ණය බරින් මිරිකෙන රජයේ ආයතන අතර රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි අනාගතය

සාධාරණය සමාජයක් සඳහා වන ජාතික ව්‍යපාරය ද සිය කතිකාව සංවාද මාලාවේ 220 වැනි සංවාදය ‘ණය බරින් මිරිකෙන රජයේ ආයතන අතර රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි අනාගතය’ යන තේමාව යටතේ පසුගිය දා පැවැත්වීය.  මෙම සංවාදය සඳහා සම්පත්දායකයින් ලෙස ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) හිටපු සභාපති, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිනී, සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී සහ ප්‍රතිපත්ති විශ්ලේෂක, මහාචාර්ය රොහාන් සමරජීව සම්බන්ධ වූ අතර ජනමාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේය. මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

හිමිකාරීත්වය හා පාලනය ආයතන දෙකකට තිබීම නිසා අරමුණු අතර ගැටුමක් තිබෙනවා –  ස්වාධීන රූපවාහිනී ජාලයේ හිටපු සභාපති, නීතිඥ සුදර්ශන ගුණවර්ධන

ස්වාධීන රූපවාහිනී ජාලය යනු කෝප් කමිටුවේ අධීක්ෂණයට ලක්වන රාජ්‍ය ව්‍යවසායකි. එහි හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරයට සතු වුවත් ආයතනය ගැසට් කර තිබෙන්නේ රේඛීය අමාත්‍යාංශය වන ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේය. ඒ අනුව ස්වාධීන රූපවාහිනී ජාලයේ අයිතිය හා පාලනය රාජ්‍ය ආයතන දෙකක් අතරේ බෙදී ගොස් ඇත.

ආයතනය රාජ්‍ය ව්‍යවසායක් හෙයින් එය ලාභ ලබන තත්ත්වයකින් පවත්වා ගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමු වන අතර, එය අමාත්‍යාංශයක් යටතේ පවත්වා ගෙන යනු ලබන හෙයින් ‘රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන තවත් එක් රාජ්‍ය ආයතනයක තත්ත්වයෙහිලා’ සැලකීමේ ස්වභාවයක් ද දැකගත හැකිය.

රජයේ හොරණෑවක්

“මේ අරමුණු දෙක අතරේ ගැටුමක් තිබෙනවා” ස්වාධීන රූපවාහිනී ජාලයේ හිටපු සභාපති සුදර්ශන ගුණවර්ධන ස්වාධීන රූපවාහිනි ජාලය මුහුණ දෙන බරපතළම ගැටලුවක් පෙන්වා දුන්නේය.

“පවතින රජයේ දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා, ඒ වගේම පවතින රජට හිතවත් අයට වැඩි සැලකිල්ලක් දක්වලා, අහිතවත් අයට අඩු සැලකිල්ලක් දක්වන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයි කියලා නීතිමය වශයෙන් නොතිබුණාට, එසේ ක්‍රියාත්මක විය යුතුයි කියන අදහසක් තිබෙනවා. ඒ නිසා ස්වාධීන රූපවාහිනිය කොතරම් ස්වාධීනව පවත්වා ගෙන ගිය අවශ්‍ය ඔ්නෑම අවස්ථාවකදී ඒක රජයේ හොරණෑවක් බවට පත්කර ගන්න පුළුවන් කියලා ආකල්පයක් තිබෙනවා. අනෙක් අතින් ඔ්නෑම රජයක බලවතුන්, ආධාරකරුවන් කල්පනා කරනවා ‘රාජ්‍ය මාධ්‍ය රජය වෙනුවෙන් දේශපාලනය කළ යුතුයි’ කියලා. දේශපාලනය පමණක් නොවෙයි විනෝදාස්වාද වැඩසටහන් පවා රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගතව ක්‍රියාත්මක විය යුතුයි කියලා ආකල්පයක් තිබෙන පිරිසක් ඉන්නවා” ස්වාධීන රූපවාහිනී ජාලය ක්‍රියාත්මක වන සහ ක්‍රියාත්මක වීමේ දී මුහුණ දීමට සිදුවන පොදු  අභියෝග සුදර්ශන පැහැදිලි කළේය.

සිදුකළ යුතු වෙනස්කම්

ප්‍රශ්නය වන්නේ මාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය තිබෙන්නේ රජයට ද  ?, පෞද්ගලික ව්‍යවසායකයෙකුටද යන්න නොවේ. රාජ්‍ය මාධ්‍ය රජයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක වන්නා සේම පෞද්ගලික මාධ්‍ය ක්‍රියාකාරීත්වය ද අදාළ හිමිකරුගේ න්‍යාය පත්‍රය අනුව සිදුවේ.

“සමහර විට රාජ්‍ය මාධ්‍යවලටත් වඩා බරපතළ ලෙස සිය දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන පෞද්ගලික මාධ්‍ය ආයතන තිබෙනවා. මම යළි අවධාරණය කරනවා, මෙතන ප්‍රශ්නය තිබෙන්නේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් නොවෙයි, ප්‍රතිපත්තිමය රාමුව සම්බන්ධයෙන්. රාජ්‍ය මාධ්‍ය මූල්‍ය ප්‍රතිලාභ ගැන කල්පනා කරනවා නම් ඊට අදාළ ප්‍රතිපත්තිමය රාමුවක් තුළ ක්‍රියාත්මක විය යුතුයි. වියදමට වඩා ආදායමක් ලබා ගැනීම අරමුණු කරගෙන ක්‍රියාත්මක විය යුතුයි. අනාගතය සඳහා වන ආයෝජන ද සිදුවිය යුත්තේ ලාභය මත පදනම්වයි. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන ‘රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා’ කියන රාමුවෙන් ගළවලා, කිසියම් ආකාරක මූල්‍යමය ස්වාධීනත්වයක් ලබාදීලා, අධ්‍යක්ෂ මණ්ඩලවලට හැකියාවක් ඇති, ස්වාධීන පුද්ගලයින් පත්කරලා, රාජ්‍ය ආයතනවල බඳවා ගැනීමේ පටිපාටිවලින් ඉවත්වෙලා, කුසලතා සහිත පිරිසක් බඳවා ගත හැකි වන ආකාරයට කාර්යපටිපාටි හා වැටුප්තල සංශෝධනය කිරීම අත්‍යවශ්‍යයි කියලා මම කල්පනා කරනවා” සුදර්ශන ගුණවර්ධන සඳහන් කළේය.

බඳවා ගැනීමේ අවුල

ස්වාධීන රූපවාහිනී ජාලය ඇතුළු රාජ්‍ය මාධ්‍යවලට ‘විධිමත් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක්’ නොතිබූ බව සුදර්ශන මෙහිදී පෙන්වා දුන්නේය. ඔහු පෙන්වා දුන්නේ යම්යම් අවස්ථාවල මෙම සීමාව අතික්‍රමණය කළ අවස්ථා කිහිපයක් තිබුණ ද ප්‍රශ්නයක් පවතින බවයි.

“ප්‍රධාන තනතුරුවලට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවුණා කියලා හිතන්න අමාරුයි. නමුත් වැටුප් තල තරඟකාරී නැහැ. අපේ වැටුප්තල තිබෙන්නේ වානිජ වශයෙන් තරඟ නොකරන, සාමාද්‍ය රාජ්‍ය ආයතනවල ආකාරයටමයි” සුදර්ශන රාජ්‍ය මාධ්‍ය මුහුණ දෙන තවත් ගැටලුවක් පැහැදිලි කළේය. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ රියැදුරු ඇතුළු ‘පහළ තනතුරුවලට’ සැලකිය යුතු දේශපාලන පත් කිරීම් ප්‍රමාණයක් සිදුවන බවයි.

“ප්‍රශ්නය තිබෙන්නේ ‘වැඩකාරයින්ට වැඩ කරන්න පසුබිමක් තිබෙනවාද ? කියන එකෙයි.  නිෂ්පාදක අංශයේ නිලධාරීන්ට පහළ ශ්‍රේණිවල සිට ඉහළට යන්න අවස්ථාව තිබෙනවා. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ අපිට ‘සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළ මත රඳා පැවතීමට සිදුවීමයි. රජයට මුදල් දෙන්න හැකියාවක් නැහැ, ඒ වගේම රජය මුදල් දෙන්නෙත් නැහැ. රජය මුදල් ලබාදීමත් යහපත් තත්ත්වයක් නොවෙයි. ඒක තරඟකාරීත්වය බලපානවා. ඒ අතරේ විගණනයේදී ප්‍රශ්න ඇති වෙනවා. මේ තත්ත්වය තුළ වෙළෙඳපොළට ප්‍රතිචාර දක්වන්න නොහැකි වැඩසටහන් නිෂ්පාදනය දුර්මුඛ වෙනවා”

මෙහිදී විකාශන කාලය අලෙවි කිරීම, ප්‍රසම්පාදනය හරහා ටෙලි නාට්‍ය ලබා ගැනීම ආදිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළ සුදර්ශන පෙන්වා දුන්නේ මෙම තත්ත්වය හමුවේ රාජ්‍ය මාධ්‍ය ආයතන සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දෙන බවයි.

‘මේ තත්ත්වය තුළ ආයතනික නිෂ්පාදකයින්ට කරන්න වැඩක් නැතිව යනවා. මේ නිසා තමයි ‘කරන්න තරම් වැඩක් නැති’ යම් පිරිසක් රාජ්‍ය මාධ්‍යවල ඉන්නේ” ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී සුදර්ශන ගුණවර්ධන තමා ස්වාධීන රූපවාහිනිය ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට ගන්නා ලද පියවර කිහිපයක් ද හෙළි කළේය. ඒ අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා ක්‍රමවේදයක් හඳුන්වා දී සේවක පිරිස අඩු කිරීම, ආයතනික වියදම් අවම කිරීමේ ක්‍රමවේදයන් වෙත යාම සහ වාණිජ දැන්වීම් මිල ගණන් 35%කින් ඉහළ දැමීම ප්‍රධාන ප්‍රතිසංස්කරණ යෝජනා අතර තිබූ බව ස්වාධීන රූපවාහිනී ජාලයේ හිටපු සභාපති සුදර්ශන ගුණවර්ධන හෙළි කළේය.

හැකියාවට වඩා අදාළ පුද්ගලයා විසින් ගන්නා වූ තීන්දු – තීරණ – ප්‍රවීන සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී, ජාතික රූපවාහිනියේ හිටපු සභාපති

1982 අංක 06 දරන පනතින් ස්ථාපිත ජාතික රූපවාහිනිය යනු ඍජුවම රජයට අනුබද්ධ ‘පූර්ණ රාජ්‍ය සංස්ථාවකි’. නමුත් ස්වාධීන රූපවාහිනිය යනු ‘අර්ධ රාජ්‍ය ආයතනකි. නමුත් භාවිතය තුළ එය ද ‘රාජ්‍ය මධ්‍ය ආයතනයක්’ ලෙස අනියම් ලෙස කටයුතු කරනු ලැබේ.

භාණ්ඩාගාරයේ ප්‍රදාන අහිමි වීම

සංවාදයට ප්‍රවේශයක් ලෙස තමා ජාතික රූපවාහිනියේ සභාපතිනිය ලෙස මුහුණ දුන් අභියෝග සහ එම අභියෝගවලට මුහුණ දී තත්ත්වය කළමනාකරණය කරගත් ආකාරය පැහැදිලි කළ ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී  තම අත්දැකීම් පැහැදිලි කරමින් මෙසේ පැවසුවාය,  “මම 2018 මැයි 17 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා ජාතික රූපවාහිනියේ සභාපතිනිය වශයෙන් කටයුතු කළා. මම සේවයෙන් ඉවත් වෙන්නේ නව රජයක් බලයට පත් වුණාට පස්සේ. මගේ පාලන සමය තුළ මට මුහුණ දීමට සිදුවුණ අත්දැකීම තමයි, මෙම කාලයේ (මම ආයතනය භාර ගන්න පෙර සිට) රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසියම් වරප්‍රසාදයක් ජාතික රූපවාහිනියට ලබාදීලා තිබුණා. ඒ අනුව සේවක වැටුප් ගෙවීමට රුපියල් මිලියන 25ක් භාණ්ඩාගාරයෙන් ප්‍රදානයක් ලෙස මාසිකව ලබා දුන්නා. නමුත් සේවක වැටුප් ලෙස මිලියන 6කට අධික මුදලක් ගෙවීමට සිදු වුණා.  විකාශන, නඩත්තු සහ මෙහෙයුම් කටයුතු ද ඇතුළු සියලු කටයුතු සඳහා මාසිකව රුපියල් මිලියන 95කට අධික මුදලක් වැය කිරීමට සිදු වුණා. මේ අතර 2019 වර්ෂයේ රාජ්‍ය මූල්‍ය පාලන ප්‍රතිපත්තිය මත, ජනවාරී මාසයේ සිට ජාතික රූපවාහිනියට ලබා දුන් රුපියල් මිලියන 25ක මාසික ප්‍රදානය අහිමි කළා.  මේක බරපතළ තත්ත්වයක්. මම උගුලක හිරවුණා කියලා මට හිතුණා. මේ අභියෝගය භාර නොගත්තොත් ‘මට ගිලිලා මැරෙන්න වෙනවා’ කියලා මම දැන ගෙන හිටියා. ඒ නිසා මම ඒ අභියෝගය භාර ගත්තා. ඒ අනුව 2019 වර්ෂයේ, මම සේවයෙන් ඉවත්ව යන තුරු අපි විසින් උපයා ගත් මුදල්වලින් සියලුම වියදම් පියවා ගන්න අපට හැකියාව ලැබුණා.  අපි ලාභ නොලබන තත්ත්වයක් දක්වා නොගියට මාසිකව රුපියල් මිලියන 25 බැගින් අපි රාජ්‍ය භාණ්ඩාගාරයට ඉතිරිකර දුන්නා”

“මම ඉවත් වුණා විතරයි, 2020 සිට අර මුදල නැවත ලබා ගන්න ජාතික රූපවාහිනිය කටයුතු කරලා තිබුණා” ඉනෝකා කීවේය.

