පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රාථමික අධ්‍යාපනය විකෘති වීම වළක්වන්නේ කෙසේ ද ? – අධ්‍යාපනඥයින් කරන නිර්දේශ
- Editor
- June 8, 2025
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
පහ වසර ශිෂ්‍යත්ව විභාගය වර්තමානයේ දී සැලකෙන්නේ ‘අම්මලාගේ විභාගය’ ලෙසය. ඒ මෙම විභාගයෙන් තම දරුවා ඉහළින්ම සමත්කර ගැනීමට මවුවරුන් දක්වන දැඩි උනන්දුව සහ ඔවුන් කරන කැපවීම නිසා විය හැකිය. මේ අතර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ‘මුදල් උපයන උල්පතක්’ බවට පත්ව ඇති බවට ද චෝදනාවක් පවතී. ඒ සියල්ලටම වඩා අධ්‍යාපනඥයින් ඇතුළු විද්වතුන් පවසන්නේ ‘පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රාථමික අධ්‍යාපනය විකෘති වී ඇති බව’ය. මෙම තත්ත්වය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ඇතුළු යෝජනා හා චෝදනා රැසක් තිබුණ ද මේ දක්වා පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව’ සති අග විද්වත් සංවාද මාලාවේ 227 වැනි කතිකාව ‘පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රාථමික අධ්‍යාපනය විකෘති වීම වළක්වන්නේ කෙසේ ද ?’ යන තේමාව යටතේ සංවාදයට ලක් කළේය. මෙවර කතිකාව සංවාදය ඉදිරිපත් කිරීම ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් කළ අතර සම්පත් දායකයින් ලෙස, ආර්. වීරසිංහ මහතා, සහකාර කලාප අධ්‍යාපන අධ්යක්ෂ (වවුනියාව දකුණ), ඊ.එම්.ඒ. ඒකනායක, ප්‍රාථමික විෂය සම්පත්දායක, උකුවෙල අධ්‍යාපන කොට්ඨාශය සහ ජී.එම්.සී.එන්. පතිරාජ මැණිකේ, හිටපු විදුහල්පති, මීගොඩ ධර්මරාජ විදුහල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේය. මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

පහේ ශිෂ්‍යත්වයේ අරමුණු ඉටු වෙනවාද යන්න ගැන ගැඹුරු සංවාදයක් අවශ්‍යයි – ආචාර්ය සුජාතා ගමගේ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා නොයෙකුත් විවේචන, චෝදනා හා අගය කිරීම් තිබුණ ද ‘පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රාථමික අධ්‍යාපනය විකෘති වීම වළක්වන්නේ කෙසේ ද ?’ යන්න සම්බන්ධයෙන් සංවාදයක් නොතිබූ බව ආචාර්ය සුජාතා ගමගේ පැවසුවාය. මෙහිදී ඇය පෙන්වා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක වන තරා ඩී මෙල් මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ තමා ද ඇතුළු අධ්‍යාපනඥයින්, විද්වතුන් සහ පර්යේෂකයින් මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා අදාළ අංශ වෙත, ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත කරුණු ඉදිරිපත් කිරීමක් කළ බවය. ඒ අනුව 2020 අප්‍රේල් මස 20 වැනි දින, අශානි අබේසේකර (ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය), මහාචාර්ය මාරි පෙරේරා, ආචාර්ය ලීලමනී ගිනිගේ සහ තමා ද ඇතුළු සිවු දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහා සූම් අවකාශය ඔස්සේ ඉදිරිපත් කිරීමක් කළ බවයි.
යළිත් 2020 ඔක්තෝබර්, 2021 ඔක්තෝබර් 12 සහ 2021 ඔක්තෝබර් 21 යන දිනවල ද මුලින් සඳහන් කළ විද්වත් කණ්ඩායම විසින් විභාග දෙපාර්තමේන්තුව සඳහා ඉදිරිපත් කිරීමක් කළ බව ආචාර්ය සුජාතා ගමගේ වැඩි දුරටත් සඳහන් කළාය.
- ආණ්ඩුවේ ධනාත්මක සංඥාව
“2021 වන විට මමත් ඉච්ඡාභංගත්වයට පත්වෙලා හිටියේ. අපි මේ ඉදිරිපත් කිරීම් කළේ විභාග දෙපාර්තමේන්තුවට, නමුත් පස්සේ තේරුණා මේවා විභාග දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා වැඩක් නැහැ කියලා. ඔවුන් වැඩ කරන්නේ ප්‍රතිපත්ති සම්පාදකයෝ දෙන නියාමන අනුවයි. ඒ වගේම තමයි දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්රකාශනවල පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන කතා කරනවා මම මීට කලින් දැකලා නැහැ. නමුත් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයේ මේ ගැන කතා කරලා තිබෙනවා, යම්කිසි වෙනස් කිරීමක් කරන බව සඳහන් කරලා තිබෙනවා. මේ ධනාත්මක තත්ත්වය යටතේ ‘පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රාථමික අධ්‍යාපනය විකෘති වීම වළක්වන්නේ කෙසේ ද ?’ යන්න යළි සංවාදයට ලක්කළ යුතු බව මම හිතුවා” ආචාර්ය සුජාතා ගමගේ සංවාදයට ප්‍රවේශයක් ගනිමින් පැවසුවාය.
- පහේ ශිෂ්‍යත්වයේ ගැටලු පහක්
මෙහිදී ආචාර්ය ගමගේ පෙන්වා දුන්නේ සංවාදය සිදුවිය යුත්තේ පහේ ශිෂ්‍යත්වය අවලංගු කිරීම සම්බන්ධයෙන් නොවන බවයි. තමා ද පහේ ශිෂ්‍යත්වය අවලංගු කිරීමට විරුද්ධ බව සඳහන් කළ ඇය යථාර්ථය පිළිගත යුතු බවත්, ඒ ගැන කතා කිරීම අකාරුණික ක්‍රියාවක් විය හැකි බවත් කීවාය.
“සංවාදය සිදුවිය යුත්තේ මේක අවලංගු කිරීම ගැන නොවෙයි, එහි හානිය අවම කිරීම ගැනයි” යැයි කී ඇය පහේ ශිෂ්‍යත්ව විභාගයේ හානි පහක් පෙන්වා දුන්නාය. ඒ අනුව,
- ප්‍රශ්න පත්‍රයේ ගැටලු (පළමු ප්‍රශ්න පත්‍රයට සාපේක්ෂව අඩු ලකුණු ගැනීම)
- විෂමතා, (අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් අඩු ලකුණු ගැනීම හා වැඩි ආදායම්ලාභී පවුල්වල දරුවන්ට වැඩි පහසුවක් ලැබීම),
- දරුවන්ට ඇති වන පීඩනය, (මේ ගැන වැඩියෙන් කතා කළත් ඒ සම්බන්ධ අධ්‍යයන් සිදුව තිබේදැයි තමා නොදන්නා බවත් ඒ ගැන කතන්දර තිබෙන බවත් ආචාර්ය ගමගේ කීවාය),
- ශිෂ්‍යත්ව විභාගයේ අරමූ ඉටුවේද, (ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ වන්නේ දක්ෂ සිසුන් තෝරා ගෙන ඔවුනට වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා මූල්‍යමය ආධාරයක් ලබාදීමය. නමුත් දක්ෂතම ළමුන් තෝරා ගන්නවාද යන ගැටලුවක් තිබෙන අතර මෙම විභාගයේ අරමුණ ඉටුවේද යන්නම ප්රශ්නයකි),
- ප්‍රාථමික අධ්‍යාපනය විකෘති වීම.
මෙහිදී ආචාර්ය සුජාතා පෙන්වා දුන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් ප්‍රාථමික අධයාපනය විකෘති වීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොවන බවයි.
- පහේ ශිෂ්‍යත්වයේ අරමුණු
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල ප්රකාශනවල සඳහන් වන පරිදි පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ ප්‍රධාන අරමුණු දෙකකි. දක්ෂ සිසුන් තෝරා ගෙන ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීම (මෙය අලුතින් පැමිණි අරමුණක් වන අතර ආරම්භක යුගයේ දී සිදු වූයේ මධ්‍ය මහා විද්‍යාවලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීමය), දෙවැනි අරමුණ වන්නේ ශිෂ්‍යත්වය සමත් වන සිසුන්ට මූල්‍යමය ආධාර ලබා දෙන ශිෂ්‍යත්ව ප්රදානය කිරීමය.
“මේ ක්‍රමය හඳුන්වා දුන්නේ 1948දී. එතැන් සිට 1994 දක්වා පහේ ශිෂ්‍යත්ව විභාගයට එක ප්‍රශ්න පත්රයයි තිබුණේ. ඒ අනුව සිසුන්ගේ ගණිතමය හා මව් භාෂා දැනුම මනිනු ලැබුවේ. නමුත් 1995 සිට මේ දක්වා ප්‍රශ්න පත්‍ර 1 සහ 2 කියලා ප්‍රශ්න පත්‍ර දෙකක් තිබෙනවා. මේ දෙවැනි ප්‍රශ්න පත්‍රය හඳුන්වා දීමට හේතු වුණාය කියලා කියන්නේ ඇතැම් පාසල්වල ගණිතය හා මව් භාෂාව හැර අනෙකුත් විෂයන් ඉගැන්වීමක් නොකිරීමයි. ඒ නිසා මේ ළමයි සෙසු විෂයන් ද ඉගෙන ගන්නවාද කියලා පරීක්ෂා කිරීම සඳහායි දෙවැනි ප්‍රශ්න පත්‍රය හඳුන්වා දුන්නේ. මෙතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මම දැක්කා කන්නංගර වාර්තාවේ ඉතාම පැහැදිලිව තිබෙනවා මේ විභාගයෙන් විභවතාව හා ළමුන් ඉගෙන ගත්තාද ? යන්න පරීක්ෂා කිරීම පමණක් අරමුණු කරන බවයි. මේ දෙක වෙන වෙනම බැලිය යුතු බවත්, ඒවා පටලවා නොගත යුතු බවත් අදාළ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා”
මෙහිදී ආචාර්ය සුජාතා පෙන්වා දුන්නේ වර්තමානය වන විට මෙම අරමුණු දෙක ‘පටලවා’ ගෙන ඇති බවයි.
“නමුත් අවාසනාවකට 1995-96 විෂය මාලා ප්‍රතිසංස්කරණ කරන කොට මේ විභාගයට අවධානය යොමු වුණේ නැහැ. මේ අවස්ථාවේ ඉතාම හොඳ විෂය නිර්දේශයක් ප්‍රාථමික අංශයට හඳුන්වා දුන්නත් පහේ ශිෂ්‍යත්ව විභාගයට අවධානයක් යොමු නොවීම හානියක්” ආචාර්ය ගමගේ පැහැදිලි කළාය.
- ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණු
“ඇත්තටම ප්රශ්නය ඇති වුණේ මේ දෙවැනි ප්‍රශ්න පත්‍රය නිසයි” යැයි අවධාරණය කළ ඇය ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණු පැහැදිලි කළාය.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ, “දරුවෙකුගේ සමාජීය, චිත්තවේගීය, සංජානන හා මනෝචිකිත්සක අවශ්‍යතාවල සමස්ත සංවර්ධනය තුළින් ඔහුගේ/ඇයගේ ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ යහපැවැත්ම සඳහා ශක්තිමත් සහ පුළුල් පදනමක් ගොඩනැගීමය”.
“ඇත්තටම ප්‍රාථමික අධ්‍යාපනය තුළින් සිදුවිය යුත්තේ විෂයමාලා දැනුමට වඩා යහපැවැත්ම ශක්තිමත් කිරීමට අවශ්‍ය පුළුල් පදනමක් ගොඩනැගීමයි” ආචාර්ය සුජාතා යළි අවධාරණය කළාය.
මෙහිදී ප්‍රාථමික අධ්‍යාපනයේ ඉගෙනුම් ඵල ගැන ද නිදර්ශන සහිතව පැහැදිලි කළ ආචාර්ය සුජාතා ප්‍රාථමික අධ්‍යාපනයේ තක්සේරුකරණය සිදුවන ආකාරය ද පැහැදිලි කළාය.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රථමික අවධියේ තක්සේරුකරණය පිළිබඳව පහත සඳහන් ආකාරයෙන් නිර්දේශ කර ඇත. “ඉගෙනුම් අදියරක් අවසානයේ යම් ඉගෙනුම් කොටසක් කෙතෙක් දුරට සාධනය කරගෙන ඇති ද යන්න පරීක්ෂා කිරීම සම්පිණ්ඩිත තක්සේරු කිරීම යනුවෙන් අදහස් කෙරේ, ඒ අනුව අවුරුද්දක්, වාරයක්, ඒකකයක් අවසානයේ එම අවුරුද්දක්, වාරයක්, ඒකකයක් අවසානයේ එම අවුරද්ද, වාරය, ඒකකය තුළ උගන්වන ලද විෂය කරුණු පාදක කරගෙන සකස් කළ තක්සේරු උපකරණයක් මගින් සිසුන් ලබා ගෙන ඇති ප්‍රගතිය තක්සේරු කළ හැකිය. එහෙත් මෙවැනි තක්සේරු කිරීමක් ප්‍රාථමික ශ්‍රේණි සඳහා වඩාත් යෝග්‍ය යැයි නිර්දේශ කිරීම අපහසුය” – ජා.අ.ආ. ගුරු අත්පොත් 1-5 ශ්‍රේණි.
- දක්ෂතම සිසුන් තෝරා ගන්න පුළුවන්ද ?
“මෙහි ඉතාම පැහැදිලිව කියා තිබෙනවා ප්‍රාථමික අධ්‍යාපනය තක්සේරු කිරීම සඳහා විභාග ක්‍රමය නිර්දේශ කිරීම අපහසු බව” ආචාර්ය සුජාතා පෙන්වා දුන්නාය.
මෙහිදී ඇය ශිෂ්‍යත්ව විභාගයේ සතුන් පිළිබඳ ප්‍රශ්න (2000-2019) උදාහරණයට ගත්තාය.
“මේ ප්‍රශ්න පත්‍ර කට්ටලය තමයි මේ වන විට ප්‍රාථමික පාසල් වල අදිසි උපකරණය වෙලා තිබෙන්නේ. ගුරුවරු මේක කටපාඩම් කරවනවා. සතුන් පිළිබඳ ප්රශ්නයේ දී සතුන් වර්ග 93ක් ගැනත්, ඔවුන්ගේ ගුණාංග 15කට වඩා වැඩි සංඛ්‍යාවක් ගැනත් දරුවන් ඉගෙන ගෙන මතක තබාගත යුතුයි. මට මෙහිදී ඇති වන ප්‍රශ්න තමයි ළමයෙක් මේ සතුන් වර්ග 93 ගැන සහ ඔවුන්ගේ ගුණාංග 15කට වඩා වැඩි ප්‍රමාණයක් ගැන මතක තබා ගත යුතුයි, ඇයි කුමන සතා ගැන එයිද කියලා කියන්න බැහැනේ. උදාහරණයක් විදිහට 2023 දී සතුන් ගැන ප්‍රශ්න එකයි තිබුණේ. ඒ ඇටිකුකුළා ගැන. 2024 දී ප්‍රශ්න කිහිපක් තිබුණා. නමුත් මේවා දිහා බලන කොට මට හිතෙනවා ‘මේවා දක්ෂතම ළමයි තෝරා ගන්න සුදුසු ප්‍රශ්නද ?” කියලා”
මෙහිදී ඇය පෙන්වා දුන්නේ මෙවැනි කරුණු ගැන ජාතික අධ්‍යාපනය ආයතනය වඩාත් පුළුල් ලෙසත්, එය පහේ ශිෂ්‍යත්වයේ අරමුණු සමඟ කොතෙක් ගැළපෙන්නේද යන්න ගැනත් ගැඹුරින් සලකා බැලිය යුතු බවයි.
“මේ විදිහට කට පාඩම් කරන්න ළමුන් මෙහෙයවීමෙන් අපේ ඉගෙනුම් ඉගැන්නුම් ක්‍රියාවලියට සිදුවන්නේ කුමක්ද ? යන්න ගැන ජාතික අධ්‍යාපන ආයතනය ගැඹුරින් සලකා බැලිය යුතුයි” ආචාර්ය සුජාතා ගමගේ අවධාරණය කළ ඇය මෙසේ ද කීවාය, “මම උදාහරණ සහිතව මේ කරුණු පැහැදිලි කිරීම කළේ මේ සංවාදය වඩාත් පුළුල් තලයකට ගෙන ඒමටයි”.
ශිෂ්‍යත්වය නිසා කටපාඩම් කරන පරපුරක් බිහිවෙලා – ආර්. වීරසිංහ, සහකාර කලාප අධ්‍යාපන අධ්යක්ෂ (වවුනියාව දකුණ)
පහේ ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ ඉතාම යහපත්ය. නමුත් එහි ප්‍රධාන අරමුණු දෙක, එනම් ශිෂ්‍යත්වයෙන් සමත් වන ගම්බද දක්ෂ සිසුන්ට වැඩි දුර අධ්‍යාපනය සඳහා මධ්‍ය විද්‍යාලයක් හෝ වර්තමාන අර්ථයෙන් ජනප්‍රිය පාසලක් ලබා ගැනීමට අවස්ථාව උදාවීම සහ දුප්පත් සිසුන්ට වැඩි දුර අධ්‍යපානය ලැබීම සඳහා මූලාධාරයක් ලබාදීම යන අරමුණු වර්තමානය වන විට අභියෝගයට ලක්ව ඇත.
“මේ අර්බුදය හා ගැටලු ගණනාවක් ඇති වීමට ප්‍රධාන හේතුව තමයි පහේ ශිෂ්‍යත්ව විභාගය වානිජකරණය වීම. ශිෂ්‍යත්ව විභාගය ප්‍රාථමික අධ්‍යාපනයට කළ බලපෑම තමයි මේ විභාගය හේතුවෙන් ප්‍රාථමික අධ්‍යාපනය පහළට වැටීම. මෙතන තිබෙන ගැටලුව තමයි තුන් වැනි වසර පමණ වන විට ශිෂ්‍යත්වයම ඉලක්ක කරලා අධ්‍යාපනය ලබාදීම. මේකට දෙමාපියන් වගේම ගුරුවරුනුත් ඍජුව දායක වෙනවා. මේ නිසා ප්‍රාථමික අධ්‍යාපනයේ සෙසු සියලු අරමුණු අතහැරිලා යනවා. දේශන වැනි ක්‍රියාකාරකම් තුළින් ‘කටපාඩම් කිරීම’ මූලික වන තත්ත්වයක් දක්වා වත්මන් ප්‍රාථමික අධ්‍යාපනය ලඝු වෙලා තිබෙනවා” වීරසිංහ මහතා තම අත්දැකීම් ඇසුරින් තත්ත්වය පැහැදිලි කළේය.
- වානිජකරණයේ අනිටු ඵල
මෙහිදී වීරසිංහ මහතා පෙන්වා දුන්නේ දෙමාපියන්ගේ ද අරමුණ වන්නේ ප්‍රාථමික පන්තිවල සිට සිය දරුවන් පහේ ශිෂ්‍යත්වයම ඉලක්ක කර සූදානම් කිරීම බවයි.
“පංති කාමරයෙන් පිට විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට දරුවන්ව යොදා ගන්නවාට දෙමාපියෝ කැමැති නැහැ. මීට සමගාමීව ගුරුවරුනුත් රැල්ලට අහුවෙලා තිබෙනවා. දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ අදහස් සමගාමී වීම නිසා තමයි මේ අර්බුදය, නැතිනම් ගැටලු ඇති වෙලා තිබෙන්නේ” වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. මෙහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ශිෂ්‍යත්ව විභාගයට ඇති අධි තරඟය හේතුවෙන් සාමාන්‍ය සිසුන්, නැතහොත් සෙමෙන් ඉගෙන ගන්නා සිසුන් දැඩි දුෂ්කරතාවකට හා පීඩනයකට ලක්වීම සිදුවන බවයි.
“මෙවැනි සිසුන් 30%ක් පමණ අපි හය වසරට යවනවා. ඔවුන් මේ තත්ත්වය හමුවේ දැඩිව අසරණ වෙනවා පමණක් නොවෙයි දැඩි පීඩනයකටත් ලක් වෙනවා” ඔහු පෙන්වා දුන්නේය.
- ප්‍රාථමික අධ්‍යාපනයෙන් හැලීම
මෙම පීඩාකාරී වාතාවරණය හමුවේ ප්‍රාථමික අධ්‍යාපනය තුළින් බොහෝ දරුවන් හැලෙන බවත්, මේ සම්බන්ධයෙන් මනෝ විද්‍යාඥයින් පවා නිතර නිතර කතා කරන බවත් වීරසිංහ මහතා සඳහන් කළේය.
“මේ ගැන මනෝ විද්‍යාඥයින් බොහෝ විට කතා කරනවා. ඔවුන් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා පහේ ශිෂ්‍යත්වයේ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ හය වසර වන විට සිසුන් සැලකිය යුතු පිරිසක් පාසල් අධ්‍යාපනයෙන් බැහැර වෙන බව. ගම්බද ප්‍රදේශවල තත්ත්වය තවත් හානිකරයි. ගම්බද බොහෝ දෙමාපියන් තුළ තමන්ගේ දරුවා ශිෂ්‍යත්වයෙන් සමත් කරවා ගෙන නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළත්කර ගැනීමේ සිහිනය තිබෙනවා. ඒ ඉලක්කයට සුදුසු ලෙස අධ්‍යාපනය ලබා නොදෙන ගම්බද පාසල් ප්‍රතික්ෂේප කරන මානසිකත්වයක් ගම්බද බොහෝ දෙමාපියන් තුළ තිබෙනවා” වීරසිංහ මහතා ගම්බද පාසල් මුහුණ දෙන තවත් අභියෝගයක්, අර්බුදයක් පැහැදිලි කරමින් පෙන්වා දුන්නේය.
“මම හිතන්නේ අපි මේ අර්බුදයෙන් ගොඩ යා යුතුමයි. එසේ ගොඩ යාමට නම් මේ විභාගය අපේක්ෂිත අරමුණට කේන්ද්‍රගත කළ යුතුයි. ‘අපි කොහොමද දක්ෂයෝ ටික හොයා ගන්නේ ?’. මේක තමයි අභියෝගය. පළමු ප්‍රශ්න පත්‍රයට වඩා දෙවැනි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් විෂය නිර්දේශය සමඟ බැඳී තිබෙන නිසා තුන වසරෙන් පසු කිසිම ළමයෙක් බාහිර ක්‍රියාකාරකමකට ලබා දෙන්නේ නැහැ. මේක ප්‍රාථමික අධ්‍යාපනය මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. මම හිතනවා ශිෂ්‍යත්වය අහෝසි කිරීම ප්‍රායෝගික නැහැ. ගම්බද දරුවෙකුට පහසුකම් තිබෙන නගරයේ ජනප්‍රිය පාසලකට යාමට තිබෙන එකම අවස්ථාව ඒක” යැයි පෙන්වා දුන් වීරසිංහ මහතා ශිෂ්‍යත්වය සමත්ව නගරයේ ජනප්‍රිය පාසලකට ගිය දරුවන් බොහෝ දෙනෙක් මේ වන විට සමාජයේ ඉහළ නිලතල දරන බව ද සිහිපත් කළේය.
- දැඩි නියාමනයක් අවශ්‍යයි
පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීම වෙනුවට එය ඵලදායී සහ ප්‍රාථමික අධ්‍යාපනයට බරක් නොවන ලෙස පවත්වා ගෙන යා යුතු බවත් පෙන්වා දුන් ඔහු අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ‘පාසල් මෙහෙයවන ආකාරය’ මෙහිදී තීරණාත්මක බව ද අවධාරණය කළේය.
මූලික නිපුණතා මට්ටමට සෑම දරුවෙකුම රැගෙන ඒමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන බව ඔහු පෙන්වා දුන්නේය.
“මේක ක්‍රියාත්මක වුණා නම් ශිෂ්‍යත්වය එළියේ තියෙයි. ඒත් ඒක ක්‍රියාත්මක නොවන නිසා පාසලුත් ශිෂ්‍යත්වය පස්සේ දුවන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේක තනි පාසලකට, කලාපයකට කරන්න බැහැ. සමස්ත පද්ධතියම ආවරණය වන නියාමනයක් අවශ්‍යයි. පාසල් වල අරමුණ විය යුත්තේ දරුවන්ව ශිෂ්‍යත්වයෙන් සමත් කිරීම නොවෙයි, ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික අරමුණුවලට දරුවන් යොමු කිරීමයි” වීරසිංහ මහතා අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නේය.
ශිෂ්‍යත්ව විභාගය අට වසර දක්වා ගෙන යාමට නම් විධිමත් අධ්‍යයනයක් සිදුවිය යුතු බව පෙන්වා දුන් වීරසිංහ මහතා එවැනි පියවරක් ගන්නේ නම් ගම්බද පාසල්වලට ද ප්‍රමාණවත් සම්පත් සහ පහසුකම් ලබාදිය යුතු බව සඳහන් කළේය.
ශිෂ්‍යත්වය නිසා ගුරුවරුන් මුහුණ දෙන මානසික පීඩනය ගැන කිසිම කතාවක් නෑ – ඊ.එම්.ඒ. ඒකනායක, ප්‍රාථමික විෂය සම්පත්දායක, උකුවෙල අධ්‍යාපන කොට්ඨාශය
පහේ ශිෂ්‍යත්වයට මුහුණ දෙන ළමුන්ගේ මානසික පීඩනය ගැන බොහෝ දෙනෙක් කතා කළ ද අදාළ පන්තිභාර ගුරුවරුන්ගේ මානසික පීඩනය ගැන කිසිම අවධානයක් යොමු නොවේ. පාසලේ විදුහල්පතිවරයාගේ සිය කොට්ඨාශ කාර්යාලය, කලාප කාර්යාලය පමණක් නොව පළාත් සභාව පවා අවධානය යොමු කරන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වෙතය. මේ තත්ත්වය තුළ ප්‍රාථමික අධ්‍යාපන නිපුණතා සහ කුසලතා වර්ධනය කිරීමට ගුරුවරයාට ඇති අවස්ථාව ද සීමා වීම හෝ අඩුවීම සිදුවේ.
“වර්තමාන ප්‍රාථමික අධ්‍යාපනය නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමයක්. මූලික නිපුණතා හතක් (7) පාදක කරගෙන තමයි ප්‍රාථමික අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ප්‍රාථමික අධ්‍යාපනය කොටස් තුනකට බෙදනවා. ඒ අනුව 01-02 පන්ති වලදී ළමයා තුළ වර්ධනය කළ යුතු මූලික නිපුණතා 47ක් තිබෙනවා, 03-04 පන්තිවල මූලික නිපුණතා 50කුත්, 05 ශ්‍රේණිය අවසන් වන විට මූලික නිපුණතා 52ක් ද දරුවන් තුළ වර්ධනය කළ යුතුයි. ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කළ ළමයෙකු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු මූලික නිපුණතා 150ක් ගැන අපි කතා කරනවා. නමුත් පංති කාමරය තුළ මේ නිපුණතා සංවර්ධනය වෙනවාද ? ඒක ප්‍රශ්නයක්’ ඒකනායක මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී ඒකනායක මහතා පෙන්වා දුන්නේ තුන, හතර සහ පහ ශ්‍රේණි ගුරුවරු ශිෂ්‍යත්වය ඉලක්ක කරගෙන ඉගැන්වීම් කටයුතු සිදුකරන බවයි. පංති කාමරයක් තුළ තුන් ආකාරයක සිසුන් පිරිසක් සිටින බවත්, ශිෂ්‍යත්වය නිසා ගුරුවරයාගේ අවධානය අත්‍යවශ්‍ය සිසුන්ට නිසි අවධානයක් නොලැබෙන බවත් ඒකනායක මහතා මෙහිදී අවධාරණය කළේය.
“මේ ක්‍රමය නිසා ගුරුවරයාගේ දැඩි අවධානය යොමුවන්නේ ඔහුගේ හෝ ඇයගේ අවධානය අවශ්‍යම නැති දක්ෂතම සිසුන් කිහිප දෙනෙක්ටයි. මේක හානිකර තත්ත්වයක්” ඔහු පෙන්වා දුන්නේය.
ගුරුවරු ඉල්ලුමට අනුව සැපයුමක් දෙනවා – චම්පිකා පතිරාජ මැණිකේ, හිටපු විදුහල්පති, මීගොඩ ධර්මරාජ විදුහල
අධ්‍යාපනයේ යම්කිසි වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් වැදගත්ම අංශය වන්නේ ප්‍රාථමික අංශයයි. ප්‍රාථමික අධ්‍යාපනය ක්‍රියාත්මක විය යුතු ආකාරය, එහි අරමුණු ආදිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නොයෙකුත් නිර්දේශ, නිර්ණායක ලබාදී තිබුණ ද පාසල තුළ ඒ කිසිවක් දැකගත නොහැකිය, ක්‍රියාත්මක නොවේ.
“මේ තත්ත්වය නිර්මාණය කළේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහායි. ප්‍රාථමික පාසල් අධ්‍යාපනය තුළින් ලබාදිය යුතු මූලික කුසලතා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන විසින් ලබා දීම තුළින් පාසලට එන ළමයාගේ යම් යම් විකෘතිතා අපි දකිනවා. ‘ස්නායු මිරිකා මුදා හරින ලද කොටසක්’ තමයි පාසලට ලැබෙන්නේ” චම්පිකා පතිරාජ මැණිකේ මහත්මිය පෙන්වා සඳහන් කළාය.
මෙහිදී ඇය පෙන්වා දුන්නේ ‘පූර්ණ පෞරුෂ වර්ධනය සහිත දරුවෙක් බිහි කිරීම’ පාසල් අධ්‍යාපනයේ අරමුණ බවයි.
“ඒක කරන්න නම් ඔහු හෝ ඇය ක්‍රීඩා කළ යුතුයි, සෞන්දර්යය ක්‍රියාකාරකම්වල නිරත විය යුතුයි, කියවීම කළ යුතුයි, නිරීක්ෂණය ඇතුළු පෞරුෂ කුලසලතා දියුණු කරගත යුතුයි. නමුත් පාසල තුළ මේ කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකි අලිඛිත නීති තිබෙන බවක් මට පේනවා. මීට පෙර අදහස් දැක්වීම්වලදී කියැවුණ ‘විකෘතිය’ පාසල් තුළ තිබෙනවා. මේ විකෘතිය නිසාම ශිෂ්‍යත්වයේ සැබෑ අරමුණ පාසල තුළ මනාව දැකගත හැකි වෙනවා” පතිරාජ මැණිකේ මහත්මිය මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
මෙම චෝදනාව පාසලට එල්ල වීම නිසා විදුහල්පතිවරයා ද ඇතුළු ගුරු මණ්ඩලය දැඩි සේ අසරණ වන බවත්, විශේෂයෙන් ගුරුවරුන් දැඩි පීඩනයකට ලක්වන බවත් ඇය වැඩි දුරටත් කීවාය.
“ඇත්තටම ගුරුවරු දැඩි පීඩනයක ඉන්නේ. ශිෂ්‍යත්ව පංතිභාර ගුරුවරු අසීමිත ලෙස පීඩනයට පත්ව සිටිනවා. පළමු වසරේ සිට පහ වසර දක්වා පංතිභාර හෝ ඉගැන්වීම් කරන ගුරුවරුන්ට දරා ගන්න නොහැකි තරම් වැඩ කොටසක් තිබෙනවා.” යැයි අවධාරණයෙන් පෙන්වා දුන් ඇය වැඩි දුරටත් සඳහන් කළේ ලිපි ලේඛන පිරවීම ඇතුළු කාලයෙන් කාලයට අලුත් වෙන, වෙනස් වන වැඩ නිසා තත්ත්වය තව දුරටත් සංකීර්ණ වන බවයි.
- ඉල්ලුමට අනුව සැපයුම
මෙහිදී පතිරාජ මැණිකේ මහත්මිය පෙන්වා දුන්නේ මෙකී දැඩි පීඩනය හමුවේ ‘ඉල්ලුමට අනුව සැපයුම ලබාදීමට’ ගුරුවරුන්ට සිදුවන බවයි.
“ඒක අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක්” ඇය වැඩි දුරටත් අවධාරණය කළාය.
ප්‍රාථමික පංතිවල සිසු ක්‍රියාකාරකම්වලට අදාළ බොහෝ දේ පාසල ඉදිරිපිට පොත් හා සිල්ලර කඩවල ඇති බවත් ඒවා මිලදී ගෙන ලස්සනට අලවා පොත් පිළියෙළ කරනු ලබන්නේ ද බොහෝ විට දෙමාපියන් විසින් බවත් පෙන්වා දුන් පතිරාජ මැණිකේ මහත්මිය මෙසේ ද සඳහන් කළාය. “එක – පහ වසරවල ඉගෙන ගන්න දරුවන් ඉන්න පවුල්වල දෙමාපියන්ට ප්‍රාථමික අධ්‍යාපනය ගැන තිබෙන අවබෝධය දරුවන්ටත් වඩා වැඩියි කියලා මට හිතෙනවා. ඒ තරමට මේ කටයුතු සඳහා දෙමාපියෝ සම්බන්ධ වෙනවා. ඔවුන් හිතනවා ගුරවරයාට උදව් කළොත් අපිට මීට වඩා වැඩි ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා”.
සටහන – තුෂාල් විතානගේ

