අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත: අරමුණු, බලපෑම සහ භාවිතය කුමක් ද ?
- Editor
- April 12, 2025
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
සොරාගත් දේපොළ පවරා ගැනීම සඳහා පනතක අවශ්‍යතාවය කාලයක් තිස්සේ මෙරට තුළ සංවාදයට ලක් වූවකි. ඒ වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් පසුගිය ආණ්ඩු විසින් ඉටු කර තිබූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබන ලද (2023) ගිවිසුවේ කොන්දේසි අතර ද මේ පනත ගැන අවධානය යොමු කර තිබුණේය.
මෙම පසුබිම තුළ වත්මන් රජයේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පසුගිය මාර්තු මස 01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත‘ අප්‍රේල් මස 08 වැනි දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබූ අතර එය ඒකමතිකව සම්මත වුවේය.
මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වූ පසු පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ “මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක්,” බවයි.
මෙම පනත් කෙටුම්පත වසර නවයක් තිස්සේ සාකච්ඡාවට ලක් වෙමින් පැවති නමුත්, රට බංකොලොත් කළ දේශපාලනඥයන් ලුහුබැඳීමේ පොරොන්දුවක් ඉටු කිරීම සඳහා නව ආණ්ඩුව එය වේගවත් කර ඇති බව ඔහු පැවසුවේ ය.
අපරාධමය වරදකට වරදකරු නොවී වුව ද, අයථා ලෙස උපයාගත් ධනය අත්පත් කර ගැනීමට සහ රාජසන්තක කිරීමට නව පනත ඉඩ සලසන අතර, අතීතයේ රැස් කරගත් පැහැදිලි කළ නොහැකි වත්කම් සඳහා එය යෙදිය හැකි බව ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව‘ කාලීන සමාජ – දේශපාලන සංවාද මාලාවේ 221 වැනි සංවාදයේ දී (පසුගිය ඉරිදා) ‘සොරාගත් දේපොළ පවරා ගැනීම සඳහා ගෙන ඒමට නියමිත නව පනත‘ යන තේමාව යටතේ මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පුළුල් විද්වත් සංවාදයක් කළේය. මෙම සංවාදයේ සම්පත්දායකයින් ලෙස නීතිඥ හෂානි පතිරණ සහ මහාචාර්ය රොහාන් සමරජීව සහභාගී වූහ. හරීන්ද්‍ර දසනායක විසින් සංවාදය මෙහෙයවනු ලැබූ අතර මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
සංවාදයට ප්‍රවේශයක් ගනිමින් හරීන්ද්‍ර පැවසුවේ, සොරාගත් දේපොළ යළි රජයට පවරා ගැනීම සම්බන්ධ පනතක අවශ්‍යතාව සම්බන්ධයෙන් දශකයකට ආසන්න කාලයක් පුරා පුළුල් සංවාදයක් පැවති බවයි. එය ආකර්ෂණීය සංවාදයක් වූ බව කී හරීන්ද්‍ර මැතිවරණ වේදිකාවේ දී මෙය ප්‍රබල ‘මැතිවරණ සටන් පාඨයක්‘ වූ බව ද කීවේය.
“ පසුගිය වසරේදී ඉතා වැදගත් පනත් කිහිපයක් සම්මත වූ අතර අල්ලස් පනත ඇතුළු තවත් වැදගත් පනත් කිහිපයක් සංශෝධනය වුණා. මේ අවස්ථාවේදී විවිධ පාර්ශ්ව විසින් වැදගත් කරුණක් පෙන්වා දුන්නේ. ඔවුන් මෙහිදී ප්‍රශ්න කළේ, මේ සියලු පනත් වැදගත් වුවත් ‘සොරාගත් දේපොළ යළි රජයට පවරා ගන්නේ කෙසේද ?“ යන්නයි. ඒ අවස්ථාවේ ආණ්ඩුව අදාළ තර්කය පිළිගත් අතර, ඒ වෙනුවෙන් නව පනතක් හඳුන්වා දෙන බව ද ප්‍රකාශ කළා. නමුත් ඔවුන්ට තම ආණ්ඩු කාලය තුළ අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වුණා“ හරීන්ද්‍ර වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මේක බොහොම පරිස්සමෙන් කෙටුම්පත් කළ පනතක් – මහාචාර්ය රොහාන් සමරජීව
සොරාගත් දේපොළ රජයට යළි පවරා ගැනීම සම්බන්ධ නීතියේ ප්‍රායෝගික උදාහරණ රැසක් ජාත්‍යන්තර තලයේ දැකගත හැකිය. ඒ අතර ප්‍රධාන උදාහරණයක් වන්නේ පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ෆර්ඩිනන්ඩ් එමානුවෙල් එඩ්රලින් මාකෝස් (1917-1989) ජනාධිපති ධූරය දැරූ සමයේ (1965-1986) ඔහු විසින් අනීතිකව අත්පත් කරගත් දේපොළ යළි රජයට පවරා ගැනීම වෙනුවෙන් පැවැති දීර්ඝ හා සංකීර්ණ නඩු විභාගයයි.
සොරාගත් දේපොළ යළි පවරා ගැනීමේ පනත සම්බන්ධ සිය ස්ථාවරය පැහැදිලි කරමින් මහාචාර්ය රොහාන් සමරජීව පැවසුවේ මෙවැනි පනතක් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට සුදුසුම ස්ථානය පිලිපීනය බවයි. පිලිපීන අත්දැකීම් සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය සමරජීව මෙසේ ද පෙන්වා දුන්නේය.
කාලය ගතවන දීර්ඝ හා සංකීර්ණ ක්‍රියාවලියක්
“ජනාධිපති මාකෝස්ට එරෙහිව නඩු ගණනාවක් තිබුණා. මේ අතර මම උදාහරණයට ගන්න මේ නඩුව 1986 දී ස්විස්ටර්ලන්තයේ දී විභාගයට ගැනුණා. මේ නඩුව විභාගයට ගන්නේ ඔහු රටින් පළා ගොස් ටික කාලයකට පස්සේ. මෙම නඩු විභාගය අවසානයේ දී විනිසුරුවරුන් තීරණය කරනවා, මාකෝස් යුවළ විසින් උපයා ගත් ඇමෙරිකානු ඩොලර් 683ක් වන මේ දේපොළ ඔවුන්ට අයිති දේපොළ නොවෙයි කියලා. ඒත් විනිසුරු තම තීන්දුව ප්‍රකාශ කරන ගමන් යම් යම් කොන්දේසි දානවා. ඔවුන් කියනවා, පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මේ අනීතික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කළ බවට පිලිපීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දිය යුතුයි, ඊට පසුව අපි (ස්විස්ටර්ලන්ත රජය) මේ වත්කම් නිදහස් කරන්නේ කියලා. විවිධ හේතු මත මේ නඩු විභාගය කාලයක් තිස්සේ ඇදී ගියා. නමුත් 1998 දී ඔවුන් මේ මුදල් ‘භාරකාර ගිනුමකට‘ දානවා. එහි විශේෂත්වය තමයි මේ මුදල් පිලිපීන ආණ්ඩුවට ගන්නත් බැහැ, වෙනත් පාර්ශ්වයකට ගන්නත් බැහැ. 2003 දී පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීන්දුව දුන් පසු මේ මුදල නිදහස් කිරීමට පියවර ගන්නවා. මෙහිදී අපට කරුණු කිහිපයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එකක් තමයි අදාළ රටේ (මෙහිදී පිලිපීනයේ) නඩු කටයුතු සම්පූර්ණයෙන් අවසන් විය යුතුයි. දෙවැනි කරුණ මේ මුදල් වලට යන්න තැනක් තිබිය යුතුයි“ මහාචාර්ය රොහාන් සමරජීව පැවසුවේය.
