කාන්තාවන් දේශපාලනයට පැමිණිය යුත්තේ ‘ඔළුගෙඩි පිරවීමට’ නොවේ  –  නීතිඥ ලිහිණි ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තා සහභාගීත්වය ඉහළ දැමිය යුතු බවට දීර්ඝ කාලයක සිට සාකච්ඡාවක් තිබේ. ඒ සම්බන්ධයෙන් විවිධ යෝජනා, ක්‍රමවේද සකස් වන නමුත් එය මේ දක්වා යතාර්ථයක් වී නැත. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම ජන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වේ. පාර්ලිමේන්තුව, පළාත් සභාවට තේරී පත් වන මහජන නියෝජිතයින්ගෙන් කාන්තාවන්ගේ නියෝජන ප්‍රතිශතය ඉතාමත් පහළ අගයක පවතී.

“අපි කාලයක් තිස්සේ දේශපාලනයේ කාන්තා නියෝජය ඉහළ දැමීම, ශක්තිමත් කිරීම ගැන කතා කරනවා. නමුත් අපේ ජනගහනයෙන් 52%ක්ම කාන්තාවන්. රටේ ජනගහනයෙන් 52%ක්ම කාන්තාවන් නම් කාන්තා නියෝජනය ඉහළ දැමීම ගැන අමුතුවෙන් සාකච්ඡා කරන්න සිදුව ඇත්තේ ඇයි. රටේ ජනගහනයෙන් 52%ක් ඉවත් කරලා අපට රටේ ඉදිරි අනාගතය, ප්‍රගමනය ගැන කතා කරන්න බැහැ” මෙහි දී ඇය පෙන්වා දුන්නේ කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ද ඍණාත්මක ආකල්ප කිහිපයක් පවතින බවයි.

  • කාන්තා දෘෂ්ටිකෝණයේ වැදගත්කම

“කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ විය යුත්තේ කාන්තාවන්ගේ ප්‍රශ්න කතා කරන්න කියලා පටු අදහසක් තිබෙනවා. නමුත් මම හිතන්නේ කාන්තාවන් දේශපාලනයට පැමිණිය යුත්තේ කාන්තා ප්‍රශ්න කතා කරන්න පමණක් නොවෙයි, ඔවුන්ගේ චින්තනය මේ රාජ්‍ය පාලනයට, ප්‍රතිපත්ති සම්පාදනය, නීති සම්පාදනයට අවශ්‍යයි. උදාහරණයක් ලෙස පළාත් සභාවක අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ සුබසාධනය වැනි අංශ ගණනාවක් තිබෙනවා. මේ සෑම අංශයක් දෙසම කාන්තා දෘෂ්ටිකෝණයෙන් බලන විට සමාජයේ අපි නොදකින පැති ගණනාවක් අනාවරණය වෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපි නිර්මාණය කරන ප්‍රතිපත්තිවලට වෙනස් කෝණයකුත් එකතු වෙනවා. ඒ හරහා වඩාත් පුළුල් හා සාධනීය ලෙස අදාළ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න හැකියාව ලැබෙනවා” ලිහිණි ප්‍රනාන්දු වැඩි දුරටත් පෙන්වා දුන්නා ය.

මෙහි දී ඇය යළි අවධාරණය කළේ කාන්තා නියෝජනය යනු කාන්තාවන්ගේ ගැටලු සහ අවශ්‍යතා ගැන කතා කරන දේශපාලනයක් යන අදහස වෙනස්විය යුතු බවයි.

දේශපාලනයේ කාන්තා නියෝජනය පුළුල් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද ලිහිණි ප්‍රනාන්දු සිය අවධානය යොමු කළාය.

“කාන්තාවන්ගේ සහභාගීත්වය පුළුල් කරන උත්සාහයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම බරපතළ විවේචන එල්ල වෙනවා. ඔවුන්ගේ දේශපාලන සාක්ෂරතාව, අත්දැකීම් ගැන විවේචනය කරනවා, ඔළු ගෙඩි පුරවන බව කියනවා. නමුත් මේ කිසිවෙක් කිසිම අවස්ථාවක දේශපාලනය තුළ පිරිමි ඔළු ගෙඩි පුරවන එක විවේචනය කරන්නේ නැහැ. හරි පිරිමින් ද ගේන්නේ කියලා කවදාවත් කතා කරන්නේ නැහැ. කාන්තාවන් ඉලක්ක කරගෙන තමයි අපි හැමදාම මතවාද ගොඩනගන්නේ. නමුත් අපි සාකච්ඡා කළ යුතු දේ තමයි ලංකාවේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් නම් දේශපාලනයේ කාන්තා නියෝජනය අනිවාර්යයි. එහෙම නැති නම් මෙතනින් එහාට යන්නේ නැහැ.

  • කාන්තා ශ්‍රම බළකාය

මෙහි දී ලිහිණි ප්‍රනාන්දු ලංකාවේ කාන්තා ශ්‍රම බළකාය තුළ කාන්තා සහභාගීත්වය ද ප්‍රශ්න කළාය. ඇය පෙන්වා දුන්නේ ලංකාවේ ශ්‍රම බළකාය තුළ කාන්තා දායකත්වය 32%ක් හෝ 35%ක් පමණ වන බවයි. ජාත්‍යන්තර පර්යේෂණ අනුව කාන්තාවන්ගේ ශ්‍රම බළකා සහභාගීත්වය වර්ධනය කිරීම තුළින් දළ දේශීය නිෂ්පාදනය ‘අනිවාර්යයෙන්’ ඉහළ නැංවෙන බව තහවුරු වී ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය.

“ඒක තහවුරු කළ කරුණක්” ඇය අවධාරණය කළාය.

ලංකාවේ කාන්තාවන් ශ්‍රම බළකායට වැඩි වැඩියෙන් සහභාගී කර ගන්නේ නම් අනිවාර්යයෙන් ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වර්ධනය වන බවට ඇය තර්ක කළාය.

“ අපි කවදාවත් මේ ගැන  කතා කරලා නැහැ. ඒ වගේම අපේ ශ්‍රම බළකාය තුළ කාන්තා සහභාගීත්වය අඩු නම් අපි ඒක වැඩි කර ගන්න කරලා තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් මොනවා ද ?, දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය, එ්වායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, පෙර පාසල් අධ්‍යාපනය ගැන අපි කරලා තියෙන ප්‍රතිසංස්කරණ මොනවා ද ?, වැඩිහිටි රැකවරණය ගැන අපි කරලා තියෙන ප්‍රතිපත්තිමය වෙනස්කම් මොනවාද ? කියලා අපි සොයා බැලිය යුතුයි. කාන්තාවන් සම්බන්ධ කම්කරු නීති අපි කොහොමද නැවත සමාලෝචනය කරන්නේ වැනි දේවල් ගැන අපි අවධානය යොමු කළ යුතුයි” මෙහි දී ලිහිණි ප්‍රනාන්දු පෙන්වා දුන්නේ කාන්තාවන් ප්‍රතිපත්ති සම්පාදනයට තුළ සිටිනවා නම් මෙවැනි කේන්ද්‍රීය කරුණු ගැන අවධානය යොමු කිරීම පහසු වනු ඇති බවයි.

“අපි මේවා ක්‍රියාත්මක කරනවා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට අපේ දායකත්වය ඉහළ යනවා” ලිහිණි ප්‍රනාන්දු පෙන්වා දුන්නාය.

“දේශපාලනයේ කාන්තා සහභාගීත්වය තහවුරු කිරීමට නම් අපි අපේ ඉලක්කය මීට වඩා විද්‍යාත්මක ලෙස සිතියම් ගත කළ යුතුයි” ඇය අවධාරණය කළාය.

  • පිරිමින්ගේ දේශපාලන පක්ෂ

මෙහි දී ලිහිණි ප්‍රනාන්දු අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ බහුතරයක මධ්‍යම කාරක සභාව තුළ කාන්තා නියෝජනයක් නොමැති බවයි.

“දේශපාලන පක්ෂවල කාන්තා නියෝජනය බිම් මට්ටමේ කාන්තා කමිටු වලට පමණක් සීමා වෙලා තිබෙනවා” ඇය පෙන්වා දුන්නාය.

මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා ලැයිස්තු පිරවීමට පමණක් කාන්තා නියෝජනයක් ඉදිරියට ගත්තා බවට චෝදනා කළ ලිහිණි ප්‍රනාන්දු “කාන්තාවන් දේශපාලනය කරන්නේ විශාල ගැටලු හමුවේ බව’ ද සඳහන් කළාය.

“කාන්තාවට අනන්‍ය වූ ස්ත්‍රී භූමිකාවක් තිබෙනවා. ඇය මවක්, බිරිඳක්, යෙහෙළියක්, දියණියක් ආදි වශයෙන් භූමිකාවන් රැසකට එකවර පණ පොවනවා. මේ සියලු අභියෝග අතර තමයි කාන්තාවන් දේශපාලනය කරන්නේ. මේ පසුබිම තුළ කාන්තාවන්ට දේශපාලනය කරන්න පුළුවන් ද, බැරි ද, අපි කොහොමද දේශපාලනය කරන්න බැරි කාන්තාවන් ඉදිරියට ගන්නේ ?, අපේ සාම්ප්‍රදායික දේශපාලනය ද මේ කාන්තාවන් ද කළ යුතු වන්නේ ?, ගෙයින් ගෙට ගිහින් ඡන්දය ඉල්ලන ඒ පරණ සංස්කෘතියම ද අපි මේ කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ?. සමාජයේ විවිධ තලවලට අයත් කාන්තාවෝ ඉන්නවා. අධ්‍යාපන මට්ටම අතින්, ආර්ථික ශක්තියෙන් වැනි විවිධ අංශ වලින් පුළුල් විවිධත්වයක් සහිත කාන්තාවන් සිටිනවා. ගෙයින් ගෙය යන ඡන්ද ක්‍රමයට සමහර කාන්තාවෝ කැමැති නැහැ. නමුත් ඒවට ලැයිස්තු තිබෙනවා, ඒ ලැයිස්තුවලට කාන්තාවන් ඇතුළත් කර ගන්නේ කොහොම ?, මම හිතනවා මේ කතිකාව අපි පුළුල් මාතෘකාවක් ඔස්සේ ඔස්සේ දිග හැරිය යුතුයි” ලිහිණි ප්‍රනාන්දු වැඩි දුරටත් පෙන්වා දුන්නාය.

මෙහි දී ලිහිණි ප්‍රනාන්දු පැවසුවේ මෙම සංකල්පය දේශපාලන පක්ෂවලට වටහා දිය යුතු බවයි.

  • ව්‍යුහාත්මක වෙනස

ලිහිණි ප්‍රනාන්දුගේ තර්කය වූයේ යම්කිසි ආකාරකයින් කාන්තාවන් පළාත් සභාව හෝ පාර්ලිමේන්තුවට ගිය ද  ‘අවශ්‍ය ව්‍යුහාත්මක වෙනසකම්’ කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි.

තමාගේ තර්තය තහවුරු කිරීමට ලිහිණි, කාන්තා කොමිෂන් සභාව සම්බන්ධ අර්බුදයේ දී වත්මන් ආණ්ඩුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරින් කටයුතු කළ ආකාරය උදාහරණයක් ලෙස ඉදිරිපත් කළාය.

“මේ තරම් කාන්තාවන් පිරිසක් පාර්ලිමේන්තුවට තෙරීපත් වීම ගැන අපි සතුටු වුණා. නමුත් කාන්තා කොමිෂම සම්බන්ධ අර්බුදයේ දී ඔවුන් ප්‍රමාණවත් දායකත්වයක් ලබා දුන්නේ නැහැ. අටමස්ථානාධිපති හිමියන් අතින් බලවයස්කාර දැරියක් දූෂණය වුණා ය කියන සිද්ධියේ දී  කාන්තා මන්ත්‍රීවරියන්ගෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල වුණේ නැහැ” මෙහිදී ලිහිණි ප්‍රනාන්දුගේ අදහස වූයේ කාන්තාවන් පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුත්තේ ‘ඔළුගෙඩි පිරවීමට’ පමණක් නොවන බවයි.

“අපි මහජන නියෝජන ආයතනවලට කාන්තාවන් තෝරා පත්කර යැවිය යුත්තේ හුදු ඔළුගෙඩි පිරීමේ පරමාර්ථයෙන් පමණක් නොවෙයි. ගුණාත්මක සාකච්ඡාවකට, ගුණාත්මක මැදිහත් වීමකටයි. ප්‍රතිපත්තිමය තීන්දු – තීරණ ගැනීමට සහ එවැනි තීන්දු – තීරණ ගැනීමට බලපෑම් කිරීමේ ශක්තියක් කාන්තාවන්ට තිබිය යුතුයි” ලිශිණි ප්‍රනාන්දු අවධාරණය කළාය.

මෙහි දී ලිහිණි ප්‍රනාන්දුගේ අදහස වූයේ මහජන නියෝජන ආයතනවල ‘තරුණ නියෝජනය’ සම්බන්ධයෙන් ද මෙවැනිම තර්කයක් තිබෙන බවයි. ගෝලීයකරණය, කෘත්‍රිම බුද්ධිය වැනි තවත් බොහෝ දේ කතා කළත් ශ්‍රී ලංකාව දේශපාලනක ආකල්ප අතින් තවමත් වැඩවසම් බව ඇය පෙන්වා දුන්නාය.

“මම මේ ගැන අධ්‍යයනය කරන්න රටවල් ගණනාවක සංචාරය කළා. එම සංචාරවලදී මම ලබාගත් අත්දැකීම් අනුව පැහැදිලි වෙන්නේ අපි සිද්ධි මත පදනම් වුණ දේවලට කාලය නාස්ති කරමින් සිටින බවයි. අපි ප්‍රශ්නයකින් තවත් ප්‍රශ්නයකට උත්තර සොයමින් සිටිනවා. ලෝකය සමඟ ඉදිරියට යන්නේ නැහැ. කාත්තාවෝ වෙනුවෛන් කතා කරන්න ගිය කාන්තාවෝ පුටුවට පමණක්  සීමා වෙනවා, පුටුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පමණයි කතා කරන්නේ. ඒ නිසා මේ ව්‍යුහාත්මක වෙනස ගැන මීට වඩා පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුයි. ඒ සාකච්ඡාව තුළින් පමණයි මේ කෝටා ක්‍රමය  සාධාරණීකරණය  කළ හැකි වෙන්නේ.

  • ක්‍රමයේ වෙනසක්

පසුගිය අරගලයේ මූලික අරමුණක් වූයේ ‘ක්‍රමයේ වෙනසක්’ බව කී ලිහිණි ප්‍රනාන්දු ‘අපි කැමති වුණත්, අකමැති වුණත් ලංකාවේ යම් යම් වෙනස්වීම් සිදුවෙන’ බව කීවේය.

“මම හිතනවා කාන්තා සහ තරුණ නියෝජනයත් ඒ වගේ අරගල කරලා දිනා ගත යුතු දෙයක්. රටේ දියුණුවට, වර්ධනයට යොදා ගත යුතු දෙයක්. උදාහරයක් ලෙස පළාත් සභාව ගන්න පුළුවන්. පළාත් සභාවක අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ සුභසාධනය වැනි විෂයන් ගණනාවක් තීබෙනවා. මේ විෂයන්ට අදාළ සෑම ප්‍රශ්නයක් දෙස කාන්තා  සහ තරුණ දෘෂ්ටිකෝණයෙන් බැලුවම නිර්මාණය කරන ප්‍රතිපත්ති, නීති මීට වඩා වෙනස් වෙනවා. කාන්තා සහ තරුණ නියෝජනයේ ‘ඇත්තම වටිනාකම’ ලෙස මම දකින්නේ මේකයි” මොරටුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි ලිහිණි  ප්‍රනාන්දු වැඩි දුරටත්  පැවසුවාය.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ වැඩසටහන්’ මාලාවේ 280 වැනි කතිකාවේ දී ඉදිරිපත් කළ අදහස් ඇසුරෙනි)

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment