පාසල් දරුවන් දණ්ඩනයෙන් මුදවා ගැනීමේ වෑයම වැට පනියි ද? – විද්වතුන් කියන්නේ කුමක් ද ?
- Editor
- October 11, 2025
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
ළමුන් සහ පාසල් සිසුන්ට ශාරීරික දඬුවම් ලබාදීම හා සම්බන්ධ සිදුවීම් නිතර නිතර උණුසුම් පුවත් මවන අතර ඒවායේ උණුසුම ද සෙසු බොහෝ අවස්ථාවල දී මෙන් දින කිහිපයකින් නිවී යන අතර දණ්ඩණයට ලක් වූ දරුවා තුළ කායික කැළැල් සහ ඇතැම් විට කිසිදා නොමැකී යන මානසික කැළලක් පමණක් ශේෂ වේ. නමුත් පසුගිය දින කිහිපය පුරා ළමුන්ට සහ පාසල් සිසුන්ට ශාරීරික දඬුවම් ලබාදීම සම්බන්ධ සංවාදය යළි උණුසුම් වූයේ ආණ්ඩුව විසින් පනතක් සම්මත කර ගැනීම හේතුවෙනි. ඒ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා සැප්තැම්බර් 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ය.
මේ සමඟ දැඩි සමාජ අවධානයක් දිනා ගත් මෙම කතිකාව පෝෂණය කිරීම පිණිස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය සති අන්ත කතිකාව විද්වත් සංවාද මාලායේ 245 වැනි කතිකාව “පාසල් දරුවන් දණ්ඩනයෙන් මුදවා ගැනීමේ සීමාව වැට පනීයිද?” යන තේමාව යටතේ සංවාදයකට ලක් කළේය. මේ සඳහා සම්පත්දායකයින් ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සම්පත් රාජපක්ෂ මහතා සහ හිටපු විදුහල්පතිනී පතිරාජ මැණිකේ මහත්මිය සහභාගී වූ අතර නීතිඥ ගයත්‍රී නවරත්න විසින් සංවාදය මෙහෙයවනු ලැබුවා ය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
ගමන් මග
2017 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6ක තෝරා ගත් පාසල් 32ක් මුල් කරගෙන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කරන ලද සංඛ්‍යාත්මක සමීක්ෂණයේ වාර්තාවට අනුව ඊට භාජනය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 80.4%කට ආසන්න පිරිසක් මාස තුනක කාලයක් තුළ දී කවර හෝ අන්දමේ කායික දණ්ඩනයකට ලක්වී තිබූ බව බී.බී.සී සන්දේශය 2024 ජූනි 06 වැනි දා වාර්තා කළේ ය.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ආයතන රැසක් ළමුන්ට එරෙහි ශාරීරික දඬුවම් අහෝසි කළ යුතු බවට වසර ගණනාවක් පුරා බලපෑම් කළ අතර අවසානයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විද්වතුන්ගේ උපදෙස් මත ශාරීරික දඬුවම් අහෝසි කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශ මත “ළමුන්ට එරෙහි සියලු ආකාරයේ ශාරීරික දඬුවම් අහෝසි කිරීමට” යෝජනා විය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එවකට අධිකරණ අමාත්‍යවරයාගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස 2024 අප්‍රේල් 29 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ මෙම නිර්දේශ ඇතුළත් යෝජනා මාලාව ය.
කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ දරුවන්ට ඕනෑ ම ආකාරයක ශාරීරික දඬුවම් ක්‍රියාත්මක කිරීම අපරාධයක් ලෙස අර්ථකථනය කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා 2024 අප්‍රේල් 29 වන දා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි විය. මේ සම්බන්ධයෙන් 2024 අප්‍රේල් 30 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී එදා කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ය. ඒ අනුව මෙරට ළමා අයිතිවාසිකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ආකාරයට සකස් කර උසස් සදාචාර සම්පන්න සමාජයක තිබිය යුතු ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා සියලු ම ක්ෂේත්රවල ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.