මහා භාණ්ඩාගාරය විසින් මාසික ප්‍රදානයක් ලෙස ලබා දුන් රුපියල් මිලියන 25 නොමැතිව තමා (අපි) ජාතික රූපවාහිනිය පවත්වා ගෙන ගියේ කෙසේ දැයි ඇය මෙහිදී ප්‍රශ්න කළාය.

මෙහිදී යම්කිසි චෝදනාත්මක ස්වරයකින් ඇය කියා සිටියේ ‘ඉතිහාසය ලියවෙන්නේ පුරුෂ දෘෂ්ටිකෝණයකින්’ නිසා තමා කළ මෙහෙවර නොසලකා හැරීමට ලක්විය හැකි බවයි.

“ස්ත්‍රීන් අතින් සිදුවන යම් යම් පරිවර්තන ඉතිහාසය තුළ එතරම් වර නැගෙන්නේ නැහැ. නමුත් මේක ජාතික රූපවාහිනියේ සියලු සේවකයින්, වෘත්තීය සමිති සහ ප්‍රමාණික විද්වතුන් දන්න පොදු තත්ත්වයක්. මෙතනදී වැදගත් වෙන්නේ මහා භාණ්ඩාගාරය විසින් මාසිකව ලබා දුන් රුපියල් මිලියන 25ක ප්‍රදානය නොමැතිව මම කටයුතු කරගෙන ගියේ කොහොමද ? කියන එකයි. එම ක්‍රමවේදය කුමක්ද ? යන්නයි”  ඉනෝකා සත්‍යාංගනී සඳහන් කළාය.

ආණ්ඩුවේ අතපෙවීම්

රාජ්‍ය මාධ්‍ය වේවා, පුද්ගලික මාධ්‍ය වේවා ආදායම් උපයා ගන්නා විකාශන කාලය අලෙව් කිරීම මඟිනි. එහෙත් රාජ්‍ය මාධ්‍ය නාළිකා මෙහිදී බරපතළ අභියෝගයකට මුහුණ දෙන්නේ ය. ඒ රජයේ ඉල්ලීම් වලට ප්‍රතිචාරීව, ඉතාම සරල ක්‍රමවේදයන් යටතේ විකාශන කාලය ලබාදීමට සිදුවීමය. එය සංවර්ධන පුවත්‌, දේශපාලන වැඩසටහන් හෝ මැතිවරණ කාලයකදී නම් ඒ ආශ්‍රිත වැඩසටහන් විය හැකිය.

‘මේක රාජ්‍ය මාධ්‍ය මුහුණ දෙන බරපතළ අභියෝගයක්’ ඉනෝකා සත්‍යාංගනී යළි අවධාරණයෙන් පෙන්වා දුන්නාය.

මෙහිදී තමා මුහුණ දුන් අභියෝග සහ ලබා ගත් අත්දැකීම් ගණනාවක් සිහිපත් කළ ඇය රාජ්‍ය මාධ්‍ය මුහුණ දෙන ප්‍රමුඛම අභියෝගයක් වෙත අවධානය යොමු කළාය.

“ඇත්තටම පෞද්ගලික රූපවාහිනී නාළිකාවල ගුවන් කාලය විශාල මුදලකට අලෙවි වෙන්නේ ඔවුන් ජනතාව ඉල්ලා සිටින වැඩසටහන්වලට ප්‍රමුඛත්වය ලබා දෙන නිසා. නමුත් රාජ්‍ය නාළිකා සෑම අවස්ථාවකදීම ‘ආණ්ඩුවේ හොරණෑ’ ලෙස පාවිච්චි වෙන නිසා ඒ වටා ජනතාව පෙළ ගැසෙන්නේ නැහැ. ඒ කියන්නේ රාජ්‍ය මාධ්‍යවලට ප්‍රමාණවත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් නැහැ. මිනිස්සු ඈත් වෙනවා. මෙහිදී මම මුහුණ දුන් අභියෝගය (විෂයභාර අමාත්‍යවරයා වූ මංගල සමරවීර මහතා ලබා දුන් ඉලක්කය) වුණේ ජාතික රූපවාහිනිය ‘මිනිස්සු බලන නාළිකාවක්’ බවට පත් කිරීමයි. ඒකට හේතුව තමයි ආණ්ඩුවක් වැඩි අවධානයක් යොමු කරන්නේ ප්‍රවෘත්තිවලටයි. ප්‍රවෘත්ති බලන්නේ නැතිනම් ආණ්ඩුවේ අරමුණු ඉටුකර ගන්න අපහසුයි. ඒ නිසා මිනිස්සු ජාතික රූපවාහිනිය නරඹන තත්ත්වයට ගේන ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා මට අභියෝගයක් දුන්නා” ඉනෝකා තමා මුහුණ දුන් අභියෝග සහ තමා එම අභියෝග ජයගත් ආකාරයට ද පැහැදිලි කරමින් කීවාය.

