ජනසභා දේශපාලන බල අරගලයේ ගොදුරක් නොවන බවට සහතිකයක් ලබාදිය හැකියි

ජනසභා මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පාලිත ලිහිණිකුමාර

ජනසභා මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පාලිත ලිහිණිකුමාර මහතා සමග ‘සුභාවිත‘ ගුවන් විදුලියේ මාධ්‍ය වේදී ලසන්ත ද සිල්වා මහතා කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරිණි.

  • මේ වන විට දේශපාලන හා සමාජයීය කරළිය තුළ ‘ජනසභා‘ ගැන කතාවෙනවා. මොකක්ද මේ ජනසභා කියන්නේ ?

ජනසභා සංකල්පය කියලා කියන්නේ, ග්‍රාම සේවා වසමක් තුළ පදිංචි සියලුම ජනකොටස්වල අයත්, ඒ ගම තුළ පදිංචි අවුරුදු 16ට වැඩි සෑම පුරවැසියෙකුටම තමන්ගේ ගමට අයත් ජනසභාවට සහභාගී වෙන්න පුළුවන්. මේ ආකාරයේ සහභාගීත්වයක් සහිත ජනසභාව රැස් වෙලා 25 දෙනකුගෙන් යුත් ‘ජනසභා කාරක සභාවක්‘ අදාළ ග්‍රාම සේවා වසම වෙනුවෙන් පත්කර ගන්නවා. ඒ ජනසභාවේ සංයුතිය 25ක් වෙනවා, ඒ 25 දෙනාගෙන් 50%ක් තරුණයෝ, 25%ක් කාන්තාවෝ, ඉතිරි 25% වැඩිහිටියෝ.

බොහෝ විට ගම තුළ ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධාන තමයි ජනසභාව කාර්ක සභාවට සාමාජිකයින් යෝජනා කරන්නේ. ඒ යෝජනා තුළින්, සියලු දෙනාගේ කැමැත්ත මත 25 දෙනකුගෙන් යුත් ජනසභා කාරක සභාව පත්වෙනවා, එහෙම නැතිනම් තෝරා ගැනීම සිදුවෙනවා. මේ 25 දෙනාට වැඩියෙන් යෝජනා වුණත්  අපි ඡන්දයක් තියන්නේ නැහැ. ඊට හේතුව තමයි කුමන හෝ හේතුවක් වෙනුවෙන් ජනසභාව තුළ ඡන්ද විමසීමක් සිදුවන්නේ නැහැ.අපි කරන්නේ 25 දෙනකුට වැඩියෙන් යෝජනා ස්ථිරත්වයක් සිදු වුණොත් ‘ලොතරැයි ක්‍රමයකට‘ තමයි කාරක සභිකයින් තෝරා ගැනීම සිදුවන්නේ.

  • ජනසභවේ කාර්යභාරය කුමක්ද ?

ජනසභාවේ කාර්යභාරය වෙන්නේ අදාළ ග්‍රාම නිලධාරී වසමේ සම්පත් හඳුනා ගෙන ‘ගම ගොඩනගන ආකාරය‘ ගැන සැලසුම් කිරීමයි. ගම ගොඩනැගීම සඳහා ගම තුළ පවතින මානව සම්පත, අනාගතයේදී ගම ඉලක්ක කරන ජයග්‍රහණ ලබා ගන්නා වූ ආකාරය ආදිය ගැන පුළුල් ලෙස කල්පනා කර සැලසුම් සකස් කිරීම තමයි ගම්සභාවේ කාර්යභාරය වෙන්නේ. මේ සඳහා අපි ජනසභා ලේකම් කාර්යාලය ලෙස ගම ගොඩනැගීමට අවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. ගම ගොඩනැගීම සඳහා උපදෙස් ලබාදීම තමයි මේ නිලධාරීන්ගේ වගකීම වෙන්නේ.  ගම ගොඩනැගීම සඳහා ජනසභා කාරක සභාව සමග එක්ව මේ නිලධාරීන් කටයුතු කළ යුතුයි. එසේම ඔවුන් ගම සම්බන්ධ තීරණ ගැනීම කළයුතුයි. සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී, පාසල දියුණු කිරීමේදී ආදි වශයෙන් ගමේ සංවර්ධනයට අදාළ අවස්ථාවලදී ‘තීන්දු – තීරණ‘ ගැනීමේ අවස්ථාව ගමේ ජනතාවට තිබෙනවා. ඒ අනුව ගමේ සංවර්ධනයට අදාළ සියලුම තීන්දු – තීරණ ගැනීමේ බලය ජනසභාවට ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් තමයි ජනසභා සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන්නේ.

  • ජනසභා සංකල්පය ‘අරගල සමයේ‘ ඇති වුණ යම් යම් සංකල්ප සමග සම්බන්ධයක් තිබෙනවා ද ?

අරගල සමයේ එවැනි සාකච්ඡා සිදුවුණ බව අපි හැමෝ ම දන්නවා. නමුත් ඊට පෙර සිට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ‘කතිකාව‘ කියලා වැඩසටහනක් ආරම්භ කළා. ඒ වැඩසටහන තුළ දී අපි කරන්නේ රට තුළ පවතින යම් යම් නීතිරීති කුමනාකාරයෙන් ද යාවත් කාලීන විය යුත්තේ, කුමනාකාරයෙන් ද දියුණු විය යුත්තේ,  දියුණු සමාජය තුළ ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න අධ්‍යයනය කරලා, සාකච්ඡා කරලා අපි  අදාළ පාර්ශ්වයන්ට යෝජනා කරන ‘මෙන්න මේ දේ ක්‍රියාත්මක කරන්න ‘ කියලා. එහිදී අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ආදි මාතෘකා සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල අපි සාකච්ඡා සිදුකරමින් යනවා. මේ අතරේ ‘රාජ්‍ය පාලනය‘ සම්බන්ධයෙන් ද මූලික සාකච්ඡා සිදුවෙමින් තිබුණා. මේ අතර කාලයේ තමයි ‘අරගලය‘ පටන් ගන්නේ. මෙම අරගලයට සම්බන්ධ වූ තරුණ කණ්ඩායම් විටින් විට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වර්තමාන සභාපති, දේශාභිමාන්‍ය කරු ජයසූරිය මැතිතුමා මුණගැහිලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළා.  ඔවුන් තදින්ම අවධාරණය කළ කරුණ තමයි ‘මේ දක්වා රාජ්‍ය පාලනය කළ සියලු පාලකයින් අපේ අනාගතය නැති කරලා තිබෙනවා, අපිට මේ පාලන ක්‍රමය ගැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ පාලකයෝ තීන්දු – තීරණ ගන්න ක්‍රියාවලියට අපටත් සහභාගී විය හැකි ක්‍රමයක්, නැතහොත් සිස්ටම් එකක් සකස් කරන්න‘ කියන එක.

ඒ අනුව තමයි අපි ‘සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය‘ කියන සංකල්පය ක්‍රියාත්මක වන රටවල කරුණු අධ්‍යයනය කරලා මූලික සංකල්ප පත්‍රිකාවක් සකස් කර, ඒ ගැන සාකච්ඡා කරමින් හිටියේ. ඒ අනුව තමයි ‘ජනසභා‘ සංකල්පය ඉදිරියට එන්නේ. අරගලයට සම්බන්ධ වූ තරුණයින්ගේ අදහසුත් මේ වැඩපිළිවෙළට එක්වෙලා තිබෙනවා.

  • දැනටමත් ගම්වල ග්‍රාම සංවර්ධන සමිති කියලා ව්‍යුහයක් ක්‍රියාත්මක වෙනවා. මෙවැනි ක්‍රියාකාරීත්වයක් තිබියදී ජනසභා නමින් අලුත් සංකල්පයක් ක්‍රියාත්මක වන්නේ ඇයි ?

ගම්වල ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන සමිති නිශ්චිත කාර්යයකට පමණයි සකස් වෙලා තිබෙන්නේ. ඔවුන්ට නියම වෙලා තිබෙන ‘යම් සීමාවක්‘ තුළ කටයුතු කළ හැකියි. නමුත් ජනසභාවේ කාර්යභාරය ඉතා පුළුල්. ගමේ සංවර්ධන සම්බන්ද ‘සියලු තීන්දු – තීරණ‘ ගන්නේ ජනසභාවේ මහ සභාවේ අනුමැතියට යටත්වයි.  ඒ වගේම හැම ගමකම ග්‍රාම සංවර්ධන සමිති ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇතැයි ඒවා ඉතාම දුර්වලයි. ඒ වගේම ඒවා තුළ ‘නිශ්චිත නියෝජනයක‘ නෑ. ඒ නිසා ග්‍රාම සංවර්ධන සමිතිවලින් මේ කාර්යය කරන්න නොහැකි බව අපිට පැහැදිලිව පෙනෙනවා. ඒ වගේම තමයි ග්‍රාම සංවර්ධන සමිති සාර්ථකව ක්‍රියාත්මක වුණා නම් ගම මේ ආකාරයට බිඳ වැටෙන්න හේතුවක් නැහැ.

අපි දන්නවා ආණ්ඩුව විවිධාකාරයෙන් ග්‍රාමීය සංවර්ධනයට මුදල් වැය කරනවා. ඒ මුදල් වැය වන ආකාරය සොයා බැලුවහොත් ගම්වලට මුදල් එන්නේ කෙසේද ? ඒ ප්‍රතිපාදන ගමේ අත්‍යවශ්‍ය කටයුත්තකට වැය කරනවාද ? ආදි වශයෙන් ඕනෑම අයෙකුට තමන්ගේ ගම දිහා බලලා වුණත් තීරණය කළ හැකියි. ග්‍රාම සංවර්ධන සමිති තුළින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒවාට තිබෙන්නේ වෙනම ම කාර්යභාරයක්. නමුත් ජනසභාව කියන්නේ ඊට වඩා පුළුල් වපසරියක් තුළ ගම සම්බන්ධ තීන්දු ගැනීමට ‘නෛතික බලයක් ‘සහිතව පිහිටුවන ආයතනයක්.

  • ජනසභාත්, සමූපකාර සමිති පාලනය වාගේ දේශපාලන ග්‍රහණයට නතුවිය හැකි බවට තර්කයක් ඉදිරිපත් කළ හැකියි නේද ? මෙවැනි තත්ත්වයක් සඳහා අවකාශයක් ඇත්තේ ම නැද්ද ?

ජනසභාවල බලය දේශපාලන බල අරගලවලට කිසිම ආකාරයකින් සම්බන්ධ වෙන්නේ නැහැ. මම මුලදී සඳහන් කළ ආකාරයට ජනසභාවේ නියෝජිතයෝ පත්වෙන්නේ, අවුරුදු 16ට වැඩි, ගම නියෝජනය කරන සියලු දෙනාගේ ම කැමැත්තෙන්. මම පැහැදිලි කළ ආකාරයට ජනසභා කාරක සභාවට නියෝජිතයෝ 25 දෙනෙක් තෝරා ගන්නවා, ඊට වඩා වැඩි සංඛ්‍යාවක් යෝජනා වුණොත් ඒ අය අතරින් නියෝජිතයෙක් තෝරා ගන්න ඡන්දය ප්‍රකාශ කිරිමක් සිදුවන්නේ නැහැ. ඡන්දය කියන්නේ ‘බෙදීමක්‘. ජනසභා සංකල්පය තුළ මේ ආකාරයෙන් ගම බෙදීමක් කරන්න අපේ කිසිම සූදානමක් නැහැ. ඒ නිසා අපි කරන්නේ ඉදිරිපත් වන නම් අතරින් ‘ලොතරැයි ක්‍රමයකට‘ නියෝජිතයින් තෝරා ගැනීමයි. ඒ අනුව අපි විශ්වාස කරනවා ජනසභාව කිසිම ආකාරයකින් දේශපාලන බල අරගලයකට ගොදුරු නොවෙයි කියලා.

  • රටේ ජනතාවට ජනසභාවක පංගුකාරයෝ වෙන්න ලැබෙන්නේ කවදා සිටද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ජනසභාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංකල්ප පත්‍රිකාව පදනම් කරගෙන, වත්මන් ජනාධිපතිතුමා එතුමාගේ රාජාසන කතාවේදී ප්‍රකාශයක් කරනවා. එහිදී ජනාධිපතිතුමා කියනවා ‘තම රජය මේ රට තුළ ජනසභා සංකල්පය ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කරන බව‘. ඒ අනුව ‘ප්‍රතිපත්තියක් ලෙස ජනසභා සංකල්පය ක්‍රියාත්මක කිරීමට‘ කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් ගන්නවා. ඒ අනුව ජනසභා සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ‘තාවකාලිකව‘ ජනසභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනවා.

මෙම ලේකම් කාර්යාලය පිහිට වූ පසු එම ලේකම් කාර්යාලය විසින් ජනසභා සංකල්පයට අදාළ සංකල්ප පත්‍රිකාව වැඩි දියුණු කළා. විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රවීණයින්ගෙන් අදහස් සහ යෝජනා ලබාගෙන මූලික කෙටුම්පත සකස් කළා. ඒ අනුව මුල් දින 45 ඇතුළත අපිට හැකියාව ලැබුණා ජනසභා ස්ථාපිත කිරීමට අදාළ කෙටුම්පත ජනාධිපති ලේකම්තුමා වෙත යොමු කරන්න. ජනාධිපති ලේකම්තුමා විසින් එම කෙටුම්පත නීතිඥ කමිටුවකට සහ පරිපාලන නිලධාරීන්ගේ කමිටුවකට ඉදිරිපත් කර, එතැනිනුත් අදහස් ලබා ගැනීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අගමැතිතුමා මේ සම්බන්ධයෙන් එතුමගේ නිරීක්ෂණ පහක් ඉදිරිපත් කර තිබෙනවා. අපි ඒ නිරීක්ෂණ පහ අධ්‍යයනය කිරීම සඳහා ‘අමාත්‍ය අනු කමිටුවක්‘ පත් කළා. ඔවුන්ගේ නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසුව අපි ඒ නිරීක්ෂණ හා යෝජනා පිළිගනිමින් අපි අවසන් කෙටුම්පත සකස් කළා ඒ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යවා ඔවුන්ගේ අදහස් හා යෝජනා නැවත ලබා ගත්තා. ඊට පසුව අදාළ කෙටුම්පත අගමැතිතුමාට හා අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත් කිරීමට අපි පියවර ගත්තා. මෙම අනුකමිටුවේ නිර්දේශ සහිතව, අදාළ කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පසු  එම කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට යවලා එය ‘පනතක්‘ ලෙස සකස් කර පාර්ලිමේන්තුවට යොමු කර, එහි දී සම්මත වූ පසු ‘නීතියක්‘ බවට පත්කරගෙන ජනසභා සංකල්පය ක්‍රියාත්මක කළහැකියි.

මේ වන විට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට අදාළ පනත් කෙටුම්පත යොමු කර තිබෙනවා. මේ අතර මේ සංකල්පය හා සම්බන්ධ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව අත්හදා බැලීම සඳහා ‘ආදර්ශ ගොඩනැගීමට‘ කැබිනට් මණ්ඩලය අපට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව අපි දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ආකාරයට ‘ආදර්ශ ජනසභා‘ 29ක් අපි ගොඩනගලා තිබෙනවා. මේ දිනවල අපි ජනසභා ක්‍රමය ක්‍රියාත්මක වීමේදී පැනනැගිය හැකි ගැටලු ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ වගේම මේ ක්‍රමය සම්බන්ධයෙන් අපි තරුණයින්ව දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටිනවා.

ඒ වගේම ජනසභා පනත් කෙටුම්පතේ 25%ක කාන්තා නියෝජනයක් ගැන සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් ද කාන්තාවෝ දැනුවත් කරන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙම කටයුතු වලට සමගාමීව ස්වේච්ඡා සංවිධාන සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙනවා.  ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි ආගමික නායකත්වය දැනුවත් කිරීම. අපි මේ වන විට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන සියලුම ප්‍රදේශවල ආගමික නාකයින්ට ජනසභා සංකල්පය සහ එහි වැදගත්කම, ක්‍රියාකාරීත්වය ආදිය ගැන පැහැදිලි කරමින් සිටිනවා. එසේම මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී බිම් මට්ටමේ කටයුතු කරන ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට වැදගත් කාර්යභාරයක් පැවරෙන නිසා ඔවුන් ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ පසුබිම තුළ අපි බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලය මෙම කෙටුම්පත අනුමත කළ සැනින් මෙය පනත් ලෙස සම්මත කරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයත් එක්කර, ජනතාව විසින් පත්කරන තමන්ගේ මහජන නියෝජිතයත් එක්ක එකට එකතු වෙලා තීන්දු – තීරණ ගන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න.

Leave A Comment