ඛණිජ තෙල් සැපයුමේ අර්බුදයක් මතු වුවහොත් එයට මුහූණ දෙන්න රජය කිසිම සාධනිය පියවරක් ගෙන නෑ – මහාචාර්ය රොහාන් සමරජීව
- Editor
- October 2, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
මේ තත්ත්වය යටතේ අපි ඉදිරියට කළ යුත්තේ කුමක් ද ? කියන ගැටලුව තිබෙනවා. පළමු කාරණය තමයි මේ අර්බුදයට අවසානයක් තිබෙන බවක් පේන්න නැහැ. පසුගිය එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුර දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදී ඉරානය විසින් ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති ට්‍රම්ප් කැමැත්තක් දක්වලා නැහැ. මේ තත්ත්වය තුළ අර්බුදය යළි තීව්රර වෙන බව, නැවත මහා පරිමාණ ප්‍රහාරයක් ආරම්භ විය හැකි බවට අදහසක් තිබෙනවා. මේ උපකල්පන ඉන්ධන නෞකාවල රක්ෂණ වාරිකවලට සහ නෞකාවල ගමනාගමනයට බලපානවා. මෙය යළිත් ඉන්ධන මිල ඉහළ යාමට හේතු වෙනවා.
- එක්සත් ජනපදය සහ ඉරානය අතර පසුගිය දා නිව් යෝර්ක් නුවර දී පැවැති සාකච්ඡා යළිත් අසාර්ථක වී තිබෙනවා. මේ තත්ත්වය තුළ ඉරාන – ඇමෙරිකා ගැටුම යළි තීව්රර විය හැකි බවට ඇති අනුමාන කිරීමේ හමුවේ ඉන්ධන මිල යළිත් ඉහළ යාමේ ප්‍රවණතාවක් තිබෙනවා. මේ තත්ත්වයට ලංකාව මුහුණ දෙන්නේ කොහොමද ?, අපේ කලාපීය අසල්වැසියන් මේ අර්බුදයට දුන්න විසඳුම් අපටත් අදාළ කර ගන්න පුළුවන් ද ?. මේ සම්බන්ධයෙන් ඔබගේ විශ්ලේෂණය කුමක් ද ?
මහාචාර්ය රොහාන් සමරජීව –
ඉන්ධන සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගතව පවතින ගැටලු දෙස මාගේ අවධානය යොමු වන්නේ ආර්ථික හා ප්‍රතිපත්තිමය දෘෂ්ටිකෝණයකින්. මේ ගැන අවධානය යොමු කිරීමට පෙර අපේ අසල්වාසීන්, ඒ කියන්නේ ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය මේ අර්බුදයට මුහුණ දෙන ආකාරය සහ ඔවුන්ගේ ඉන්ධන මිල ගණන් ගැන මම අවධානය යොමු කළා.
මේ වන විට ඉන්දියාවේ චෙන්නායි නුවර ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 99ක් වෙනවා. ඒක ශ්‍රී ලංකා රුපියල් වලින් 341ක්. නමුත් චෙන්නායිවල ඩීසල් පෝලිම් හෝ හිඟයක් ගැන මැසිවිලි නැහැ. ලංකාවේ ඩීසල් ලීටරයක් රුපියල් 383යි, ඒ කියන්නේ ලංකාවේ ඩීසල් මිල ඉන්දියාවට වඩා වැඩියි. පාකිස්ථානයේ ලාහෝර්වල ඩීසල් ලීටරයක් පාකිස්ථානු රුපියල් 486යි. නමුත් බංග්ලාදේශයේ ඩීසල් අර්බුදයක්, හිඟයක් තිබෙනවා.
- අසල්වැසියන්ගේ මිල සහ අර්බුදය
මේ සංඛ්‍යා අනුව අපට යම්කිසි අදහස් ලබා ගන්න පුළුවන්. ඉන්දියාවේ ලෝකයේ විශාලතම ඉන්ධන පිරිපහදු කිහිපයක් තිබෙනවා. අනෙක් කාරණය තමයි ඉන්දියාව තනි බොරතෙල් ප්‍රභවයක් මත රැදෙනවා වෙනුවට බොරතෙල් වර්ග කිහිපයක් පිරිපහදු කරනවා. උදාහරණයක් විදිහට ඉන්දියාව පසුගිය කාලයේ රුසියාවෙන් බොරතෙල් ආනයනය කිරීම තුළින් විශාල ලාභයක් ලැබුවා.
ඉන්දියන් ඔයිල් සමාගම සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය සලකා බලන විට අපට පේනවා ඔවුන් ඉන්දියාවේ මව් සමාගමෙන් පමණක් නොමෙයි ඉන්ධන මිලදී ගන්නේ. ඔවුන් විවෘත වෙළෙඳපොළෙන් ඉන්ධන මිලදී ගැනීමක් කරනවා. ඒ වගේම තමයි ලංකාවේ ඉන්ධන ඉල්ලුම කුඩා වීම, දීර්ඝ කාලීන ගිවිසුම් ගතවීමක් නොතිබීම වගේම අපේ පිරිපහදුව සම්බන්ධයෙන් ද ගැටලු තිබෙනවා. සපුගස්කන්ද පිරිපහදුවෙන් අපේ අවශ්‍යතාවෙන් 50%ක්වත් සම්පූර්ණ කර ගැනීමට හැකියාවක් නැහැ. මේ පසුබිම තුළ අපි ඉන්නේ ඉන්දියාවට වඩා සාපේක්ෂව දුර්වල තැනක.
නමුත් ඉන්දියාවේ ඉන්ධන අර්බුදයක් නැහැ කියන එක එයින් අදහස් වන්නේ නැහැ. ඉන්දියාව ගෘහස්ත ගෑස් සහ LNG ගෑස් සම්බන්ධ බරපතළ අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. නමුත් ලංකාවේ ගෑස් සම්බන්ධ අර්බුදයක් නැහැ. ඒකට හේතුව අපි ගෑස් ලබා ගන්නේ එක්සත් ජනපද සමාගම්වලින්, හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපෑමක් ඒකට නැහැ.
යළි පාකිස්ථානය වෙත අවධානය යොමු කළොත් පාකිස්ථානයේ ඩීසල් අලෙවි වෙන්නේ සාපේක්ෂව ඉහළ මිලකට. නමුත් ඔවුන් ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ පද්ධතිය භාවිතා කරලා යම්කිසි ආකාරයක ලියාපදිංචි කිරීමක් කරනවා. ඒක ලංකාවේ ක්‍රියාත්මක වෙන QR ක්‍රමවේදය වාගේ එකක් බව පේනවා.
නමුත් පාකිස්ථානය වාහනයේ ස්වභාවය අනුව යම්කිසි ආකාරයකට ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා, නැතිනම් අඩු මිලකට ලබා දෙනවා. පාකිස්ථාන ක්‍රමවේදය වන්නේ ඩීසල් මිල නියමිත ප්‍රමාණයට වැඩි කිරීමෙන් (විශාල මිලක්) වැඩිපුර ඉන්ධන පාරිභෝජනය කරන පුද්ගලයින් අධෛර්යමත් කිරීමයි. ඒ අතර අඩු අදායම් ලාභීන්ට යම්කිසි සහනාධාරයක් ලබාදීම තුළින් ගැටලුව කළමනාකරණය කර ගැනීමට පාකිස්ථානය පියවර ගෙන තිබෙනවා.
නමුත් බංග්ලාදේශය මෙවැනි කිසිම පියවරක් ගෙන නැති නිසා බරපතළ අර්බුදයක් රට තුළ තිබෙනවා. මේ වන විට රෙදිපිළි සහ ඇඟළුම් ඇතුළු කර්මාන්ත ශාලා බරපතළ ගැටලුවකට ලක්ව තිබෙනවා.
