ජනාධිපති සමාව ලබාදීමේ නීතිය පැහැදිලි විය යුතු අතර එය ලබාදීම දැඩි කොන්දේසිවලට යටත් කළ යුතුයි – මහාචාර්ය දීපිකා උඩුගම
- Editor
- October 15, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
මා මෙහි දී යළි අවධාරණය කරන්නේ ජනාධිපති සමාව ලබාදීමකට අදාළ කොන්දේසි ඉතා පැහැදිලි විය යුතු අතර දැඩි කොන්දේසි සහිතව එය සිදුවිය යුතු බවයි. ජනාධිපතිවරයා අභිමතානුසාරි බලයක් ලබාදීම තුළින් ජනාධිපති සමාව ලබාදීමේ අරමුණ වෙනතකට යොමු කරන්නේ නම්, එය අපයෝජනය වන්නේ නම් එය වළක්වා ගැනීම ‘හොඳම’ පියවර වශයෙන් සැලකිය හැකිය. එසේම මෙවැනි තත්ත්වයක් උද්ගත වන සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට යම්කිසි නිත්‍ය මණ්ඩලයක් පිහිටුවිය යුතුය.
ජනාධිපති සමාව: නීතිය, පටිපාටිය හා ගැටලු

‘ජනාධිපති සමාව’ මේ වන විට සමාජයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති අතර නීති හා දේශපාලන ක්ෂේත්රය තුළ ද මේ සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් සිදුවෙමින් පවතී. මෙහි ඇති විශේෂතා කිහිපකි. මීට දශකයකට පමණ ඉහත දී බන්ධනාගාර ගත කර සිටින යම්කිසි පුද්ගලයෙකුට ජනාධිපතිවරයා සමාව ප්රදානය කළොත් කිසිවෙක් එය ප්‍රශ්න නොකළ අතර, එය යළි නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමක් ද සිදු නොවීය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ගෝණවල සුනිල් නම් පුද්ගලයාට ජනාධිපති සමාව ප්රදානය කිරීම සමාජය තුළ ආන්දෝලනයක් ඇති කළත් ඊට පසු එවැනි සමාව ප්රදානය කිරීම් සම්බන්ධයෙන් සමාජය හෝ නීතිඥ ප්‍රජාව වැඩි අවධානයක් යොමු කළේ නැත. එනිසාම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සිට බලයට පත් වූ ජනාධිපතිවරුන් අවස්ථා ගණනාවක දී ජනාධිපති සමාව ප්රදානය කර ඇත.
මෙහි ප්‍රබල වෙනසක් ඇති වූයේ 2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සමඟය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා අතින් සිදුවන මූලික අයිතිවාසිකම් කඩවීමක දී ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ අවස්ථාව උදා විය. මේ සමඟ ‘විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් ප්‍රශ්න කළ නොහැකි’ බවට සමාජය තුළ තිබූ අදහස ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින ආකාරයක් ද නිරීක්ෂණය කළ හැකිය.
මෙහි අදහස වන්නේ ‘විධායක ජනාධිපතිවරයාට අණ්ඩුක්රම ව්‍යවස්ථාවෙන් ලබා දුන් බලතල අවභාවිත වීමක් සිදුවන්නේ ද?’ යන්න සම්බන්ධයෙන් පුුළුල් අවධානයක් මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වීමය.
මෙම සංවාදයේ දී මූලික අවධානයක් යොමුවන්නේ ජනාධිපති සමාව සම්බන්ධයෙන් පවතින නිර්ණායක සහ අදාළ නීතියට යම් ප්රතිසංස්කරණයක් අවශ්‍ය වන්නේ ද, සහ එසේ අවශ්‍ය වන්නේ නම් ඒ මොනවාද ? යන්න සලකා බැලීම වෙතය.
+ + + + + + + +
‘ජනාධිපති සමාව’ මේ වන විට සමාජයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති අතර, එය මෙතරම් උණුසුම් මාතෘකාවක් බවට පත් වූයේ බොහෝ පිරිසක් මේ දෙස ‘පුද්ගල බද්ධව’ බැලීමය, එනම් ජනාධිපති සමාව ලැබුණු යම් යම් පුද්ගලයින්ට එය ප්රදානය කිරීම සාධාරණ ද, නැද්ද ? යන්න ගැන ජනතාව පුද්ගල බද්ධව කතා කිරීම හේතුවෙන් එය උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.
නමුත් මෙය පිටුපස ඊට වඩා වැදගත්, සංකීර්ණ ප්‍රශ්නයක් තිබේ. එහි අදහස නම් ‘ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් තුළ විධායක ජනාධිපතිවරයාට මෙතරම් බලයක් ලබාදිය යුතු ද, එවැනි බලයක් ලබාදිය යුතු ඇයි සහ එය කොන්දේසි සහගත විය යුතු ද ?’ යන ප්රශ්නය උද්ගත වීමය.
මෙය ඉතාම වැදගත් කරුණක් ලෙස සැලකිය හැකිය. නමුත් මෙය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වුණ සංකල්පයක් නොවේ. යටත් විජිත පාලන සමයේ පවා ‘කිරීටයට/ රජුට හෝ රැජිණට’ මෙම බලය ලබා දී තිබුණේය. එය බොහෝ විට චාරිත්‍රානුකූල බලයක් හෝ ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත රටවල ව්‍යවස්ථාව මඟින්ම ලබා දුන් බලයක් විය.
යටත් විජිත හෝ රජු හෝ රැජිණගේ පාලනයක් යටතේ ‘සමාව ප්රදානය කිරීම’ සම්පූර්ණයෙන්ම රජුගේ හෝ රැජිණගේ අභිමතය අනුව සිදුවිය. මෙහි දී සමාව ප්‍රදාන කිරීම සලකනු ලැබුවේ ‘ත්‍යාගයක්’ හෝ ‘වරදානයක්’ වශයෙනි. මේ පසුබිම තුළ පෞද්ගලික හේතු, දේශපාලන හේතු මත සමාව ප්රදානය කිරීම සිදුවිය.
- අභියෝගය කුමක් ද ?
නමුත් වර්තමානයේ ලංකාවේ ද ඇතුළු ලෝකයේ බහුතරයක් රටවල ක්‍රියාත්මක වන්නේ ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයකි. මෙම පාලනය ක්‍රමය තුළ මේ ආකාරයේ ඉතාම වැදගත්, තීරණාත්මක සිදුවීමකට මැදිහත් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විධායකයට බලතල ලබා දිය යුතු ද, එසේ ලබා දෙන්නේ නම් ඒ කුමනාකාරයේ බලතල ද, යන්න ප්‍රධාන ප්රශ්නයකි.
මෙවැනි සංවාදයක් ප්රජාතන්ත්රවාදයට වැදගත් වන්නේ ඇයි ? ද යන්න දෙස අප මීළඟට අවධානය යොමු කළ යුතුය. ප්රජාතන්ත්රවාදය තුළ මෙය වැදගත් වන්නේ ‘සංවරණ සහ තුලන ක්‍රමය’ නිසාය. මෙහි දී අධිකරණමය කෘත්‍යයකට විධායකය අත පොවන්නේ නම් එය සංවරණ සහ තුලන ක්‍රමයක් වන්නේ කෙසේදැයි, යමෙකුට ප්‍රශ්න කළ හැකිය.
මෙය ඉතාම වැදගත් ප්රශ්නයකි. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ යම් පුද්ගලයෙකුට අසාධාරණයක් සිදුවී තිබෙනවා නම් ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් තුළ මූලික අරමුණ විය යුත්තේ එය නිවැරදි කිරීමය. මෙහි අදහස නම් යම් පුද්ගලයෙකු අයුතු හෝ අසාධාරණ ලෙස සිරදඬුවමක් විඳින්නේ නම් එයට සහනයක් ලබා දිය යුතු බවය. මෙහි මූලික අරමුණ විය යුත්තේ ‘මහජන යහපත’ය. ශත වර්ෂ කිහිපයක් පුරා ප්රජාතන්ත්රවාදී ලෝකයේ ‘මහජන යහපත’ නම් සංකල්පය වැඩි දියුණු වී ඇත. වර්තමාන ප්රජාතන්ත්රවාදී ලෝකයේ එය වැදගත් සංකල්පයක් ලෙස හඳුනා ගෙන ඇත.
නමුත් මෙතැන ඇති ප්රශ්නය වඩාත් සංකීර්ණය. බොහෝ රටවල විධායකය බලසම්පන්න නම් (ලංකාවේ මෙන්) තත්ත්වය වඩාත් හානිකර වේ. විශාල බලයක් සහිත විධායක තමන්ට ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති බලතල නිසි පරිදි භාවිතා නොකළහොත් හෝ අවභාවිත කළහොත් බරපතළ තත්ත්වයක් උද්ගත වේ. මෙහි ඍණාත්මක බලපෑම වන්නේ ‘නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයෝය’ යන ඉතාම වැදගත් අයිතිය සහ මූලධර්මය උල්ලංඝණය වීමය. මේ හරහා ජනතාවගේ සමානාත්මතාවය තහවුරු කිරීමේ මූලධර්මය ද පැහැදිලිව උල්ලංඝණය වේ.
මෙහි දී යළි යළිත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ ‘නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි’ නම් සංකල්පය ප්රජාතන්ත්රවාදී සමාජය අතිෂය වැදගත් භාවිතයක් වීමය.
- මහජන විශ්වාසය බිඳ වැටීම
මෙවැනි පසුබිමක් තුළ විධායකය තමන්ට කැමති කැමති ආකාරයට හෝ දේශපාලන වුවමනා එපාකම් මත, නිවැරදි කරුණු දැක්වීමකින් තොරව යම් යම් පුද්ගලයින්ට ජනාධිපති සමාව ප්රදානය කිරීම තුළින් සිදුවන්නේ අධිකරණය සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටීමය. බලසම්පන්න විධායකයට අධිකරණයට සමච්චල් කිරීමට හෝ අත පෙවීමට හැකි බවට මතයක් මෙවැනි සිදුවීම් හරහා ජනතාව තුළ ඇති වන්නේය. මෙය කිසිසේත් යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.
මෙහි දී තවත් වැදගත් කරුණක් වෙත අවධානය යොමු විය යුතුය. 1978 සිට 2015 දක්වා කාලය තුළ ජනාධිපති සමාව ලබාදීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණේ ජනාධිපතිවරයාට ‘පුර්ණ මුක්තියක්’ තිබීම නිසාය. එහි සරල අදහස වන්නේ ‘ජනාධිපතිවරයාට එරෙහිව කිසිම ආකාරයේ නඩුකරයක් ගෙන ඒමට නොහැකි බව’ය.
නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යාතිරේකයක් ලෙස පිළිගන්නා ලද්දේ (මේ ගැන අපි කවුරුත් සතුටු විය යුතුයි) මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකි බවය. මේ තත්ත්වය තුළ ජනාධිපති සමාව ලබාදීමට සම්බන්ධ සෑම සිද්ධියක්ම වර්තමානයේ දී අභියෝගයට ලක්වන්නේය.
මෙහි අදහස වන්නේ ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ව්‍යවස්ථාපිත බලය අපයෝජනය කරන විට ජනතාවගේ ස්වෛරීත්වය සහ ‘සියලු දෙනා නීතිය ඉදිරියේ සමානය’ යන අයිතිවාසිකම වීමය.
මූලික අයිතිවාසිකම් යනු ජනතාව සතු පරමාධිපත්‍ය බලයේ කොටසකි. එසේම රාජ්‍ය බලය ද ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසකි. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 වන වගන්ති). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ බලය ලබාදී ඇත්තේ අධිකරණය වෙතය. මෙවැනි පසුබිමක් තුළ අධිකරණ බලය හෑල්ලු වන ආකාරයට විධායකය සිය බලතල භාවිතා කළහොත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ද හෑල්ලුවට ලක්වීමක් සිදුවේ.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 (ඉ) උප වගන්තියට අනුව රජයේ සෑම ආයතනයක්ම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සාක්ෂාත් කිරීම, ගරු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම කළ යුතුය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ මූලික අයිතිවාසිකම් රාමුවෙන් පිටත මේ කිසිවක් කිරීමට අවස්ථාව හිමි නොවේ.
තුලනාත්මක නීතිය
ලෝකයේ එක් එක් රටවල ක්‍රියාත්මක වන තුලනාත්මක නීතිය දෙස බලන විට එක් එක් රටවල විවිධ සම්ප්‍රදායන් ක්‍රියාත්මක වේ. නමුත් එහි දී හඳුනා ගත හැකි පොදු ලක්ෂණයක් වන්නේ බොහෝ රටවල් වල ක්‍රමිකව මේ බලය අහෝසි කරන තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතීමය (බ්‍රිතාන්‍ය පොදු නීතිය ක්‍රියාත්මක වන රටවල). උදාහරණයක් ලෙස මහා බ්‍රිතාන්‍ය 1997 දී මේ සම්බන්ධ කොමිෂමක් පත් කළේය. මෙම කොමිෂමේ කාර්යභාරය වන්නේ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න සහගත අධිකරණ තීන්දු මෙම කොමිෂමට පත්කර සිටින නීතිඥවරුන් විසින් සමාලෝචනය කර බැලීමය. යම්කිසි ආකාරයකින් අදාළ අධිකරණ තීන්දුවක දී එය නිසි ආකාරයෙන් විමසා බැලීමක් සිදු නොවූ තත්ත්වයක් (නිසි පරිදි සාක්ෂි විභාග නොකිරීම වැනි) කොමිෂමට නිරීක්ෂණය වුවහොත් අදාළ තීන්දුව අභියාචනා ක්‍රමයකට යොමු කිරීමට කොමිෂම පියවර ගන්නේය. මෙම අභියාචනා ක්‍රියාවලිය අවසන් වූ පසු යම්කිසි ආකාරයක සීමිත සමාව දීමක් සිදුවන අතර, එය දැඩි කොන්දේසි සහිතව සිදුවේය
- අවසාන කිරීම
‘ජනාධිපති සමාව ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම ජනාධිපතිවරයාට ලබා දෙන බලයක් ලෙස තව දුරටත් තබා ගත යුතු ද ?’ යන ප්‍රශ්නයට මාගේ පිළිතුර වන්නේ, සංවරණ හා තුලන ක්‍රමය දෙසින් සහ ඒ හරහා ජනතාවට සිදුවන සාධාරණය හා සම්බන්ධ කෝණයෙන් බලන්නේ නම්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අසාධාරණ වන අවස්ථාවක දී ජනතාවට විඳීමට සිදුවන ගැහැට දෙස බලන විට ජනාධිපති සමාව දීම තව දුරටත් පවත්වා ගෙන යා යුතුය. එය අනිවාර්යයෙන්ම තිබිය යුතුය. නමුත් එය පවත්වා ගෙන යා යුතු වන්නේ දැඩි කොන්දේසි සහිතවය.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද මරණ දණ්ඩනයට ලක් වූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබාදීමේ දී අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාපටිපාටිය පැහැදිලිව දක්වා ඇත. නමුත් අනෙක් තීන්දු සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාපටිපාටියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දක්වා නැත. ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධ සිද්ධියේ ද මෙම තත්ත්වය උද්ගත විය. මෙහි දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරුණු දැක්වීමකින් තොරව ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදී ඇති බවයි. එනම් ‘යාන්ත්‍රිකව සමාව ප්රදානය කර ඇති බවයි’.
මා මෙහි දී යළි අවධාරණය කරන්නේ ජනාධිපති සමාව ලබාදීමකට අදාළ කොන්දේසි ඉතා පැහැදිලි විය යුතු අතර දැඩි කොන්දේසි සහිතව එය සිදුවිය යුතු බවයි. ජනාධිපතිවරයා අභිමතානුසාරි බලයක් ලබාදීම තුළින් ජනාධිපති සමාව ලබාදීමේ අරමුණ වෙනතකට යොමු කරන්නේ නම්, එය අපයෝජනය වන්නේ නම් එය වළක්වා ගැනීම ‘හොඳම’ පියවර වශයෙන් සැලකිය හැකිය. එසේම මෙවැනි තත්ත්වයක් උද්ගත වන සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට යම්කිසි නිත්‍ය මණ්ඩලයක් පිහිටුවිය යුතුය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 294 වැනි කතිකාවේ දී (ජනාධිපති සමාව: නීතිය, පටිපාටිය හා ගැටලු) මහාචාර්ය දීපිකා උඩුගම විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
මෙම කතිකාව හරීන්දු බී දසනායක විසින් මෙහෙය වන ලදි.
සටහන – තුෂාල් විතානගේ

