අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමියන් සහ සාධාරණ සමාජයේ නියෝජිතයින් අතර හමුවක්

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය මහතා ප්‍රමුඛ එහි නියෝජිතයින් පිරිසක් පසුගිය 17 වැනිදා කොළඹ, මාලිගාකන්ද, විද්‍යොදය පරිවේණාධිපති, ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, අග්ගමහාපණ්ඩිත, ආචාර්ය, ත්‍රිපිටකවාගීශවරාචාර්ය, උපධ්‍යයා, අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමියන් හමුවූහ.

ශ්‍රී ලංකාවේ ගිහි හා සංඝ සමාජයේ දරුණු සමාජ පිරිහීමකට ලක්වෙමින් තිබෙන තත්ත්වය තුළ එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සංඝ සමාජයේ අවවාද අනුශාසනා හා අදහස් ලබාගෙන, එම අදහස් බලධාරීන්ට, මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු අනෙකුත් නායකත්වයන්ට හා පොදුවේ මහජනතාවට දැනුම් දීම සඳහා පොදු ලියවිල්ලක් සකස් කිරීම සඳහා සාධරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කර තිබේ. ඒ පිළිබඳව අතිපූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමියන් දැනුවත් කිරීම හා අදහස් ලබා ගැනීම මෙම හමුවේ අරමුණ විය.

මේ අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර, එහි සාමාජිකයින් වන හරීන්ද්‍ර බී. දසනායක සහ සුජීව සෙනරත් යන මහත්වරුන් ද එක් වූහ.

Leave A Comment