කරු ජයසූරිය: හෘද සාක්ෂියේ දේශපාලනය විශ්වාස කළ මිනිසා
- Editor
- September 28, 2025
- කාලීන පුවත්, සිංහල Header
- current issues
- 0 Comments
1971 කැරැල්ල සමයේ නුවරඑළිය සිංහ රෙජිමේන්තු කඳවුර බාරව කටයුතු කළ නිලධාරියා වූයේ විචක්ෂණශීලී එහෙත් ඉවසිලිවන්ත තරුණ නිලධාරියෙකි. අසහනයට පත් රාජ්‍ය විරෝධී තරුණ කැරලිකරුවන් මර්දනය ආරම්භ වී තිබුණි. නුවරඑළිය ආශ්රිත ප්රදේශවලද තත්ත්වය යහපත් නොවීය. උණ්ඩයට උණ්ඩයෙන් පිළිතුරු දෙන සමයෙක තරුණ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීමට උර දීම පහසු කටයුත්තක් නොවීය. එහෙත් මේ තරුණ හමුදා නිලධාරියා දඬුවම වෙනුවට පුනරුත්ථාපනය තෝරා ගත්තේය.
මේ නිලධාරියා පසුකලෙක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක තනතුරට පත් කරු ජයසූරියය. 1977න් පසු වර්ධනය වූ නව දේශපාලන සංස්කෘතියේ උච්චතම අවස්ථාවක අනුක්රමිකව දේශපාලන ක්ෂේත්රයේ ඉහළටම ආ ඔහු විශ්වාසය තැබූ ප්‍රධානතම අවිය යුද්ධ හමුදාවේදී පුහුණුව ලද එකදු හෝ අවියක් නොව ප්රජාතන්ත්රවාදයයි. දේශපාලන සුපිළිපන් බව සම්බන්ධයෙන් ඔහු තමන්ගේ සුදු වස්ත්‍රයේ කිළිටි තවරා නොගත් අයෙකු බවටද පක්ෂ විපක්ෂ සියලු දෙනා සාක්ෂි දරනු නොඅනුමානය. ලංකා දේශපාලනයේ දූෂිතයන් ලෙස චෝදනාවට ලක් වූ සිය ගණනක් මහජන නියෝජිතයින් අතර කරු ජයසූරිය පහන් ටැඹක් වන්නේ අද දක්වා ඔහුගේ නම ඈදුණු කිසිම දූෂණ චෝදනාවක් අසා නැති බැවිනි. ඒ සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ කරු හමුදාවෙන් නික්මෙන්නට ඇත්තේ පුහුණු කළ විනය පමණක් රැකගෙන විය යුතු බැවිනි.
සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිමක් උරුම හා ඒ වෙනුවෙන් පෙනී සිටි කරුගේ තවත් විශේෂත්වයක් වූයේ වර්ගවාදය පිටු දැකීමයි. ලංකාව බහුවාර්ගික රටක් බව ඔහු පිළිගත්තේය. ඒ වෙනුවෙන් පෙනී සිටියේය. ත්‍රස්තවාදය හා වාර්ගික අයිතීන් අතර ඇති බෙදුම් ඉර පැහැදිලිව දුටු කරු ජයසූරිය පුළුල් සමාජ ප්‍රතිසංස්කරණ ඔස්සේ උතුරු නැගෙනහිර ජනයාගේ දේශපාලන අයිතීන් දිනා දිය යුතු බව පිළිගත් දේශපාලනඥයෙකි. එබැවින් ඊයේ මෙන්ම අදද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළත් පුළුල් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ පරිණත එහෙත් විශ්‍රාමික දේශපාලනඥයා හඬ නඟයි. පොදු සමාජ ප්‍රතිසංස්කරණ දියත් කිරීම කෙරෙහි වන ඔහුගේ ඒ මැදිහත් වීමට අමතරව දැකිය හැකි කමනීය පුද්ගලික දායකත්වයක් වෙයි. එකී මෙහෙවර දියත් වන්නේ කරු ජයසූරිය මහතා නායකත්වය දෙන සූරිය පදනම හරහාය. එමගින් සෑම වසරකම උතුරේ දෙමළ භාෂයික සිසුන් හාරසියයකට සිංහළ භාෂා ප්‍රවීණතාව අත්කරගැනීමට උසස් මට්ටමේ භාෂා පුහුණුවක් ලබා දේ. මීට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල සිසුන්ට දෙමළ භාෂා පුහුණුව ලබා දේ. දෙපිරිස අතර සංස්කෘතිය හුවමාරු වීම සලසනු වස් උතුරේ දරුවන්ට ගම්පහ ගැමි නිවෙසකද එහි දරුවන්ට යාපනයේ හෝ කිලිනොච්චියේ ගැමි නිවෙසකද කීප දිනක් ගත කරන්නට අවස්ථාව ලබා දෙයි. මේ සුන්දර හුමවාරු භාෂා ඉගැන්වුම අතර අතිශය අහිංසක ආශාවක් ඉටුකරගන්නා දිනයක්ද එයි. ඒ බොහෝවිට වසරේ සැප්තැම්බර් මස විසිනව වනදාය. එදින කරු ජයසූරිය සුධීමතුන්ගේ උපන්දිනයයි. අහිංසක ආශාව භාෂා පුහුණුව ලද උතුරේ දෙමළ දරුවන්ට සහතික පත් බෙදා දීමයි. ඒ සඳහා ඔහු එහි යා යුතුය. ධන සම්පත් නොඅඩු ඔහු යාපනයේ යන්නේ දුම්රිය සේවය භාවිතා කරමිනි. චාම් ජීවිතයකට හුරුව සිටින කරු මේ දුම්රිය ගමනට කැමතිය. ඇතැම්විට ඔහු යාල් දුම්රිය ගමන උතුරු දකුණු හදවත් යාකරන විස්මය ලෙස දකිනවා වන්නට ඇත.
දේශපාලන පවුල් ගස් අතර කරුගේ පවුල් දේශපාලනය
කරුගේ පවුලේ සාමාජිකයන් අතරින් දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරන්නේ දෙටු දියණියගේ සැමියා පමණි. ඔහුද සිය පිය උරුමයෙන් මිස කරු ජයසූරිය නිසා දේශපාලන පොර පිටියට සම්ප්‍රාප්ත වූවෙකු නොවේ. දෙටු දියණිය විශේෂඥ වෛද්‍ය ලංකා ජයසූරිය දේශපාලනයට ප්රවිශ්ඨ කරවන්නැයි ලද බොහෝ ඉල්ලීම් කරු ජයසූරිය විසින් නිහතමානීව ප්‍රතික්ෂේප කෙරුණි. ඔහු සිය දියණියට දේශපාලනයට වඩා භාරදූර මානුෂීය මෙහෙවරක වගකීම භාර දුන්නේය. ඒ අකාලයේ මිය ගිය බාල දියණිය ඉන්දිරා වෙනුවෙන් නම් කළ ඉන්දිරා පිළිකා භාරය හා ඒ ආශ්රිත සේවා සියල්ල මෙහෙයවීමයි. මේ වගකීම් සියල්ල භාරදෙන්නට හේතුව බාල දියණිය නමින් පිළිකා මාරයාට එරෙහිව ඉටුකරන සටනට දෙටු දියණිය නායකත්වය දෙනු දැකීම පමණක් නොවේ. සුවපත් වන සිය දහසක් දනන්ගේ මුව හසරැලි මතින් ඔහුට දකින්නට ලැබෙන්නේ අනාගත පරම්පරා ගණනාවක ජීවත් වීමේ බලාපොරොත්තු වන හෙයිනි. එය මෙරට කතානායක ධුරය දැරූ තමන්ගේ දේශපාලන ආනුභාවය භාවිතා කරමින් දියණිය පාර්ලිමේන්තුවේ අසුන් ගැන්වීමට වඩා අගනා බව ඔහු දන්නේය. අද කරුගේ ඒ සිතිවිල්ල සත්‍යයක් බව ඔප්පු වී හමාරය. ගොහොරු දේශපාලනයෙන් සියපතක්ව පිපී එසවී සිටින කරු හා දියණිය ලංකා ජීවිතය යදින පිළිකා රෝගීන්ට මහත් අස්වැසිල්ලක්ව සිටිති. විශේෂයෙන් රෝගී දරුවන් උදෙසා ඉදිකොට ඇති සුව නිවහන ඔවුන්ගේ දෙව් විමන බඳුය. අද කරුගේ පවුලේ දේශපාලනය වී ඇත්තේ මෙවැනි මහජන සුව සෙත සදන මෙහෙවරය. ඔහුගේ පුද්ගලික ධනයෙන් විශාල පංගුවක් නිර්ලෝභීව ඒ සඳහා වියදම් කෙරෙනු ලැබෙයි.
සුජාත මෙහෙවරක දේශපාලන පංගුකාරීත්වය
කරු ජයසූරිය ලංකා දේශපාලනයට අහම්බෙන් කඩා වැටුණු උල්කාපාතයක් නොවේ. ළදරු වියේ සිට රට දැය සමයට හිතැති ඔහු ආනන්ද විද්‍යාලයෙන් උගත්තේ ශිල්ප ශාස්ත්‍ර පමණක් නොවේ. ජාති මාමක එල්. එච්. මෙත්තානන්ද මහතා වැනි වියතුන්ගේ ඇසුර ඔහු තුළ නංවා ලූ ශික්ෂණය අතිශයින් පොහොසත්ය. එක්දහස් නමසිය හැටපහේ සිට හැත්තෑ දෙක දක්වා අත්දුටු හමුදා විනයැතිව පුද්ගලික අංශයේ සේවයට යොමු වූ ඔහු දෙස් විදෙස් සමාගම් රැසක ඉහළ නිලතල දැරුවේය. එහි ප්රථිඵලය ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් පත්කළ පෞද්ගලික ව්‍යවසාය පිළිබඳ ජනාධිපති කොමිසමට එක්වීමට ලැබීමයි. ජනාධිපති ජයවර්ධන මහතාගේ සංකල්පයක් වූ කොරියා ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයේ සභාපතිවරයා වූයේද කරු ජයසූරියයි. මෙහි කීර්තිය සවන වැකි මැලේසියානු නායක මහතීර් මොහොමඩ් මහතාද අධ්‍යනය පිණිස පැමිණියේය. චීන ජනපති ඩෙං ෂියා ඔ පින්ග් මහතාද සිය නියෝජිතයෙකු මෙරටට එවන ලද්දේ එම ආකෘතිය අධ්‍යයනය කරනු පිණිසය. ඒ නියෝජිතයා පසුව චීනයේ ජනාධිපති පදවියට පත් ජින්ග් සමින් ය.
පුද්ගලික ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් ආර්ථික නව්‍යකරණයට දැඩි මෙහෙවරක් කළ කරු ජයසූරිය මනා දැක්මකින් යුක්ත ව්‍යවසායකයෙකු බව හඳුනා ගත් ජනාධිපති ප්‍රේමදාස ඔහුට තානාපති සේවය සදහා ඇරයුම් කළේය. ඒ අනුව ඔස්ට්‍රියාව, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය යන රටවල් ත්‍රිත්වයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර ජර්මනිය හා ලංකාව අතර දැඩි මිත්‍ර බන්ධනයක් ඇති කිරීමට ඔහුගේ කැපවීම හේතු විය. අදද ජර්මානුවන් ඒ පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරයි. එක්දහස් නමසිය අනූපහේදී කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයට පත්වන්නේ පක්ෂය ඇදවැටෙමින් තිබූ සමයකය. ඉන්පසු ලද ඉල්ලීම් මත ඡන්ද විමසීමට ඉදිරිපත්ව කොළඹ පුරපති තනතුර භාරගන්නා ඔහු ලන්ඩන් නගර ආකෘතිය භාවිතා කරමින් පිරිසිදු හා කාර්යක්ෂම කොළඹක් තැනීමට මුල්ගල තැබුවේය. ඉන් ඔහු දිනූ අතර ආසියාවේ වඩාත් නිර්මාණශීලී පුරපතිවරයා ලෙස සම්මානයට පාත්‍ර විය.
පසුව එජාපයේ නියෝජ්‍ය නායකයා බවට පත් වූ කරු ජයසූරිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය. දෙදහස් එකේ බලයට පත් ආණ්ඩුවේ විදුලි බල ඇමතිවරයා වූ ඔහු හමුවේ තිබූ බරපතලම අභියෝගය පැය දාහතරක විදුලි කප්පාදුවයි. දින එකසිය අසූවක් තුළ එය විසඳන බව සපථ කළ ඔහු දින එකසිය පනස් නමයකදී රටට විසිහතර පැය විදුලිය දුන්නේය.
මේ සුහුරු කරු ජයසූරිය විවිධ දේශපාලන හැලහැප්පීම් මැද ඉදිරියට විත් දෙදහස් පහළොව වනවිට දූෂණ විරෝධී සටනෙහි සහ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සටනෙහි ඉදිරිපෙළ නියමුවෙකුව සිටියේය. එවක බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ ජනාධිපති අපේක්ෂකත්වය කරු ජයසූරිය භාර ගත යුතු බවයි. එහෙත් එය සිදු වූයේ නැත. තිරය පිටුපස කතා බොහොමයකි. දැන් ඒ පිළිබඳ කතා කරන්නට පරිණත මිනිසෙකු වන කරු ජයසූරිය කාලය වැය කරන්නේ නැත. ඒ නමුත් එය එක්සත් ජාතික පක්ෂයට සිදු වූ බරපතල අත්වැරැද්දක් විය යුතුය. කෙසේවෙතත් දෙදහස් පහළොවේදී කරු ජයසූරිය රටෙහි තුන්වැනි පුරවැසියා වන කතානායක ධූරයට පත් වන්නේය. ඒ සමග එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඔහු අස්වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව ස්වාධීන කතානායකවරයෙකු බවට පත්වීම සඳහාය. දින පනස් දෙකේ කුමන්ත්රණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති පුටුවද රටේ ප්‍රජාතන්ත්‍රවාදයද බේරා දීම සඳහා විධායක ජනාධිපති තනතුර හා ගැටෙන්නේ එම ස්වාධීන කතානායකවරයාය.
දේශපාලනයට අහසින් පාත් නොවු ඒ කරු දැන් දේශපාලනයේ නියැලෙන්නේ නැත. ඒ නමුත් විධායක ජනාධිපති ක්‍රමයට හා දූෂිත දේශපාලනයට එරෙහි සටන ඔහු තවම අතහැර නොමැත. මුදු අනතිමානි ගුණැති නිවුණු මිනිසෙකු ලෙස සිය බිරිඳ හා දරු මුණුපුරන් හා නිවී සැනසිල්ලේ දිවි ගෙවන අතර සිය පුද්ගලික ධනයෙන් බොහෝ සමාජ සත්කාර සිදු කරන ඔහු තවමත් උත්තරීතර ජන බලය හා ප්රජාතන්ත්රවාදය ගැන සිහින දකියි. ඒ සිහින තුළ ඇත්තේ සැමට සමාජ සාධාරණත්වය හා යුක්තිය ඉටුවන වාර්ගික අසමානතා පිටු දකින රටක් හදන නව ව්‍යවස්ථාවකි. ඒ සිහිනයේ කුඩා අංශුවක් වෙනුවෙන් ඔහු මෙවරත් දුම්රියක නැගී යාපනයට යනු ඇත. ඉතින් සුබ උපන්දිනයක් කරු ජයසූරිය මැතිසඳ. චිරං ජයතු 1

ලසන්ත ද සිල්වා

