ගාසාවේ අපි – තිසරණි ගුණසේකර
- Editor
- October 14, 2025
- තීරු ලිපි, සිංහල Header
- Columns
- 0 Comments
1963 ජුනි 11 දා 73 හැවිරිදි වියට්නාම් බෞද්ධ භික්ෂුවක්වූ තික් කිවෑන්ඩි (Thich Quang Duc ) හිමියෝ දකුණු වියට්නාමයේ සයිගොන් අගනුවර (වත්මනේ හෝචි මිං නුවර) ප්‍රධාන මංසන්ධියකදී තම සිරුරට ගිනි තබාගෙන දිවි නසා ගත්හ. උන්වහන්සේ මේ ස්වයං ඝාතනය සිදු කළේ ඇමෙරිකානු ශක්තියෙන් බලයේ සිටි දකුණු වියට්නාම් න්ගෝ ඩින් ඩීම්(Ngo Dinh Diem) පාලනයට විරෝධතාව දැක්වීමටය. තම සිරුර ගිනි ගනිද්දිත් නිසලව වාඩිවී සිටින එහිමියන්ගේ ඡායාරූපය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ජෝන් එෆ් කෙනෙඩි මහතා මෙම ඡායාරූපය හැඳින්වූයේ ලොව පුරා වඩාත්ම හැඟීම් ජනනය කළ ඡායාරූපය ලෙසය.
2024 පෙබරවාරි 23 දා ආනෝල්ඩ් බුෂ්නෙල් (Arnold Bushnell) නැමැති 25 හැවිරිදි ඇමරිකානු ගුවන් හමුදා නිලධාරියා වොෂින්ටනයේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ ගේට්ටුව අසල තම සිරුරට ගිනි තබා ගත්තේය. සිය සිරුර ගිනි ගනිද්දිත් නිසලව සිටගෙන සිටින ඔහුගේ ඡායාරූපය සිහිගැන්වූයේ ඊට වසර හැටකට පෙර වියට්නාමයේ ක්වෑන්ඩි හිමියන්ගේ ඡායාරූපයයි.

බුෂ්නෙල් මහතා තම ස්වයං ඝාතනය සිදු කළේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එරෙහිව ගෙන යන යුද්ධයට විරෝධය දැක්වීමක් ලෙසය. බුෂ්නෙල් මහතා පලස්තිනුවකු හෝ ඉස්ලාම් භක්තිකයෙක් නොවීය. කිතුණු සුදු ඇමරිකානු පවුලක උපන් ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයෙක් විය. ගාසා තීරයේ පලස්තීන ජනතාවට අත්ව ඇති ඉරණම යථාර්ථය බොහෝ ඇමරිකානුවන්ට පෙර අවබෝධ කරගන්නට ඔහුට හැකි වූයේ ඔහුගේ රැකියාව නිසාය. තම මව්බිම වූ ඇමරිකාව මෙම යුද්ධයට කරන දැවැන්ත දායකත්වය ඔහුට බරපතළ මානසික කම්පනයක් ගෙන දුන් බව ඔහුගේ සමාජ මාධ්‍ය සටහන්වලින් පැහැදිලි වේ. ඔහු තම ෆේස්බුක් පිටුවේ තිබූ අවසන් සටහනේ මෙසේ ලියා තිබුණි.
“අප බොහෝ දෙනා අසන ප්‍රශ්නයක් තිබේ. වහල් සේවය, වර්ණ භේදවාදය නීත්‍යානුකූල සමයක මා ජීවත් වූවා නම් මා කරන්නේ කුමක්ද? මගේ රට ජන ඝාතක යුද්ධයක් ගෙන යනවා නම් මා කරන්නේ කුමක්ද? පිළිතුර නම් ඔබ ජීවත් වනුයේ එවන් සමයක බවයි”
දේශපාලන විරෝධතාව දැක්වීමේ ක්‍රමයක් ලෙස ස්වයං ඝාතනය කිසි ලෙසකිනිඳු පිළිගත නොහැක. බුෂ්නෙල් මහතා තම විරෝධය දැක්වීමේ ක්‍රමය ලෙස මරණය නොව ජීවිතය තෝරා ගත්තා නම් එය සදාචාරාත්මක වශයෙන් පමණක් නොව ප්‍රායෝගික වශයෙන්ද වඩාත් නිවැරැදි තෝරා ගැනීමක් වනු ඇත.
33 හැවිරිදි ඇමරිකානුවකු වූ ඩේව් ඇඩ්ලර්(Deve Adler) තෝරා ගත්තේ මරණය නොව ජීවිතයයි. යුදෙව් ආගමිකයකු වුවද ඔහු (බුෂ්නෙල් මහතා මෙන්ම)මුල සිටම ඊශ්‍රායලයේ සමූල ඝාතක යුද්ධයට දැඩි විරෝධය පළ කළේය. ගාසා තීරයට පනවා ඇති තහංචි (blockade) බිඳීම සඳහා දියත් කළ සුමුඩ් ගෝලීය නැව් කණ්ඩායමට (Sumud Global Flotilla) ඔහුද එක් වූයේ තම විරෝධය උපරිම අයුරින් දැක්වීමේ මගක් ලෙසය. මෙම කණ්ඩායම හා එහි සාමාජිකයන් ඊශ්‍රායලය විසින් අත්අඩංගුවට ගැනීමට පැය කිහිපයකට පෙර ලොව පුරා විශේෂයෙන්ම ඇමරිකාවේ හා ඊශ්‍රායලයේ යුදෙව් ජනතාවට ආමන්ත්‍රණය කරමින් විවෘත ලිපියක් ලියූ ඔහු, තමන් මේ විරෝධතා මාර්ගය තෝරාගන්නේ නට්සි ආක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රංශ විමුක්ති අරගලයට එක් වූ තම සීයාගේ ආදර්ශය අනුව යමින් බව කීවේය. ඊශ්‍රායලය ගාසා තීරයේ ගෙන යන සමූල ඝාතක යුද්ධය හුදෙක් පලස්තීන ප්‍රශ්නයක් නොව සමස්ත මානව වර්ගයාගේම ප්‍රශ්නයක් බවත්, තමන්ගේ විරෝධතාව මානව වර්ගයාම වෙනුවෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
සමූල ඝාතක යුද්ධ මානව වර්ගයාට අලුත් ප්රපංචයක් නොවේ. 146 BCE වසරේදී රෝමය විසින් කානේජ් නගර රාජ්‍ය විනාශ කිරීම ලොව මුල්ම සමූල ඝාතක යුද්ධය ලෙස බොහෝ විශේෂඥයෝ සළකති. නට්සි ජර්මනිය යුදෙව් ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක කළ සමූල ඝාතක ව්‍යාපෘතිය (Holocaust) ඉතිහාසය වඩාත්ම ප්‍රචලිත සමූල ඝාතනය ලෙස සැලකිය හැක. ඊශ්‍රායල් රාජ්‍ය බිහි වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. සමූල ඝාතක යුද්ධයකින් බිහි වූ ඊශ්‍රායලය තවත් ජනකොටසකට එරෙහිව සමූල ඝාතක යුද්ධයක් දියත් කිරීම සැබැවින්ම දෛවයේ සරදමකි.
ඉතිහාසයේ සියලූම සමූල ඝාතක යුද්ධ සිදු වූයේ අඩු වැඩි වශයෙන් රහසිගතවය. ගාසා තීරයේ සිදු කෙරෙන සමූල ඝාතක යුද්ධය එසේ නොවේ. එය සාම්ප්‍රදායික මෙන්ම සමාජ මාධ්‍ය හරහා ලෝක ජනතාවගේ දෑස් ඉදිරිපිට සිදුවන්නකි. ගාසා සමූල ඝාතනයට එරෙහිව දැවැන්ත ලෝක ජන මතයක් ගොඩනැගී ඇත්තේ එබැවිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගාසා යුද්ධය හා පලස්තීන රාජ්‍යයක් පිළිබඳව පැවැති සියලු ඡන්ද විමසීම් මෙම ලෝක ජන මතය පිළිබිඹු කරයි. මයික්රොනිසියා, වනවාටු , පැපුවා නිව් ගිනි වැනි ඉතාමත් කුඩා දූපත් රාජයන් කිහිපයක් හැරුණු විට ඊශ්‍රායලයට පක්ෂව නිරන්තරයෙන් ඡන්දය භාවිත කරනුයේ ඇමෙරිකා එක්සත් ජනපදය පමණි.
නමුත් ගත වූ දෙවසර තුළ ඊශ්‍රායලය ගෙන යන සමූල ඝාතක යුද්ධය නිසාම ඇමරිකානු ජන මතයේ පෙර නොවූ විරූ පරිවර්තනයක් හටගනිමින් පවතී. වසර 70කට අධික කාලයක් ඊශ්‍රායලයට අතිශයින් පක්ෂපාතී වූ ඇමරිකානු ජනතාව ගාසා සමූල ඝාතක යුද්ධය නිසාම තම මතය වෙනස් කරගනිමින් සිටි. කොලොම්බියා සරසවියේ ධරණීය සංවර්ධන කේන්ද්‍රයේ (Centre for Sustainable Development) අධ්යක්ෂ මහාචාර්ය ජෙෆ්රි සාක්ස් (Geffrey Sachs) අධ්යක්ෂ මහාචාර්යවරයා මෙය හඳුන්වනුයේ ජාත්‍යන්තර දේශපාලනය උඩු යටිකුරු කළ හැකි නව පෙළගැස්මක් ලෙසය.

ඇමරිකා ඊශ්‍රායල් ප්‍රේම සම්බන්ධකමේ නිමාව?
ලොව සුපතල The Economist සඟරාවේ 2025 සැප්තැම්බර් 18 කලාපයේ ඇමරිකා ඊශ්‍රායල් සබඳතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබුණි. ඊට පෙරවදනක් ලියමින් සඟරාවේ ප්‍රධාන කර්තෘ සැනී මින්ටන් බෙඩොස් (Zanny Minton Beddos) මහත්මිය කියා සිටියේ යුරෝපයේ ජන හා රාජ්‍ය මතය මේ වන විට ඊශ්‍රායල් විරෝධී ස්ථාවරයක ඇති බවත්, ඇමරිකානු ජනමතයේ එවැනිම විතැන්වීමක් සිදුවන බවත්ය.මුළුමනින්ම ඇමරිකානු ණය ආධාර හා ආරක්ෂාව මත රඳා පවතින ඊශ්‍රායලයේ අනාගත පැවැත්මට පවා මෙම ජනමත වෙනස් වීම බලපෑ හැකි බවට ඇය කනස්සල්ල පළ කළාය.
ඇමරිකාවේ මෙම මත වෙනසට හේතුව අන් කිසිවක් නොව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙන යන සමූල ඝාතක යුද්ධය මිනිසත්කම අංශුවක් හෝ ඉතිරිව ඇති මිනිසුන්ට (ජාති/ආගම්/වර්ණ භේදයකින් තොරව) දැරිය නොහැකි බැවිනි. ගැලප් (Gallup) මත විමසුම් ඉතිහාසයේ ප්‍රථම වරට ඊශ්‍රායලයට සහාය දක්වන ඇමරිකානුවන් ප්‍රමාණය 50% කඩඉමෙන් පහතට වැටී ඇත. පිව් (Pew) ජන මත විමසුම් වලටඅනුව ඇමරිකානුවන්ගෙන් 59% ක් ඊශ්‍රායලය පිළිබඳ අහිතකර මතයක් දරති. ඇමරිකානුවන්ගෙන් 80% ක් ගාසා තීරයේ තත්ත්වය පිළිබඳ කනස්සල්ල දක්වති. නිව්යෝර්ක් ටයිම්ස්/ සියෙනා සරසවි මත විමසුමකට අනුව ඇමරිකානුවෝ බහුතරයක් ඊශ්‍රායලයට අමතර යුද්ධමය හා ආර්ථිකමය ආධාර ලබා දෙනවාට විරුද්ධය. තරුණ ඇමරිකානුවන් (පක්ෂ දෙකටම අයත්) අතර ඊශ්‍රායලයට ඇති සහාය විශේෂයෙන්ම පහත වැටී ඇත. එපමණක් නොවේ, ඇමරිකානු යුදෙව්වන්ගෙන් 60%ක් ඊශ්‍රායලය යුද්ධ අපරාධ සිදු කරන බවට පිළිගන්නා අතර, 40%ක් ඊශ්‍රායලය ගාසා තීරයේ ගෙන යනුයේ සමූල ඝාතක යුද්ධයක් බව පිළිගනිති.
ගාසා යුද්ධය හා වෙනස් වන ජනමතය ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය වටා ගොනු වූ දක්ෂිණාංශික ජනමත නායකයන් (Opinion Leaders) ගණනාවකගේ ස්ථාවරයටද බලපා ඇත. වසරකට පමණ පෙරත් ඊශ්‍රායලයට දැඩි ලෙස පක්ෂපාතී වූ ටක්ර් කාල්සන් (Tucker Carlson), ඩේවි ස්මිත් (Dave Smith) හා ජෝ රොගන් (Joe Rogan) මේ වන විට (ගාසා යුද්ධය නිසාම) ඊශ්‍රායල් විරෝධී ස්ථාවරයකට පැමිණ සිටිති. මෑතක දී කිතුණු පවුලක උපන් සුදු ඇමරිකානුවකු අතින් ඝාතනය වූ චාලි කර්ක් (Charlie Kirk) ඔහුගේ Turning Point America සංවිධානයට ආධාර කළ යුදෙව් ඇමෙරිකානු බිලියනපතියන් කිහිප දෙනෙකුගේ උදහසට ලක්ව සිටි බව පෙන්වන කෙටි පණිවුඩ රාශියක් මේ වන විට මාධ්‍යයට මුදා හැර තිබේ. ඔහු කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට ඩොලර් මිලියන් ගණනක් අහිමි වූ බව මෙම පණිවුඩවලින් අනාවරණය වේ. ඇමරිකානු දේශපාලනයේ වමෙන් මැදින් හා දකුණෙන් මතුවන ඊශ්‍රායල් විරෝධය නිසා ලොව කිට්ටුතම සන්ධානයක් වූ ඇමරිකන් – ඊශ්‍රායල් එකතුව අවදානමට ලක්ව ඇති බව The Ecinomist සඟරාව ( America is falling out of love with Israel යන හෙඩිම යටතේ ලියූ ලිපියකින්) පැහැදිලි කරයි.
ඊශ්රායල්දක්ෂිණාංශය, විශේෂයෙන්ම නෙතන්යාහු පාලනය, ඇමරිකාවේ මෙම වර්ධනය වන ඊශ්‍රායල් විරෝධයට ප්‍රතිචාර දක්වන්නේ දෙයාකාරයකිනි. එකක් නම්, ඊශ්‍රායලයට වචනයකින් හෝ දොස් නඟන ඇමරිකානුවන්ට (යුදෙව්-ඇමරිකානුවන්ද ඇතුළුව)antisemitic (යුදෙව් විරෝධී) හංවඩු ගැසීමෙනි. අනෙක නම්, ඇමරිකානු මාධ්‍ය (සමාජ මාධ්‍යයද ඇතුළුව) මිලට ගැනීම තුළින් ගාසාවේ සමූලඝාතක යුද්ධයේ යථාර්ථය ඇමෙරිකානුවන්ගෙන් වසන් කිරීමට උත්සාහ දැරීමෙනි. ඊශ්‍රායලයට සහාය දක්වන බිලියනපතියන් විසින් CBS මාධ්‍ය ආයතනයත්, ඇමරිකාවේ Tik Tok හිමිකාරීත්වයත් අත්පත් කර ගැනීම මෙයට ප්රමුඛ උදාහරණයන්ය.
ඊශ්‍රායලයේ තවත් උපක්‍රමයක් නම් සමාජ මාධ්‍ය තුළින් මත නිර්මාණය කරන්නන් (influencers) හරහා ඊශ්‍රායලයට පක්ෂ අදහස්, විශේෂයෙන්ම තරුණ ඇමරිකානුවන් අතර ප්‍රචලිත කිරීමයි. ගත වූ මාස කිහිපය තුළ මෙවැන්නන් ඊශ්‍රායලයේ සංචාරයන් සඳහා රැගෙන යාම මෙහි ආරම්භය විය. සැප්තැම්බර් මස පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වන අතරතුර නෙතන්යාහු අගමැතිවරයා මෙම සමාජ මාධ්‍ය අදහස් නිර්මාණකයන් මුණ ගැසී ඊශ්‍රායලයට එරෙහිව කතා කරන ඇමරිකානුවන්ට අපහාස කරන ආකාරය පිළිබඳව ඔවුන්ට කියා දුන්නේය.
ඊශ්‍රායලයට පක්ෂපාත සටහන් සමාජ මාධ්‍යවල තබන මෙම මත නිර්මාණකයන්ට එක් සටහනකට ඩොලර් 7000ක් ලැබෙන බව ඇමරිකාවේ Quincy Institute for Responsible Statecraft ආයතනයට සම්බන්ධ මාධ්‍යවේදියෙකු වූ නික් ක්ලිව්ඩ්ලන්ඩ් ස්ටවුට් (Nick Cleveland Stout) ඔක්තෝබර් 3 වැනිදා හෙළිදරව් කළේය. Esther Project යනුවෙන් හඳුන්වන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ Bridges Partners නම් වූ අලුතින් ලියාපදිංචි කළ සමාගමකි. (ලංකාවේද මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍යවේදීන් පිරිසක් මෑතකදී ඊශ්‍රායලයේ සංචාරයකට රැගෙන යන ලදී).
සමූල ඝාතකයාට තමන් කරන අපරාධයේ බර දැනෙන්නේ නැත. ගාසා නිසා තමන්ට හිමිවන අපවාදය මාධ්‍ය හැසිරීමේ ප්‍රශ්නයක් නොව මිනිසත්භාවය හා පුද්ගලයන් ලෙස අප එකිනෙකාගේ හෘදය සාක්ෂියේ ප්‍රශ්නයක් බව ඔවුන්ට නොවැටහේ.
ගාසා සමූල ඝාතනය ආරම්භ වූයේ මෙයට දෙවසරකට පෙර හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසය. අනාගමික (Secular) පලස්තීන විමුක්ති සංවිධානය (PLO) දුර්වල කිරීම සඳහා හමාස් සංවිධානය පෝෂණයක් කළේ නෙතන්යාහු අගමැතිවරයාද ඇතුළු ඊශ්‍රායල් දක්ෂිණාංශයයි. හමාස් ප්‍රහාරය එල්ල වූ දාට පසු දින The Times of Israel නම් ඊශ්‍රායල් පුවත්පත PLO සංවිධානය දුර්වල කිරීමේ අරමුණින් හමාස් සංවිධානයට ඩොලර් මිලියන ගණනින් උදව් කිරීමට නෙතන්යාහු අගමැතිවරයා කටාරයට ඉඩ සැලසු අයුරු මතක් කළේය. කටාර් රාජ්‍යය මසකට ඩොලර් මිලියන 30ක් හමාස් සංවිධානයට ලබා දෙන බවත් එය හිමිවනුයේ හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයට බවත් ඊට නෙතන්යාහු අගමැතිවරයාගේ අනුමැතිය ඇති බවත් ඊශ්‍රායලයේ අභ්‍යන්තර රහස් ඔත්තු සේවය වූ ෂින් බෙට් (Shin Bet) සංවිධානය 2025 මාර්තුවේ දී අනාවරණය කළේය. නෙතන්යාහු අගමැතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ ෂින් බෙට් නායකයා තනතුරෙන් පහ කිරීමෙනි. 2025 මැයි 22 පැවැති මාධ්‍ය හමුවකදී අපි පලස්තීනුවන් බෙදා තබා ගැනීම සඳහා හමාස් සංවිධානයට ආධාර කිරීමට කටාරයට ඉඩ දුන්නා යැයි නෙතන්යාහු අගමැතිවරයාම පිළිගත්තේය.(We allowed Quatar to fond Hamas to keep the Palastinians devided”)
අන්තවාදීන් වැඩිම හානිය කරන්නේ තමන්ගේ පිළටය. එය අප මෙරට ඉතිහාසයේ යළි යළිත් අත්දැක ඇති කාරණයකි. හාමාස් ප්‍රහාරයට වැඩිපුරම වන්දි ගෙව්වේ ඊශ්‍රායලය නොව සිවිල් පලස්තීන ජනතාවයි. ඊට ප්‍රතිචාර ලෙස නෙතන්යාහු පාලනය දියත් කළ සමූල ඝාතක යුද්ධයෙන් ඊශ්‍රායලයේ අනාගත පැවැත්ම අවදානමට ලක්වීම දැනටමත් ආරම්භ වී ඇත.

ඊශ්‍රායලයට එරෙහි ඊශ්‍රායලය
ඊශ්‍රායලයේ Haaretz පුවත්පත 2025 සැප්තැම්බර් 9 දා කලාපයේ I’ saw the Bodies of Children’ (මම ළමයින්ගේ මළ මිනී දැක්කා) යන මාතෘකාව යටතේ ලිපියක් පළ කළේය. තමන් පලස්තීන සිවිල් වැසියන් හා විශේෂයෙන්ම ළමුන් ඝාතනය කළ අයුරු ඊශ්‍රායල් සොල්දාදුවන් විස්තර කරන ආකාරය එහි සඳහන් විය. “බෙනි (Benny) යනුවෙන් තමන් හඳුන්වා ගත් සොල්දාදුවෙකු කීවේ, මම මරණ ගණන් කිරීම නවතා දැම්මා.මම කී දෙනෙක් මැරුවා දැයි මම දන්නේ නැහැ.ගොඩක් ළමයි” යනුවෙනි. යෝනි (Yoni) යනුවෙන් තමන් හඳුන්වා ගත් තවත් සොල්දාදුවෙක් මෙසේ කීවේය. “මම ළමුන් දෙදෙනෙකුගේ මළමිනී දැක්කා. සමහරසමහර විට අවුරුදු 8 – 10 විතර වෙන්න ඇති. මම දන්නෙ නැහැ. හැම තැනම ලේ ගොඩක් තිබුණා. මම දැනගත්තා මේක කළේ මමයි කියලා. මට වමනය යන්න ආවා. ඔහු ඒ දෙස බලා හරියට ඔහු මනුෂ්‍යයෙක් නොවන ගානට හැඟීම් විරහිතව කිව්වා. ඔවුන් සමූලඝාතක කලාපයකට ඇතුළු වුණා. ඒ ඔවුන්ගේ වරද…කියා’ (මෙහිදී වැදගත් වනුයේ මේ ඝාතන සියල්ල සිදුවූයේ ඊශ්‍රායලය විසින් අනුමත කළ ආධාර ලබාදෙන ප්‍රදේශවල බවය)
ආධාර ලබා දෙන ප්‍රදේශවලට පැමිණෙන පලස්තීන ජනතාව ඊශ්‍රායල් වෙඩික්කාරයන් විසින් වෙඩි තබා මරා දමන බවට මෙයට පෙර ද Haaretz ඇතුළු ඊශ්‍රායල් මාධ්‍ය ගණනාවක් අනාවරණය කර තිබුණි. මෙහි එක් ප්‍රතිඵලයක් නම් සොල්දාදුවන් අතර මානසික ආතතිය ( හා එයින් සිදුවන දිවි නසා ගැනීම්) වර්ධනය විමය. අනෙක නම්, 2023 ඔක්තෝබර් 7 වෙනිදා නොපැවති යුද්ධ විරෝධයක් ඊශ්‍රායල් සමාජයේ ජනිත වීමය. 2025 අගෝස්තුවේදී පැවැති දැවැන්ත උද්ඝෝෂණ එයට උදාහරණයකි. ටෙල් අවීව් නුවර 500,000ක් පමණ ජනතාවද ඊශ්‍රායලය පුරා මිලියනයක් පමණ ජනතාවද මීට සහභාගී වූ බව වාර්තා විය. නෙතන්යාහු විරෝධය මෙන්ම ගාසා සටන් විරාමයක් තුළින් ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන්ට නිදහස ලබා ගැනීම, විරෝධතාවන්හි මූලික සටන් පාඨ විය.
එකම ජාතියක/ ආගමක ජනතාව පවා එකම මතයක් නොදරති. ලංකාවේ ජාතිවාදීන් මෙන්ම ජාතිවාදී විරෝධීයෝද සිටියහ. අද ද සිටිති. ඊළාම් යුද්ධය ඉතාමත් උත්කර්ෂයට නැංවූ සමයන්හි පවා යුද්ධ විරෝධී පිරිස්, අනෙකා ගැන සහ කම්පනය සහිත පිරිස් සිංහල, දෙමළ හා මුස්ලිම් සමාජවල විය.
ඊශ්‍රායලයේද තත්ත්වය මෙබඳුය. ඊශ්‍රායලයේ බහුතරය ගාසා යුද්ධයට පක්ෂය. එසේ වුවද එම යුද්ධය සමූල ඝාතක යුද්ධයක් යැයි පිළිගන්නා ඊට විරුද්ධ වෙන හා නිදහස් පලස්තීනයක් වෙනුවෙන් පෙනී සිටින ඉතාමත් ක්‍රියාකාරී සුළුතරයක්ද ඊශ්‍රායලයේ සිටිති. යුද්ධයේ දරුණු බව වැඩිවත්ම මෙම සුළුතරයේ ප්‍රමාණයද දේශපාලනමය හා සදාචාරාත්මක බලයද වර්ධනයව ඇත. විශාල පුද්ගලික අවදානමක් දරමින් යුද්ධයේ ම්ලේච්ඡ යථාර්ථය ලොවට හෙළි කරන ඊශ්‍රායල් සොල්දාදුවන්, යළිත් යුද්ධයට යාම ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායල් සොල්දාදුවන්, ඊශ්‍රායල් හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කරමින් සිරගෙට යාමට ඉදිරිපත් වන ඊශ්‍රායල් තරුණ තරුණියන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්රියාකාරිකයන් මෙන්ම තමන් නමින් කරන ජන සංහාරයෙන් හෘදය සාක්ෂිය අවදි වූ සාමාන්‍ය ඊශ්‍රායල් වැසියෝද ඒ අතර වෙති. ඔවුන් නියෝජනය කරනුයේ එක් ඊශ්රායලයකි.
යුද්ධය පවත්වාගෙන යන්නේ අනෙක් ඊශ්‍රායලයයි. එහි වැසියෝ බලස් තියෙන ජනතාව මිනිසුන් සේ නොදකිති. පලස්තීන දරුවන්ගේ – බිළිඳු දරුවන්ගේ පවා මරණය ඔවුන්ට ආස්වාදයකි. ඔවුන් පෙනී සිටිනුයේ මහා ඊශ්‍රායලය (Greater Israel) ව්‍යාපෘතිය වෙනුවෙනි. ඒ සඳහා පලස්තියන ජනතාව සමූල ඝාතනය වුවද ඔවුන්ට එය ප්‍රශ්නයක් නොවේ. අතීතයේ නට්සිවාදීන් අයත් වූයේ මෙම ගණයටය. කළු ජූලියේ වරදක් අද ද නොදකින, චෙම්මනි වැනි ඛේදවාචකයන් ගණනකට නොගන්නා සිංහල අන්තවාදින් අයත් වනුයේද මේ ගණයටය. (සිංහල,මුස්ලිම් පමණක් නොව දෙමළ සාමාන්‍ය ජනතාවගේ ජීවිත පවා නොතැකූ කොටි සංවිධානය ද මේ කුලකයටම අයත්ය.ඇමරිකාවෙන් නෙතන්යාහු අගමැතිවරයාට ලැබුණු කොන්දේසි විරහිත සහාය වේලුපිල්ලේ ප්රභාකරන්ට හෝ රාජපක්ෂවරුන්ට ලැබුණා නම් ඔවුන්ගේ කල්ක්‍රියාවද නෙතන්යාහු පාලනයේ ක්‍රියාකාරීත්වයට නොවෙනස් වනු ඇත.) මෙරට දෙමළ විරෝධී, මුස්ලිම් විරෝධී හා/ හෝ කිතුණු විරෝධී අතීතයක් ඇති සිංහල රාවය වැනි සංවිධානත් බෙංගමුවේ නාලක වැනි භික්ෂූනුත් මේ දිනවල ඊශ්‍රායලයේ සමූල ඝාතක යුද්ධයත් නෙතන්යාහු පාලනයත් වෙනුවෙන් පෙනී සිටීම පුදුමයක් නොවේ.
ලංකාවේ ඊශ්‍රායලයේ හා ලොව අන් සියලු අන්තවාදීන් පිළිනොගන්නා කාරණය නම් ඊශ්‍රායලය දැනටමත් දේශපාලනිකව පරාජය ලබා ඇති බවය. මහා ඊශ්‍රායලය යනු කිසිදා සැබෑවක් විය නොහැකි මිත්‍යාවකි. ඊශ්‍රායලය යනු යුද්ධමය හා ආර්ථික අතින් ලොව පරාධීනතම රාජ්‍යයයි.. ඇමරිකාවේ උදව්වෙන් රැකවරණයෙන් තොරව එහි පැවැත්ම පවා අවිනිශ්චිතය. කටාරයට පහර එල්ල කිරීම පිළිබඳ කටාර් පාලකයන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමටත් යළි එවන් පහර දීමක් සිදු නොකරන බවට ප්‍රතිඥා දීමටත් නෙතන්යාහු අගමැතිවරයාට (අකමැත්තෙන් වුවද )සිදුවුණේ එබැවිනි. කටාරයට යළිත් කාගෙන් හෝ ප්‍රහාරයක් එල්ල වුවහොත් ඇමරිකාව කටාරයේ ආරක්ෂාවට ඉදිරිපත් වන බවට ට්‍රාම්ප් ජනාධිපතිවරයා අත්සන් කළ ගිවිසුමෙන් ඊශ්‍රායලයේ සැබෑ බෙලහීන බවක් පෙනී යයි.
ඇමරිකාව ඊශ්‍රායලය අත්හැර දමනු ඇතැයි මෙයින් ගම්‍ය නොවේ. ඉන් ගම්‍ය වනුයේ ඊශ්‍රායලයට හිතුවක් කිරීමට ඇති ඇමරිකාව යම් පමණකට සීමා කරන බවය. අමෙරිකාව තුළ ඊශ්‍රායල් විරෝධය වර්ධනය වත්ම ඊශ්‍රායලයට බාධා පැමිණවීමට ඇමෙරිකානු පාලනයට ඇති දේශපාලන වුවමනාව ද වර්ධනය වනු ඇත. එංගලන්තය,ප්‍රංශය,ඕස්ට්‍රේලියාව හා කැනඩාව වැනි රටවල් ස්වෛරී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නේ කැමැත්තෙන් නොවේ. ඔස්ලෝ ගිවිසුමෙන් පසුව පවා එවැනි පූර්ණ පිළිගැනීමක් පලස්තීනයට දීමට මෙම රටවල් අකමැති විය. අවසානයට ඒ පිළිගැනීම ඔවුන් දුන්නේ තමන්ගේ ජනතාවගෙන් ආ දැඩි බලපෑම නිසාය.
ගාසා යුද්ධය එහි ඉතාමත් ගැඹුරුම තැනින් අපේ මිනිසත් බව පිළිබඳ ප්රශ්නයකි. මෙවන් මහා විනාශයක් දැක දැකත් ඉන් කම්පිත නොවේ නම් අපේ මිනිසත්බවේ යම් අඩුවක්, යම් ශූන්‍යත්වයක් ඇත. ලෝක ජනමතය හා ඇමරිකානු ජන මතය යුද්ධ විරෝධී ලෙස පෙළගැසෙමින් පවතිනුයේ බොහෝ මිනිසුන් වචනය පරිසමාප්තාර්ථයෙන්ම මිනිසුන් වන බැවිනි. ඒ අතින් ගාසාවේ ඊශ්‍රායලය දියත් කළ සමූලඝාතක යුද්ධය ලෝකයටම හැරවුම් ලක්ෂයකි.
නිදහස් ඊශ්‍රායලයක් බිහි වූයේ යුදෙව්වරුන් ඉලක්ක කරගත් සමූලඝාතනයකිනි. ගාසා සමූල ඝාතනයෙන් නිදහස් පලස්තීනයක් බිහි වුවහොත් එය පුදුමයක් නොවෙනු ඇත. ඉතිහාසයේ ප්රගමනය බොහෝ විට සිදුවනුයේ තමන් ඉතිහාසයේ නිර්මාණයක් යැයි සලකන නායකයන් පවා අනපේක්ෂිත ලෙසය.

