙළඳපොළට යම් සහනයක් ලබාගත හැකි වනු ඇතැයි අපනයනකරුවන්ගේ සහ රජයේ බලාපොරොත්තුවයි.

එහෙත් ආර්ථික විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් පොදු එකඟත්වයක නොසිටින තත්ත්වය තුළ අපනයනකරුවන් ද ඇතුළත් ප්‍රජාව තුළ GSP+ බදු සහනය සහ එය ලබා ගැනීමේ හැකියාව ඇතුළු කාරණා ගණනායක් සම්බන්ධයෙන් දැඩි කුතුහලයක් පවතී. මෙම වාතාවරණය තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 223 වැනි කතිකාවේ දී “GSP+ බදු සහනයේ ඇති වැදගත්කම සහ එහිදී යුරෝපා සංගමය අපේක්ෂා කරන වගවීම” යන තේමාය යටතේ විද්වත් සංවාදයක් කළේය. මෙවර කතිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහාචාර්ය රොහාන් සමරජීව සංවාදයට සහභගී වූ අතර සමාජ දේශපාලන විශ්ලේෂක හරීන්ද්‍ර බී දසනායක විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේ. මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් මෙරටට පැමිණි යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ඇතුළු නියෝජිත පිරිස අප්‍රේල් 30 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පෙර තමා හමුවී පැයක පමණ කාලයක් සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡාවේදී තමාට අවබෝධ වූ ආකාරයට ශ්‍රී ලංකාවට GSP+ බදු සහන දිගටම හිමිවනු ඇති බව තම විශ්වාසය බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා හරේන්ද්‍ර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙළි කළේය.

  • GSP+ අහිමි වෙයිද ?

“ඇත්ත කතාව තමයි, යුරෝපා සංගමය අලුත් නීතියක් ගෙනත් තිබෙනවා, ඒ නීතිය අනුව එය හිමිව තිබූ රටවල් අටම අලුතින් GSP+ වලට අයදුම් කළ යුතුයි. අපට තිබුණ අවදානම තමයි මේ තිබෙන GSP+ එක නැති වෙලා, අලුත් GSP+ එක එනකම් අයදුම් කළ රටවල් වලට දැනට ඒක තිබෙනවා නම් සමාලෝචනය  සිදුවන කාලයේ දී GSP+එක තියා ගන්න පුළුවන් ද, බැරිද කියන එක. මෙතැන තමයි යම් ගැටලුවක් තිබුණොත් තිබෙන්නේ. මට දැනුන ආකාරයට ඔවුන් බලාපොරොත්තු වෙනවා ඒ සියලු රටවල් අයදුම් කළහොත්, ඒ වගේම ඒවා ප්‍රතික්ෂේප නොකළහොත් GSP+ සහනය දිගටම ලබා දෙන්න. මේක මට හැඟුණ දේ, යුරෝපා සංගමයේ නියෝජිතයින් මට සහතිකයක් ලබා දුන්නේ නැහැ, ඒ වගේම ඔවුන්ට එවැනි ප්‍රකාශයක් කරන්න හැකියාවකුත් නැහැ, ඔවුන් කිව්වේ ‘ඇප්ලයි කළහම බලමු’ කියලා” ආචාර්ය හර්ෂ ද සිල්වා යුරෝපා සංගම් නියෝජිතයින් සහ තමා අතර සිදු වූ හමුව සහ එහි දී තමාට හැඟුණ කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.

ශ්‍රී ලංකාවට GSP+ තීරු බදු සහනය ලබාදීමේ දී මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව තිබේ. ඒ අතර ‘යහපාලනය’ මූලික කරුණකි. වත්මන් රජය විසින් ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යුරෝපා සංගම් නියෝජිතයින් තුළ පැහැදීමක් තිබෙන බව ද ආචාර්ය හර්ෂ මෙහිදී සඳහන් කළේය.

