දුන් පොරොන්දු කෙටි කාලයක් තුළ වේගයෙන් ඉටු කිරීම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි – කරු පරණවිතාන
- Editor
- November 10, 2024
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
මහ මැතිවරණයට ඇත්තේ තවත් සතියක පමණ කාලයකි. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මේ වන විට සිය මැතිවරණ ප්රචාරක කටයුතු තීව්රර කර ඇති නමුත් පසුගිය මහ මැතිවරණ සමයන්හි දී දැකගත හැකි වූ ආකාරයේ ‘මැතිවරණ උණුසුමක්‘ මෙවර දැකගත නොහැකි බව පොදු අදහසයි. ඒ අතර දේශපාලන විශ්ලේෂකයින්, විශේෂයෙන් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙවර මහ මැතිවරණය පසුගිය ඉතිහාසය පුරා පැවැති සියලුම මහ මැතිවරණවලට වඩා සුවිශේෂ වන බවය. ඊට හේතු වශයෙන් ඔවුහු විවිධ කරුණු – කාරණා ඉදිරිපත් කරන අතර පොදුවේ පොදු ජනතාවගේ ද අදහස වන්නේ මෙවර මහ මැතිවරණය අතිෂය තීරණාත්මක එකක් බවය.
මෙම පසුබිම තුළ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව‘ සංවාද මාලාවේ 201 වැනි සංවාදයේදී ‘ඊළඟ පාර්ලිමේන්තුව හමුවේ ඇති අභියෝග මොනවාද ?‘ යන මාතෘකාව යටතේ කතිකාව විද්වත් සංවාදය පැවැත් වූ අතර මෙම සංවාදය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේසර ලාල් ගුණසේකර සහ ආචාර්ය සුජාතා ගමගේ සහභාගී වූ අතර නීතිඥ ගයාත්‍රී නවරත්න විසින් සංවාදය මෙහෙය වූවාය. මෙම සංවාදයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහතා දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
ඊළඟ පාර්ලිමේන්තුව හමුවේ ඇති අභියෝග මොනවාද ? යන්න ගැන සාකච්ඡා කිරීමේදී ප්‍රධාන කරුණ තුනක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව කරු පරණවිතාන පෙන්වා දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය, ආණ්ඩු පක්ෂයට හිමිවන ජනවරම සහ රටේ අපේක්ෂාවන් ඒ අතර වන බව ඔහු ප්‍රකාශ කළේය.

දුන් පොරොන්දු කෙටි කාලයක් තුළ වේගයෙන් ඉටු කිරීම ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන
ඊළඟ පාර්ලිමේන්තුව හමුවේ ඇති අභියෝග මොනවාද ? යන්න ගැන සාකච්ඡා කිරීමේදී ප්‍රධාන කරුණ තුනක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව කරු පරණවිතාන පෙන්වා දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය, ආණ්ඩු පක්ෂයට හිමිවන ජනවරම සහ රටේ අපේක්ෂාවන් ඒ අතර වන බව ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව යමින් මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව කී පරණවිතාන වත්මන් තත්ත්වය අනුව පුළුල් ලෙස බෙදී ගිය විපක්ෂයක් පත්විය හැකි බව ද සඳහන් කළේය.
ඊළඟ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගෙන බලයට පත්වන ආණ්ඩුව සහ එහි ස්වභාවය ගැන පැහැදිලි කරමින් කරු පරණවිතාන වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළේය, “මේ පදනම අනුව බලන විට ලංකාව දේශපාලන සංක්රාන්තියකට මුහුණ දී සිටින බව පැහැදිලිව පෙනෙනවා. ඒ වගේම මේක 2022 අරගලයේ තවත් දිගුවක් සහ ප්‍රතිඵලයක් බව කිව යුතුයි. ජනතාව විසින් පොදුවේ අරගලය කළත් එහි අවසන් ප්‍රතිඵලය දිනා ගෙන තිබෙන්නේ ජවිපෙ බව මේ අනුව පැහැදිලි වෙනවා. මේ තත්ත්වය තුළ ඉදිරියේ පාර්ලිමේන්තුවේ බහුතරය බවට පත්වෙන්නේ දශක හයකට අධික කාලයක් පුරා දේශපාලනය කළ, මනා දේශපාලන පරිචයක් ඇති, ප්‍රවීන දේශපාලනඥයෝ කිහිප දෙනකු නායකත්වය දෙන ඉතාම සංවිධිත, කාඩාර්වරුන් මත පදනම් වුණ දේශපාලන පක්ෂයක්. මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන සඳහන් කළ යුතුයි. ඒ තමයි ආණ්ඩු පක්ෂය නිර්මාණය වෙන්නේ රාජ්‍ය පාලනය, ආණ්ඩුකරණය ගැන අඩු අත්දැකීම් ඇති බහුතරයකින්. නමුත් ආණ්ඩු පක්ෂය තුළ විශාල බෙදීම් නිර්මාණය වෙන එකක් නැහැ. මොකද ජවිපෙ දැඩිව නඩත්තු කරන ‘විනය‘ විසින් මේ කණ්ඩායම් හසුරුවයි කියලා අප දන්නවා“
ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂය සහ එහි සංයුක්තිය සහ ස්වභාවය ගැන පැහැදිලි කරමින් කරු පරණවිතාන පෙන්වා දුන්නේ දැඩිව බෙදී ගිය විපක්ෂයක් බිහිවීම ස්ථිර බවයි. විපක්ෂයේ සාපේක්ෂ බහුතරය දිනා ගන්නා පක්ෂයේ නායකයා විපක්ෂ නායකයා වනු ඇති බවත් ඔහු කීවේය.
මෙහිදී ජනවරම ගැන ආණ්ඩුවට නොතකා හැරිය නොහැකි බව පෙන්වා දුන් කරු පරණවිතාන ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් මෙසේ ද කීවේය. “අපි මේ කාරණාවලට වඩා අවධානය යොමු කළ යුතු වන්නේ ආණ්ඩුවට ලැබී ඇති ජනවරම කුමක් ද ? සහ රටේ අපේක්ෂාවන් කුමක්ද ? යන්න ගැනයි. යම්කිසි ආකාරයකින් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර ජනවරම හිමි වුණොත් එහි පදනම වන්නේ ඔවුන් පසුගිය කාලය පුරාම ජනතාව හමුවේ දුන් ප්‍රධාන පොරොන්දුව වන ‘පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම‘. ඒ කියන්නේ හොරු ඇල්ලීම, දූෂණයෙන්, නාස්තියෙන් තොර ආණ්ඩුකරණය. ඒ අනුව ජනමතයට කන්දීමට, සංවේදී වීමට ආණ්ඩුවට සිදුවෙනවා. ඒ වගේම අපි අමතක නොකළ යුතුයි ‘225 එපා‘ කියන සටන් පාඨය බිහිවන්නේ ආර්ථිකමය පදනමකින්. ඒකට තිබෙන්නේ ආර්ථිකමය දෘෂ්ටියක්. මේ ආර්ථික අරගලය තමයි පසුව දේශපාලන අරගලයක් බවට පත් වුණේ. මේ කාරණය ජනවරම තුළ කොපමණ ප්‍රමාණයකින් නියෝජනය වුණා ද කියන එක නො තකා මේ කාරණය ගැන ආණ්ඩුවට අවධානය යොමු කිරීමට සිදුවෙනවා“
මෙහිදී කරු පරණවිතාන පෙන්වා දුන්නේ ජාතික ජන බලවේගය පසුගිය කාලයේ ආර්ථික කාරණා සම්බන්ධයෙන් යථාර්ථවාදී නොවූ බවයි. ජජබ ආර්ථික ප්‍රතිපතිය හෝ දැක්ම ගැන නිශ්චිතභාවයක් නොවූ බව පෙන්වා දුන් කරු පරණවිතාන ආර්ථිකමය කාරණා ගැන කෙසේ වෙතත් ජජබ ප්‍රධාන සටන් පාඨය වන ‘හොරු ඇල්ලීම‘ සම්බන්ධයෙන් ඔවුන් ‘සැලකිය යුතු‘ යමක් කරනු ඇතැයි තමා ද විශ්වාස කරන බව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද කීවේය, “ආර්ථිකමය කාරණා සම්බන්ධයෙන් ගත්විට දැනටමත් ආණ්ඩුවට කරන්න සිදුවෙලා තිබෙන්නේ ජනාධිපතිවරණයේ දී ලබාගත් ජනවරමට පටහැනි දෙයක්. උදාහරණයක් විදිහට ඔවුන් මැතිවරණයට පෙර දැඩිව අවධාරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ‘ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම‘ සංශෝධනය කරන බවයි. නමුත් එවැනි පියවරකට යාමට හැකියාවක් ඇති බව පෙනෙන්න නැහැ. ඒක අංශක 180ක් ආපසු හැරිලා තිබෙන්නේ. ඒ කියන්නේ රටේ ප්‍රධාන ආර්ථික වැඩපිළිවෙළ විදිහට අද ක්‍රියාත්මක කරන්න සිදුව තිබෙන්නේ ජජබ ජනාධිපතිවරණ සමයේ කළ ප්‍රකාශ නොවෙයි“
මෙහිදී කරු පරණවිතාන පෙන්වා දුන්නේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් නව නීති සම්පාදනය කිරීමට සහ මූල්‍ය පාලනය දැඩි කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවයි. රාජ්‍ය මූල්‍ය පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවයන් අනුව ම කළ යුතු බව පෙන්වා දුන් ඔහු මෙය ද ජාතික ජන බලවේගය රටට කී කතාවට සපුරා පටහැනි දෙයක් බව ද පෙන්වා දුන්නේ ය. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ ද සඳහන් කළේය,
“ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය තමයි මම ඉහතින් සඳහන් කළේ. ඒ වගේ ම අවශේෂ නීති, ආර්ථිකමය කාරණාවලට අදාළ නීති පවා ජා.මූ.අ සමඟ ඇතිකර ගත් එකඟතා අනුව තමයි පනවන්න වෙන්නේ. ආණ්ඩුව ඒ පාරේ යන බවට ලකුණු දැනටමත් පහළ වෙලා තිබෙනවා. ‘වෘත්තීය සමිති විසුරුවා හරිනවා‘ කියන කතාව ඉන් එකක් පමණයි. ඒ වගේම ආර්ථිකමය කාරණා සම්බන්ධයෙන් ‘ඉතාම නොමේරු‘ ප්‍රකාශ ජාතික ජන බලවේගයේ ප්‍රබලයින් නිතර නිතර කරනවා. ඔවුන්ට දැනි රටේ සැබෑ ආර්ථික යථාර්ථයන්ට මුහුණ දීමට සිදුවෙලා තිබෙන නිසා මැතිවරණයට පෙර කළ බොහෝ ප්‍රකාශ ගැන මුනිවත රැකීමට සිදුව තිබෙනවා. වමත්මන් මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන් මැතිවරණයට පෙර කළ ප්‍රකාශ එක් උදාහරණයක් පමණයි“
ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන ‘ප්‍රධානතම‘ අභියෝගය ලෙස කරු පරණවිතාන පෙන්වා දුන්නේ, ‘ජාතික ජන බලවේගය කිසිසේත් එකඟ නොවන, ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ ද නැති ආර්ථික න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කිරීමට සිදුවීම“ බවයි. එසේම ‘රාජ්‍ය පිරිසිදු කිරීමේ‘ වැඩපිළිවෙළ වේගවත්ව ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව මුහුණ දෙන තවත් ප්‍රබල අභියෝගයක් බව කී කරු පරණවිතාන ‘පුනරුදයක්‘ ඇති කිරීමට නම් හොරු ඇල්ලිම, දූෂිතයින්ට දඩුවම් දීම පමණක් නොව ඔවුන් සඳහන් කර ඇති පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වගකීම් සහගත රාජ්‍ය සේවයක් බිහිකිරීම, ජාතික සංහිඳියාව බිහිකිරීම ද ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ‘බරපතළ‘ වෙනස්කම් කිරීම අනිවාර්ය බව අවධාරණය කළේය.
“මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් වඩාත් කාර්යක්ෂමව සහ වේගයෙන් කටයුතු කිරීමට ආණ්ඩුවට සිදුවෙනවා. මොකද මේ වන විටත් ආණ්ඩුව ආර්ථිකමය කාරණා සම්බන්ධයෙන් වන පැරණි ස්ථාවරයෙන් දුරස් වෙලා සිටින්නේ. ඒ නිසා අධ්‍යාපනය ද ඇතුළු සමාජ – සංස්කෘතික හා දේශපාලන කාරණා සම්බන්ධයෙන් දුන් පොරොන්දු ඉටුකිරීමට ඔවුන්ට වේගයෙන් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමට සිදුවෙනවා. ඒ වගේම තවත් වැදගත් කරුණක් අවධාරණය කළ යුතුයි. ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ ලංකාවේ විහිළුවට ලක්වන දෙයක් වුණත් ඒක හැම අවස්ථාවක ම වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට යහපාලන ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සෑහෙන කොටසක් මුල් දින 100 තුළ ඉටුකළා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත සම්මත කිරීම, ඉන්ධන මිල අඩු කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු බොහෝ පොරොන්දු නොපිහිරිහෙලා ඉටු කළා“
වත්මන් ආණ්ඩුව ද පාර්ලිමේන්තු බලය දිනාගත් විට ඉතාම කෙටි කාලයක් තුළ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කළ ප්‍රධානතම හා වර්ණවත් පොරොන්දුවලින් සැලකිය යුතු කොටසක් වඩාත් වේගයෙන් ඉටුකළහොත් ආණ්ඩුවට ‘සුවපහසු ගමනක්‘ යාමට හැකිවනු ඇති බවත්, එසේ නොකළහොත් ආණ්ඩුවේ ගමන ‘බොහෝ දුෂ්කර‘ වනු ඇති බවත් කරු පරණවිතාන සඳහන් කළේය.
ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් සිය අදහස පැහැදිලි කළ කරු පරණවිතාන මෙසේ සඳහන් කළේය, “ විපක්ෂය අවධානයට ගත යුතු වැදගත්ම කරුණ තමයි දේශපාලනයේදී වඩාත් වැදගත් වන්නේ ‘පුද්ගල සාධක‘ නොව අදහස් කියන කාරණය. ජාතික ජන බලවේගය බලයට පත් වුණේ පුද්ගල සාධක මත නොව ජනතාවට ඒත්තු ගන්වන්න පුළුවන් අලුත්, බලවත් අදහසක් තිබූ නිසයි. අපි පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි. ඒ අනුව ඉදිරියේදී පුද්ගල ප්රතිරූප ඉදිරියට දා ගැනීමට වඩා ‘අදහසක්‘ මත පදනම් වූ විකල්ප ආණ්ඩුවක් ලෙස විපක්ෂය කටයුතු කළ යුතුයි.
සටහන – තුෂාල් විතානගේ