සොරාගත් මුදල් යළ රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ද උදාහරණ ගණනාවක් පවතින බව පෙන්වා දුන් මහාචාර්ය සමරජීව ඒ අතර ප්‍රකට උදාහරණයක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයෙකුව සිටි ‘කපිල චන්ද්‍රසේන‘ මහතාට සහ ඔහුගේ භාර්යාවට එරෙහිව පවරා තිබූ නඩුව ගත හැකි බව කීවේය.
“මේ නඩුව සම්බන්ධයෙන් සැකපිට ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියත් මේ වන විට ඇපමත මුදා හැර තිබෙනවා“ මහාචාර්ය සමරජීව හෙළි කළේය.
“ලංකාව තුළ තවම මේ නඩුව අහලවත් නැහැ. මේ නඩුවට මුල වුණේ එක්සත් ජනපද ඩොලර් මිලියන 16ක අල්ලසක් එයාර්බස් සමාගමෙන් ලබා ගැනීමයි. මෙහි ඇති වැදගත් දෙය තමයි, තමන් මේ අල්ලස දුන් බව එයාර්බස් සමාගම බ්‍රිතාන්‍ය අධිකරණයක් හමුවේ පිළිගත්තා. ඒ අනුව මෙතන කිසිම මතභේදයක් නැහැ“
මෙම සිදුවීම සම්බන්ධ දීර්ඝ පැහැදිලි කිරීමක් කළ මහාචාර්ය රොහාන් සමරජීව කපිල චන්ද්‍රසේන හා ඔහුගේ භාර්යාවට එරෙහිව පවරා ඇති මෙම නඩුව ද පිලිපීනයේ හිටපු ජනාධිපති මාර්කෝස් සහ ඔහුගේ භාර්යාවට එරෙහිව පවරා ඇති නඩුවට සමාන බව පැහැදිලි කළේය.
මෙම උදාහරණ දෙස බලන විට පැහැදිලි වන්නේ, සොරා ගත් දේපොළ යළි රජයට පවරා ගැනීම සම්බන්ධ අධිකරණමය ක්‍රියාවලිය දීර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක් බවයි.
“ පිලිපීන රජය 1986 දී ආරම්භ කළ නඩුවේ ප්‍රතිඵල ලැබෙන්නේ 2003 දී, අවුරුදු 17කට පස්සේ. කපිල චන්ද්‍රසේන සම්බන්ධ අල්ලස් නඩුවට වසර පහක් ගත වුණත් තාම නඩුව අහලවත් නැහැ“ මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.
අලුත් පනතේ විධිවිධාන මොනවාද ?
ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කරමින් මහාචාර්ය රොහාන් සමරජීව මෙසේ ද පෙන්වා දුන්නේය.
‘මේ පනතේ තිබෙනවා මූලික කොන්දේසියක් හැටියට අපරාධමය වරදක් විය යුතුයි, කියන වගන්තිය මේ පනත් කෙටුම්පතේ නැහැ. ඒ වෙනුවට වගන්තියක් තිබෙනවා, (34 වැනි වගන්තිය) විවිධ හේතු මත යම් පුද්ගලයෙක් සතුව මුදල් හෝ වත්කම් තිබෙනවා නම්, ඒවා උපයා ගත් ආකාරය පැහැදිලි කළ නොහැකි නම්, ඒවා ‘සාධාරණව උපයා ගත් ඒවා බව‘ ඔප්පු කිරීමේ භාරය තිබෙන්නේ අදාළ පුද්ගලයාට කියලා. ඔහු විසින් එකී භාරය ඔප්පු කළේ නැතිනම් එම වත්කම් අධිකරණ නියෝගයක් මඟින් මෙවැනි වත්කම් කළමනාකරණය හෝ පරිපාලනය කිරීම වෙනුවෙන් ස්ථාපිත කිරීමට යෝජිත යම් අධිකාරියකට පැවරීමේ බලය ලබාදී තිබෙනවා. මෙය ඉතා වැදගත් තත්ත්වයක්. එ් කියන්නේ අධිකරණමය ක්‍රියාවලියක් හරහා අවසන් තීන්දුවකට යාමට පෙර අදාළ වත්කම් විසිරී යාම වළක්වා ගෙන, යම්කිසි ආකාරයකින් ‘හිරකර‘ ගැනීමේ හැකියාව මෙම වගන්තිය මඟින් ලැබී තිබෙනවා. එසේම මෙහි 03 වැනි වගන්තිය ඉතා වැදගත්. ඒ අනුව ‘අතීතයේ‘ සිදු වුණ දේකට පවා මේ පනත අනුව කටයුතු කිරීමට හැකියාව තිබෙනවා. නමුත් මෙහි ඇති වැදගත් කරුණ තමයි ‘එම ක්‍රියාව එදා (අතීත) පවා අනීතික විය යුතුයි. මෙහිදී අදාළ සැකකරුවන් ‘වැරදිකරුවන්‘ කිරීමට අසීරු නොවුණත් අතීතයට බලපාන නීතියක් නිසා වත්කම් පවරා ගැනීමේ යම් යම් ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්“
මෙම පනතේ 3.බී උප වගන්තිය උපුටා දැක්වූ මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ ලංකාවේ පුරවැසියෙන් රටින් පිටතදී හෝ අදාළ වරදක් කරන්නේ නම් පනත අනුව වැරදිකරුවෙකු කළ හැකි බවයි.
අභියෝග සහ අවධානය
“37 වැනි වගන්තිය වැදගත් දෙයක් ලෙස මම දකිනවා. මම මේක මතුකරන්නේ යම්කිසිවෙක් මේ පනත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් මේ වගන්තිය වැදගත් වන නිසයි. මෙතැන තිබෙනවා, ‘සාක්ෂි භාර ගැනීම පිළිබඳ විධිවිධාන. ඒ අනුව යම් යම් කොන්දේසි ගණනාවක් දීලා ‘සාක්ෂි ආඥාපනතේ තිබෙන දැඩි ප්‍රතිපාදනවලට පිටින් යම් ලිහිල් කිරීම් කර තිබෙනවා. මේ අනුව අපට පෙනී යන්නේ, මේ පනත බොහොම පරිස්සමින් කෙටුම්පත් කර ඇති බවයි. අවසාන වශයෙන් මම කියන්නේ මේ පනත හදලා තිබෙන්නේ ම මම මුලින් දීපු උදාහරණ (මාකෝස් හා කපිල චන්ද්‍රසේන) වලට අනුගත වෙන ආකාරයට. ඒකට හේතුව තමයි බොහෝ දෙනකුගේ මතයක් තිබෙනවා සොරා ගත් මේ මුදල් හා වත්කම් සංසරණය වෙන්නේ ලංකාව තුළ නොවන බවට. ඒ වගේම වැදගත්ම කොන්දේසිය, 40 වැනි වගන්තිය යටතේ අවධාරණය කරලා තිබෙන්නේ, අපරාධමය වරදක් බව ඔප්පු නො කර වුව ද මේ වත්කම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පිලිපීන ආණ්ඩුව මුහුණ දුන් අභියෝගයටත් මේ පනත යටතේ විසඳුම් ලබාදීලා තිබෙනවා, අදාළ වත්කම් පවරා ගත් පසු ඒවා කළමනාකරණය හෝ පරිපාලනය කිරීම වෙනුවෙන් අධිකාරියක් ස්ථාපිත කිරීමේ ප්‍රතිපාදන මෙම පනත තුළ තිබෙනවා“ මහාචාර්ය රොහාන් සමරජීව පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන සම්බන්ධයෙන් තව දුරටත් පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ ය.
මහාචාර්ය සමරජීව මෙම පනත් කෙටුම්පතේ තමන් දකින දුර්වලතා කිහිපයක් ද මෙසේ පෙන්වා දුන්නේය, “මම හිතන්නේ නැහැ මේක භයානක දුර්වලතාවක් කියලා, මම දකින ආකාරයට දූෂණ විරෝධී කොමිෂම සහ මෙම පනත් කෙටුම්පත අනුව ස්ථාපිත කරන යාන්ත්‍රණය එකට වැඩ කළ යුතුයි. අපිට තිබෙන අත්දැකීම අනුව යම් ආයතන දෙකක් එකට වැඩකළ යුතු අවස්ථාවක සිදුවෙන්නේ පවරා දුන් වැඩේ නොකර ‘ඇනකොටා‘ ගැනීමයි. මේ ගැනත් ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි“

මේ පනත දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් යොදා ගනියි කියන චෝදනාවට පිළිතුරු පනත තුළම තිබෙනවා – නීතිඥ හෂානී පතිරණ
2023 වසරේදී ‘දූෂණ විරෝධී පනත‘ හඳුන්වා දුන් අතර (රාජ්‍ය සේවකයින් වෙනුවෙන්) එම පනතේ ප්‍රතිපාදන අනුව ද යම් දේපොළක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි නම්, එය අල්ලසකින් හෝ දූෂණයකින් උපයා ගත් දේපොළක් ලෙස සලකා අදාළ නිලධාරියාට එරෙහිව නඩු පැවරීමට හැකිය. මෙම පනත අනුව ද අදාළ දේපොළ උපයා ගත් ආකාරය චූදිතයා විසින් ඔප්පු කර පෙන්විය යුතුය.
ඉහත පසුබිම තුළ වත්මන් ‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත‘ සම්බන්ධ සිය ස්ථාවරය පැහැදිලි කරමින් නීතිඥ හෂානී පතිරණ මෙසේද පැහැදිලි කළාය.
පනත් කිහිපයක් තිබිලත් නව පනතක් ඇයි ?
“මේ ආකාරයේ දූෂණ විරෝධී පනතක් තිබිලත් ඇයි අපි තවත් පනතක් ගේන්නේ. ඒකට හේතුව තමයි මෙවැනි වත්කම් උපයා ගැනීමට අල්ලස් හෝ දූෂණයක්ම සිදුවිය යුතු නැහැ. වෙනත් අපරාධවලිනුත් මිනිස්සුන්ට වත්කම් උපයා ගන්න පුළුවන්. මේ පනත් කෙටුම්පතේ ආරම්භයේ දී මෙසේ සඳහන් කරලා තිබෙනවා. ‘අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීමට ද, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍යායතන සහයෝගීතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අදාෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි“
මේ පනතට දීර්ඝ පූර්විකාවක් තිබෙනවා. එහි අන්තර්ගතය සරලව පැහැදිලි කළහොත්, ‘යම් පනතක තිබෙන ඌණපූර්ණය සම්පූර්ණ කර ගැනීමේ අරමුණින් මේ පනත ගෙන එනවා‘ කියලා සඳහන් කළ හැකියි. ඒ කියන්නේ යම් යම් පනත්වල තිබෙන ඌණපූර්ණය සම්පූර්ණ කර ගැනීමේ අරමුණින් තමයි මෙම පනත ගෙන එන්නේ. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මුදල් විශුද්ධිකරණ පනත ආදී පනත්වල තිබෙන දුර්වලතා, ඌණපූර්ණය පූර්ණය කර ගැනීම තමයි මෙම පනතේ අරමුණ වන්නේ. මේ පනතට අනුව යම්කිසි අපරාධමය ක්‍රියාවකින් යම් වත්කමක් උපයා ගත්තා නම්, ඒ වත්කමට අදාළ හානිය යළි පියවා ගත යුතුයි. ඒ කියන්නේ අදාළ වත්කම රජයට පවරා ගත යුතුයි“
‘මෙවැනි පනතක් පැහැදිලිව ක්‍රියාත්මක වෙයිද ? මෙවැනි පනතකින් සිදුවිය හැකි බලපෑම කුමක් ද ? “ ආදි වශයෙන් සමාජය තුළ කතිකාවක්, සැකයක් නිර්මාණය විය හැකි බව නීතිඥ හෂානී පතිරණ පෙන්වා දුන්නාය.
‘වත්කම් බැරකම් පනත, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත‘ ආදි උදාහරණ කිහිපයක් පෙන්වා දුන් නීතිඥවරිය වත්මන් පනත සම්බන්ධයෙන් ද ජනතාව සවිඥානික විය යුතු බව අවධාරණය කළාය.
නෛතික ප්‍රතිපාදන
යෝජිත පනත යටත යටත්ව කටයුතු කළ යුතු ආයතන ගණනාවකි. ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධයකින් උප්පාදිත දේ පිළිබඳ විමර්ෂණ කොට්ඨාශය, මෙම පනත යටතේ රජයට පවරා ගන්නා වත්කම් කළමනාකරණය කිරීම වෙනුවෙන් ස්ථාපිත කිරීමට යෝජිත ආයතනය සහ අපරාධයක වින්දිතයින් හානිපූර්ණය කිරීමේ අරමුදලක් ද යෝජිත පනත අනුව ස්ථාපිත වේ.
“මේ පනත අනුව කොළඹ මහාධිකරණයට විශේෂ බලතල පැවරෙනවා“ නීතිඥ හෂානී වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
මෙම පනත අනුව ආයතන ගණනාවක් එක්ව කටයුතු කිරීමට සිදුවීම (සම්බන්ධීකරණය) ගැටලුකාරී වන බව තමා ද පිළිගන්නා බව කී නීතිඥ හෂානී පතිරණ පනත් කෙටුම්පතේ 43 වැනි වගන්තියෙන් අල්ලස් කොමිෂමට ද, 44 වැනි වගන්තියෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ද, 45 වැනි වගන්තියෙන් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශයට (PCID)ද පවරා දී ඇති බලතල පිළිබඳව සඳහන් බව පෙන්වා දුන්නාය.
මෙම පනත ක්‍රියාත්මක වීමේදී ද එහි ක්‍රියාකාරීත්වයට එරෙහිව විවිධ චෝදනා එල්ල විය හැකි බව පෙන්වා දුන් නීතිඥවරිය මේ සම්බන්ධයෙන් ද අදාළ පාර්ශ්වවල අවධානය යොමුවිය යුතු බව අවධාරණය කළාය.
මෙම පනතේ කාර්යයන් සඳහා පොලිසියේ නම් කරන ලද නිලධාරියෙකු සහ පොලිසියේ නියෝජ්‍ය නම් කරන ලද නිලධාරියෙකු සිටිය යුතු බවත් නීතිඥ හෂානී පැහැදිලි කළාය.
මෙහිදී ඇය පෙන්වා දුන්නේ පනත් කෙටුම්පතේ 49 සිට 51 වැනි වගන්තිය දක්වා නම් කරන ලද නිලධරයන්ගේ (පොලිසියේ නම් කරන ලද නිලධාරියා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නම් කරන ලද නිලධරයන්) කාර්යයන්, කර්තව්‍යයන් සහ බලතල ගැන සඳහන්ව තිබෙන බවයි.
“සාමාන්‍යයෙන් බලන කොට ඉහළම නිලධාරීන් සම්බන්ධීකරණ කාර්යයන් සඳහා මැදිහත් විය යුතු ලෙස‘යි මෙම පනත කෙටුම්පත් කර තිබෙන්නේ. පොලිසියේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශයට (PCID) අයත් බලතල ගැන පනතේ පැහැදිලිව දක්වා තිබෙනවා. නම් කරන නිලධරයා තමයි මේ කොට්ඨාශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා බවට පත්වෙන්නේ. මේක නව කොට්ඨාශයක් ලෙස ස්ථාපිත වෙනවා. අල්ලස් කොමිෂමේ නම් කරන ලද නිලධරයෙක් ඉන්නවා, ඒ වගේම පනත් කෙටුම්පතේ 50 වැනි වගන්තියට අනුව ‘විමර්ශන නිලධාරීන්‘ සිටින අතර 51 වැනි වගන්තියේ ඔවුන්ගේ කාර්යයන් සහ බලතල දක්වා තිබෙනවා. මේ විමර්ශන නිලධාරීන්ට‘ සුවිශේෂී‘ බලතල ප්‍රමාණයක් තිබෙනවා. එහි 51 (3) වගන්තියේ තිබෙනවා, දූෂණ විරෝධී පනත යටතේ වැරදි සංස්ථාපනය වන්නා වූ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ වන යම් විමර්ශනයක්, එවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් පොලිසියේ විමර්ශන විෂය පථයට අයත් වන්නේ නම් මිස, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් නිලධරයන් විසින් පමණක් සිදු කරනු ලැබිය යුතුය, කියලා. ඒ වගේම, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන පැවැත්වීම, තහනම් කිරීම සහ තහනමට ගැනීමට අදාළ ප්‍රතිපාදන මෙම පනතේ 52 (1) වගන්තියේ දීර්ඝ ලෙස දක්වා තිබෙනවා. එසේම 53 වැනි වගන්තියේ, මේ පනත යටතේ විමර්ශනයක් පවත්වන ආකාරයත්, 54 වැනි වගන්තියේ විමර්ශන නිලධාරියෙකුගේ විමර්ශන බලතලත්, 55 වැනි වගන්තියේ, නම් කරන ලද නිලධරයෙකුගේ අනුමතය මත විමර්ශන නිලධරයෙකුගේ විමර්ශන බලතලත් දක්වා තිබෙන බව“ නීතිඥ හෂනී පතිරණ සඳහන් කළාය.
විමර්ශන ආරම්භ කළ හැකි ආකාරය
ඕනෑම අපරාධයක ආරම්භය වන්නේ ඒ හා සම්බන්ධ ‘මුල් තොරතුර‘ය. එය නඩුවක් ඉදිරියට ගෙන යාමේ ප්රබලතම සාක්ෂිය ද වේ.
“මේ පනත දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් යොදා ගනියි කියන චෝදනාවට හොඳම පිළිතුර තමයි මේ ‘මුල් තොරතුර‘ කියන කාරණය. නමුත් මේ පනත යටතේ තත්ත්වය වෙනස් විය හැකියි. මහේස්ත්‍රාත්වරයෙක්ට වගේම විමර්ශන නිලධාරියෙකුටත් මේ මත කටයුතු කළ හැකියි. ඒ අනුව පනතේ 58 වැනි වගන්තිය තොරතුරු ලබා ගැනීමේ බලතල ගැන සඳහන් කරනවා. එහි කියවෙන් 56 වැනි වගන්තියට යටතේව විමර්ශන නිලධාරියෙකුට බංකු ගිනුම්, තැන්පතු, ණය, වෙනත් සමාන බැංකු සාධන පත්‍ර සහ මාර්ගගත බැංකු පහසුකම් භාවිත කිරීමට අදාළ තොරතුරු ඇතුළු බැංකු සම්බන්ධතාවයන්ට අදාළ තොරතුරු ලබා ගත හැකියි. මීට අමතරව තවත් අති විශාල තොරතුරු ප්‍රමාණයක් (අ සිට ණ දක්වා) ලබා ගැනීමට මෙම පනත අනුව විමර්ශන නිලධාරීන්ට අවස්ථාව තිබෙන“ බව ද නීතිඥ හෂානී පතිරණ පෙන්වා දුන්නාය.
සටහන – තුෂාල් විතානගේ