ජාතික රූපවාහිනියේ සභාපති ධුරය භාරගත් ඉනෝකා එය වටා ප්‍රේක්ෂකාගාරයක් ගොඩනැගීම උදෙසා ‘නව්‍යකරණයට’ මුල්තැන දුන්නාය. මෙහිදී ජාතික රූපවාහිනිය වටා ප්‍රේක්ෂකාගාරයක් යළි ගොඩනැගීමට තමා ගත් පියවර ගණනාවක් පැහැදිලි කළ ඉනෝකා සත්‍යාංගනී තමා ආයතනයේ සේවකයින් සමඟ එක්ව ‘විවෘත සමීක්ෂණයක්’ සිදුකළ බව ද සඳහන් කළාය.

අඩු මිලකට ඉහළ ප්‍රමිතිය

ජාතික රූපවාහිනිය  යළි ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන යාමට තමා ගත් වෙහෙස සහ ලබා ගත් ප්‍රතිඵල ගැන සිහිපත් කරමින් ඉනෝකා සත්‍යාංගනී මෙසේ ද සඳහන් කළාය. “මම වැඩභාර ගෙන මාස තුනක් ඇතුළත නව වැඩසටහන් 36කට අනුමැතිය ලබා දුන්නා. මම කළ ප්‍රධාන වෙනස්කම තමයි ජාතික රූපවාහිනිය විකාශනය කළේ ‘ඉතාම අඩු මිලට’ මිලදී ගන්නා ටෙලි නාට්‍යය. පෞද්ගලික නාළිකාවකට සාපේක්ෂව අපි ගෙව්වේ ඉතාම අඩු මුදලක්. මිල ගණන් අඩුවෙන විට එහි ප්‍රමිතිය ද ඉතාම අඩු තත්ත්වයක තමයි පවතින්නේ. නමුත් ජාතික රූපවාහිනිය ඒ වන විට අවධානය යොමු කළේ ‘මිල’ ගැන මිස ‘ප්‍රමිතිය’ ගැන නොවෙයි. ඒ නිසා හොඳම වේලාව වන 8.30ට විකාශනය වුණේ ‘මොකක් හරි ටෙලි නාට්‍යයක්’ මිස වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් ටෙලි නාට්‍යයක් නොවෙයි. ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යටත්ව අපි බාහිර නිෂ්පාදකයින්ගෙන් අවම මිල ගණන් යටතේ ඉහළම ප්‍රමිතියකින් යුත් ටෙලි නාට්‍ය ලබා ගන්නා වැඩපිළිවෙළක් වෙත ගියා. ඒ ඉල්ලීමට ප්‍රතිචාරීව දක්ෂ, නිර්මාණශීලී අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකයින් සාධාරණ මිලකට අපිට ටෙලිනාට්‍ය ලබා දුන්නා. ඒ හරහා වසර 15කට පස්සේ, ඉසුරු යෝගය ටෙලිනාට්‍ය සම්මාන දිනා ගත්තට පස්සේ ‘වසරේ හොඳම රූපවාහිනී නාළිකාවට ’ හිමි සම්මානය දිනා ගන්න අපට හැකියාව ලැබුණා”

හැකියාවට වඩා වැදගත් දේ

මෙහිදී ඇය පෙන්වා දුන්නේ රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය නාළිකා අලාභ ලැබීමට ප්‍රධාන හේතුවක් වන්නේ ‘අනවශ්‍ය පරිදි සිදුවන රාජ්‍ය ඉල්ලීම් අනුව සජීවී විකාශන ඉදිරිපත් කිරීම බවයි. තම පාලන සමයේ දී දැඩි වෘත්තීයභාවයකින් මෙවැනි ඉල්ලීම් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට තමාට හැකියාව ලැබුණු බවත් ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයා ශක්තියක් වූ බවත් ඉනෝකා සිහිපත් කළාය.

“මේ තීරණ හමුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පමා මාව කැඳවලා ප්‍රශ්න කළා. ආණ්ඩුවට ලැබෙන විකාශන කාලය ප්‍රමාණවත් නොවන බවට ඔවුන් චෝදනා කළා. ඒත් මට තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබුණා” ඇය පෙන්වා දුන්නාය.

මෙහිදී ඉනෝකා සත්‍යාංගනී අවධාරණය කළේ ‘යම්කිසි අභියෝගයක් ජයග්‍රහණය කිරීමට නම් ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය බවයි. වෘත්තිකයින් ලෙස ‘අවශ්‍ය තැන අවශ්‍ය පිළියම් යෙදීම’ කළ යුතු බවත්, ඒවැනි අවස්ථාවක වැදගත් වන්නේ හැකියාවට වඩා අදාළ පුද්ගලයා විසින් ගන්නා වූ තීන්දු – තීරණ බවත් ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.

රාජ්‍ය මාධ්‍ය ඒකාබද්ධකරණය

රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය නාළිකා ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ඇති බවට වන සාකච්ඡාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ ඉනෝකා සත්‍යාංගනී කියා සිටියේ, ජනමාධ්‍ය අමාත්‍යවරයාට අනුව ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති වුව ද එවැනි යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි. නමුත් ඒ ගැන අවසන් තීරණයක් ගැනීමට ආණ්ඩුවට ‘කිසිම සූදානමක්’ නොමැති බව ඔහු ප්‍රකාශ කළ බව ද ඉනෝකා සත්‍යාංගනී පෙන්වා දුන්නාය.

“අපට අනුමානයක් පමණයි කරන්න පුළුවන් වෙන්නේ. මෙහිදී වැදගත්ම දේ තමයි ‘නියාමනය සහ අතපෙවීම’ කියන කාරණය. මෙහිදී ව්‍යවස්ථාපිත නියාමනය, ස්වයං නියාමනය, සහනියාමනය සහ අභ්‍යන්තරික නියාමනය කියලා කොටස් හතරක් තිබෙනවා. මෙහිදී ව්‍යවස්ථාපිත නියාමනය තමයි, අධිපති ලෙස ක්‍රියාත්මක වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ දේශපාලනාධිකාරියේ ඍජු මැදිහත්වීමකින්. වත්මන් ආණ්ඩුව යම් ආකාරයක ව්‍යවස්ථාපිත නියාමනයක් කරන්න සූදානම් වන බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා. එවැනි ව්‍යවස්ථාපිත නියාමනයක් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා නම් එතනදී වැදගත් වෙන්නේ ‘මේ නියාමන කොමිෂම කුමක්ද ? ‘ කියන කාරණයයි. මෙහිදී පුළුල් සහභාගීත්වයක් හා සංවාදයක් තුළින් කරන නියාමනය එතරම් හානිකර නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වුණත් ජනමාධ්‍ය කිසියම් ආකාරයක නියාමනයකට යටත් විය යුතුයි. වල් බූරු මාධ්‍ය නිදහසක් අවශ්‍ය නැහැ. නමුත් ආණ්ඩුව මේ නියාමනය කරන ආකාරය තමයි වැදගත් වෙන්නේ”

‘රටකට රාජ්‍ය මාධ්‍ය ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව’ මෙහිදී ඉනෝකා අවධාරණය කළාය. රාජ්‍ය මාධ්‍ය ප්‍රතිපත්ති තුළ නියාමනය කිසියම් ආකාරයක ජනතා නියෝජනයක් සහිතව සිදුවන්නේ නම් එහි වරදක් නොමැති බවත්, එය ‘සාධනීය’ බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

“නමුත් මේක බොහෝ විට සිදුවන්නේ රාජ්‍ය මූලික කරගෙන නොවෙයි, ආණ්ඩුව මූලික කරගෙන. ඒ මොහොතේ බලයේ සිටින කිසියම් දේශපාලන කණ්ඩායමක් විසින් තමන්ගේ අභිලාෂයන් වෙනුවෙන් කරන මෙහෙයුමක් ලෙස මේ නියාමනය සිදුවන බව තමයි ලංකාවේ අපේ අත්දැකීම (99%ක්) වෙන්නේ. ඔවුන් එහිදී ‘රාජ්‍ය’ ගැන කිව්වට ඇත්තටම නියෝජනය වෙන්නේ ආණ්ඩුව. ආණ්ඩුව කියන්නේ දේශපාලන දේහයක්”

මෙහිදී ඉනෝකා අවධාරණය කළේ ‘රාජ්‍ය මාධ්‍ය ආයතන ත්‍රිත්වයම ඒකාබද්ධ කරන්නේ නම් එය ඉතාම අහිතකර තත්ත්වයක්’ ලෙස තමා දකින බවයි.

“ආණ්ඩුව නිල තීන්දුවක් ගෙන නොමැති තත්ත්වයක් තුළ අපිට මීට වඩා වැඩි යමක් කියන්න (තඩිබාන්න) බැහැ” ඉනෝකා පෙන්වා දුන්නාය.

ආර්ථිකමය වශයෙන් සලකන්නේ නම් මේ යෝජනාව මුග්ධ එකක් –  මහාචාර්ය රොහාන් සමරජීව

රාජ්‍ය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විගණනයක් සිදුකර ඇති අතර එම විගණනය පදනම් කරගෙන අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ඉදිරිපත් වන්නේ ‘ආර්ථිකමය රාමුවක්’ තුළිනි. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන ඒකාබද්ධකරණය හා සම්බන්ධ යෝජනාව ඉදිරිපත් වන්නේ මේ හරහා ය. ඒ අනුව රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන වෙනුවෙන් 2025 වර්ෂයට අදාළව අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කිරීමක් කර නැත.

ගුවන් විදුලි සංස්ථාවට පසුගිය කාලය පුරා මිලියන සිය ගණනක් මූල්‍ය ප්‍රදාන ලබාදී ඇති නමුත් එම ආයතනය දිගින් දිගටම පාඩු ලබමින් සිටී.

“මෙතනදී අපිට අහන්න වෙන ප්‍රශ්නය තමයි, ‘ඇයි මේ විදහට මුදල් දීමට සිදුවෙලා තිබෙන්නේ ?’ කියන ප්‍රශ්නය” මහාචාර්ය රොහාන් සමරජීව සංවාදයට ප්‍රවේශයක් ගනිමින් ප්‍රශ්න කළේය.

බී.බී.සී ආකෘතිය අර්බුදයට යයි

මෙහිද ගුවන් විදුලි සංස්ථාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පැහැදිලි කළ මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ මෙම ආයතනය ස්ථාපිත කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආකෘතිය මත බවයි.

“බී.බී.සී ආකෘතිය අනුව සෑම ශ්‍රාවකයෙක්ගෙන්ම වාර්ෂිකව යම්කිසි ගාස්තුවක් අයකර ගන්නවා. ඒ ගාස්තුව තුළින් තමයි එම ආයතනය නඩත්තු වුණේ, පවත්වා ගෙන ගියේ. වර්ෂ 2000 පමණ වන තෙක් ලංකාවෙත් ගුවන් විදුලි ගාස්තුවක් (ලයිසන්) තිබුණා. ඒ මුදල් වලින් ගුවන් විදුලිය නඩත්තු වුණා. ඒ නිසා වෙළෙඳ දැන්වීම්වලින් තොරව එම ආයතනය පවත්වා ගෙන යාමට හැකියාව තිබුණා. ස්වදේශීය සේවයේ වෙළෙඳ දැන්වීම් තිබුණේ නැහැ. වෙළෙඳ දැන්වීම් තිබුණේ ‘වෙළෙඳ සේවයේ’ පමණයි. හින්දි ගීත ඉන්දියාවට ප්‍රචාරය කිරීම තුළිනුත් සැලකිය යුතු ආදායමක් ලබා ගත්තා. දැන් ඒ මුළු ආකෘතියම විනාශ වෙලා තිබෙන්නේ. ඒ ආකෘතිය විනාශ වෙන කොට තවත් ප්‍රශ්නයක් එනවා. ‘ඇයි මේ රූපවාහිනි සංස්ථාව කියලා එකක් හැදුවේ ?’ මට මතකයි (මම ඒ කාලේ මාධ්‍යවේදියෙක් ලෙස වැඩ කළා) ඒ කාලේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය ඒකාබද්ධ කිරීම ගැන සාකච්ඡාවක් තිබුණා. නමුත් 1980 මුල් යුගයේ දී, රූපවාහිනිය හඳුන්වා දෙන විට මේ අදහස බැහැර කරලා ජපන් රජයේ සම්පූර්ණ පරිත්‍යාගයක් ලෙස රූපවාහිනිය ලබා ගැනීමට සැලසුමක් තිබුණා. ඒ ‘ලාභ නොලබන අධ්‍යාපන සේවයක්’ ලෙසයි. නමුත් රූපවාහිනියේ ආරම්භයේ සිට මේ අරමුණ ඉටු වුණේ නැහැ” මහාචාර්ය රොහාන් සමරජීව මෙම අර්බුදයේ මූල බීජය සම්බන්ධ සිය මතකය අවධි කරමින් පෙන්වා දුන්නේය.

මෙහිදී ස්වාධීන රූපවාහිනි ජාලයේ ආරම්භය ගැන සිය මතකය අවධි කරමින් ඔහු පෙන්වා දුන්නේ ස්වාධීන රූපවාහිනියේ ජාලයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බවයි.

‘එම ආයතනය ආරම්භ කළ පුද්ගලයින් අතර පැවැති විරසකයක් නිසා ඒක ආණ්ඩුවට පවර ගත්තා” ඔහු කීවේය.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර (2000 දී) ගුවන් විදුලි හා රූපවාහිනී බලපත්‍රය ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරන විට ‘අදාළ ආයතන නඩත්තු කිරීමට මහා භාණ්ඩාගාරය හරහා ප්‍රතිපාදන ලබා දෙන බවට’ පොරොන්දුවක් ලබා දෙන්න ඇතැයි තමා උපකල්පනය කරන බව කී මහාචාර්ය රොහාන් සමරජීව, ‘එම මොහොතේ සිට මේ ආයතන දෙක පාඩු ලබමින් සිටින ‘බව ද පෙන්වා දුන්නේය.

පසුගිය කාලය පුරා අවස්ථා කිහිපයකදී ගුවන් විදුලිය සහ ජාතික රූපවාහිනිය ස්වේච්ඡා  විශ්‍රාම ගැන්වීම් කිහිපයක් කර ඇති බවත් ඒ සඳහා වැය කරන ලද්දේ රාජ්‍ය මුදල් බවත් පෙන්වා දුන් මහාචාර්ය සමරජීව මෙම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වීමෙන් පසුව ද එම ආයතන යළි සේවක බඳවා ගැනීම් කළ බව කීවේය.

ඒකාබද්ධ කිරීම ප්‍රඥාගෝචරද ?

“දැන් අපිට අහන්න තියෙන්නේ මේ ආයතන එකතු කිරීම කොතරම් ප්‍රඥාගෝචර ද ? කියන එකයි. මේකට දෙන්න තිබෙන එක උත්තරයක් තමයි ‘මේ අදහස ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අදහසක් නොවෙයි’ කියන එක. හිටපු ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනගේ කාලයේ මේ ආයතන දෙක (ගුවන් විදුලිය හා රූපවාහිනිය) ඒකාබද්ධ කිරීම සම්බන්ධ යෝජනා ගණනාවක් තිබෙනවා. මේ ආණ්ඩුව කළ අලුත් දේ තමයි මේකට අයිටීඑන් එක දාන එක.”

මෙහිදී මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ ජාතික රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කිරීම තුළින් අදාළ ආයතන පාඩු ලැබීමට හේතු වූ කිසිම කරුණක් ඉවත් වීමක් සිදු නොවන බවයි.

“පොඩි ප්‍රශ්න දෙකක් තිබුණා, දැන් ලොක ප්‍රශ්න එකක් නිර්මාණය වෙනවා. ඒ වගේම අයි.ටී.එන්. එකේ තරම් ජාතික රූපවාහිනියේ සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් නැහැ. මේ තත්ත්වය තුළ ස්වාධීන රූපවාහිනිය ශක්තිමත්, ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.  දැන් ස්වාධීන රූපවාහිනියත් අර ගොඩට දැම්මම ඒකත් අවුලට යනවා. ඒ නිසාම පහුගිය ආණ්ඩුවේ සැලසුම තිබුණේ ස්වාධීන රූපවාහිනිය පුද්ගලික – රාජ්‍ය හවුල්කාරීත්වය යටතේ පවත්වා ගෙන යන්න” මහාචාර්ය සමරජීව රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන ඒකාබද්ධකරණයේ තවත් පැතිකඩක් හෙළිකරමින් පෙන්වා දුන්නේය.

ඔහු මෙහිදී මෙකී ආයතන විසින් සිදුකරන ලද නාස්තිකාර වියදම් (කොකාවිල් වැනි) ගණනාවක් ද පෙන්වා දුන් අතර, එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව ද කීවේය.

“මේ රාජ්‍ය ආයතන හදන්න බැහැ කියන එකට හොඳම උදාහරණය තමයි කොකාවිල් වල කළ මුදල් නාස්තිය” මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී මහාචාර්ය සමරජීව අවධාරණය කළේ ‘මූල්‍ය ප්‍රශ්න මත මෙම තීන්දුව ගන්නේ නම් ස්වාධීන රූපවාහිනිය එම වැඩපිළිවෙළට ඇතුළත් නොකළ යුතු බවයි. මෙම ආයතන ත්‍රිත්වය ඒකාබද්ධ කිරීම ‘අර්ථ ශූන්‍ය’ අදහසක් බවත්, ආර්ථික ප්‍රතිසංස්කරණ කමිටුව මෙවැනි යෝජනාවක් කළා යැයි තමා කිසිසේත් විශ්වාස නොකරන බවත් ඔහු අවධාරණය කළේය.

“මේක උභතෝකෝටිකයක්.” යැයි කී මහාචාර්ය සමරජීව යම් ආකාරයකින් මෙම ආයතන ඒකාබද්ධ කිරීමක් කරන්නේ නම් එය සංකීර්ණ ක්‍රියාවලියක් වනු ඇති බවත්, විශේෂයෙන් රූපවාහිනී සහ ගුවන් විදුලි සංස්ථා පනත් සංශෝධනය කිරීම හෝ කරන්නේ නම් එය අදාළ ක්ෂේත්‍රය තුළ ‘බරපතළ’ ගැටලු ගණනාවක් නිර්මාණය කරන බව නිසැක බව ද පෙන්වා දුන්නේය.

“මේක ආර්ථිකමය වශයෙන් ඉතාම මුග්ධ ක්‍රියාවක්” මහාචාර්ය සමරජීව යළි අවධාරණය කළේය. ඔහු මෙහිදී යළිත් පෙන්වා දුන්නේ මෙම ආයතනවලට අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කර නොමැති බවයි.

“මේ නිසා ඔවුන් ඉතාම අසරණ තත්ත්වයකයි ඉන්නේ” මහාචාර්ය සමරජීව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.

සටහන – තුෂාල් විතානගේ  

Tags:

Leave A Comment