ලංකාවේ බන්ධනාගාර තුළ මුල් බැසගෙන ඇති නොපෙනෙන සත්‍යය

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම, ඉරු දින සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 241 වැනි කතිකාව මෙවර අවධානය යොමු කළේ ‘ලංකාවේ බන්ධනාගාර තුළ මුල් බැසගෙන ඇති නොපෙනෙන සත්‍ය’ පිළිබඳවය ඒ අනුව මෙවර කතිකාව සම්පත්දායකයින් ලෙස නිර්මාණවේදී මො.ල. සෙනෙවිරත්න, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ දුලාන් දසනායක සහභාගී වූ අතර නීතිඥ ගයත්‍රී නවරත්න විසින් සංවාදය මෙහෙයවනු ලැබුවා ය. එම සංවාදය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

බන්ධනාගාරය අපරාධකරුවන් බිහිකර පෝෂණය කරනවා – නිර්මාණවේදී මො.ල. සෙනෙවිරත්න

ලංකාවේ බන්ධනාගාර 60ක් ස්ථාපිත අතර ඒ තුළ රැඳවියන් 13,241 දෙනකු රඳවා තබා ගත හැකිය. නමුත් මේ වන විට 34,000කට අධික රැඳවියන් පිරිසක් මේ බන්ධානාගාර 60 තුළ රඳවා තබා තිබීම හේතුවෙන් බන්ධනාගාර තුළ අධික තදබදයක් නිර්මාණය වී තිබේ. එහෙත් මෙම තදබලය හිතාමතාම නිර්මාණය කරන ලද තත්ත්වයක් වශයෙන් පිළිගැනීමට සිදුවේ.

“රටේ මෙච්චර අපරාධකරුවන් පිරිසක් ඉන්න හේතුවක් නැහැ වගේම අපරාධ කරන සියලු දෙනාම බන්ධනාගාර ගත කළොත් රටෙන් භාගයක් විතර බන්ධනාගාර ගත කිරීමට සිදුවෙනවා. ඒ කියන්නේ අපරාධවලට සම්බන්ධ විශාල පිරිසක් එළියේ යහතින් ඉන්නවා. සමස්තයක් ලෙස ගත් විට බන්ධනාගාර ගත කර සිටින පිරිසෙන් 70%ක් පමණ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්, බන්ධනාගාර තුළ තදබදයක් ඇති වීමට ප්‍රධාන හේතුවත් මේකයි. ඒ වගේම දිගින් දිගටම නඩු ප්‍රමාද වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිසත් මේ තදබදය නිර්මාණය කිරීමට හේතුවක් වෙලා තිබෙනවා. නමුත් ප්‍රශ්නය තමයි මේ සම්බන්ධයෙන් සමාජය තුළ, ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සංවාදයක් සිදු නොවීම. ඒකට හේතුව තමයි මේ ක්‍රියාවලිය හදලා තිබෙන්නෙම එක්තරා පිරිසකගේ වුවමනාවන් වෙනුවෙන් වීම” කතිකාවට එක් වෙමින් මො.ල සෙනෙවිරත්න සිය අත්දැකීම් ඇසුරින් බන්ධනාගාර වල වත්මන් තත්ත්වය පැහැදිලි කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ බන්ධනාගාර ගතවූවන්ගෙන් අති බහුතරය බලය අහිමි, කිසිවක් කරකියා ගත නොහැකි ලුම්පන් පංතියේ සාමාජිකයින් බවයි.

 තේරුමක් නැති වැඩක්

ලංකාවේ බන්ධනාගාර පුරවා ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් වුවත් ඔවුන් මේ ආකාරයෙන් බන්ධනාගාර ගත කිරීම නිෂ්ප්‍රයෝජන ක්‍රියාවක් බව මො.ල. සෙනෙවිරත්නගේ අදහසයි. ඔහු පවසන්නේ මෙවැනි පුද්ගලයින් පුනරුථාපනය කිරීම වැදගත් බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය ද මීට වඩා වෙනස් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවයි.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයින් ද ඇතුළුව රජයේ ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයින් සම්බන්ධ බව කී මො.ල. සෙනෙවිරත්න, සමස්ත ක්‍රියාදාමය මෙහෙයවනු ලබන්නේ මෙම පාර්ශ්වයන් විසින් බව ද පෙන්වා දුන්නේ ය.

රිමාන්ඩ් කිරීම ජනප්‍රියයි

අධිකරණය විසින් වැරදිකරුවන් බවට තීන්දු කළ පුද්ගලයින් සහ සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයින් යන දෙපිරිසම බන්ධනාගාර තුළ රඳවා තබා තිබෙන බව කී මො.ල. සෙනෙවිරත්න මේ වන විට වඩාත් ජනප්‍රිය රැඳවියන් වන්නේ රක්ෂිත බන්ධානාගාර ගත කළ පුද්ගලයින් බව ද සඳහන් කළේය.

‘අත්අඩංගුවට ගන්නා ඕනෑම සැකකරුවෙක් රිමාන්ඩ් කළ යුතුයි‘ කියන ස්ථාවරයේ තමයි පොලිසිය, ආණ්ඩුව වගේම සමාජයත් ඉන්නේ. ‘ගත්තොත් රිමාන්ඩ් කරන්න ඕනෑ’, එහෙම නොකළොත් ඒක නැවත ගැටලුවක් කර ගන්නවා. අත්අඩංගුවට ගන්නා සියලුම සැකරුවන් රිමාන්ඩ් කළ යුතුද ?, මේ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයෙන් නිවැරදි පැහැදිලි කිරීමක් කළ යුතුයි. ඒ වගේම තමයි ඇප ගැනීම, යමක් කමක් තිබෙන, ධනය – බලය තිබෙන සැකකරුවෙක්ට ඇප ගැනීම අසීරු නැහැ, අවශ්‍ය සියලුම අංශවලින් අවශ්‍ය තරම් සහාය ලැබෙනවා, නමුත් සාමාන්‍ය සැකරුවෙකුට එම සහාය හෝ සහනය ලැබෙන්නේ නැහැ, එවැනි පුද්ගලයින් බොහෝ විට රිමාන්ඩ් කරනවා. මේක තමයි තිත්ත වුණත් ඇත්ත” යැයි කී මො.ල. සෙනෙවිරත්න, මේ සඳහා ඔහු උදාහරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම හා සම්බන්ධ ක්‍රියාවලිය පැහැදිලි කළේය.

බන්ධනාගාර සුභසාධනය

බන්ධනාගාර පරිපාලනයේ වරදින් හෝ නොතකා හැරීම හේතුවෙන් අහිමි වන සුභසාධන සේවා ඉල්ල‍ා ගෙන නැවත යා යුතු වන්නේ ද බන්ධනාගාර පරිපාලනය වෙත බව මො.ල. සෙනෙවිරත්න මෙහිදී පැහැදිලි කළේය.

බන්ධනාගාරය තුළ රැඳවියන්ට ලබා දෙන ආහාර වේලේ සිට වෛද්‍ය පහසුකම් දක්වා සියල්ල ‘ඉතාම නරක‘ තත්ත්වයක පවතින බව කී ඔහු  මේ හරහා බන්ධනාගාර නිලධාරීන්ට විශාල මූල්‍යමය වාසියක් හිමිවන බව ද සඳහන් කළේය.

‘ඒක තමයි ඇත්ත’ ඔහු යළි අවධාරණය කළේය.

‘එක පෑන් පාරින් මේක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් පෑන් පාරවල් දෙක තුනකින් නෙමෙයි කවදාවත් ඉහළ බලධාරීන් මේක කරන්නේ නැහැ. ඒක තමයි මේ සිස්ටම් එක නඩත්තු කරන ආකාරය. විශේෂයෙන් පොලිසිය සම්බන්ධයෙන් දැවැන්ත පරිවර්තනයකට නොගිහින් මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ, මොකද පොලිසිය තමයි මෙතැන ප්‍රධානතම තැන, ඔවුන්ට නඩුවලට ටාගට් එකක් දෙනවා, ඔවුන් ඒක පස්සේ දුවන්න ඕනෑ, ඒ කියන්නේ අනිවාර්යයෙන් හිරේ යවන්න ඕනෑ. ඒක මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, මෝටර් රථ වැරදි වෙන්න පුළුවන්, ඕනෑම දෙයක්, පොලිසියට ටාගර්ට් දීමම තමයි මේ අවුලට මුල” යැයි කී මො.ල. සෙනෙවිරත්න මෙම තත්ත්වය වෙනස් කළ යුත්තේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

පුනරුත්ථාපනය

යම්කිසි වරදකරුවෙක් බන්ධනාගාර ගත කරනුයේ ඔහුට එකී වරද වටහා දී යළි එම වරද නොකරන තත්ත්වයට පත් කිරීම, පුනරුත්ථාපනය කිරීම වුව ද ලංකාවේ වත්මන් බන්ධනාගාර ක්‍රියාවලිය තුළ සිදුවන්නේ බන්ධනාගාර ගත වූවෙක් සිටියාට වඩා අපරාධකරුවෙක් වී එළියට ඒමය. ලංකාවේ බන්ධනාගාර ක්‍රියාවලිය තුළ පුනරුත්ථාපනයක් සිදු නොවන තරම්ය.

“මේක හැමෝම දන්නවා, නමුත් නොදන්නවා වාගේ ඉන්නවා. මේ අපරාධමය ක්‍රියාවලිය හරහා විශාල මුදල් සංසරණයක් සිදුවෙනවා, නීතිඥයින්ට නඩු එනවා, තවත් අයට විවිධ වරදාන, වාසි ලැබෙනවා. ඒ නිසා මේ අපරාධමය ක්‍රියාවලිය මේ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට අවස්ථාව දී නිහඬව බලා ගෙන සිටිමින් වාසි ලබා ගන්නවා” මො.ල. සෙනෙවිරත්න වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට බන්ධනාගාරය තුළ ඇති තරම් නිදහස සහ අවස්ථාව ඇති තත්ත්වය තුළ එළියේ දී එයට ඇබ්බැහි නොවූ පුද්ගලයෙකුට වුව ද බන්ධානාගාරය තුළ දී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමට තරම් පහසු අවස්ථාවක් ඇති බවයි.

“මේක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් නොවෙයි, අනෙක් අපරාධවලටත් අදාළයි. බන්ධනාගාර සංස්කෘතිය මේ තත්ත්වය පෝෂණය කරනවා” ඔහු සඳහන් කළේය.

  • රැඳවියන් සහ නිලධාරීන්

බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් සංකීර්ණ ගැටලු රැසකට මුහුණ දෙන බව මො.ල. සෙනෙවිරත්න පැවසුවේය. කාලයක් පුරා බන්ධනාගාරවල වර්ධනය වන ගැටලු පුපුරා යන තැනක් එන බව පෙන්වා දුන් ඔහු එවැනි අවස්ථාවල ගැටුම් නිර්මාණය වන්නේ බන්ධනාගාර නිලධාරීන් හෝ පොලිසිය සමඟ බව ඔහු පෙන්වා දුන්නේය.

“මෙවැනි අවස්ථාවක පීඩාවට පත් වුණ පාර්ශ්ව දෙකකට තමයි ගහ මරා ගන්න සිද්ධ වෙන්නේ. රැඳවියෙක් බන්ධනාගාර ගේට්ටුවෙන් ඇතුළු කර ගන්නා තැන සිටම ඔවුන්ට විශාල පීඩාවක් දිය යුතු තත්ත්වයට නිලධාරීන් පත් වෙනවා. ඒට හේතුව තමයි නිලධාරීන්ගේ හිඟය, විශාල රැඳවියන් පිරිසක් පාලනය කරන්න ඔවුන්ට සිද්ධ වෙනවා, මේ තත්ත්වය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය පිට කරන්නෙත් රැඳවියන් පිටින්. රැඳවියනුත් මේ තත්ත්වයටම පත්වෙනවා. 2000-3000ක් ඉන්න තැනක ඔවුන් අන්ත අසරණ වෙලා ඉන්නේ, ඔවුන් ඒ පීඩනය පිට කරන්නෙත් එක්කෝ නිලධාරීන් පිටින්, නැතිනම් තවත් රැඳවියෙක් පිටින්” මෙහිදී මො.ල. සෙනෙවිරත්න පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණය කිසිම අවධානයක් යොමු නොකරන බවයි.

රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධ වගකීමක් බන්ධනාගාරයට නොමැති බව කී ඔහු එම වගකීම අත්තේ අදාළ මහේස්ත්‍රාත්වරයාට බව ද කීවේය. තමා රිමාන්ඩ් භාරයේ සිටි වසර අටක කාලය තුළ මහේස්ත්‍රාත්වරයෙක් පැමිණියේ එක් වරක් බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙහිදී මො.ල. සෙනෙවිරත්න තවත් වැදගත් කරුණක් ද හෙළි කළේය. මහේස්ත්‍රාත් අධිකරණයකදී  නීතිඥ සහායකින් තොරව වරද පිළිගැනීමට සැකකරුට හැකියාව ඇති නමුත් එවැනි අවස්ථාවක වැඩි දඩ මුදලක් පනවන බව ද ඔහු මෙහිදී හෙළි කළේය.

“මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා අපි දන්නවා, නමුත් මොකද කරන්නේ” ඔහු ප්‍රශ්න කළේය.

කපිප්පු නඩුවලින් රජයට විශාල ආදායමක් හිමිවන බව පෙන්වා දුන් මො.ල. සෙනෙවිරත්න රජය අරක්කුවලට බදු ගහන බවත්, කසිප්පුවලට දඩ ගහන බවත් කීවේය.

  • යැපෙන පිරිස මෙන්න

අපරාධකරුවන්ගෙන් රජය ද දැවැන්ත මුදලක් උපයා ගනිමින් යැපෙන බව පෙන්වා දුන් ඔහු නීතිඥයින්ගේ ද එකම යැපුම් මාර්ගය මෙය බව සඳහන් කළේය.

‘මත්ද්‍රව්‍ය නඩුවලින් නීතිඥයින් විශාල ආදායමක් උපයනවා. රස පරීක්ෂක වාර්තාව එන්නේ නැහැ තමයි, හැබැයි ඉතාම වේගයෙන් මේ වාර්තා එන නඩු තියෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගන්න ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක් වෙලා එන නඩුත් තියෙනවා. මේ හරහා කොපමණ මුදලක් සංසරණය වෙනවද කියලා මම පුද්ගලිකව දන්නවා.  ඇතැම් සැකරුවෝ වාර්තාව එන්න ඉස්සර ඒ ගැන දන්නවා. මේක තමයි බන්ධානාගාර වල ඇත්ත ක්‍රියාවලිය, සුභසාධන කටයුවලට එහා ගිය වෙන ක්‍රියාවලියක් බන්ධනාගාර ඇතුලේ තියෙනවා” යැයි පෙන්වා දුන් මො.ල. සොනෙවිරත්න මේ සම්බන්ධයෙන් කතා කිරීමට නීතිඥවරුන්ට සහ විනිසුරුවරුන්ට නොහැකි බව ද පෙන්වා දුන්නේය.

“හැමෝටම කියන්න කතාවක්, දෙන්න උත්තර තියෙනවා. එහෙනම් මේ ක්‍රියාවලිය විධිමත් කළ යුතුයි. බන්ධනාගාර තුළ දී රැඳවියන් ඝාතනය කරන නිලධාරීන්ට දඞුවම් දෙන්නේ නැහැ, අත්අඩංගුවට ගත්තත් පසුව නිදහස් කරනවා. වැලිකඩ, මහර හොඳම උදාහරණ දෙනවා. අපිට මේක ප්‍රශ්න කරන්න බැහැ, ප්‍රශ්න කරන්න තැනක් නැහැ. මේ වගේ අවස්ථා ගණනාවක් තිබෙනවා. මේ සිදුවීම්වලට අදාළ පරීක්ෂණ නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අධිකරණ ක්‍රියාවලියේ දී ඔවුන් නිදොස් කොට නිදහස් වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපි කවුරුත් නිහඞයි. අවසානයේ සිද්ධ වෙන්නේ කුමක් ද ? වැලිකඩ ඝාතනයට සම්බන්ධ බවට සැක කළ ඝාතකයාට අධිකරණ ඇමැතිම ගිහින් සම්මාන දෙනවා. ඉතිං කවුද අහන්නේ ?, කාට ද කියන්නේ ?. අපිට කතා කරකර ඉන්න පුළුවන්. හැබැයි කිසිම දෙයක් වෙන්න් නැහැ”. ඔහු කීවේය.

  • සහතික දෙන්න එපා

මෙහිදී මො.ල. සෙනෙවිරත්න පෙන්වා දුන්නේ වැරදි කිරීමට නිලධාරීන් බිය නොවන්නේ දේශපාලනඥයින් විසින් ද ඔවුන්ව රැක ගන්නා බව දන්නා නිසා බවයි.

මේ සහතිකය පොලිසියට හෝ බන්ධනාගාර නිලධාරීන්ට ලබා නොදෙන ලෙස ඉල්ලා සිටි ඔහු දේශපාලනඥයින් එවැනි පියවරක් නොගන්නේ නම් තව තවත් ඝාතන බලාපොරොත්තු විය හැකි බව ද කීවේය.

මෙහිදී මො.ල. සෙනෙවිරත්න පෙන්වා දුන්නේ බන්ධනාගාර ගතකර සිටින කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ ප්‍රශ්න නොසලකා හැර ඇති ප්‍රශ්න බවයි.

‘පිරිමින්ට වඩා විශාල ප්‍රශ්න කාන්තාවන්ට තිබෙනවා. අනෙක් අතට ළමයින්ගේ ප්‍රශ්න. මේ හැම ප්‍රශ්නයක් පිටුපසම වැඩිහිටියෙක් ඉන්නවා. ළමු නඩු 40,000ක් පමණ හිර වෙලා තිබෙනවා. කවුද ඒ ගැන කතා කරන්නේ ?, කාටද ඒ ගැන වුවමනාව තියෙන්නේ ?” ඔහු යළි ප්‍රශ්න කළේය.

මෙහිදී ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් තුළ සිදුකරනු ලබන ඍණාත්මක ප්‍රචාරය ද දැඩිව විවේචනය කරමින් එහි ආදීනව පැහැදිලි කළේය.

“මේක බලධාරීන් දැනුවත්ව කරන වැඩක්. මත්ද්‍රව්‍ය කාරයෝ ඒකට ගෙවනවා, පුළුවන් නම් මේක නතර කරන්න” මො.ල. සෙනෙවිරත්න දැඩිව ඉල්ලා සිටියේය.

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ බෝඩ් ලෑල්ලට සීමා වෙලා –  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා බෝඩ් ලෑල්ලක් තිබුණට ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බන්ධනාගාර තුළ දැකගත හැකිය. එය වචනාර්ථයෙන් ඔබ්බට යාමට නම් ‘සිරකරු යුක්තිය’ ඉටුවිය යුතුය. එසේම බන්ධනාගාරයට ඇතුළත් කළ මොහොතේ සිට ආරම්භ වන මානසික වධහිංසා වළක්වා ලීමට ද පියවර ගත යුතුය.

“සිරකරුවන් විවිධාකාරයේ වධහිංසාවලට ලක් කිරීම, පහර දීම විශාල වශයෙන් බන්ධනාගාර වල තිබෙනවා. මෙහි උපරිමය සටහන් වුණ අවස්ථා තමයි 2012 දී වැලිකඩ බන්ධානාගාරයේ සහ 2022 දී මහර බන්ධනාගාරයේ සිදු කළ සමූල ඝාතනය. නමුත් මේ දක්වා මේ ඝාතනවලට වගකිව යුත්තන් නිදැල්ලේ සිටිනවා. ඒ වගේම පසුගිය කාලය තුළ විවිධ අවස්ථාවලදී බන්ධනාගාර තුළ දී සිරකරුවන් ඝාතනය කළ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමක් සිදුවෙලා නැහැ, මෙම පුද්ගලයින්ට යම්කිසි ආකාරයක මුක්තියක් තිබෙන බවයි අපට පේන්නේ” ලංකාවේ බන්ධනාගාරය තුළ මුල්බැස ගෙන ඇති සත්‍ය තත්ත්වය පැහැදිලි කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පෙන්වා දුන්නේ ය.

දඬුවම් නැති පරිසරයක්

මෙහිදී සේනක පෙරේරා පෙන්වා දුන්නේ සිරකරුවන්ට ශක්තියක් නොමැති වීම සහ බාහිර සමාජය, සිවිල් සමාජය සිරකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම මෙම තත්ත්වය තීව්‍රර වීමට හේතු වී ඇති බවයි.

“මානව අයිතිවාසිකම් ගැන කතා කරන අය පවා සිරකරු අයිතිවාසිකම් ගැන කතා කිරීමට ඉදිරිපත් නොවන අවස්ථා අපි දැක තිබෙනවා. සිරකරුවන්ට යම්කිසි අගතියක්, හානියක් කළ විට බේරී සිටීමට මේ තත්ත්වයත් යම් පමණකට හේතු වී තිබෙනවා’ යැයි කී සේනක, සිරකරුවන්ට ඕනෑම අගතියක් කර බේරී සිටීමට හැකියාව ඇති බවට මතයක් බන්ධනාගාර නිලධාරීන් අතර පවතින බව ද පෙන්වා දුන්නේ ය.

සිරකරු සමාලෝචනය ද අගතිගාමී ලෙස භාවිත කිරීම සිදුවන බව මෙහිදී කරුණු සහිතව පැහැදිලි කළ සේනක එය ද මුදල් හා බලය තිබෙන සිරකරුවන්ට වාසිදායක ලෙස භාවිතා කරන බව ද පෙන්වා දුන්නේය.

“සිරකරු සමාලෝචනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවලින් පවා මේ තත්ත්වය හෙළි කරලා තිබෙනවා. මෙයත් සිරකරු යුක්තිය සම්බන්ධයෙන් ඍජුව සම්බන්ධ වුණ කාරණයක්” සේනක සඳහන් කළේය.

වෛද්‍ය ප්‍රතිකාර

සිරකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී  බරපතළ අගතිගාමී සහ අවාසනාවන්ත තත්ත්වයක් දැකගත හැකිය. බන්ධනාගාර රෝහල් තුළ වෛද්‍යවරු 33 දෙනකු සිටින අතර ඔවුන් මාසයක් තුළ පැය 4500ක් සේවයේ යෙදී සිටිය යුතු වුව ද විගණන වාර්තා අනුව අදාළ වෛද්‍යවරුන් සේවයේ යෙදී ඇත්තේ පැය 1290ක් වැනි ඉතාම අඩු පැය ගණනකි.

“මේ තොරතුරු හෙළි කරන්නේ ජාතික විගණන ලේකම් කාර්යාලය 2023 දී නිකුත් කළ වාර්තාව. මේකෙන්ම පැහැදිලි වෙනවා, සිරකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවන බවට තිබෙන මතය. නමුත් තෝරා ගත් සිරකරුවන් පිරිසකට අවම ආචාරධර්ම පවා නොසලකා ප්‍රතිකාර කරන අවස්ථා වාර්තා වෙනවා. මේ තත්ත්වය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සැලකිය හැකි’ යැයි පෙන්වා දුන් සේනක මෙවැනි විෂමාචාර කටයුතුවල නිරත වූ බන්ධානාගාර වෛද්‍යවරුන් පසුගිය කාලයේ අත්අඩංගුවට පත් වූ බව ද පෙන්වා දුන්නේ ය.

‘රැඳවියෙක්ට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබා දෙන්න මුදල් ඉල්ලා සිටීම හේතුවෙන් පසුගිය දා බන්ධනාගාර වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත්තා. මෙවැනි ඉල්ලීම් බන්ධනාගාරය තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා’ යැයි ද කී සේනක මෙවැනි සිදුවීම් සමාජයට සන්නිවේදනය නොවන බව ද සඳහන් කළේය.

ඉවසීම සහා වැළපීම

මෙවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාර රැඳවියන් තමන් මුහුණ දෙන ඕනෑම තත්ත්වයක් ඉවසා ගෙන සිටීමට යොමු වන බව කී සේනක ඒ සඳහා බලපාන හේතු ද හෙළි කළේය.

“තත්ත්වය ඉතාම පැහැදිලියි, බන්ධනාගාරය තුළ තමන් මුහුණ දෙන අසීරුතා හෝ වෙනයම් ආකාරයක ගැටලුවක් පෙන්නලා දුන්නත් ඔහුට ඉන්න වෙන්නේ මේ පාලනය තුළමයි. එවැනි තත්ත්වයක් කිසිසේත් යහපත් නැහැ, තවත් වටයකින් අගතියට පත්වීමටයි ඔහුට සිදුවෙන්නේ. ඒ නිසා රැඳවියන් සියල්ල ඉවසා ගෙන, පිටතට නොපෙන්වා සිටීමට පියවර ගන්නවා. මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් රැඳවියන් සම්බන්ධ පුද්ගලික, බිහිසුණු අත්දැකීම් මට තිබෙනවා” සේනක තම සේවා කාලය තුළ මුහුණ දුන් පුද්ගලික අත්දැකීම් හෙළි කරමින් පැවසුවේය.

මෙහිදී ඔහු යළි යළි අවධාරණය කළේ සිවිල් සමාජයේ සිට බන්ධනාගාරය තුළ දී මුහුණ දීමට සිදුවන අකටයුතුකම් ගැන සංවාද කළ ද, සාකච්ඡා කළ ද බන්ධනාගාරය තුළ එවැනි දේවල් ගැන කතා කිරීම ඉතාමත්ම හානිකර අත්දැකීමක් වන බවයි.

  කාන්තා රැඳවියන්

කාන්තා රැඳවියන් ද සැලකිය යුතු පිරිසක් බන්ධනාගාර තුළ සිටින අතර ඔවුන්ගේ සුභසාධන පහසුකම් ඉතාමත් දුර්වලය. මෙම කාන්තා රැඳවියන් සමඟ සිටින අවුරුදු පහට අඩු දරුවන් මුහුණ දෙන තත්ත්වය ද ඉතාමත් කනගාටුදායක බව සේනක පෙන්වා දුන්නේය.

“කාන්තා රැඳවියන්ට කාන්තාවන් වීම නිසාම හිමිවිය යුතු ඇතැම් සනීපාරක්ෂක පහසුකම් සහ සුභසාධන සේවා ඇත්තේම නැති තරම්. එසේම ඔවුන් සමඟ සිටින අවුරුදු පහට අඩු දරුවන් මුහුණ දෙන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයකට වුණත් ඒ ගැන කිසිවෙකුගේ සොයා බැලීමක් නැහැ” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

·මූලික අරමුණු බිඳ වැටිලා

බන්ධනාගාරවලින් අපේක්ෂිත මූලික අරමුණු අතර පුනරුත්ථාපනයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. බන්ධනාගාර පනතේ ද මේ ගැන පැහැදිලිව සඳහන් වේ.

“ලෝකය පිළිගත්ත මූලික මූලධර්මයක් තමයි, අපරාධකරුවෝ ඉපදෙන්නේ නැහැ, කියන එක. ඒ නිසා ඕනෑම වැරදිකරුවෙකුට නිවැරදි වීමට හැකියාවක් තිබෙනවා කියන එක ලෝකය පොදුවේ පිළිගන්නවා. ලංකාවත් ඒක පිළිගන්න නිසා තමයි වැරැද්දක් කළ විට මරලා දාන්නේ නැතිව බන්ධනාගාර ගත කරලා පුනරුත්ථාපනය කරන්නේ. නමුත් ලංකාවේ මේක ඉතාම සීමිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මනෝ විද්‍යාත්මක, විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලියක් ලංකාවේ බන්ධනාගාර තුළ නැහැ. යම් යම් වෘත්තීය අධ්‍යාපන වැඩ ඉගෙන ගෙන තමයි රැඳවියන් බන්ධනාගාරවලින් එළියට එන්නේ. නමුත් ඔවුන් එළියට ආ පසු යළි පෙර වැරදි කිරීමේ ප්‍රවණතාවක් තිබෙන බව අපි දකිනවා. ඒ නිසාම තමයි බන්ධනාගාරයෙන් නිදහස් වූවන්ගෙන් 50%ක් පමණ නැවත බන්ධනාගාර ගතවීමක් සිදුවෙන්නේ. නිසි පරිදි පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදුවන රටවල මේ ප්‍රතිශතය ඉතාම අඩුයි” බන්ධනාගාර තුළ අප නොදන්නා සත්‍යයේ තවත් අඳුරු පැතිකඩක් සේනක විසින් පෙන්වා දුන්නේය.

චෝදකයින්ගේ අරමුණම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි – නීතිඥ දුලාන් දසනායක

බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සමාජයේ සාකච්ඡාවට ලක්ව තිබෙන අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද මේ සම්බන්ධයෙන් වසර දෙකක පමණ ගැඹුරු පර්යේෂණයක් කර විශාල වාර්තාවක් 2022 දී නිකුත් කළේය. මෙම වාර්තාව රජයට භාර දී ඇති අතර එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ද යෝජනා කර තිබේ.

ඇප නොදීමේ අවුල

“ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ගෙන් 70%ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් ලෙස සැලකෙනවා, මේක සලකා බැලිය යුතු විශේෂ තත්ත්වයක්. මේ පසුබිම තුළ රක්ෂිත බන්ධනාගාරවල තත්ත්වය දැඩිව පිරිහෙමින් තිබෙන අතර එහි තදබදය සහ පීඩාවන් ද ඉහළ යමින් තිබෙනවා. ඇතැම් පුද්ගලයින් නිකරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් ඔවුන්ගේ ජීවිත අවුල් වෙන අතර ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ජීවිත අහිමි වීම පවා සිදුවෙලා තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ තරුණ – තරුණියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත විනාශ වෙන බවට සමාජය තුළ පොදු අදහසක් තිබෙනවා” නීතිඥ දුලාන් දසනායක කතිකාවට ප්‍රවේශයක් ගනිමින් පැවසුවේ ය.