- අප හමුවේ ඇති විකල්ප මොනවා ද ?
මේ පසුබිම තුළ අපි අප හමුවේ ඇති විකල්ප ගැනත් අවධානය යොමු කුළ යුතුයි. අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ අපේ ඉන්ධන ආනයන බිල විශාල ලෙස, ඒ කියන්නේ 2025ට සාපේක්ෂව 60%කින් පමණ වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම අපේ සමස්ත ආනයන වියදමෙන් 20%කට වැඩි ප්‍රතිශතයක් ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය කිරීමට සිදුවෙලා තිබෙනවා. නමුත් 2026 වර්ෂයේ දී මේ ප්‍රතිශතය තවත් ඉහළ යන්න පුළුවන්.
ඒකට හේතුව තමයි QR ක්‍රමයෙන් ඉන්ධන සලාක කිරීමක් කරලා ඉල්ලුම අඩු කිරීමක් කරන්න පුළුවන් වෙයි කියලා ආණ්ඩුව බලාපොරොත්තු වුණත් අපේ ඉන්ධන ඉල්ලුම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැති බවක් පේනවා. විෂයභාර අමාත්‍යවරයාම කියන ආකාරයට 9%-10%කින් තමයි ඩීසල් සහ පෙට්‍රල් ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. මේ අඩුවීම සලාක ක්‍රමය නිසා නොවෙයි, මිල ඉහළ යාම නිසා මිනිස්සු අනවශ්‍ය ගමන් බිමන් පාලනය කළ නිසා සිදු වුණ අඩුවක් කියලා මම හිතනවා.
අනික් අතට මේ වන විට ඉන්ධන කෝටාව විහිළුවක් බවට පත්ව තිබෙනවා. ඒ ගැන මට පුද්ගලික අත්දැකීම් තිබෙනවා. කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ඉන්ධන පිරවුම් හල් සේවකයින් පවා QR ගැන කිසිම උනන්දුවක් නොදක්වා අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබා දෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තිබෙනවා.
- ඉදිරියට කළ යුතු කුමක් ද ?
මේ තත්ත්වය යටතේ අපි ඉදිරියට කළ යුත්තේ කුමක් ද ? කියන ගැටලුව තිබෙනවා. පළමු කාරණය තමයි මේ අර්බුදයට අවසානයක් තිබෙන බවක් පේන්න නැහැ. පසුගිය එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුර දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදී ඉරානය විසින් ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති ට්‍රම්ප් කැමැත්තක් දක්වලා නැහැ. මේ තත්ත්වය තුළ අර්බුදය යළි තීව්රර වෙන බව, නැවත මහා පරිමාණ ප්‍රහාරයක් ආරම්භ විය හැකි බවට අදහසක් තිබෙනවා. මේ උපකල්පන ඉන්ධන නෞකාවල රක්ෂණ වාරිකවලට සහ නෞකාවල ගමනාගමනයට බලපානවා. මෙය යළිත් ඉන්ධන මිල ඉහළ යාමට හේතු වෙනවා.
මේ මිල ඉහළ යාම හමුවේ ලංකාව වැනි කුඩා රටකට කේවල් කිරීමේ හැකියාවක් නැහැ. අපි ඉන්නේ ඉතාම පසුපසින්. දැවැන්ත ඉල්ලුම් වලට, දිගු කාලීන ගිවිසුම්වලට ප්‍රමුඛතාව දීමෙන් පසුව තමයි ලංකාව වැනි කුඩා ඉල්ලුමක් ඇති රටවලට ඉන්ධන ලබාදීමක් සිදුවෙන්නේ.
මේ අභියෝග හමුවේ ලංකාවට පූර්ව සූදානමක් හෝ සැලසුමක් තිබෙනවා ද ? කියන ප්රශ්නය අපට තිබෙනවා. පාකිස්ථානය ලබාදී තිබෙන විසඳුම නිවැරදියි කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම බංග්ලාදේශය වාගේ කිසිම පියවරක් නොගෙන සිටීම කිසිසේත්ම කළ යුතු නැහැ. නමුත් ඉන්දියාව යම්කිසි ස්ථාවර තත්ත්වයක සිටියත් ඉන්දියාව කරන දේවල් කිරීමේ හැකියාවක් අපට නැහැ. ඒ කියන්නේ අපට ඉන්දියාව වාගේ විකල්ප ගණනාවක් නැහැ.
අනෙක් කාරණය තමයි අපට බාහිර සාධක වෙනස් කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අපට වඩාත් සැලකිල්ලෙන් කටයුතු කිරීමට සිදුවෙනවා. ඒ නිසා වැදගත්ම හා වඩාත්ම ඵලදායී පියවර තමයි ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සහ වඩාත් අරපරිස්සමෙන් ඉන්ධන භාවිතා කිරීම. ඒ තුළ සලාක ක්‍රමය සහ මිල ඉහළ දැමීමේ විකල්ප අවස්ථාත් තිබෙනවා. නමුත් මගේ මතය වන්නේ අපේ ආහාර නිෂ්පාදනයට හා ප්‍රවාහනයට, ඇඟළුම් ඇතුළු අපනයන කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඩීසල් ආරක්ෂා කර ගත යුතුයි. එම කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා දිය යුතුයි.
ඒ වගේම අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වාහන භාවිතය අධෛර්යමත් කරන සැලසුමක් සකස් කළ යුතුයි. ඒ අනුව වත්මන් සලාක ක්‍රමයට වඩා වෙනස් සලාක ක්‍රමයකට යාමට ඇති හැකියාව සොයා බැලිය යුතුයි. මෙහි අවසන් අරමුණ විය යුත්තේ ලංකාවේ ඩීසල් පාවිච්චිය සැලකිය යුතු ලෙස අඩු කිරීමයි.
මෙහි දී ආර්ථිකයට සිදුවිය හැකි හානිය අවම කරමින් ප්‍රමුඛතා ක්ෂේත්රවලට අවස්ථාව සහ සහයෝගය දෙමින් කටයුතු කිරීම තමයි අප ඉදිරියේ තිබෙන අභියෝගය වෙන්නේ. නමුත් මගේ කණගාටුව තමයි ආණ්ඩුව මේ ගැන කතා කරන්නේ ම නැති තරමි. ආණ්ඩුව තුළ සංවාදයක් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් මට පේන්නේ ආණ්ඩුව මේ අර්බුදය හමුවේ කල් මරමින් සිටින බවයි. ඒ කියන්නේ කාලයත් එක්ක මේ අර්බුදය සමහන් වෙයි කියලා ආණ්ඩුව කල්පනා කරන බවක් පේනවා.
ඒ වගේම මේ ගැටලුව, අභියෝගය සම්බන්ධයෙන් පුළුල් සමාජ සංවාදයක් සිදුවිය යුතුයි. ඒ හරහා මේ ගැටලුවට තිරසාර විසඳුමක් සොයා ගත යුතුයි. එසේ නොකළහොත් ඉදිරි මාස කිහිපය තුළ මේ අර්බුදය වඩාත් තීව්රර වීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් මේ වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන කතිකාව සංවාද මාලාවේ ‘ඛණිජ තෙල් සැපයුමේ අර්බුදයක් මතු වුවහොත්, එයට මුහුණ දෙන්නේ කෙසේද? ’ යන තේමාව යටතේ පැවැති 292 වැනි කතිකාවේ දී මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
මෙම සංවාදය මාධ්‍ය වේදී ෂාන් විජේතුංග විසින් මෙහෙය වන ලදි.
සටහන තුෂාල් විතානගේ