“කිසිවෙකුට ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එකඟ නොවී සිටීමට හැකියාවක් නැහැ, ඒකට හේතුව තමයි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා. මේ පසුබිම තුළ යහපාලනය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ නියෝජත පිරිස යම් පමණකට සෑහීමකට පත්ව තිබුණා. ” හර්ෂ තවදුරටත් පැහැදිලි කළේය.

  • ත්‍රස්ත පනත ගැන EU ස්ථාවරය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ද යුරෝපා සංගම් නියෝජතයින්ගේ අවධානය යොමුව ඇත.  යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27කට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර සැලකිය යුතු තරමින් එම සම්මුති 27 ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ.

“මේ සම්මුතීන් 27 ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යම් යම් ගැටලු තිබෙනවා. නමුත් මේ 27 ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ ආකාරයෙන් ගැටලු තිබෙන එක් තැනක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. මේකේ අවුල අපි කවුරුත් දන්නවා. මම තමයි පසුගිය ආණ්ඩු සමයේ GSP+ බදු සහනය සම්බන්ධයෙන් බ්‍රසල්ස් සමඟ සාකච්ඡා කරන විට මම තමයි ‘Appointed Man’ වෙලා හිටියේ. මම මයි අවස්ථාවේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත අරගෙන ගියේ, මම තමයි භාර දුන්නේ. නමුත් ප්‍රති ත්‍රස්ත පනත ක්‍රියාත්මක වු‌ණේ නැහැ. ඔවුන් පෙන්නලා දුන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන පනතට වඩා ප්‍රති ත්‍රස්ත පනත හොඳ නමුත්, සමහර පැතිවලින් එක තිබෙන පනතටත් වඩා නරකයි කියලා” හර්ෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ සම්බන්ධ සිය අත්දැකීම් පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ ය.

මෙහිදී යුරෝපා සංගමයේ නියෝජතයින්ගේ අදහස පැහැදිලි කරමින් ඔහු කීවේ, ‘යුරෝපා සංගමයේ අදහස වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි බවයි” .

“ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා වින්දිතයෙක් වෙලා තිබෙන නිසා, මේ පනත අහෝසි කරනවා කියලා ඔවුන් කිව්වා. ඒත් ඇයි ඔවුන් මේක තව දුරටත් ප්‍රමාද කරන්නේ ?” යැයි යුරෝපා සංගමයේ නියෝජිතයින් තමාගෙන් ප්‍රශ්න කළ බව ද ආචාර්ය හර්ෂ මෙහිදී සඳහන් කළේය.

“යුරෝපා සංගමයේ නියෝජිතයින්ට මේක ප්‍රහේලිකාවක් වෙලා තිබෙන බව මට පෙනුනා” හර්ෂ කීවේ ය. මෙහි දී ආචාර්ය හර්ෂ තවත් වැදගත් කරුණක් ද හෙළි කළේය, ‘ මං නොදැන සිටි තවත් කරුණක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්ත තරුණයව නිදහස් කරලා තියෙන්නේ මේ පනතෙම වගන්තියකින්. මම මේක දැන ගත්තේ පස්සේ” හර්ෂ තව දුරටත් පැහැදී කළේය.

මෙහිදී හර්ෂ කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධ ගැටලු ගැන තමා සහ යුරෝපා සංගමයේ නිලධාරීන් දීර්ඝව කරුණු සාකච්ඡා කළ බවයි.

  • නීතියේ ආධිපත්‍ය ගිහිලීම

රටපුරා සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල සම්බන්ධයෙන් ද යුරෝපා සංගමයේ නියෝජතයින් අවධානය යොමු කර තිබේ.

“යුරෝපා සංගමයේ නියෝජිතයින් හිතනවා නීතියෝ ආධිපත්‍ය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලාද ? කියලා. මේ සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා” හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේය.

සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත / Online Safety Act සම්බන්ධයෙන් ද යුරෝපා සංගමයේ නියෝජතයින්ට ගැටලු තිබෙන බව හර්ෂ කීවේය.

“ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ මන්ත්‍රීවරුන් – මන්ත්‍රීවරියන් මේ පනත යටතේ රැකවරණය ඉල්ලා සිටින තත්ත්වයක් තුළ, මේ පනත ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රවේශය ගැන යුරෝපා සංගමයේ නියෝජතයින්ට පැහැදීමක් නැති බව තමයි ඔවුන් සමඟ කළ සාකච්ඡාවේදී මට පෙනුනේ” හර්ෂ සඳහන් කළේය.

ලොකු ප්‍රශ්නයක් නැද්ද ?

සමස්තයක් ලෙස සලකා බලන විට යුරෝපා සංගමයේ නියෝජිතයින්ට ලංකාව සම්බන්ධයෙන් ‘ලොකු ප්‍රශ්නයක්’ තිබෙන බවක් තමාට නොපෙනුණ බව කී ආචාර්ය හර්ෂ ද සිල්වා,  මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ආණ්ඩුවට 2026 දක්වා සැලකිය යුතු කාලයක් තිබෙන බව ද  පෙන්වා දුන්නේ ය.

“ අවශ්‍ය වෙනස්කම් කරගෙන 2026 වටයට අයදුම් පත්‍රයක් යොමු කරන්න ආණ්ඩුවට හැකියාව සහ ප්‍රමාණවත් කාලයක් තිබෙනවා” යැයි හර්ෂ වැඩි දුරටත් සඳහන් කළේය.

අපි ගැන විශ්වාසයක් නැතිකම බරපතළ ගැටලුවක් – මහාචාර්ය රොහාන් සමරජීව

GSP+ බදු සහනය යළි අලුත්කර ගත්තේ 2017 වසරේ පෙබරවාරී මාසයේ දීය. එදා සිට අද දක්වා අවම වශයෙන් වසර අටකට අධික කාලයක් ගත වුවත්, 2017 දී GSP+ තීරු බදු සහනය යළි ලබා ගැනීම වෙනුවෙන් අත්සන් තබන ලද ප්‍රඥප්ති 27 අපේක්ෂිත ප්‍රමාණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සමත් වී නැත.

කතිකාවට ප්‍රවේශයක් ගනිමින් මහාචාර්ය රොහාන් සමරජීව කියා සිටියේ, ‘ශ්‍රී ලංකාව රටක් ලෙස මේ පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්විය යුතු’ බවයි.

  • ත්‍රස්ත පනත තවමත් ක්‍රියාත්මක ඇයි ?

“මගේ මතය, මම හිතන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මතය, අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධයි. ඒකේ මූලික ප්‍රශ්න තිබෙනවා. මේක සංශෝධනය කරන්න පිටරටවල්වල මිනිස්සු සම්බන්ධ විය යුතු නැහැ. අපි මේක කළ යුතුයි. ස්වේච්ඡාවෙන්ම අපි පොරොන්දු වුණා ‘මේක කරනවා’ කියලා. එතකොට ‘ප්‍රති ත්‍රස්ත පනත’ සම්බන්ධ විවේචන ආවා. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් අපි ‘Anti-Terrorism Act’ එක ගෙනවා. ඒකේ හොඳ කොටස් තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි ලිපි ලේඛන භාර දීලා, මේ පනත හදා ගන්න සක්‍රීය ලෙස ඒක හදා ගන්න උත්සාහා කළා” මහාචාර්ය රොහාන් සමරජීව තමාගේ සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.

මෙහිදී ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන්, එවකට අධිකරණ අමාත්‍යවරයාව සිටි විජේදාස රාජපක්ෂ මහතා ‘තමා සමඟ කී කතාවක්’ උපුටු දැක්වීමට ද මහාචාර්ය සමරජීව පියවර ගත්තේය, “මට හොඳටම මතකයි විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මට කිව්වා, ඔ්ගොල්ලෝ මේ හැම එකම විවේචනය කර කර හිටියම අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙම ඉතිරි වනවා’ කියලා. මම විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ තර්කය මූලික වශයෙන් පිළිගන්නේ නැහැ. මම කියන්නේ ‘ඒ තර්කය වැරදියි’. මේක ගැන සරල උදාහරණයක් දුන්නේනොත්, සමාජමාධ්‍ය නියාමන පනත අහෝසි කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්මයා ‘බොහොම සරල’  පුද්ගලික මන්ත්‍රී පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ වාක්‍ය තුනක් ද කොහෙද තියෙන්නේ. ඉතිං ඔය වාගේ බොහොම සරල පනතක් ගෙනත් මේක ඉවරයක් කරලා දාන්න පුළුවන්” මහාචාර්ය රොහාන් සමරජීව පැහැදිලි කළේය.

  • විශ්වාසනීයත්වය බිඳ වැටිලා

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ‘රියෙන්සි අර්සකුලරත්න’ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇතත් එම කමිටු මේ දක්වා රැස් වී නැතැයි (තමා දන්නා තරමින්) ද, තමා එම කමිටුවේ සාමාජිකයින් සමඟ කතා කර ඇතැයි ද මහාචාර්ය සමරජීව මෙහිදී හෙළි කළේය.

“ඒකෙන් මට තේරෙන්නේ මේ ගැන කිසිම උනන්දුවක් නැහැ, සංකේතාත්මකව කතා කරනවා පමණයි. එතකොට ඒ ගොල්ලෝ මුණ ගැසුණොත්, අපිට කියන්න පුළුවන්නේ (මේ ගොල්ලෝ යන්න කලින්) අපි කරන්න සූදානම් මොනවද කියලා”

මෙහි දී මහාචාර්ය සමරජීව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධ තවත් කරුණක් ද හෙළි කළේය.

“ මම PTA Six Months කියලා ගූගල් දාලා බැලුවා. මේක සම්බන්ධ මොන තරම් කතා තිබෙනවාද ? මේක සම්පූර්ණයෙන්ම ‘විශ්වාසනීයත්වය’ සම්බන්ධ ප්‍රශ්නයක්. මේ විශ්වාසය කඩ කිරීම නිසා ලංකාවට බොහොම ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. වරක් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට ගිහින් කිව්වා, තර්ටීන් ප්ලස්’ දෙනවා කියලා. ඊට පස්සේ ලංකාවට ඇවිත් කියනවා ‘තර්ටීන් මයිනස්’ දෙනවා කියලා. එකක් කියනවා, තව එකක් කරනවා. එක්කෝ, ‘කරනවා’ කියලා කියලා ‘කරන්නේ නැහැ”

මෙය ‘මුළු රටේම තත්ත්වයට ගැඹුරු ප්‍රශ්නයක්’ මහාචාර්ය සමරජීව අවධාරණාත්මක ස්වරයෙන් කීවේය.

  • ට්‍රම්ප්ගේ බදුවලට කරන්න දෙයක් නෑ

ඇමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් ‘කළ හැකි දේ’ අතිෂය සීමාසහිත බව මහාචාර්ය සමරජීව මෙහිදී පෙන්වා දුන්නේ ය.

ජනාධිපති ට්‍රප්ම් කතා කරන දේ පැහැදිලි නැත. ඔහු ආනයන – අපනයන වෙළෙඳාම අතර පරතරය ගැන, භාණ්ඩ ගැන පමණක් කතා කරන බවත්, ආර්ථික විද්‍යාවට අනුව ‘භාණ්ඩ ගැන විතරක් කතා කිරීම විකාරයක්’ යැයි ද කීවේය.

“ආර්ථික විද්‍යාවට අනුව කතා කරනවා නම් භාණ්ඩ හා සේවා යන දෙකම ගැන කතා කළ යුතුයි. ඇමෙරිකාවට ලංකාවත් එකක් ‘සේවා වෙළෙඳාමේ අතිරිත්තයක්’ තිබෙනවා. නමුත් ට්‍රම්ප් පාලනයත් එක්ක මේ ගැන කතා කරලා වැඩක් නැහැ. ඔහු කතා කරන්නේ ඉතාම ප්‍රාථමික මට්ටමින්. ඔහුට අවශ්‍ය කරන්නේ ‘ඩීල්’ එකක්. ‘මට විශ්මය ජනක දෙයක් පොරොන්දු වෙන්න ඔ්න’ කියලා ඔහු ඉතාම පැහැදිලිව කියනවා.  ඒ කියන්නේ අපි ඇමෙරිකාවෙන් තෙල් හරි, ආයුධ හරි, වෙන මොනවා හරි ගන්න ඔ්නෑ, ඒ කියන්නේ ‘ගෞරවනීය රටකට කරන්න අමාරු දේවල් කරන්න වෙනවා”

මෙහිදී මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ ‘මේ වන විටත් 10%ක බද්දක්’ පනවා ඇති බවයි.

“44%ක බද්ද ගැන හැමෝම කතා කළට දැනටමත් 10%ක බද්දක් තිබෙනවා. වෙන කාලෙක මේක වුණා නම් විශාල කැළඹීමක් ඇති වෙනවා. මේ 44% නිසා බොහෝ දෙනෙක් 10% ගැන කතා කරන්නෙවත් නැහැ” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී මහාචාර්ය රොහාන් සමරජීව සඳහන් කළේ, රජයට සම්බන්ධ ‘ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය’  ගණන් බලා ඇති ආකාරයට, යම් කිසි ආකාරයකින් ලංකාවට GSP+ තීරු බදු සහනය අහිමි වුණොත් 10%ක බදු බලපෑමක් ඇති බවයි. මේ හා සම්බන්ධ තවත් ගණනය කිරීම් කිහිපයක් අදාළ ආයතනය විසින් කර ඇති බව ද මහාචාර්යවරයා මෙහිදී සඳහන් කළේය.

“මෙවැනි උපකල්පන මත තීරණ නොගත යුතුයි. ඇඟළුම් හා රබර් කර්මාන්තකරුවෝ දන්නවා පසුගිය වර සිදු වුණ දේ. 2010 – 2015 කාලය තුළ සිදු වුණ දේ ගැන ඔවුන් පැහැදිලිවම දන්නවා. මේ කාලේ GSP+ තීරු බදු සහනය අහිමි වුණා. 2015 ආණ්ඩුව සමයේ මංගල සමරවීරලා, හර්ෂලා ඒක යළි ලබා ගත්තා. අවුරුදු හතක හිඩැසක් තිබුණා. මේ කාලය තුළ සිදු වුණ දේ ගැන අපේ රටේ කර්මාන්තකරුවෝ හොඳට දන්නවා”

මෙහිදී මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ මෙවැනි අත්දැකීම් ඇති කර්මාන්තකරුවන්ට ආකෘති, න්‍යාය, උපකල්පන ඉදිරිපත් කිරීමට වඩා කළ යුතු දේ ඇති බවයි.

“ අපි අත්දැකීමෙන්ම දන්නවා මේ වාගේ අවස්ථාවක, විශේෂයෙන්ම ‘මේ අවස්ථාවේ’ කළ යුත්තේ කුමක් ද? කියලා” මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ ය.

මේ අතර මහාචාර්ය සමරජීව ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ‘GSP+ තීරු බදු සහනය 2027 දක්වා දීර්ඝ කර තිබේද?’ කියා ප්‍රශ්න කළේය.

  • හර්ෂට ප්‍රශ්නයක්

මහාචාර්ය සමරජීව ඉදිරිපත් කළ ප්‍රශ්නයට හර්ෂ ද සිල්වා මෙසේ පැහැදිලි කිරීමක් කළේය, “යුරෝපා සංගමයේ Legislation (නීති සම්පාදනය) වල යුරෝපීයන් කොමිෂන් එකේ ප්‍රශ්නයක් තිබිලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක ප්‍රමාද වෙලා තිබෙන්නේ. 2027 තමයි කියලා තිබෙන්නේ. නමුත් ලංකාවට පැමිණ සිටින නියෝජිතයින් මට කිව්වේ ‘ඊට කලින්’ මේක වෙයි කියලා. ඒගොල්ලෝ දිනයක් හරියට කියන්නේ නැහැ. නමුත් මට තේරෙණ විදිහට 2026 දී යම්කිසි දවසක මේක නැති වෙනවා”  ආචාර්ය හර්ෂ ද සිල්වා පැහැදිලි කළේය.

  • ඉහළ මැදි ආදාමට ගියොත් ?

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයට පත් වුවහොත් GSP+ තීරු බදු සහනය අහිමි වන බවත්, ඒ සඳහා වසරක කාලයක් ලබා දෙන බවත් මහාචාර්ය සමරජීව මෙහි දී සිහිපත් කළේය.

“මේකත් බලන්න ඔ්නෑ නේද ? 2025 දී අපේ ඒක පුද්ගල ආදායම සැලකිය යුතු ඉහළ මට්ටමකට වර්ධනය වෙලා තිබෙනවා” මහාචාර්ය සමරජීව කළ පැහැදිලි කිරීමට පිළිතුරු වශයෙන් ආචාර්ය හර්ෂ පෙන්වා දුන්නේ ‘ඉහළ මැදි ආදායම් රටක සීමාවට ළඟා වීමට ශ්‍රී ලංකාව පසුවන්නේ ඩොලර් 10ක පමණ පසුපසින් බවයි.

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වය පත් වුවහොත් එය ද GSP+ තීරු බදු සහනය ලබා ගැනීම ගැටලුවක් වනු ඇතැයි ආචාර්ය හර්ෂ පෙන්වා දුන්නේය.

  • පාලනයෙන් පිට සාධක

තීරු බදු සම්බන්ධ අර්බුදයේදී ශ්‍රී ලංකාව, ‘තම පාලනයෙන් පිට සහ තම පාලනය යටතේ පතින සාධක ගැන’ සංවේදී විය යුතු බව පෙන්වා දුන් මහාචාර්ය සමරජීව එක්සක් ජනපද තීරු බදු සම්බන්ධ අර්බුදය, ‘ලංකාවේ පාලනයෙන් පිට සාධක’ මත ක්‍රියාත්මක වන බවත්, යුරෝපා සංගමය ‘ක්‍රමානුකූලව හා ගුණකරුකව’ කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

2010 දී GSP+ තීරු බදු සහනය අහිමි කරන්න පෙරත් ඔවුන් ලංකාවට අවස්ථා ගණනාවක් ලබා දුන් බව ද මෙහිදී මහාචාර්ය සමරජීව සිහිපත් කළේය.

මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ මහාචාර්ය රොහාන් සමරජීවගේ අදහස තමා ද පිළිගන්නා බවයි.

  • PTA අහෝසි නොකළහොත් ?

“මහාචාර්ය රොහාන් නිවැරදියි, 2017 දී අපි යුරෝපා සංගමට පොරොන්දුවක් දුන්නා. මම මුලින් කිව්වානේ, මම තමයි මේ ලේඛන අරං ගියේ කියලා. ඒ අවස්ථාවේ අදහස වෙලා තිබුණේ PTA එක වෙනුවට CTA එක ගේනවා කියලනේ, ඒ ලිපි ලේඛනනේ අපි දුන්නේ. නමුත් 2018 දේශපාලන අර්බුදය, පාස්කු ප්‍රහාරය  සහ මැතිවරණ නිසා ඒක වුණේ නැහැ. නමුත් අවසාන ප්‍රතිඵලය තමයි ‘අපි ඉවත් කරනවා කිව්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවමත් ක්‍රියාත්මක වෙනවා’. මට වැටහෙන විදිහට අපි ඉදිරියේ දී GSP+ තීරු බදු සහනය ගන්න යළි ඉල්ලුම් පත්‍ර දැම්මොත්, එහිදී අපි යළිත් කිව්වොත් ‘අපි ඉදිරියේ දී මේක අහෝසි කරනවා’ කියලා මොකද වෙන්නේ. යුරෝපා සංගමය අපිව විශ්වාස කරාවිද ? මම පැහැදිලිව කියනවා මේක අහෝසි නොකළහොත් අපිට GSP+ තීරු බදු සහනය ලැබෙන්නේ නැහැ” හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

මෙහිදී ආචාර්ය හර්ෂ අවධාරණාත්මක ස්වරයෙන් පෙන්වා දුන්නේ, වසර නවයකට පසු යළිත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු දුන්නොත් ඔවුන් එම අදහස අවඥාවෙන් බැහැර කරනු ඇති බවයි.

“ අපි අවුරුදු නවයකට පස්සෙත් මේ පොරොන්දුව ම දුන්නොත් මොකද වෙන්නේ ?. ‘අපි ඔවුන්ව නොසලකා හරින බව’ ඔවුන් කියාවි. ‘අපි ගණන් නොගන්නා බව’ ඔවුන් කියාවි. මේ වගේ තත්ත්වයක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් එක්ක නිර්මාණය වෙලා තියෙන්නේ” හර්ෂ තම ස්ථාවරය පැහැදිලි කරමින් කීවේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ 2026 දී, යම්කිසි අවස්ථාවක GSP+ තීරු බදු සහනය නැවත දීර්ඝ කරන ලෙස ඉල්ලා අයදුම් පත්‍රය යොමු කරන අවස්ථාව දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ආණ්ඩුවට අවස්ථාව තිබෙන බවයි.

“මම නැවත කියනවා GSP+ තීරු බදු සහනය ලබා ගන්න ඉල්ලුම් පත්‍ර දාන කොට අපි යළිත් කිව්වොත් ‘අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා” මේක ලැබෙන්නේ නැහැ” හර්ෂ සාවඥ ස්වරයෙන් කීවේය.

මෙහිදී හර්ෂ යළි පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම හේතුවෙන් ම GSP+ තීරු බදු සහනය අහිමි වනු ඇතැයි තමාට ප්‍රකාශ නොහැකි බවයි.

“මට හැගෙන විදිහට ඒ්ක තමයි මූලිකම කාරණාව” හර්ෂ යළිත් අවධාරණාත්මක ස්වරයෙන් කීවේය.

මෙහිදී හර්ෂ ද සිල්වා කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම පමණක් නොව තවත් ප්‍රශ්න, කම්කරු ප්‍රඥප්තිය ආදිය ප්‍රශ්න පවතින බවයි.

“වෙනත් ප්‍රශ්න නැතිව නොවෙයි, නමුත් යුරෝපා සංගමය දැඩිවම අවධානය යොමු කරන්නේ PTA සම්බන්ධව” ආචාර්ය හර්ෂ අවධාරණය කළේය.

මෙහිදී මහාචාර්ය රොහාන් සඳහන් කළේ රියෙන්සි අර්සකුලරත්න කමිටුව සමඟ ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවයි.

“අපි බැලුවේ අලුතින්ම පනතක් හදනව නම් සැලකිය යුතු කාලයක් යනවා. ඒ නිසා ප්‍රති ත්‍රස්ත පනතේ අඩුපාඩු හදා ගෙන හෝ විජේදාස රාජපක්ෂ මහතාගේ පනතේ අඩුපාඩු හදා ගෙන ඉරියට යනව නම් මම හිතනවා, යථාර්ථවාදීව 2025 අවසන් වන විට මේ පනත සම්මත කරගන්න (ආණ්ඩුවට වුවමනාව තිබේ නම්) හැකියාව තිබෙනවා. කමිටුව එක් වරක්වත් රැස් වෙලා නැතත්, මාස හතක් ඇතුළත මේක කර ගන්න පුළුවන්. එහෙම වුණොත් 2026 වන විට අපිට යුරෝපා සංගමයේ රිවිව් කමිටි  එකට අපි ලිඛිතව කියනවා, ‘මෙන්න වැඩේ ඉවරයි’ කියලා. කතාබතා නැහැ, පොරොන්දු නැහැ, දිනවකවානු නැහැ…. මෙන්න වැඩේ ඉවරයි කියලා” මහාචාර්ය සමරජීව සඳහන් කළේය.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment