ඉහළ තනතුරුවලට කරන පත්කිරීම් ගැන පූර්ව සැලසුම් තිබුණා නම් මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වන්නේ නැහැ – අසේල ඉද්දවෙල

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ යම්කිසි ආකාරයක අන්තර්කාලීන තත්ත්වයකය. එය තවත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් කාලයක් බලයේ සිටි ආණ්ඩුව පරාජයට පත්වී මෙතෙක් කාලයක් කිසිම අවස්ථාවක ආණ්ඩු නොකළ පක්ෂයකින් නව ජනාධිපතිවරයෙක් පත්ව ඇති අතර එම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ තිදෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩයක් රාජ්‍ය පාලනය කරන අතර, ඊළඟ පාර්ලිමේන්තුව රැස්ව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගන්නා තෙක් රාජ්‍ය පාලනයේ වගකීම මෙම කුඩා කැබිනට් මණ්ඩලයට භාර වී තිබේ.

මේ අතර රාජ්‍ය පාලන තන්ත්‍රය අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභියෝගය පැවැතියත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල කටයුතු සුපුරුදු ලෙස පවත්වා ගෙන යාමට හැකියාව තිබෙන අතර ඒවායෙහි පාලනයට යම්කිසි ආකාරයක බලපෑමක් වන්නේ නම් ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින් පනවනු ලබන යම්කිසි සීමා කිරීම් මත පමණ ය. නමුත් රජයට අයත්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම් ආදි ආයතන 500ක් පමණ තිබෙන අතර එම ආයතනවලට සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ආදි වශයෙන් ඉහළ පෙළේ පත්වීම් 2500ක් පමණ කිරීමට රජයට සිදු විය හැකි අතර වැදගත් පත්වීම් (ආයතන ප්‍රධානීන්) 500ක් පමණ කිරීමට සිදුවේ. ආණ්ඩු වෙනසක් හෝ නව ආණ්ඩුවක් බලයට පත් වූ පසු එකී ආණ්ඩුව මුහුණ දෙන ඉතා භාරධූර වගකීමක්, අභියෝගයක් වන්නේ මෙකී ආයතන වලට ප්‍රධානීන් පත් කිරීම ය. එම ආයතනවල පැවැත්ම පමණක් නොව ඇතැම් විට ආණ්ඩුවේ පැවැත්ම පවා තීරණය කිරීමට මෙම පත්වීම්වලට හැකියාව තිබෙන හෙයින් සෑම ආණ්ඩුවක් ම අදාළ පත්වීම් තම අභිමතය පරිදි කිරීමට වගබලා ගත්තේ ය.

මෙම ක්‍රියාවලිය පසුගිය කාලය පුරා අඛණ්ඩව සිදු වුවත් ඒ සම්බන්ධයෙන් සමාජයේ හෝ ජනමාධ්‍යයේ විශේෂ අවධානයක් යොමු නොවීය. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග මෙකී පත් කිරීම් පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය ආදියෙහි නව පත්වීම් ගැන පවා ජනතාවගේ සහ සමාජ මාධ්‍යවල දැඩි අවධානයක් පවතී.

මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය සතිපති ‘කතිකාව‘ විද්වත් සංවාද මාලාවේ 190 වැනි වැඩසටහනේ දී උක්ත කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර මෙවර කතිකාව විද්වත් සංවාදය ‘ආණ්ඩු වෙනස්වීම් මැද රාජ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වා ගන්නේ කෙසේද? ඉහළ තනතුරුවලට පත්වීම් කළ යුත්තේ කෙසේද ?‘ යන තේමාව යටතේ සිදුවිය.

මෙම සංවාදය සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති අසේල ඉද්දවෙල යන විද්වතුන් සහභාගී වූහ. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති අසේල ඉද්දවෙල මහතා විසින් මෙම සංවාදයේ දී දක්වන ලද අදහස්ය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු රාජ්‍ය ආයතන වල මුල් පුටු සඳහා 8000කට අධික නිලධාරීන් පිරිසක් පත් කළ යුතුව තිබෙන බවත් වර්තමාන ආණ්ඩුව මෙම පත් කිරීම් සිදු කිරීමේ දී යම්කිසි ආකාරයක අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින ආකාරයක් හැකි බවත් සංවාදයට එක් වූ අසේල ඉද්දවෙල මහතා කීවේ ය.

ඉදිරි මැතිවරණයෙන් බලයට පත්වනු ඇතැයි ඉහළ අපේක්ෂාවක් සහිත දේශපාලන පක්ෂයට කල් තියා සැලසුම් සහගතව අදාළ පත් කිරීම් සම්බන්ධයෙන් සැලසුමක්, මාර්ග සිතියමක් සකස් කර ගැනීමට හැකියාව තිබුණේ නම් මේ වන විට උද්ගතවී තිබෙන අවිධිමත් තත්ත්වය බොහෝ දුරට නිර්මාණය නො වන්නට ඉඩ තිබුණ බව ද අසේල ඉද්දවෙල මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය.

වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ගත හැකි පියවර පිළිබඳව සිය අදහස් පැහැදිලි කරමින් අසේල ඉද්දවෙල මහතා මෙසේ සඳහන් කළේය, “ මම මේ සඳහා වෙන ම පූර්විකාවක් දෙන්න කැමතියි. මෙම රාජ්‍ය ආයතන හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්වීම් කරද්දී ඒ සඳහා සලකා බැලිය යුතු මූලික නිර්ණායකයන් සම්පාදනය කළ යුතුයි. එසේම ඉහළ තනතුරු සඳහා සලකා බැලීමේ දී මූලික සුදුසුකම වන්නේ උපාධිය. උපාධිය මූලික සුදුසුකමක් වෙන්න පුළුවන්. මොකද අධ්‍යාපනය ලැබූ බව සහතික කරන්නේ උපාධියනේ. නමුත් උපාධිය පමණක් සුදුසු ද  ආයතනයක් කළමනාකරණය කරන්න, නියමුවා වෙන්න, මෙහෙයවන්න. එසේම අපට තිබෙන මූලික නිර්ණායකයක් තමයි අපි සභාපතිවරයෙක් වෙලා ආයතනයකට ගියත් එහි ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ අදාළ ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා හෝ විධායක අධ්‍යක්ෂවරයා, එසේ නොමැති නම් දෙපාර්තමේන්තු ප්‍රධානියා. නමුත් භාවිතයෙන් ප්‍රධානියා වන්නේ සභාපතිවරයා. සභාපතිවරයෙක් ඉන්නේ පරිපාලන තීන්දු ගැනීමට වඩා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට වුණත් අද රටේ ක්‍රියාත්මක වන්නේ ඒකේ අනික් පැත්ත. බොහෝ විට දෛනික ක්‍රියාවලියට පවා අදාළ සභාපතිවරයා මැදිහත් වෙනවා. මේක කොතරම් දුරටත වැදගත් ද, නොවැදගත් ද ? කියලා මම තර්ක කරන්නේ නැහැ. නමුත් මේ ක්‍රියාවලිය හේතුවෙන් ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා”

මෙහිදී ඉද්දවෙල මහතා පෙන්වා දුන්නේ අදාළ ආයතනවල පරිපාලනමය යාන්ත්‍රණයක් තිබුණත් දේශපාලන නායකත්වය විසින් ඊට ඉහළින් සභාපතිවරයා ප්‍රමුඛ පාලක මණ්ඩලයක් පත්කරන බවයි. කෙසේ වෙතත් දේශපාලන නායකත්වය විසින් අදාළ පත් කිරීම් සිදුකරන තාක් කල් පරිපාලන කටයුතු බාධාවකින් තොරව සිදුවන බව පෙන්වා දුන් ඔහු මෙම ක්‍රියාවලිය සුමට ලෙස ක්‍රියාත්මක වීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති නම් යම්කිසි ආකාරයක බාධාකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ද පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ අසේල ඉද්දවෙල මහතා, “අද තිබෙන්නේ ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය වෙන්න පුළුවන්. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් 15 දෙනකු මගිනුයි පාලනය වෙන්නේ. ඔවුන් යටතට මේ සියලුම රාජ්‍ය ආයතන ගැසට් කරලා තිබෙනවා. ඒ නිසා මහ මැතිවරණය පවත්වලා අමාත්‍ය මණ්ඩලය පත්වන තෙක් මේ ගැටලුකාරී තත්ත්වය තිබෙන්න ඉඩ පුළුවන්.  මම හිතන්නේ අපි පුරවැසියන් ලෙස මෙම තත්ත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතුයි. අනෙක් කාරණය තමයි මේ ආයතනවලට පත්කරන්නේ කවුද ? කියලා ආණ්ඩුවට පෙර සැලසුමක් තිබුණා නම් තත්ත්වය වඩාත් පහසු වෙන්න තිබුණා. ඒ වගේම තමයි යම්කිසි ආකාරයකින් අදාළ තනතුරු වලට පුද්ගලයින් පත් කරන විට එම පුද්ගලයන්ට අදාළ ක්ෂේත්‍රය තුළ තිබෙන අවබෝධය, පළපුරුද්ද සහ කළමනාකරණ හැකියාව ගැන සැලකිලිමත් විය යුතුයි. උගත්කම තිබුණ පමණින්ම ඔහුට හෝ ඇයට ආයතනයක් පාලනය කරන්න නොහැකි වෙන්න පුළුවන් බව අපි පසුගිය කාලය තුළ දැක තිබෙනවා. විශේෂයෙන්ම ශාස්ත්‍රාලයීය උගතුන් අසාර්ථක වෙන්න පුළුවන්.  නමුත් ඔහුගේ අසාර්ථකත්වය බලපාන්නේ රටේ දියුණුවට හා පැවැත්මට. ඒ නිසා නිසි පුද්ගලයා නිසි තැනට පත්කරන්න පියවර ගත යුතුයි. ඒ නිසා මම යළි අවධාරණය කරනවා, උගත්කම පමණක් නොවෙයි පරිපාලන හැකියාව, කළමනාකරණ හැකියාව, පළපුරුද්ද, කණ්ඩායමක් සමග වැඩ කිරීමට ඇති කැමැත්ත හා හැකියාව, විනිවිධභාවය ඇතුළු සංවේදී කරුණු සියල්ල සලකා බලා අදාළ පත්කිරීම් කළ යුතුයි’ යන ස්ථාවරයේ මම ඉන්නවා. මම මේක කියන්නේ මගේ අත්දැකීම් අනුවයි”

මෙහිදී සාකච්ඡාවට එක් වෙමින් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පෙන්වා දුන්නේ පෞද්ගලික අංශය තුළ කිසිම අවස්ථාවක මේ ආකාරයෙන් පරිපාලනමය රික්තයක් ඇතිවීමට ඉඩ නොදෙන බවයි. මෙහිදී ඇමෙරිකානු ක්‍රියාපටිපාටිය පැහැදිලි කරමින් මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ නව ජනාධිපතිවරයෙකු පත් වූ විට තමන්ට ඉවත්වීමට සිදුවන බව දන්නා  හෙයින් ජනාධිපතිවරයා විසින් පත්කරන අදාළ නිලධාරීන් මාස කිහිපයකට පෙර සිට ඉවත්ව යාමට සූදානම් වන බවයි. ඒ අතර තුර සංක්‍රාන්ති කාලය වෙනුවෙන් ද සැලසුමක් සකස් කරන බවත් මහාචාර්ය සමරජීව කීවේය.

මෙවැනි වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සිය පෞද්ගලික අංශයේ අත්දැකීම් පැහැදිලි කරමින් අසේල ඉද්දවෙල මහතා කියා සිටියේ තමා මීට පෙර සේවය කළ ජාත්‍යන්තර සමාගම සතුව අනුප්‍රප්තිකයෙකු පත් කර ගැනීම සම්බන්ධ සැලසුම් පැවති බවයි. අසේල ඉද්දවෙල මහතා එම තත්ත්වය මෙසේ පැහැදිලි කළේය, “මම කලින් සේවය කළ ජාත්‍යන්තර සමාගමේ සංක්‍රාන්ති කාලය වෙනුවෙන් සැලසුම් තුනක් තිබුණා. හදිසියේ ප්‍රධානියා මියගිය හොත් කවුද කඩිනමින් ඒ තනතුරට පත්වෙන්නේ කියලා නම් කරලා, ඔහුව එම තනතුර වෙනුවෙන් පුහුණු කරනවා. ඊළඟට දෙවැනියගේ තැනට පත් වෙන්නේ කවුද ? මේ ආදි වශයෙන් සැලසුම් තිබෙනවා. අදාළ අනුප්‍රාප්තිකයින් පුහුණු කරනවා. පෞද්ගලික අංශය තුළ මෙවැනි පියවරක් අනුගමනය කළ හැකි වුවත් රාජ්‍ය අංශය තුළ එවැන්නක් කිරීම අසීරු බව මම දකිනවා. ඒකට හේතුව තමයි අපේ නොදියුණු දේශපාලන සංස්කෘතිය. මම දන්නේ නැහැ වත්මන් පාලනය තුළ මේ සියල්ලම වෙනස් වෙයිද කියලා”

මෙහිදී ඉද්දවෙල මහතා කියා සිටියේ ආයතනයේ දියුණුව වෙනුවෙන් කාලයක් කටයුතු කළ සහ පුහුණු වූ නිලධාරියෙකු යම්කිසි සාධාරණ කාලයක් තුළ අනුප්‍රාප්තියෙකු පත්කරන තෙක් රඳවා ගැනීම ආයතනයේ ප්‍රගතියට හේතුවක් බව තමා විශ්වාස කරන බවයි.

“නමුත් මෙවැනි ක්‍රියාකාරීත්වයක් හෝ වැඩපිළිවෙළක් මෙරට රාජ්‍ය යාන්ත්‍රණය තුළ අපි දකින්නේ නැහැ. විශේෂයෙන් රාජ්‍ය අංශය පෞද්ගලික අංශය සමග සම්බන්ධ කරන වේදිකාවක් බවට පත් කිරීමට නියාමන ආයතතන කටයුතු කළ යුතුයි. ඒ වගේම පෞද්ගලික අංශයට අදාළ නීති යටතේ ක්‍රියාත්මක වෙන්න රාජ්‍ය අංශයට සහාය විය යුතු’යැයි අවධාරණය කළ ඉද්දවෙල මහතා යළි  ප්‍රශ්න කළේ, අදාළ රාජ්‍ය ආයතන සඳහා හදිසියේම පත්කරන නිලධාරීන් සතුව පත්කිරීම්වලට අදාළ ක්ෂේත්‍රය සම්බන්ධ නිපුණතා තිබෙනවාද ? යන්න ප්‍රශ්නකාරී විය හැකි බවයි. 

“මගේ අදහස වන්නේ දේශපාලන අභිලාෂයන් හා සම්බන්ධතා කොපමණ තිබුණත් අදාළ නිලධාරියාට තමා පත්වීම ලබන ආයතනය දියුණු කරන්න, නිසි පරිදි කළමනාකරණය කරන්න හැකියාවක් නොමැති නම් එම පත්කිරීම නිර්ථක බවයි.

මෙහිදී ප්‍රශ්න වාරයේදී සාකච්ඡාවට එක් වූ ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව තුළ ද පෙර ආණ්ඩු සමයේ අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස කටයුතු කළ කිහිප දෙනකු පත්වීම් ලබා තිබීම සතුටට කරුණක් බවයි. මීට කලකට පෙර ‘නිත්‍ය ලේකම්වරු’ ලෙස මෙවැනි නිලධාරීන් දේශපාලන වෙනසකින් තොරව කටයුතු කළ බව සිහිපත් කළ ආචාර්ය සුජාතා කියා සිටියේ මෙය පූර්වාදර්ශයක් ලෙස භාවිත කළ හැකි නම් වැදගත් බව තමා සිතන බවයි.

ඉහළ තනතුරුවලට පත් කිරීම් සම්බන්ධ පනත්වල පුදූමාකාර ප්‍රශ්න තිබෙන බව කී ආචාර්ය සුජාතා ගමගේ මේ සියලු පත් කිරීම් යම්කිසි සමතැනකට ගෙන ආ යුතු බව ද කීවාය.

Leave A Comment