ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සංශෝධනය විය යුත්තේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතවයි – ආචාර්ය නිමල් ප්‍රනාන්දු
- Editor
- October 8, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
01 කොටස
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 18 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද අතර සැප්තැම්බර් 22 වැනිදා එය නිකුත් කරනු ලැබුවේය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා සමාජයේ ප්‍රබල සංවාදයක් පැවති අතර පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමත් සමඟ එම සංවාදය වඩාත් පුළුල් වී තිබේ.
ආචාර්ය නිමල්කා ප්‍රනාන්දුට අනුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කෙටුම්පත් කරන අවස්ථාවේ සිවිල් සමාජය ඒ සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලද නමුත් පනතේ කෙටුම්පත්කරුවන් ඒ යෝජනා හෝ අදහස් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර නැත. ඇය වැඩි දුරටත් සඳහන් කළේ නීතිඥවරිය ලෙස, මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස තමා අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ බවයි. විශේෂයෙන් මෙම පනත ‘ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුචිත ආකාරයෙන් සකස් කළ යුතුය’ යන ස්ථාවරයේ තම අඛණ්ඩව සිටි බව ද ඇය කීවාය.
“මම මානව හිමිකම් ක්‍රියාධරයෙක් සහ රටේ පුරවැසියෙක් ලෙස එක්තරා යුගයක ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ කාරණා ද සැලකිල්ලට ගනිමින්, දකුණු ආසියාවේ වර්ධනය වන්නා වූ යම් යම් ත්‍රස්තවාදී ක්‍රියා සැලකිල්ලට ගනිමින්, විශේෂයෙන් ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල් හරහා මතු වන්නා වූ ප්රවණතා ගැන කල්පනා කරලා බලලා මම එක අවස්ථාවක දී යම් තීන්දුවකට පැමිණ සිටියා. මගේ ස්ථාවරය වුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය විය යුතු බවයි. නමුත් එය සංශෝධනය විය යුත්තේ ජාත්‍යන්තර ප්රමිතීන් මත බවට මම දැඩිව විශ්වාස කළා. නමුත් මේ ක්‍රියාවලිය තුළ සිටි, මේ සම්බන්ධයෙන් දේශීයව හා ජාත්‍යන්තරව මැදිහත් වුණ කෙනෙකු හැටියට මගේ අදහස වන්නේ අවශ්‍ය වන්නා වූ ව්‍යවස්ථාපිත රීතීන්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් හෝ ජාත්‍යන්තර වශයෙන් අපට පවතින සම්මුතීන් මත පදනම් වූ නීතියක් ගෙන ආ යුතු බවයි” මෙහිදී සිය ස්ථාවරය තව දුරටත් අවධාරණය කරමින් ආචාර්ය නිමල්කා පැවසුවේ “එය වත්මන් රජය පමණක් නොවෙයි, 2015 සිට අප ගත් පියවර අනුව බලන විට ඒ සියලු ප්රයත්න අසාර්ථක වී ඇති බවයි”.
අපි යළි යළිත් අසමත් වෙනවා
“නීති සංශෝධනයේ දී අපි අසමත් වී තිබෙනවා” ඇය සිය කණස්සල්ල පළ කරමින් පැවසුවාය.
“මේ ආකාරයේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතක් අවශ්‍ය නැහැ. එය ලබා ගැනීම හරහා පොදුවේ මානව හිමිකම් වලට ඇති ගෞරවය වගේම රටේ පුරවැසියන් මෙතෙක් භුක්ති විඳින ලද මානව හිමිකම් ද ඉතා බරපතළ ලෙස කෙළසෙන තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත වැනි පනත් අපට දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. මේක අපේ බුද්ධිහීනතාවයක් ද, එසේ නොමැති නම් ආයතනික දුර්වලතාවයක් ද, එසේ නොමැති නම්, මානව අයිතිවාසිකම්, ප්රජාතන්ත්රවාදය පිළිබඳ බයක් තිබෙන නිසා ද කියලා හිතා ගන්න බැහැ. නමුත් වඩාත් ශිෂ්ටසම්පන්න දෘෂ්ටිකෝණයකින් බැලුවොත් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතක් අවශ්‍ය නැහැ. මෙම ක්‍රියාදාමය සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කරමින් තමයි මම කතා කරන්නේ. මෙම ක්‍රියාදාමය ලංකාව නොගැළපෙන එකක්, එය ලංකාවට අවශ්‍ය නැහැ” ආචාර්ය නිමල්කා පැහැදිලි කළාය.
පුරවැසියා වෙනුවට රාජ්‍ය
මෙහිදී ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු තර්ක කළේ වත්මන් ආණ්ඩුවට මානව හිමිකම් හෝ පුරවැසියා හෝ ආරක්ෂා කර ගනු වෙනුවට රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ වුවමනාවක් ඇති බවයි.
මෙම සංකල්ප දෙක කිසිසේත් නොගැළපෙන බවට තර්ක කළ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මේ හරහා මානව හිමිකම් ක්ෂේත්රය තළ බරපතළ අර්බුදයක් නිර්මාණය කරන බව ද කීවාය.
“ජනතාව, පුරවැසි ස්වාධිපත්‍ය කියන සංකල්පය දෙස අවධානය යොමු කරන විට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතේ වැඩි අවධානයක් යොමු වෙලා තියන්නේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන්. නමුත් කනගාටුවට කරුණ වන්නේ මෙහි ‘ත්‍රස්තවාදය” යන්න සම්බන්ධයෙන් නිවැරදි අර්ථ නිරූපණයක් කොමැති බවයි.
නීතියක් සම්මත කරනු ලබන්නේ පාලනයට බාධා කිරීමේ අර්ථයෙන් නොවන බව කී ආචාර්ය නිමල්කා වත්මන් පනත තුළ ඒ කිසිවක් නොවන බව කීවාය.
“මේක ඉංග්‍රීසි අකුරු ටිකක් කොළයක අටවා ගෙන කරන සංශෝධනයක්, අසමත් සංශෝධනයක්. මේ තරම් කාලයක් සංවාද කිරීමෙන් අනතුරුව මෙවැනි පනතක් ඉදිරිපත් වීම කනගාටුවට කරුණක්. මේ ක්‍රියාදාමය නීති සම්පාදනයේ දී ලංකාව නැවත අසමත් රාජ්‍යයක් බවට පත් කරනවා. මේක රාජ්‍ය නොවන සංවිධාන නියාමන පනතටත් අදාළයි, සමාජ මාධ්‍ය නියාමන පනතටත් අදාළයි. තව දුරටත් පැහැදිලි කළොත් මේක මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධ ක්‍රියාදාමයටත් අදාළයි. මේක ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට පමණක් අදාළ දෙයක් නොවෙයි, පොදු තත්ත්වයක්”.
මෙහි ආචාර්ය නිමල්කා තම ස්ථාවරය පැහැදිලි කරමින් පැවසුවේ, ‘නීති යාවත්කාලීන කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බවයි”.
“යම් නීතියක් සංශෝධනය කිරීමට යන විට වචන ගණනාවක් තිබෙනවා, සංශෝධනය කියනවා, නියාමනය කියනවා, ප්‍රතිපත්ති ඉහළ නැංවීම කියනවා. නමුත් ඇත්ත ප්‍රශ්නයට විසඳුමක් නැහැ” ඇය චෝදනා කළාය.
මේ අවසානයක් නොවේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතේ පවතින බරපතළ ගැටලු කිහිපයක් කෙරෙහි ආචාර්ය නිමල්කා අවධානය යොමු කළාය. ඇය මෙහි දී පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරම්භ කළ ක්‍රියාදාමයන් යෝජිත පනතින් ද ඉදිරියට ගෙන යාමක් සිදුවන බවයි.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිල වශයෙන් අහෝසි කළත් පරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ සියලු දේ අවසන් නොවන බව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතේ පැහැදිලිව සඳහන් වෙනවා. ඒ කියන්නේ එක කාණ්ඩයකට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත අදාළ වෙනවා, පරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදු වුණ අසාධාරණය, අයුක්තිය, අතුරුදැන්වීම්, දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම්, අතීතයේ පවතින නඩු ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේක මෙහෙම සිදුවෙනවා නම් කුමක් වෙනුවෙන් ද මේ පනත සංශෝධනය කළේ කියන ගැටලුව මතු වෙනවා” ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සම්බන්ධයෙන් පවතින බරපතළ අඩුපාඩු පෙන්වා දෙමින් ආචාර්ය නිමල්කා ප්‍රශ්න කළාය.
මෙහි දී ඇය පෙන්වා දුන්නේ වත්මන් නීතිය සංශෝධනය කර ඇත්තේ වඩාත් යහපත් මාවතක ගමන් කිරීමට නොවන බවයි. යෝජිත පනත හරහා බරපතළ ගැටලු ගණනාවක් මතුවන බව ඇය මෙහි දී පැවසුවාය.
“මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, සිවිල් සමාජය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කරලා තිබුණ ප්‍රකාශ අනුව තත්ත්වයේ බරපතළකම තව දුරටත් පැහැදිලි වෙනවා” නිමල්කා පැවසුවාය.
රජය විසින් පසුගිය දා ගැසට් කරන ලද ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතේ’ පවතින මූලික ප්‍රශ්න හතක් තමාගේ නිරීක්ෂණයට ලක් වූ බව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පැවසුවාය.
