අපට රටට ගැළපෙන භාෂා ප්‍රතිපත්තියක් හදාගන්න බැරි වුණා – රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නිමල් ආර්. රණවක
- Editor
- February 3, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කිරීම, නියාමනය හා අධීක්ෂණය සඳහා 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත යටතේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පිහිටුවා ඇත.වර්තමාන ශ්‍රී ලාංකිකයන්ගේ භාෂා අයිතිය හා සම්බන්ධව ගැටලු පිළිබඳව රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නිමල් ආර්.රණවක මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි.
ප්රශ්නය : ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කරන මට්ටමටද? ඒ ගැන අපි මුලින්ම කතාකළොත්.
පිළිතුර: ඇත්තෙන්ම ඒ මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ජාතික අරමුණක් මත ඇති කරපු දෙයක්. එය හරි හැටි විසදා නොගැනීම නිසා විශේෂයෙන් නිදහසින් පසු රටට ගැලපෙන භාෂා ප්‍රතිපත්තිය සහ අධ්‍යාපන ප්රතිපත්තියයි කියන දෙක අපිට හදාගන්න තිබුණ නමුත් එහෙම වුණේ නෑ. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නම් කොහොමටත් අපි සකස් කර ගත්තේ නැහැ. රටට අවශ්‍ය සමාජ ආර්ථික දේශපාලන උමනාවන් පිළිබඳ අධ්‍යනයක් කරලා කළ යුතු මුල් අවස්ථාවේම සුදුසු භාෂා ප්රතිපත්තියකට අවතීර්ණ වුණේ නැහැ.
ඒ නිසාම ආපු ගැටළු රාශියක් තියෙනවා. අතීතය ගත්තම සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් කුළ-ගෝත්‍ර, ඇති- නැති හැම පැත්තෙම බෙදා වෙන් කරලා තමයි යටත් විජිත පාලකයන් පාලනය කළේ. ඒ තත්ත්වය නැති කරන්න තිබිච්ච හොඳම තැන ගැළපෙන අධ්‍යාපනය සහ භාෂා ප්‍රතිපත්තිය ඇති කිරීම. ඒ නිසා ගැටලුවක් විදිහට තමයි ඒක දිගටම එන්නේ. ප්‍රතිපත්තිය හරියට සකස් වුණෙත් නැහැ. ක්‍රියාත්මක වුණෙත් නැහැ.පසුකාලීනව එකේ ප්‍රතිඵල අපි භුක්ති වින්දා. එහි දුර්ගුණ කාලීනව වර්ධනය වෙලා එය ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා ලෝකයේම භයානක ත්‍රස්තවාදී සංවිධානය ලංකාවේ බිහි කරන ගැටළුවක් බවට පත්වුණා.ජාතික ප්රශ්නය පිළිබඳව විශේෂයෙන් භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ කාරණය ඉතාම අවාසිදායක විදියට බලපෑවා. පසුව විවිධ ප්‍රතිකර්ම අරගෙන ඇවිල්ලා 13 වන වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනකොට යම් ආකාරයකට සීරුමාරු කරගත්තා.
ඉතින් මේ ගැටලුව වෙනස් කරගන්න තමයි 1956දී තිබුනේ නමුත් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළා. ඒක වැරදියි කියන්නේ නැහැ. ඒක වැරදි වෙන්නේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව නොකර ඒ දේ කරපු නිසයි. ඒ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරන්න තිබුණා නමුත් එහෙම කළේ නෑ. අර්බුදය ඒ වෙලාවේම මතු වුණා. දෙමළ දේශපාලන පක්ෂ, ෆෙඩරල් පක්ෂ, චෙල්වනයගම් වගේ නායකයෝ එයාලගේ භාෂාව වෙනුවෙන් ලොකු අරගලයක් කළා.
පසුව දෙමළ භාෂා විධිවිධාන පනත ගෙනල්ලා දෙමළ භාෂාවට රාජ්‍ය භාෂා තත්ත්වය නොදී දෙමළ භාෂාවෙන් කටයුතු කරන්න පුළුවන් විධික්රමයක් ඇති ඇතිකළා. නමුත් ඒක ප්‍රතිකර්මයක් වුණේ නැහැ. අන්තිමට 1987 දී තමයි 13වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රථම වතාවට දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව හැටියට යොදාගෙන ව්‍යවස්ථාපිත නීතියක් බවට පත්කරන්නේ. එහෙම කළාට ප්‍රතිපත්තිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කර ගැනීමට පහසුකම් වටපිටාව සකස් වෙලා නෑ.
ප්රශ්නය : රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පිහිටුවීමේ ඉතිහාසය කොහොමද?
පිළිතුර: 1991 අංක 18 දරණ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත යටතේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පිහිටවනවා. මුඛ්‍යතම පරමාර්ථය සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පුරවැසියන් කෙරෙහි ක්‍රියාත්මක විය යුතුයියන කරුණයි. එය නිලධාරීන්ගේ වගකීමක් වගේම පුරවැසියන්ගේ අයිතියක්. ඉතින් හතරවන පරිච්ඡේදයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සඳහන් වෙනවා.
ප්රශ්නය : පරිපාලන භාෂාවක් කියන්නේ මොකක්ද?
පිළිතුර: යම් රාජ්‍ය ආයතනයක් රාජ්‍ය භාෂා දෙකින් කුමන හෝ භාෂාවක් තමන්ගේ කටයුතුවලට යොදාගන්නේද ඒක පරිපාලන භාෂාව කියලා හඳුන්වන්න පුළුවන්. නීතියෙන් රාජ්‍ය භාෂා දෙකෙන් එකක් විය යුතුයි. උදාහරණයක් ලෙස එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාංශයක යම් ජන කණ්ඩායමක් බහුතරයක් ඉන්නවා නම් එතනදී පරිපාලන භාෂාව විදියට එය භාවිත වෙනවා. නමුත් ප්‍රතිපත්තියේ සමස්ත අර්ථය තමයි සිංහල හෝ දෙමළ ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ මව් භාෂාවෙන් සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවලින් තම සේවා සපයා ගැනීමේමේ අයිතිය තහවුරු කිරීම.
ලංකාවේ කොහේ තිබ්බත් පරිපාලන භාෂාව දෙමළ ප්‍රදේශයකට සිංහල මනුස්සයෙක් ගියොත් එයාට සිංහලෙන් වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ වගේම පරිපාලන භාෂාව සිංහල ප්‍රදේශයකට දෙමළ කෙනෙක් ආවොත් ඒ ආයතනවල සේවාව එම භාෂාවෙන් ලබා දියයුතුයි. ඒක අයිතියක්. අද ලංකාවේ තවමත් ඒ අයිතිය ප්රශස්ත මට්ටමේ තියා උපරිමයේ අවමයවත් කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.
ප්රශ්නය : රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විදියට මේ තත්ත්වය ඇතිවීමට බලපාන ප්‍රධාන ගැටලු විදියට හඳුනා ගත්තේ මොනවාද?
පිළිතුර: පාසල් අධ්‍යාපනයෙන් පසු සමාජගත වන පුරවැසියන් හැටියට මිනිස්සු තමයි ඔය රාජ්‍ය ආයතන හෝ කුමන තැනක හෝ ඉන්න තැන්වල සේවය යෙදෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ප්‍රධාන රාජ්‍ය භාෂා දෙක පිළිබඳ අවශ්‍ය දැනුම නැහැ. ඒ කිව්වේ වැඩ කිරීමේ හැකියාව නෑ. ඉතින් භාෂාව දන්න ප්‍රමාණයක් ඉන්නවනම් ඒගොල්ලන්ට බෑ මේ සමස්ත උවමනාව සපුරන්න. දැන් කරන්න ඕනෑ මේ සංඛ්‍යාව වැඩි කරන එක.
ප්රශ්නය : ඒ කියන්නේ අනුමත සේවක සංඛ්‍යාව (කාඩර්එක) වැඩිකිරීමක්ද?
පිළිතුර: නැහැ. කාඩරය නොවෙයි. ද්විභාෂික සේවකයන් වැඩි කිරීම. කාඩරය වැඩි කරලා නම් ප්‍රශ්නයක් වැඩි වෙනවා. ඇයි කාඩරය එනවා එක භාෂාවයි එයාලා දන්නේ. එතකොට කාඩරය ලොකු වෙනවා ප්රශ්නය දිග්ගැස්සෙනවා. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව බලය දෙන්නේ රාජකාරී කරගන්නම විතරක් නෙවෙයි. ඉන් එහා ගිය තව අරමුණක් වෙනුවෙන් ඒ තමයි සංහිඳියාව ඇති කිරීම. බිඳවැටිච්ච ජාතියේ එකතු කරන්න මේ පාලම දාන්න අවශ්‍යයි. භාෂා පාලම තමයි කැඩිල තියෙන්නේ ඒකඇත්ත වශයෙන්ම කෙරෙන්න ඕනෑ.
කෙනෙක්ට තමන්ගේ භාෂාවෙන් වැඩේ කරගන්න බැරි වුණොත් මුලින්ම පශ්චාත්තාපය ඇතිවෙනවා. ඔබට වුණත් ඔබ තව කාට හරි කියනවා .තව කෙනෙක් එනවා එයාටත් බැරි වෙනවා. ඔය විදියට දවස පුරා ලංකාවේ ආයතනවල සිය දහස් ගණනක් ඕක වෙනවා. හිතන්න දෙමළ අය ගත්තොත් එතකොට මොකක්ද වෙන්නේ? සිතුවිල්ල පශ්චාත්තාපය එය හැමතැනම ව්‍යාප්තව මතයක් වෙනවා. ඔය විදියට කාලයක් තිස්සේ ගොඩ නැගුනම සිතිවිල්ල තමයි මතයක් වෙන්නේ.
“මේ රටේ ඉපදිලා අපේ රටේ භාෂාවෙන් අපේ වුවමනාකම් ඉටු කරගන්න මේ රටේ අපිට බැහැ “. ඒක තමයි ඇතිවන ගැටලුව. ඒ මතය එක දවසකින් ඇති වුනේ නෑ .ඒ දේ ඇතිවෙලා කාලයක් ගියාට පස්සේ මතයට වාදයක් දානවා. මතවාද වෙනවා. දේශපාලන වාද දානවා. ඒක දේශපාලනීකරණය වෙනවා. එහෙම ගියාම කට්ටියක් ප්‍රජාතන්ත්‍රවාදීව ඒ දේ කරගන්න බලනවා. බැරි වෙනකොට රැඩිකල් කට්ටිය වැඩිකල් තැනට තල්ලු වෙනවා. ඒ රැඩිකල් තත්ත්වය වැඩිවෙලා අඳුරු බලපෑම අපි දැක්කා. අම්මයි තාත්තයි එක තැන වැඩ කළත් වැඩට යන්නේ බස් දෙකක.ඒක උතුරෙත් දකුණෙත් වුණා. ඒ තරම් ජීවත් වීමේ භීෂණය ඔය පොඩි ප්‍රශ්නයක් විසින් මිනිසුන්ගේ දෛනික ජීවිතවලටම ආවා.
ප්රශ්නය : භාෂා අයිතිය උල්ලංඝනය කළ බවට පැමිණිලි ලැබිලා තියෙනවද ? ඒවා මොන වගේ ස්වභාවයක්ද ගන්නේ?
පිළිතුර: පුරවැසියෙකුට අපිට පැමිණිලි කරන්න පුළුවන් ලිඛිතව, දුරකථනයෙන් ක්ෂණික අංක 1956 වට්ස්ඇප් 071 9 521 436 ,රාජ්‍ය භාෂා කොමිෂන් සභා නිල වෙබ් අඩවියෙන් ,නිළ ෆේස්බුක් පිටුවෙන් සහ කොමිෂන් සභාවේ නිරීක්ෂණ හා ස්වයංව පැමිණිල්ලක් මතවුණත් වැඩ කරනවා. ඉතින් වාර්ෂිකව පැමිණිලි 100 ත් 150ත් වගේ ලැබිච්ච අවස්ථා තියෙනවා. පසුගිය 2025 අවුරුද්දෙ විතරක් පැමිණිලි 156ක් ලැබිලා තියෙනවා.
ප්රශ්නය : මේ භාෂා ගැටළුව ඇයි තවමත් රාජ්‍ය ආයතනවල තියෙන්නේ?
පිළිතුර: දැන් ප්‍රතිකාර දෙන්නේ ලෙඩේ හැදුනම.අපිට ඕන තරම් බෙහෙත් හදාගෙන ඉන්න පුළුවන්. උදාහරණයකට ඩෙංගු රෝගීන් ඔක්කොම ඩෙංගු හැදෙන්න ඇරලා ප්‍රතිකාර කරනවා වගේ වැඩක් වෙන්නේ. අපි ඩෙංගු නතර කරන්න නිවාරණය කරන්න ඕන. ඒ ප්රතිකර්මය බෙහෙත් දීම නොවෙයි.මදුරුවන් ඇතිවීම නතර කිරීමයි.ඉතින් ඒ වගේ තමයි අපිත් 1991 ඉදන් විගණන ආරම්භ කරලා මේකේ දිග පළල අපිට තේරෙනවා. කොතනද මේක කඩා වැටෙන්නේ සහ අවහිර වෙන්නේ කොතනද කියලා තාමත් ප්‍රතිකාර කර කර ඉන්නවා. නමුත් ලෙඩා මැරෙනවා.
පුංචි කාලේ ඉඳන් එක භාෂාවක් ඉගෙනගෙන එයින් විභාග කරලා ,විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා, නිලධාරියෙක් වෙලා ඉන්න පිරිසකටයි අපි කියන්නේ තවත් වෙනත් භාෂාවකින් එන පිරිසකට සේවය කරන්න කියලා. ඉතින් ඒක ප්‍රායෝගික නැහැනේ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පැය 120 ක 200 ක පාඨමාලා කරනවා කරලා කියනවා දැන් දෙමළෙන් වැඩ කරන්න කියලා . පුළුවන්ද ?බෑනේ. එහෙම පැය ගානක පාඨමාලාවක් කරලා එයා ඇවිල්ලා වැඩ කරන්නේ එයාගේ භාෂාවෙන් මොකද භාෂාවක් එහෙම විෂයක් හැටියට ඉගෙන ගැනීම නෙවෙයි වැදගත්.භාෂාව කියන්නේ භාවිතයක්.
දැන් බලන්න රාජ්‍ය සේවකයෝ ලක්ෂ පහළොවක් ඉන්නවනම් ඔය ලක්ෂ පහළවෙන් 97% ගත්තොත් ඒ ඔක්කොම ඒක භාෂිකයි. ඒ කිව්වේ තමන්ගේ මව් භාෂාවෙන් විතරයි වැඩ කරන්න පුළුවන්. ද්වි භාෂකනම් ඉංග්‍රීසි පුලුවන්. සරලව කියනවනම් දෙමළ- ඉංග්‍රීසි හරි , සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හරි තමයි එයලා දන්නේ. ඉතින් එහෙම වෙනකොට දෙමළ ඉංග්‍රීසි දන්න කෙනෙක් ගාවට සිංහල කෙනෙක් ගියාම එයාගේ වැඩේ අසාර්ථකයි. එහෙම අයනම් සමස්ත රටේම රාජ්‍ය සේවයේ සීයයට අනුවටත් වැඩි සංඛ්‍යාවක් ඉන්නේ කොහොමද මේ රටේ දෙකෝටි ගානක් පුරවැසියන්ට වැඩ කරන්නේ. උප්පැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකය දක්වා ජීවිතය කොපමණ සේවාවන් ඒ පුරවැසියන්ට හිමි විය යුතුද? ඉතින් මාළු බානවා ආප්ප පුච්චනවා වගේ පරිවර්තකයෝ බිහි කරන්න බෑ . භාෂා දෙකම විතැන් වෙලා පරිවර්තකයො බිහිවෙන්නේ නැහැ. ජනතාව විතැන් වෙලා අපේ ගම්වල හිටපු දෙමළ අය දැන් නැහැ. එයාලා ගිහින් ගුටි කාලා, බැනුම් අහලා, ගෙවල් පුච්චලා යවලා, උතුරේ හිටපු සිංහල මිනිස්සුත් දැන් ඇවිල්ලා. භාෂා මුහු වෙන්නේ, එක්වෙන්නේ කොහොමත් නැතුව ඒ තැනුත් විතැන්වෙලා කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ. අවුරුදු 24- 25 ජොබ් එකට ගියාම දෙමළ උගන්වන්න අපි තවමත් හදනවා. ඒක හිල් කූඩෙට වතුර දානවා වගේ වැඩක්. ඔය ප්‍රතිචාරාත්මක ක්‍රියාවලියෙන් කවදාවත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තිරසාරව ක්‍රියාත්මක කරන්න බෑ. ලෙඩේට ප්‍රතිකාරයක් දෙන්නත් බැහැ.
ප්රශ්නය :එහෙනම් ඔබ කියන විදියට ක්‍රියාත්මක කළ යුතු යෝජනා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට තියෙනවද? ඔබආයතනයට චෝදනාවක් එල්ල කළොත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පවතින කාලයක ඇයි ඔබට බැරි වුනේ එහෙම දෙයක්වත් කරන්න කියලා ඔබේ පාර්ශවයට පිළිතුරක් තියෙනවද?
පිළිතුර: ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම රටේ වෙන්නේ දිගින් දිගටම ඒක භාෂික පුරවැසියන් හදලා රාජ්‍ය සේවයට යවනවා. ඒක පිරෙනවා එතන.ඕක නොවෙයි ද්වීභාෂික පුරවැසියෝ බිහිකිරීමයි කරන්න ඕන. අවම වශයෙන් සිංහල- දෙමළ ඒ අය එකිනෙකා මුනගැහිලා සිංහලෙන් කියන දේ දෙමළ අයට තේරෙන්නත් දෙමළෙන් කියන දේ සිංහල අයට තේරුම් ගන්න පුලුවන්නම් ඒක අවම වශයෙන් එහෙම වෙන්නවත් ඕනෑ.ඒ පැත්ත බලලවත් නෑ. මේ වැඩේට පාසලට බහින්න ඕනෑ. ඉංජිනේරුවෝ, නීතිඥයෝ,වෛද්‍යවරු, මාධ්‍යවේදියෝ මේ ඔක්කොමලා බිහිකිරීමට ඉස්කෝල තියෙනවා.නමුත් ද්වීභාෂික පුරවැසියෙක් සමාජයට දීමක් ඉස්කෝලේ ඇතුලේ නැහැ. මේ දේ විෂයනු බද්ධව කළ යුතුයි කියන දේට වැඩිය මේක භාවිතයක් හැටියට වෙන්න ඕනෑ.
ඒක මේ අවුරුද්දේ ඉඳන් හරි පටන් ගත්තොත් පළමු ශ්‍රේණියේ ඇතුලත් වන ළමයගේ ඉඳන් සිංහල ,දෙමළ අනිවාර්ය කළොත් අවුරුදු 13 කට පසුව විභාගය සමත් හරි අසමත් වෙලා හරි එළියට යන්නේ ද්විභාෂික සන්නිවේදකයෙක්. ඒදේ එයා දිනුම්. 01 ශ්‍රේණියේ ඉඳලා වසර දහතුනකට පසු කොච්චර පිරිසක් එළියට එනවද? අපි හිතුවොත් ලක්ෂ පහක් කියලා ද්වීභාෂික උගතුන් ලක්ෂ පහක් සමාජගත වෙනවා. ඒ අය විවිධ රැකියා කරන අය වෙන්න පුළුවන්. ත්‍රී රෝද රථ රියැදුරු රැකියාවේ ඉඳලා, සංචාරක මඟ පෙන්නන්නන් ජනාධිපති දක්වා රාජ්‍ය සේවයට යනකොට එතකොට දැන් පිරෙන්නේ ද්වීභාෂික උගතුන්ගෙන් . එතකොට ත්‍රිරෝද රථ රිදුරුත් ඉංග්‍රීසි, දෙමළ ,සිංහල තුනම කතා කරනවා. සංවර්ධනය සංහිඳියාව තියෙන්නේ එතන. ඉස්කෝලෙට මේ දේ දාන්න ඕන කතා දෙකක් නැහැ. දාන්නේ නැත්තේම ඉස්කෝලෙට.
ඉතින් 2015-2017 කාලවලදි අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක කතා කළා පාසල් ඇතුළේ භාෂාකව හදන්න අවසර දෙන්න කියලා. චක්‍රලේඛයක් නිකුත් කළා 2015 අංක 01 කියලා. ඉතින් පාසල ඇතුලේ සියලු නාමපුරු භාෂා තුනෙන්ම එන විදියට අපි ඒ කවයට වැඩක් දුන්නා නමුත් ඒක කරගන්න හම්බුන් නැහැ. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට පාසල මඟ හැරුණේ නැහැ. මේ වෙනකොට සංකල්ප පත්‍රිකාවකුත් හදලා තියෙනවා. එය අධ්‍යාපන අමාත්‍යවරියට භාරදෙනවා. පාසල තුළ මේක උත්තේජනයක් ඇති කරන්න වැඩපිළිවෙනකට යන්න ඉන්නේ.
එල්.එල් ආර්.සී. කොමිෂන් එකක් පැහැදිලිව කිව්වා මේ රටේ භාෂා ප්රශ්නය විසඳන්න නම් අත්‍යවශ්‍ය වෙන්නේ පාසල් ළමයින් අතරට භාෂාව ගෙනියන්න කියනදේයි. ඒකත් එක්කම අපිත් කිව්වා වහාම භාෂා භාවිතයේ ඉස්කෝලේ ඇතුළට ගෙනියන්න. ඔක්කොම විස්තර පැහැදිලි කරලා තියෙනවා. මේ ප්රශ්නය නොදැක්කා නොවෙයි.භාෂා කොමිසම විතරක් නොවෙයි මේක ඊට වඩා අය අත්දැක්කා. නමුත් ඒ බීජයවත් පැල කරන්නේනෑ. ඉතින් යන්තම් අපි පැල කරන්න හදනවා. කරුණාකර මේ දේ කරන්න කියලා පැහැදිලි කරලා තියෙනවා. මේ දේ කළොත් මේ අවුරුද්දේ පටන් ගත්තොත් තව අවුරුදු දොළහකින් ඒ ප්රශ්නය විසඳීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. තව අවුරුදු 25කින් තිරසාර විදියට විසඳීම තහවුරු වෙනවා. මේ සම්බන්ධයෙන් අපේ නිර්දේශත් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න මේවෙන කොට සකසලා තියෙන්නේ.
ප්රශ්නය : භාෂා අයිතිය පිළිබඳව මෙම ගැටලු විසදා ගැනීම සඳහා කොපමණ කාලයක් ගතවෙන්න පුළුවන්ද?
පිළිතුර: කුමන හදිස්සිය ප්‍රමුඛතාව තිබ්බත් කඩුමුඩියේ හදන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි. ක්ෂණික විසදුම් එහෙම හිතුවොත් කිසිවක් සිද්ධ වෙන්නේ නෑ. මේක ක්‍රමවේදයක් තුළ විසඳන්න ඕන දෙයක්. එකපාරටම ලැබෙන දෙයක්නම් නොවෙයි. හෙමින් පටන් අරන් යන්න ඕනෑ. හරියට පුංචි පැලයක් හිටවන්න තීරණය කරනවා වගේ. ඒ පැලයට පස හොයනවා. පැලය හිටවලා වතුර දාලා විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරලා අවුරුදු ගානක් ගොඩනගලා ආරක්ෂා කරාම තමයි එක තැනකදී මල් හටගෙන ඵලදාව එන්නේ . ඊට පස්සේ දිගටම ඵලදානවා. දැන් තියෙන ප්රශ්නය අන්න ඒ පැලය අතටවත් අරන් නැති එකයි. තවම පැලයක් හිටවනවා කියලා හිතලා විතරයි. කොමිසම හිතලා තියෙන්නේ.පාලකයෝ තවම හිතලද දන්නේ නැහැ. ප්රශ්නය දැන් වන වෙලා තියෙන්නේ. බෙහෙත්වල විදියටනේ තුවාලේ හොඳ වෙන්නේ.

