මාළිමාව ආණ්ඩුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකිද යන්න ගැන බරපතළ සැකයක් තිබෙනවා – මහාචාර්ය රොහාන් සමරජීව
- Editor
- November 24, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම (ඉරිදා) පස්වරු 05.00 සිට 07.00 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කළ ‘කතිකාව’ කාලීන සමාජ දේශපාලන සංවාද මාලාවේ 300 වැනි කතිකාව පසුගිය නොවැම්බර් 22 වැනිදා ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත’ නම් තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවට පූර්විකාවක්, පෙරවදනක් සපයමින් මහාචාර්ය රොහාන් සමරජීව කතිකාව සංවාද මාලාව ආරම්භ කිරීමේ සිට 300 වැනි කතිකාව දක්වා පැමිණි අභියෝගාත්මක පැහැදිලි කිරීමක් කළේය.
“2020 වර්ෂයේ නොවැම්බර් – දෙසැම්බර් සමයේ අපි පටන් ගත්ත වැඩක් දිගටම පවත්වා ගෙන ගිහින් දැන් 300 වැනි වැඩසටහන දක්වා පැමිණ තිබෙනවා. මෙම වැඩසටහනේ සන්දර්භය ගැන මුලින්ම කතා කරන්න මම කැමතියි.
- සන්දර්භය
අපි 2020 ඔක්තෝබර් මාසයට ගියොත්, ඒ මාසයේ තමයි එවකට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගත්තේ. ඒ ඔක්තෝබර මාසයේ තමයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මැතිතුමාගේ නායකත්වයෙන්, නීතිඥ ජාවෙඩ් යූසුප් මහත්මයා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට පියවර ගත්තා. අපි එහිදී අවධාරණය කළා, ’20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන තෙක් අපි (සාධාරණ සමාජය) දිගටම සටන් කරනවා කියලා.
ඊට අමතරව ඒ දවස් වල තිබුණ තවත් සංසිද්ධියක් තමයි, ජනාධිපති නීතිඥ රුමේෂ් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් (එහි නම සහ සාමාජිකයෝ කවුද කියලා අපි දැන ගෙන හිටියා) අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කමිටුවක් පත් කළා. මේ කමිටුව පත් කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන්ව තිබුණ කරුණුවලට වඩා වෙනස් කරුණක්. ඔහු මැතිවරණය ලබා දුන්න පොරොන්දුවල සඳහන් වුණේ ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අධීක්ෂණය යටතේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා’ කියලා, නමුත් ක්‍රියාත්මක වන විට ඒ පොරොන්දුව නොසලකා හැරලා තිබුණා.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කමිටුවක් පත්කර තිබුණත්, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ස්ථාපිත කරලා තිබුණ එහි කාර්යාලයේ බාහිර අදහස් හා යෝජනා භාර ගැනීමට කිසිවෙක් අදාළ කාර්යාලයේ හිටියේ නැහැ. මේක යම්කිසි ආකාරයක ‘රහස්‍ය’ කටයුත්තක් ලෙස තමයි ක්‍රියාත්මක වුණේ.
මෙම සන්දර්භය තුළ තමයි, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ‘මේ වැඩේ’ පටන් ගත්තේ. ඒ කියන්නේ අපි තීරණය කළා, අපි ඒ අයගේ ක්‍රියාදාමයට අනුගත නොවී, වඩාත් විවෘත ක්‍රියාවලියක් තුළින් අපේ යෝජනා සහ අදහස් සම්පාදනය කරලා ඒවා ජනගත කරනවා’ කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දස වැදෑරුම් කරුණු මාලාවක් සම්පාදනය කළේ. නමුත් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළේ නැහැ. අපි එතනින් එහාට ගිහිල්ලා ‘සංකල්ප පත්‍රිකාවක්’ තමයි සම්පාදනය කළේ.
- බරපතළ සැක සාංකා
එහිදී අපි (අවසාන වශයෙන්) ප්‍රකාශ කළේ, මේ දවස්වල අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට විවිධ උත්සාහයන් තිබෙනවා, විවිධ වැඩකටයුතු කර ගෙන යනවා කියලා’. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ වගේම වත්මන් ආණ්ඩුවත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් සිටිනවා. නමුත් ඒ කෙටුම්පත් කිරීම කරන්නේ කවුද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කොහෙන් ආව ද ?’ කියලා අපි කවුරුත් තාම දන්නේ නැහැනේ. එ්ක අධිකරණ අමාත්‍යාංශයෙන් ආව ද, ජනාධිපති කාර්යාලයෙන් ආව ද, එහෙම නැතිනම් පැලවත්තෙන් ආව ද ? කියලා අපි දන්නේ නැහැ. ඒක සම්පාදනය කළේ කවුද, ඒකට දායක වුණේ කවුද, ඒකට සම්බන්ධ වුණ විද්වතුන් කවුද ?, මේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ඒක ගහෙන් ගෙඩි එන්නා වාගේ ආවා.
ඒ නිසා අද අපට සැකයක් තිබෙනවා ‘අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආව පාරෙන්ම එයි ද ?’ කියලා.
ඒ වගේම ඇතැම් අය තුළ සැකයක් තිබෙනවා, ඒ සැකය තමයි ‘මේ ආණ්ඩුව මේ වන පෙන්වා තිබෙන ලක්ෂණ අනුව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කෙරෙහි මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තියන්න පුළුවන් ද?’ කියලා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම මේ ආණ්ඩුවට දරන්න පුළුවන් ද කියලා සැකයක් තිබෙනවා. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ මූලධර්ම කුමනාකාරයෙන් තිබුණත් එහි අඩංගු වගන්ති, ව්‍යාතිරේක යටතේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නියම හරය තීරණය වෙන්නේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 300 වැනි වැඩසටහනේ දී (නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මාවත) මහාචාර්ය රොහාන් සමරජීව මහතා කළ පූර්විකාව ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – තුෂාල් විතානගේ