එම ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ඇය මෙම ගැටලු එකින් එක උපුටා දැක්වීමට ද පියවර ගත්තා.
ආචාර්ය නිමල්කාට අනුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතේ ඇති මූලික ගැටලුවක් වන්නේ එම පනත් කෙටුම්පතේ ‘ත්‍රස්තවාදය’ යනු කුමක්දැයි නිර්වචනය කර ඇති ආකාරයයි.
ආචාර්ය නිමල්කා මේ කාරණය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද පැවසුවාය,
ත්‍රස්තවාදය යනු කුමක්දැයි අර්ථ නිරූපණය කිරීම – ත්‍රස්තවාදය සාමාන්‍ය අපරාධ, විරෝධතා සහ දේශපාලන විසම්මුතීන්ගෙන් වෙන් කිරීමට ප්‍රමාණවත් තරම් නිවැරදිද ?. මේ පනතේ සඳහන් අර්ථ නිරූපණය ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අර්ථනිරූපණය ‘අලුත්’ කියලා මානව හිමිකම් කොමිෂම කියනවා. නමුත් ඔවුන්ට අනුව සාමාන්‍ය අපරාධ, සාමාන්‍ය දේශපාලන විරෝධතා සහ දේශපාලන විසම්මුතීන් ත්‍රස්තවාදය සම්බන්ධ නිර්වචනයෙන් වෙන් විය යුතුයි. ත්‍රස්තවාදය යනු කුමක්දැයි පැහැදිලි කරන නිර්වචනයක් නොමැති අවස්ථාවක මෙය ඉතා වැදගත්. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලංකාවේ නීති තිබෙනවා. නමුත් වර්තමාන පනතේ තිබෙන ත්‍රස්තවාදය සම්බන්ධ නිර්වචනය නිවැරදි නොවන බව අපට පෙනී යනවා. (වගන්තිය 3(1)).
මෙහි එක් කාරණයක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම කරුණු දක්වා තිබෙනවා. ‘අපැහැදිලි’, එහි වචනයක් තිබෙනවා ‘අනවශ්‍ය ලෙස’ කියන වචනය අපැහැදිලියි. එය එක්කෝ ‘නීති විරෝධී ලෙස’ වෙනස් විය යුතුයි. එසේ නොවන විට අනෙක් පොදු කාරණාත්, සාමාන්‍ය දේශපාලන විරෝධතාත් ‘ත්‍රස්තවාදය’ කියන කාරණයට ඇතුළත් වෙනවා.
දෙවැනි කාරණාව – විධායක රඳවා ගැනීම ඵලදායී සහ කාලෝචිත අධිකරණ පාලනයකට යටත් වෙලා තිබෙන බව ආචාර්ය නිමල්කා පෙන්වා දුන්නාය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඇය මෙසේ ද පැවසුවාය, “මෙහි ඇති ප්‍රධාන කාරණාව තමයි රැඳවුම් නියෝග. රැඳවුම් නියෝග ලබා ගැනීම සම්බන්ධ කාරණාව ඉතාම බරපතළ කාරණාවක්. රැඳවුම් නියෝගයක් හේතුවෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගන්නා පුද්ගලයා එතෙක් බුක්ති වින්ඳ සියලුම ආකාරයේ මානව හිමිකම් අහෝසි වීමට ලක්වෙනවා. ඔහු පැහැර ගැනීමකට ලක්වුණා හා සමාන තත්ත්වයක් තමයි රැඳවුම් නියෝගයකට ලක්වීමෙන් සිදුවෙන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබුණ මේ ගැටලුව සම්බන්ධයෙන් ද විසඳුමක් නව පනත තුළින් ලැබී නැති බවයි මට පේන්නේ. මෙහි දී රැඳවුම් නියෝග අත්සන් කිරීමේ දී ආරක්ෂක අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට පුළුල් බලතල පැවරීමක් සිදුවෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේ ඉතාම පැහැදිලිව දේශපාලන පත් කිරීමක්. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හිමිවන මේ බලතල කිසිම ආකාරයකින් පිළිගත නොහැකි දෙයක්. මෙහි තිබෙනවා මහේස්ත්‍රාත්වරයෙකුට ප්‍රකාශයක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් මහේස්ත්‍රාත්වරයෙක් ප්‍රකාශයක් ගැනීමට පෙර අදාළ රැඳවුම්කරුට නීතිඥයෙකු හමුවීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
මෙහි ඇති තෙවැනි ගැටලුව ලෙස ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දුන්නේ හමුදාවට අත්අඩංගුවට ගැනීමට ඇති බලතලයි. යෝජිත පනත් කෙටුම්පතේ 19 සහ 20 වන වගන්තිවල නීතිය ක්‍රියාත්මක කිරීම හමුදාකරණය කර තිබෙන බව ද ඇය පෙන්වා දුන්නාය. පසුගිය කාලය තුළ හමුදාව හරහා අත්අඩංගුවට ගැනීම සහ රැඳවුම් නියෝග ලබා ගැනීම බරපතළ ගැටලු ඇති වූ බව ද ආචාර්ය නිමල්කා පෙන්වා දුන්නාය.
“හමුදාව සහ දේශපාලනය එකම මාර්ගයක ගමන් කරන රටක මෙවැනි බලතල හමුදාවට දීම ඉතාම ගැටලු සහගතයි, එය සිදු නොවිය යුතු කාරණාවක්” ආචාර්ය නිමල්කා දැඩිව අවධාරණය කළාය.
රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනතේ තමා දකින සිවුවැනි ගැටලුව ලෙස නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දුන්නේ යෝජිත පනත හරහා භාෂණයේ, ප්රකාශනයේ සහ සංවිධානය වීමේ අයිතිවාසිකමට ගැටලු ඇති වීමය. යෝජිත පනතේ 59 වැනි වගන්තිය හරහා සංවිධාන තහනම් කිරීම, සමාගමේ නිදහස, විශේෂයෙන් රැස්වීම් සහ විරෝධතා සංවිධානය කිරීම, 11 වන වගන්තියට අනුව මානව හිමිකම් ලේඛනගත කිරීම යනාදී වශයෙන් හානිකර කරුණු කාරණා ගණනාවක් තිබෙනව බව ආචාර්ය නිමල්කා පෙන්වා දුන්නාය.
“මේ සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන විශාල විරෝධයක් පළ කර තිබෙනවා. ඔවුන් ස්වයං වාරණයකට ලක්කරන බවට චෝදනාවක් තිබෙනවා” ආචාර්ය නිමල්කා තව දුරටත් ගැටලුවේ සංකීර්ණත්වය සහ එයට ඇති විරෝධතා පැහැදිලි කරමින් සඳහන් කළාය.
ඇයට අනුව යෝජිත පනතේ ඍණාත්මක කාරණයක්, ගැටලුවක් ලෙස ඇය දකින පස් වන ගැටලුව වන්නේ, ආපසු හැරවිය නොහැකි හානියක් වැළැක්වීම සඳහා තහනම් කිරීම සහ සීමා කිරීමේ නියෝග ඉක්මනින් අභියෝගයට ලක් කිරීමට සිදුවීමය. ඇයට අනුව මහජන ආරක්ෂක පනත යටතේ සිදුකළ හැකි කාර්යයන් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ලඝු කර ඇත. මේ හරහා ව්‍යවස්ථානුකූල අයිතීන් විශාල අභියෝගයකට ලක් වන බව ඇය සඳහන් කළාය.
ඇයට අනුව යෝජිත පනතේ ඇති හයවන ගැටලුව වන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පීඩාවට පත් ජනතාවට සංක්‍රාන්තික කාලය තුළ ඵලදායී විසඳුමක් ලබා නොදීමය.
“මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පීඩාවට පත්ව සිටින විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට යෝජිත පනත හරහා කිසිම දෙයක් ලබා දී තිබෙනවා ද ? කියල ගැටලුව අපට තිබෙනවා. තවත් මර්දනකාරී, දැඩි සීමාවන්ට ලක්වන්නා වූ අවකාශයක් නිර්මාණය කරනවා විනා මේ පනත හරහා පුරවැසියන්ට යම්කිසි සහනයක් ලැබෙන්නේ නැහැ. මානව හිමිකම් සම්බන්ධ ගැටලුව, රඳවා තබා ගැනීමේ නියෝග හරහා අඛණ්ඩව සිදුවන අසාධාරණකම්, තමන්ගේ ජීවිත අයිතියට ඇති තර්ජන ආදි ගැටලුවලට නව පනත හරහා කිසිම විසඳුමක් නැහැ” ආචාර්ය නිමල්කා තව දුරටත් පැහැදිලි කළාය.
ඇයට අනුව යෝජිත පනනේ ඇති හත්වන ගැටලුව වන්නේ ව්‍යවස්ථාමය සහ ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ‘කඩදාසියට පමණක්’ සීමාවන වාතාවරණයක් උදා වීමය.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කළ කතිකාව සංවාද මාලාවේ 293 වැනි වැඩසටහනේදී ඉදිරිපත් වූ අදහස් ඇසුරෙණි. එම සංවාදය මෙහෙයවනු ලැබුවේ නීතිඥ ගයත්‍රී නවරත්න විසිනි)
02 කොටස හෙට
සටහන – තුෂාල් විතානගේ