මෙහිදී දුලාන් පෙන්වා දුන්නේ බන්ධනාගාර තදබදය නිර්මාණය වීමට නඩු ප්‍රමාදය,  රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සහ මර්ධනකාරී නීති කිහිපයක් මූලිකව බලපා ඇති බවයි.

ඇප පනත තිබෙන්නේ සැකකරුවන්ට ඇප ලබා දීමට වුවත් වෙනත් පනත් කිහිපයක ආවරණය ලබමින්, ඉතාම සූක්ෂමව ඇප ලබා නොදී සිටීමට චෝදක පක්ෂ පියවර ගන්නා බව කී දුලාන් 96%ක් පමණ නඩු පැවරීම සිදු කරන පොලිසිය මේ අතර ඉදිරියෙන් සිටින බව ද පෙන්වා දුන්නේය.

බොරු නඩු

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු පැවරීමේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ නොමැතිව ‘බොරු නඩු’ පැවරීම සිදුවන බව කී නීතිඥ දුලාන් පොලිසියට ලබා දී ඇති ටාගර්ට් නිසා මෙම අනීතික කටයුතු සිදුවන බව ද පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ‘යුක්තිය මෙහෙයුම’ මේ සඳහා හොඳම උදාහරණය බව ද පෙන්වා දුන්නේය.

“මේ අතර සිදුවන තවත් සුලභ දෙයක් තමයි මත්ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරලා උසාවියට වාර්තා කිරීම. ප්‍රමාණය ඉහළ ගිය ගමන් මහේස්ත්‍රාත්වරයාට ඇප ලබාදීමේ සීමාවක් තියෙනවා, ඇප අවශ්‍ය නම් නව නීති අනුව අභියාචනාධිකරණයට යන්න වෙනවා. අනෙක් අතට මත්ද්‍රව්‍ය ප්‍රමාණය ආදිය තීන්දු කරන්නේ රස පරීක්ෂක වාර්තාව හරහා, සාමාන්‍ය ක්‍රමවේදය අනුව රස පරීක්ෂක වාර්තාව ලැබෙන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඒ අනුව රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක් සිදුවෙනවා” මෙහිදී දුලාන් පෙන්වා දුන්නේ රස පරීක්ෂක වාර්තා ලැබීම ප්‍රමාද වීමට එම ආයතනයට ප්‍රමාණවත් පහසුකම් සහ නිලධාරීන්ගේ හිඟය දැඩිව බලපා ඇති බවයි.

රස පරීක්ෂණ වාර්තා

රස පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට යොමු කරන මත්ද්‍රව්‍ය වල ප්‍රමාණය වෙනස් වීම සහ ඇතැම් විට මත්ද්‍රව්‍ය ලෙස නම් කර යොමු කරන ද්‍රව්‍යවල ඊට හාත්පසින්ම වෙනස් අන්තර්ගතයන් තිබීම පිළිබඳව හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවා සිය කණස්සල්ල පළ කළ බව ද දුලාන් මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී නීතිඥ දුලාන් අවධාරණය කළේ රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා දෙන්නේ නම් චෝදක පාර්ශ්වය මීට වඩා සැලකිලිමත් වන බවයි.

“ඔවුන්ගේ අරමුණ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා දඞුවම් ලබාදීමයි. රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා දෙන්නේ නම් මේ අරමුණ ඉටුකර ගැනීම අසීරු වෙනවා. මේ නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා දෙන වැඩපිළි‍වෙළක් සකස් කිරීම අත්‍යවශ්‍යයි” නීතිඥ දුලාන් වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

රක්ෂිත බන්ධනාගාරවල තදබදය පාලනය කිරීම සහ බන්ධනාගාරවල සිදුවන අකටයුතුකම් පාලනය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්ම කිරීමේ අවශ්‍යතාව ද නීතිඥවරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය.

“මේක පහසු නැහැ, මර්ධනකාරී නීති වගේම සමජ මතයත් වෙනස් කළ යුතුයි” ඔහු දැඩිව අවධාරණය කළේය.

සංවාද සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment