ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මුහුණ දෙන ප්‍රමුඛතම අභියෝගය තමයි ණය ගෙවීම – සාමදානී කිරිවන්දෙණිය
ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ අතට ලැබෙන්නේ ‘ප්‍රශ්න වැඩි – උත්තර අඩු‘ ප්‍රශ්න පත්‍රයක් බව, සණස ජාත්‍යන්තර සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා සාමදානී කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කළාය.
ශ්‍රී ලංකාව සිය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණය අභියස සිටී. 1982 දී පළමු ජනාධිපතිවරණය පැවැත් වූ දින සිට 1989, 1994, 1999, 2005, 2010, 2015 සහ 2019 ආදි වශයෙන් අවස්ථා 08කදී ජනාධිපතිවරණ පවත්වා ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම එම යුගයට සාපේක්ෂව රට මුහුණ දෙමින් සිටින අභියෝගය එකී ජනාධිපතිවරණයේදී තීරණාත්මක සටන් පාඨය බවට පත්විය. ඒ අතර අඛණ්ඩව පැවැති සටන් පාඨයක් වූයේ නම් ඒ ‘විධායක ජනාධිපති ක්‍රමය‘ අහෝසි කිරීමය. 1994 ජනාධිපතිවරණයේදී එය ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත් වූ අතර එතැන් සිට වත්මන් ජනාධිපතිවරණය දක්වා ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම‘ වැදගත් සටන් පාඨයක් බවට පත්විය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා යැයි සැලකෙන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයින් තිදෙනාගෙන් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය මගින් ප්‍රතිඥා දී ඇත.
මේ අතර එක් එක් අපේක්ෂකයින් තම දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍රය අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අභියෝගවලට සිය විසඳුම් හා යෝජනා මේ වන විටත් ඉදිරිපත් කර ඇත. එහෙත් සමස්තයක් ලෙස සමස්ත ජාතියම පොදුවේ මුහුණ දෙන ප්‍රමුඛ අභියෝගය ලෙස ‘ආර්ථික අර්බුදය‘ සැලකෙන අතර, තවත් පිරිසකගේ අදහස වන්නේ මෙකී සමස්ත අර්බුදයට තිඹිරිගෙය වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමකින් තොරව ආර්ථික අර්බුදය හෝ ඒ හා සමානව අවධානයට ලක්ව ඇති නාස්තිය හා දූෂණය පිටු දැකීම, ආර්ථික සංවර්ධනය, අපයන ආර්ථිකයක් බිහිකිරීම හා සෞඛ්‍ය, අධ්‍යාපනය ආදි පොදු සේවා දියුණු කිරීම කළ නොහැකි බවය.
මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව‘ විද්වත් සංවාද මාලාවේ 195 වැනි සංවාදය පසුගිය දා ‘ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අභියෝග සහ මෙවර ජනාධිපතිවරණය‘ යන තේමාව යටතේ පැවැතිවුණි. ඒ සඳහා සම්පත් දායකයින් ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා, සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රදීප් උළුවඩුගේ මහතා සහ සණස ජාත්‍යන්තර සමාගමේ කළමනාකර අධ්‍යක්ෂිකා සාමදානී කිරිවන්දෙණිය මහත්මිය සහභාගී වූහ. එම සංවාදයේදී සණස ජාත්‍යන්තර සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා සාමදානී කිරිවන්දෙණිය මහත්මිය දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ අතට ලැබෙන්නේ ‘ප්‍රශ්න වැඩි – උත්තර අඩු‘ ප්‍රශ්න පත්‍රයක් බව, සණස ජාත්‍යන්තර සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා සාමදානී කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කළාය.

ජනාධිපති අපේක්ෂකයින් විවිධාකාරයෙන්, විවිධ වචන භාවිත කරමින් තම ඉදිරි සැලසුම් ජනතාව හමුවේ තබා ඇති නමුත් ඔවුන්ට මගහැර යා නොහැකි ප්‍රශ්න කිහිපයක් ද තිබෙන බව කිරිවන්දෙණිය මහත්මිය පෙන්වා දුන්නාය. ණය, ජාතික සංහිඳියාව, දේශපාලන ස්ථාවරභාවය සහ විදේශ ප්‍රතිපත්තිය ඒ අතර ප්‍රමුඛ බවත් ඇය කීවාය.
රට මුහුණ දෙමින් සිටින අභියෝග සහ මෙවර ජනපතිවරණය ගැන සිය අදහස් පැහැදිලි කරමින් සාමදානී කිරිවන්දෙණිය මහත්මිය මෙසේ ද කරුණු පැහැදිලි කළාය.
“ ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මුහුණ දෙන ප්‍රමුඛතම අභියෝගය තමයි ණය ගෙවීම. මේ ප්‍රශ්නය උද්ගත වන විටම ‘මේ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද ?‘ යන ප්‍රශ්නය එනවා. ඒකට තිබෙන ප්‍රධාන විසඳුම තමයි ‘බදු‘ ආදායම වර්ධනය කර ගැනීම. ඊට පස්සේ ජාතික ආදායම, නිෂ්පාදනය වර්ධනය කර ගැනීම කරන්නේ කොහොමද ? කියන ප්‍රශ්නය එනවා. ඒත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නොවෙයි අපිත් දන්නා කියන ආකාරයට, බදු වශයෙන් විශාල මුදලක් ඒකරාශී කර ගන්නා අතරේදී ආණ්ඩුව විශාල වශයෙන් වියදම් කරනවා. අපේ කියමනක් තියෙනවා ‘වත්කමේ හැටියට පිංකම‘ කියලා. ආණ්ඩුව රුපියල් සීයක් වියදම් කළ යුතු අවස්ථාවක රුපියල් දෙසීයක් වියදම් කළත් ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ ඉතා අඩුවෙන්. මේ තත්ත්වය තුළ රජයේ වියදම් අඩුකර ගැනීමට ප්‍රමුඛත්වය දෙන්න සිද්ධ වෙනවා. ඒ අනුව අනවශ්‍ය වියදම් පාලනය කරන, දූෂණය හා අක්‍රමිකතා පිටු දකින, වඩාත් කාර්යක්ෂම පාලනයක් ස්ථාපිත කිරීම අනාගත ජනාධිපතිවරයා හමුවේ පවතින ප්‍රබල අභියෝගයක් ලෙස මම දකිනවා“

මෙහිදී බදු අදායම සම්බන්ධයෙන් ජනපති අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති කරුණු ගැන සිය ස්ථාවර පැහැදිලි කළ සාමදානී කිරිවන්දෙණිය මහත්මිය පෙන්වා දුන්නේ, ඍජු බදු අඩු කිරීම හෝ ඒ සඳහා සහන ලබාදීම ගැන ජනපති අපේක්ෂකයින් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. නමුත් ජාතික ආර්ථිකයෙන් විශාල කොටසකට හිමිකම් කියන ප්‍රමුඛ සමාගම් කිහිපයක් ඇති බවත්, එම සමාගම් වලින් බදු ගෙවන්නේ කී දෙනකුද ? යන්න ප්‍රශ්නකාරී බවත් ඇය පෙන්වා දුන්නාය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඇය මෙසේ ද පෙන්වා දුන්නාය, ‘පොදු ජනතාව බදු ගෙවිය යුතුය යන මතයේ පමණක් සිට කටයුතු නොකර, විශාල වශයෙන් ආදායම් ලබන නමුත් ප්‍රමාණවත් ලෙස බදු නොගෙවා හෝ විවිධ හේතු ඉදිරිපත් කරමින් බදු දැලෙන් රිංගා යන කණ්ඩායම් ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය වන්නේ දූෂණය නැති හෝ දූෂණය අඩු රාජ්‍ය පාලනයක්. නමුත් පසුගිය කාලය පුර විවිධ අණපනත් ගෙනත්, විවිධ යාන්ත්‍රණ, කොමිෂන් සභා නිර්මාණය කළත් අපිට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න නොහැකි වුණා. ඒ නිසා ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට මෙම යාන්ත්‍රණය තුළ වෙනසක් කිරීමට විශාල වෙහෙසක් ගන්න සිද්ධ වෙයි“
පවතින ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යාමට නම් ජනාධිපතිවරණයක් හෝ නව ජනාධිපතිවරයෙක් අවශ්‍ය නොවන බව කී කිරිවන්දෙණිය මහත්මිය, අනවශ්‍ය වියදම් පාලනය කරන, දූෂණයෙන් හා අක්‍රමිකතාවලින් තොර, ජනතාවට වගකියන හා ජනතාවට වගවීමක් ඇති පාලන ක්‍රමයක් ජනතාවගේ අපේක්ෂාව බවත් පෙන්වා දුන්නාය.
මෙම සියලු අභියෝග හමුවේ ‘රටේ වත්කම්‘ වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් කිරිවන්දෙණිය මහත්මිය, පසුගිය කාලය තුළ බලයට පත් වූ සියලුම ආණ්ඩු ‘විදේශ ආයෝජන‘ ගැන ප්‍රමුඛ අවධානය යොමු කළ බවත් කීවාය. විදේශ ආයෝජන අත්‍යවශ්‍ය නමුත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ‘ජාතික තිරසාර සැලසුමක්‘ අනුව කටයුතු කළ යුතු බවත් අවධාරණය කළාය.