රනිල් වික්‍රමසිංහ පාලන සමයේ දී මෙම පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුව ද එය සම්මත කර ගැනීමට නොහැකි වූ නමුත් අදාළ ක්‍රියාවලිය ඉදිරියට ගියේය. ඒ අනුව පසුගිය ජූනි 02 වැනිදා රැස් වූ අමාත්‍ය මණ්ඩලය, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත (ශාරීරික දඬුවම්) සංශෝධනය කිරීම සඳහා සහ (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය (ශාරීරික දඬුවම්) සංශෝධනය කිරීම සඳහා පනතක් ගෙන ඒමට අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලබා දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් පසුගිය ජූනි 02 වැනිදා නිකුත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ මෙසේ සඳහන් විය. ඕනෑම ක්ෂේත්රයක ශාරීරික දඬුවම් මඟින් හිංසනයට ලක් කිරීම තහනම් කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා 2024-04-29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව අදාළ කාර්යය සඳහා සංශෝධන පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
වත්මන් ආණ්ඩුව මෙම පනත සංශෝධනය කිරීමට පසුගිය ආණ්ඩුව ගත් තීන්දුව ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියට ගෙන යාම සැබවින්ම අගය කළ යුතු කාරණයකි.
දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සැප්තැම්බර් 19දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ අදාළ පනත් කෙටුම්පත (19 වන අධිකාාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගිය සැප්තැම්බර් 23 වැනිදා සලකා බලා අනුමත කළේය. එහිදී කමිටුවේ සභාපති (වෛද්‍ය) නජිත් ඉන්දික පැවසුවේ දරුවන් ඉලක්ක කරගත් ශාරීරික දඬුවම් සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ සඳහා නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නියෝජනය කළ නිලධාරීහු පෙන්වා දුන්නේ, ළමා රැඳවුම් මධ්‍යස්ථාන සහ පාසල් ඇතුළු විවිධ ස්ථානවල දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් නැවැත්වීමට ප්‍රමාණවත් නීතිමය විධිවිධාන ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ නොතිබිණි. මේ සම්බන්ධයෙන් සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් පැවති අතර, තත්ත්වය වෙනස් කිරීම සඳහා නීතිමය විධිවිධාන ගෙන ආ යුතු බවට සාකච්ඡා කෙරිණි. එනිසාම මෙම ගැටලුව සම්බන්ධයෙන් නීතියක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් අඛණ්ඩව අවධාරණය කර ඇති බවත් ඒ් නිසා ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් උක්ත පනත් කෙටුම්පත ගෙන එන බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ගුරු වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශ්වයන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කළ බව කාරක සභාවට සහභාගී වූ නිලධාරීහු පැවසූ අතර මෙය කිසිවිටෙකත් ගුරුවරුන් ඉලක්ක කරගත් පනතක් නොවන බවත්, දරුවන්ට ශාරීරිකව දඬුවම් කරන ඕනෑම කෙනෙකුට අදාළ වන නීතියක් බවත් නිලධාරීහු මෙහි දී පෙන්වා දුන්හ.

ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ සාම්ප්‍රදායික ආකල්ප වෙනස් නොකර අපේක්ෂිත අරමුණු ඉටුකර ගත නොහැකියි– ආචාර්ය සම්පත් රාජපක්ෂ
දරුවෙකුගේ මනස මලක් වැනි යැයි සාමාන්‍ය ව්‍යවහාරයේ දී සඳහන් වේ. මලක් පිපීමට නම් ඊට උචිත, සුදුසු පරිසරයක් ද තිබිය යුතුය. වර්තමානයේ අපට තිබෙන ප්රශ්නය වන්නේ, අපි මේ මල පිපෙන්න හරින්නේ පාලනයෙන් තොර පංති කාමරයක් තුළ ද? යන්නය.
මෙන්න මේ කාරණය තමයි මේ දවස්වල විවාදයට භාජනය වෙලා තියෙන්නේ කතිකාවට නිර්මාණාත්මක ආරම්භයක් ගනිමින් ආචාර්ය සම්පත් රාජපක්ෂ සඳහන් කළේ ය.
මේ සම්බන්ධ සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් ආචාර්ය සම්පත් රාජපක්ෂ පෙන්වා දුන්නේ ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආ සංශෝධනය පවතින්නේ කෙටුම්පත් අවස්ථාවේ බවයි. මීට පෙර දණ්ඩ නීති සංග්‍රහයේ සාධාරණ දඬුවම් සඳහා යම් අවස්ථාවක් ලබා දී තිබූ බව පෙන්වා දුන් ඔහු ඒ සඳහා සුනිල් එදිරිව රත්නායක නඩු තීන්දුව උපුටා දැක්වූවේ ය. මෙම නඩු තීන්දුව මඟින් පාසල් ළමුන්ට කරන අඩම්තේට්ටම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය උල්ලංඝණය කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
ඒ අනුව ළමුන්ට කරනු ලබන දඬුවම් සම්බන්ධයෙන් නීතියේ යම්කිසි හිඩැසක් තිබුණා. එය පිරවීම තමයි දණ්ඩ නීති සංග්‍රහයට කරන මේ සංශෝධනයෙන් අපේක්ෂා කරන්නේ යයි ආචාර්ය සම්පත් කීවේය.
ගැටලුව කුමක් ද ?
දණ්ඩ නීති සංග්‍රහයට එක්කර තිබෙන මෙම සංශෝධනය සම්මත වුවහොත් පංති කාමරය සම්පූර්ණයෙන්ම වෙනස් වන බව ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව කියන්නේ වෙනත් සංදර්භයක් තිබෙන රටක්. මෙම සංශෝධනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ද? සහ මේ තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගත හැකි ද යන ප්රශ්නය අපට තිබෙනවා. ඒ වගේම මේ පනත කවර ආණ්ඩුවක් විසින් හෝ ගෙන ආ යුතු පනතක්, ඒක අනිවාර්යයෙන් සිදුවිය යුතු දෙයක්. මේක ක්‍රියාත්මක කිරීම සඳහා ප්රවිශ්ඨ වන ආකාරය තමයි ගැටලුව නිර්මාණය වෙන්නේ. ඒ වගේම මේ පනත ඉදිරිපත් කරන්නේ ඒ සඳහා සුදුසුම අවස්ථාවේදී ද යන්න ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම මේ පනත ක්‍රියාත්මක කිරීමට අපේ රටේ සරු පසක් තිබෙනවා ද කියන ගැටලුව අප හමුවේ තිබෙනවා ආචාර්ය සම්පත් රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම පනත අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතු පනතක් ලෙස තමා සලකන බව ද ආචාර්ය සම්පත් කීවේය.
පනත ආවේ ඇයි ?
මෙම පනත ගෙන ඒමට ආණ්ඩුව පියවර ගත්තේ කුමක් නිසා ද යන්න ඔහු මෙහිදී පැහැදිලි කළේය. මෙම පනත ගෙන ඒමේ අරමුණ ඉතාම පාරිශුද්ධ බව කී ආචාර්ය සම්පත් ඒ සම්බන්ධයෙන් කිසිම තර්කයක් නොමැති බව ද සඳහන් කළේය.
මේ පනත ගෙන ඒමට පෙර කල යුතු හදිසි කාර්යයන් කිහිපයක් තිබෙනවා. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් කළේ නැහැ, මේ තත්ත්වය ගැටලුකාරීයි. ආණ්ඩුව මේ කරමින් සිටිනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කොන්දේසි ඉටුකිරීමක් ඔහු අවධාරණයෙන් පෙන්වා දුන්නේය.
ජනතාව කැමැති වුණත් අකමැති වුණත් ආණ්ඩුව ලිබරල් ආකෘතියක් ක්‍රියාවට නංවමින් සහ එය විශ්වාස කරමින් සිටින බව පෙන්වා දුන් ආචාර්ය සම්පත් මෙ ක්‍රියාත්මක කළහොත් ගෝලීය ප්රමිතීන් සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.
විශේෂයෙන්ම අපි ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ කොටස්කරුවෙක් නිසා ජාත්‍යන්තර වශයෙන් ගත් විට මෙම පනත ගෙන ඒම ඉතා ම අනුකූලයි. අපි එය කළ යුතු දෙයක් ආචාර්ය සම්පත් සඳහන් කළේය.
දත්ත මෙන්න
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධ පැමිණිලි 600ක් පමණ 2019 දී ලැබී තිබේ. මෙම පැමිණිලිවලින් බහුතරය ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තා වීම ද විශේෂත්වයකි.
මේ පසුබිම තුළ මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට යම් සාධාරණත්වයක් තිබෙනවා. මම යළිත් පෙන්වා දෙනවා, මෙම පනත ගෙන ඒම කාලීනයි වගේම සිදුවිය යුත්තක් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආයතනවල කොටස්කරුවන් බව පෙන්වා දුන් ආචාර්ය සම්පත් එවැනි තත්ත්වයක් තුළ වෙළඳපොළ ප්රජාතන්ත්රවාදය සමඟ කටයුතු කිරීමට සිදුවන බව ද කීවේ ය. එවැනි තත්ත්වයක් තුළ ලිබරල් හර පද්ධතීන් මෙරට සමාජය තුළ ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේ ය.
21 වැනි සියවසේ අධ්‍යාපනය තුළින් අපේක්ෂා කරන්නේ බියගුළු, පෞරුෂත්වයට හානි වුණු පුරවැසියන් නොවන බව පෙන්වා දුන් ආචාර්ය සම්පත් 21 වැනි සියවසේ අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වන්නේ ගුරුවරයාගේ කෝපය, ගුරුවරයාගේ දැඩි බව, ගුරුවරයාගේ අමානුෂික බව ඉගෙන ගන්න දරුවෙක් නොව ගුරුවරයාගේ ප්‍රඥාව අනුගමනය කරන පුරවැසියෙක් බව ද ආචාර්ය සම්පත් සඳහන් කළේය.
ජාත්‍යන්තර අත්දැකීම්
ළමයින්ට ශාරීරික හා මානසික දඬුවම් කිරීම සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ද ආචාර්ය සම්පත් මෙහිදී බෙදා ගත්තේය. යටත් විජිතවාදයෙන් නිදහස ලත් ලංකාව වැනි රටවල් යටත් විජිත පාලකයින්ගේ දේශපාලන ආකෘති, රාජ්‍ය ප්‍රතිපත්ති පමණක් නොව අධ්‍යාපන ආකෘති ද අනුගමනය කළ බව මෙහිදී ඔහු සිහිපත් කළේය.
විශේෂයෙන්ම බටහිර ආකෘති මේ රටවල ක්‍රියාත්මක කිරීමට නම් ජාත්‍යන්තර ප්රමිතීන් ඇති කල යුතුයි. එහෙම වුණොත් පමණයි වෙළඳපොළ ප්රජාතන්ත්රවාදය ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබෙන්නේ. මානව හිමිකම් යනාදිය ගෝලීය ප්රමිතීන් ලෙසයි අපි හඳුනා ගන්නේ. අපටත් අවශ්‍යයි අපේ රටත් ශිෂ්ට කරන්න. ඒ තත්ත්වය තුළ බටහිර රටකට සංක්‍රමණය වීමට හෝ බටහිර රටවල් ක්‍රියාත්මක කරන ආකෘති ක්‍රියාත්මක කිරීමට අපි බොහෝ දෙනෙක් කැමතියි. ඒ වගේම ළමුන්ට හා කාන්තාවටන් සලකන ආකාරය කුමක් ද?, ඒ ආකාරයටම තමයි ඒ රට කොතරම් ශිෂ්ට ද, ප්රජාතන්ත්රවාදී ද කියන එක තීරණය වෙන්නේ. ඒක නිර්ණායකයක්.
අපේ නොවන දේවල්
ඉහත දක්වන ලද වටිනාකම් අපේ නොවන දේවල් බවත් දඬුවම යන සංකල්පය අපේ ඇට – ලේ මස්වල දුවන දෙයක් බවත් ඔහු කීවේය.
දඬුවම් කිරීම මගින් අවනතභාවය ලබා ගැනීම, දඬුවම් කිරීම මගින් ගෞරවය ලබා ගැනීම
ශික්ෂණය ලබා ගැනීම ඓතිහාසිකවම අපට උරුම දෙයක්, අපි ඒකට හුරු – පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම ගුරුවරුත් විශ්වාස කරනවා දඬුවම් කිරීම තුළින් ළමුන් ශික්ෂණය කළ හැකි බව. ළමයින්ට දැඩිව සිටින, දැඩිව විනය ගැන සැලකිලිමත් ගුරුවරුන් තමයි දෙමාපියන් අතරත් ප්‍රසිද්ධ. තවත් වැදගත් කාරණයක් තිබෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය තියෙන්නේ. මේ තුළ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම, ඔවුන්ව ආරක්ෂා කිරීම, ශික්ෂණයට ලක් කිරීම වාගේ සියල්ල ම අපි රාජ්‍යයට පවරලා තියෙන්නේ, දෙමාපියෝ පහසුකම් සපයන්නෙක්, නිරීක්ෂකයෙක් පමණක් බවට පත් වෙලා සියල්ල පාසලට පවරා දී තිබෙනවා. දරුවගේ විනය සහ පෞරුෂත්වය හදලා, ඔහු තුළ ශික්ෂණය ගොඩනගලා, ඔහු යහපත් පුරවැසියෙක් ලෙස සමාජයට භාර දෙයි කියලා පාසලෙන් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ බලාපොරොත්තුව තුළින්, දෙමාපියන් විසින් ගුරුවරුන්ට යම්කිසි ආකාරයක සුජාතභාවයක්, එහෙම නැතිනම් අධිකාරීත්වයක් පවරලා තිබෙනවා. අපේ දරුවා හදලා දෙනවා නම් ගුරුවරු කුමනාකාරයක දඬුවමක් කළත් ප්‍රශ්නයක් නැහැ. කියලා දෙමාපියෝ හිතනවා. එවැනි සංස්කෘතික පසුබිමක් තමයි ලංකාවේ පාසල් පද්ධතිය තුළ ගොඩනැගිලා තිබෙන්නේ” ආචාර්ය සම්පත් රාජපක්ෂ සඳහන් කළේය.
මෙහිදී ආචාර්ය සම්පත් පෙන්වා දුන්නේ ඇතැම් ගුරුවරුන්ට දැඩි අධිකාරි බලයක් පංති කාමරය තුළ පවතින බවයි.
“ඒ වගේම ඒ අධිකාරි බලය උපයෝගී කරගෙන තමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ.” ආචාර්ය සම්පත් කීවේය.
පනතින් සිදුවන්නේ කුමක් ද ?
මෙම පනත සම්මත වුවහොත් ඉහතින් දක්වන ලද තත්ත්වයට නිසැකවම අභියෝගයක් එල්ල වන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ කියන්නේ ගුරුවරුන් මෙපමණ කාලයක් පංති කාමරය තුළ දැඩි අධිකාරි බලයක් ගොඩනගා ගෙන හිටියා. ඒ වගේම ඇතැම් ගුරුවරුන්ගේ ජීවිතය, ඔවුන්ගේ පෞරුෂත්වය පමණක් නොවෙයි ඔවුන්ගේ ජීවන රටාව පවා පදනම් වෙලා තිබුණේ මේ තත්ත්වය තුළ. මෙවැනි ගුරුවරුන්ව දෙමාපියන් විශ්වාස කරනවා, ඔවුන් තමයි නිවැරදි කියලා විශ්වාස කරනවා. මෙවැනි සංස්කෘතියක් තමයි අපේ රටේ තිබෙන්නේ.
මෙම පනතින් පාසල් පමණක් නොව නිවස සහ ළමුන් සම්බන්ධ වන ආයතන ද ආවරණය වන නමුත් වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ පාසල සම්බන්ධයෙන් පමණක් බව ආචාර්ය සම්පත් රාජපක්ෂ පැහැදිලි කර දුන්නේ ය. පාසල තුළ සිදුවන කායික හා මානසික දඬුවම් සම්බන්ධයෙන් ගුරුවරුන්ට මුහුණ දීමට සිදුවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් පමණක් මෙම සංවාදය සිදුවන බව ඔහු කීවේ ය.
මෙන්න මෙතැන තමයි අපි අල්ල ගන්න ඕනෑ නියම තැන. ඒකට හේතුව තමයි මේ පනතේ විධිවිධාන ක්‍රියාවට නැංවීමේ දී මෙතැන ප්‍රායෝගික ගැටලු සහ සංස්කෘතිකමය වශයෙන් බාධාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. පාසල සම්බන්ධයෙන් පමණක් මේ සංවාදය ඇති වීමට හේතුව තමයි, (අඩුවැඩි වශයෙන්) අපේ ළමයගේ අධ්‍යාපනය, විනය, පෞරුෂ සංවර්ධනය සහ අනාගතය පාසලට භාර දීලා අපි වැඩිහිටියන් විදිහට බලා සිටීම ආචාර්ය සම්පත් සඳහන් කළේය.
ස්වීඩන් සහ ඉන්දීය ආදර්ශය
රටවල් 60ක පමණ මෙම පනතට සමගාමී පනත් ක්‍රියාත්මක වන බව හෙළි කළ ආචාර්ය සම්පත් 1979 දී ස්වීඩනය තුළත් 1983 දී ෆින්ලන්තය තුළත් මේ සමගාමී පනත් සම්මත වූ බව කීවේ ය.
මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් හොඳම ආදර්ශය තිබෙන්නේ ස්විඩනය තුළයි. නමුත් ලංකාවේ වගේම විරෝධයක් ස්වීඩනය තුළත් ආරම්භ වුණා. මේ පනත ක්‍රියාත්මක වුණොත් බරපතළ ගැටලු ඇති වෙයි කියලා ස්වීඩනයේ දෙමාපියෝ බය වුණා. කෙසේ වෙතත් 1979 දී මේ පනත ක්‍රියාත්මක කිරීමට ස්විඩන් පාර්ලිමේන්තුව කැමැති වෙනවා. මේ පනත ස්වීඩනය තුළ ක්‍රියාත්මක වූ පසුව 80 දශකයේ අගභාගයේ දී ඔවුන් යම්කිසි පසු විපරමක් කරනවා. ඇත්තම ඔවුන්ට පෙනී ගියා 50% සිට 10% දක්වා වසර කිහිපයක් තුළ ළමුන්ට දඬුවම් කිරීම අඩු වෙලා තිබෙනවා කියලා. ස්වීඩනය මෙය ක්‍රියාවට නැංවීමේ දී ඔවුන් සහ අපේ වෙනස ද හඳුනා ගත යුතුයි. ඔවුන් මේ පනත ක්‍රියාත්මක වීමේ දී අනුගමනය කළ යුතු විකල්ප ක්‍රියාමාර්ග හඳුන්වා දුන්නා. ධනාත්මක විනය පාලනය සඳහා ක්‍රම හඳුන්වා දුන්නා. සමාජ ජාල, සිවිල් සංවිධාන මේ සඳහා සම්බන්ධ කර ගැනීම, උපදේශනය වැනි කටයුතු කළා. ඒ හරහා ඔවුන් සාර්ථක වුණා.
මෙහිදී ආචාර්ය සම්පත් කීවේ 2009දී ඉන්දියාව ද මෙම ක්‍රමයට පිවිසි බවයි.
ඉන්දියාවත් මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය නොකළ නිසා අසාර්ථක වෙලා තිබෙනවා. මම හිතන ආකාරයට මෙම පනත ක්‍රියවට නැංවීමේ දී අප සලකා බැලිය යුත්තේ ස්වීඩනය සහ ඉන්දියාව අතර තත්ත්වයයි. මේවා නිසි පරිදි අධ්‍යනය කර මෙම පනත ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම කල්පනා කරනවායැයි ආචාර්ය සම්පත් රාජපක්ෂ අවසාන වශයෙන් සඳහන් කළේ ය.
මෙම පනත ගුරුවරයා පීඩාවට පත්කරන එකක් විය හැකියි – විශ්‍රාමික විදුහල්පතිනී පතිරාජ මැණිකේ
මම මේක දකින්නේ රැඩිකල් වෙනස් වීමක් විදිහට. ටිකක් ක්ෂණිකව සිදුකරන වෙනස් කිරීමක් විදිහට. ඒ නිසා මේකේ තියෙන ප්‍රතිඵලයට වඩා, සමාජය විසින් ඇති කරන ප්‍රතිරෝධය නිසා අපි බලාපොරොත්තු වන දේ නොවෙන්න පුළුවන්. ඒ නිසා වෙනස් කිරීමක් කළ යුත්තේ කෙතරම් ඉක්මනින් එය සිදුකල යුතු වුණත් එය කල යුත්තේ අදියරවලින් බව මගේ විශ්වාසයයි.
පවුල් සංස්ථාව තුළ ශික්ෂණය ඇති කිරීම දරුවන් ප්රශස්ත පුරවැසියන් බවට පත් කිරීම සඳහා මැදිහත් වීම සඳහා දෙමාපියන්ට සමාජය විසින් කළ යුතු දේවල් නම් කර තිබෙනවා. ඒවා අනිවාර්යයෙන්ම කල යුතුයි. මම ඒක කොටස් දෙකක් ලෙස හඳුන ගන්නවා. ඒවා නම් සදාචාරාත්මක බැඳීම් සහ නීතිමය බැඳීම් යන දෙකයි.
විනය හා ශික්ෂණය
මේ දෙක අතරේ විශාල පරතරයක් තිබෙන බව අපට පේනවා. එනිසා දෙමාපියන් ලෙස දරුවන් ශික්ෂණයට ලක් කිරීම දරුවන් ප්රශස්තව සමාජයට ඉදිරිපත් කිරීම ඔවුන්ගේ සදාචාරාත්මක වගකීම් යන කොටසට වැටෙනවා. නෛතික බැඳීම්වලදී වෙන්නේ දරුවන් ශික්ෂණය කිරීමේ දී අපේ මැදිහත්වීම්වලට වෙනත් අර්ථකථන සැපයීමයි. අද පවතින ගැටලුව තමයි මේ අර්ථකථන සැපයීම. එනිසා මම හිතනවා අපි වගේ සම්ප්‍රදායික සමාජයක වෙනස ඇති කල යුත්තේ සංක්‍රාන්තික ලෙසයි කියලා මම හිතනවා.
පවුල කියන්නේ ඉතාම වැදගත් සමාජ අංගයක්. මේ පවුල කියන සංස්ථාව විවිධාකාරයෙන් (එකම ජන කොටසක් තුළ වුවත්) දරුවන් ශික්ෂණය කරනවා. අපි ඒක භාර දෙන්නේ වටිනාකම් ක්‍රමවේදයක් භාර දෙන ආකාරයේ නියෝගයකින් හෝ උපදෙස් දීමකින් තොරව වුවත් මේවා අතරේ ද සැලකිය යුතු පරස්පරතා තිබෙනවා. මට මෙහිදී ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ මැදිහත් වීම සම්බන්ධයෙන් මහ සමාජය දැනුවත් ද? ඒත් එක්කම පාසල තුළ ඉන්න කොට අපි දකින දෙයක් තමයි පාසලේ විවිධ අපචාරී ක්‍රියා කියන කොටසට වැටෙන දරුවන් බොහෝ අවස්ථාවලදී කුඩා කල සිටම මානසික හෝ ශාරීරික අපයෝජනයට ලක් වූ දරුවන් වන අතර ම මානසික හා ශාරීරික අපයෝජනයට ලක් වූ දරුවන් බව අපේ ගුරුවරු සාමාන්‍යයෙන් දන්නවා.
මෙම දරුවන්ට මැදිහත් වීම ඉතාම අසීරු කාර්යයක්. මොවුන්ට ළඟාවීමත් බොහොම අසීරුයි. මොවුන් ප්‍රතිචාර දක්වන්නේ ම දැඩි සමාජ විරෝධී, එසේ නොමැති නම් හිත් රිදවීම් ඇති කරවන ආකාරයටයි. ගුරුවරු දැඩි අපහසුතාවයට, සිත් රිදවීම්වලට ලක්වන දේවල් මෙවැනි අවස්ථාවල සිදුවෙනවා. කිසිම ගුරුවරයෙක් හිතාමතා, සැලසුම් සහගතව කිසිම දරුවෙකුගේ සිත රිදවන්නේ නැහැ. එවැනි මානසික රෝගීන් පාසල් පද්ධතිය තුළ ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එවැනි ගුරුවරුන් සම්බන්ධයෙන් මට අත්දැකීම් නැහැ. එම නිසා මෙම මැදිහත් වීම පාසලට අසීරුයි. අරගෙන ඒමට සූදානම් වන නීතිය ගුරුවරයා දැඩි පීඩනයකට ලක්කරන එකක් බවට පත්වීමට නියමිතව තිබෙනවා.
ඉහළ ඡායාරූපය උපුටා ගැනීම – counterpoint.lk
සටහන – තුෂාල් විතානගේ

