පළාත් සභා මැතිවරණය දින නියමක් නොමැතිව කල් දැමීම ජනතාවට හානි කරයි – ශාන්තිනී කොන්ගහගේ

1987 දී ඉන්දු –  ලංකා ගිවිසුමේ වැදගත් ප්‍රතිඵලයක් වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කරන ලද ‘පළාත් සභා‘ ක්‍රමයයි. ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස ඉන්දීය බලපෑම මත පළාත් සභා ස්ථාපිත කරන ලද අතර එය ආරම්භ අවධියේ සිට ම දැඩි විවේචනයටත් දෝෂදර්ශනයටත් ලක් වුණේ ය. ඒ අනුව පළාත් සභා ක්‍රමය රටට කොතරම් වැදගත් ද ? යෝග්‍ය ද යන සංවාදය ආරම්භයේ සිට පැවැති අතර තවත් කෙටි කාලයක් ගත වන විට පළාත් සභාව ‘සුදු අලියෙක්‘ ලෙස ද හැඳින්වීමට පටන් ගත්තේ ය. මේ විවිධ මතවාද හා විවේචන මැද පවා පළාත් සභා ක්‍රමය මේ දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. නමුත් පළාත් සභා වල මහජන නියෝජනයක් ක්‍රියාත්මක නොවන අතර වසර පහකට ආසන්න කාලයක් තිස්සේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් එහි කටයුතු දැඩි ලෙස සීමා වී පවතින අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම හෝ පවත්වන දිනය සම්බන්ධයෙන් ද නිශ්චිත තීන්දුවක් නොපවතී.

පසුගිය ජනාධිපතිවරණය, මහ මැතිවරණය හා ආණ්ඩුව ප්‍රකාශ කර ඇති පරිදි පළාත් පාලනය මැතිවරණය ද නොබෝ දිනකින් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර ඇත ද පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුවට නිශ්චිත සැලසුමක් නොමැත. මේ තත්ත්වය තුළ ‘පළාත් සභා ක්‍රමය රටට තව දුරටත් අවශ්‍ය ද ?‘ යන අදහස ද සමාජය තුළ යළි සක්‍රීය වෙමින් පවතී.

මෙවැනි සංවාදාත්මක වාතාවරණයක් තුළ සාධාරණය සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය කතිකාව සංවාදාත්මක වැඩසටහන් මාලාවේ 205 වැනි වැඩසටහනේ දී ‘පළාත් සභා මැතිවරණය රටට වැදගත් නැද්ද ?‘ යන විද්වත් සංවාදය ඇරඹුවේ ය. මේ සඳහා දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා මහතා, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක් වන ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය සහ මහාචාර්ය රොහාන් සමරජීව මහතා සහභාගී වූ අතර මාධ්‍යවේදී තුෂාල් විතානගේ විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේ ය. එම සංවාදයේදී මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

පළාත් සභා මැතිවරණය දින නියමක් නොමැතිව කල් දැමීම ජනතාවට හානි කරයි –  මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිනී ශාන්තිනී කොන්ගහගේ

පළාත් සභා මැතිවරණය පැවැත්වීම මේතාක් කල් ප්‍රමාද කිරීම පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමේ අරමුණු ගැන පැහැදිලි අවබෝධයක් නොතිබීම නිසා සිදුවන්නක් යැයි තමා සිතන බවත් එය ජනතාවට කර විශාල අසාධාරණයක් බවත් මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය සඳහන් කළා ය.

දෙවන පෙළ තරුණ නායකත්වයක් බිහි කිරීමේ අවස්ථාවක් පළාත් සභා හරහා නිර්මාණය වූ බව පෙන්වා දුන් කෝන්ගහගේ මහත්මිය ‘සමගාමී ලැයිස්තුව’ හරහා ‘සුවිශේෂ වූ බලතල’ රැසක් පළාත් සභාවලට හිමි වූ බව ද පෙන්වා දුන්නා ය. නමුත් පළාත් සභා අක්‍රිය වීම හරහා මෙම සුවිශේෂ සේවාවන් ඉටු කිරීමට ඇති අවස්ථාව අහිමි වූ බව පෙන්වා දුන් ඇය මෙය සිදු නොවිය යුතු දෙයක් බව ද ප්‍රකාශ කළා ය.

පළාත් සභා ක්‍රමයේ වඩාත් සාධනීය ප්‍රතිඵල ගැන තව දුරටත් පැහැදිලි කළ කෝන්ගහගේ මහත්මිය මෙසේ ද සඳහන් කළා ය‍. “ පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමේ මූලික අරමුණ කුමක් වුවත් ඒ හරහා දක්ෂ තරුණ දේශපාලනඥයින් රැසක් බිහි වුණා. ඔවුන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් අමාත්‍යවරුන් බවට පත් වුණා. ඔවුන් ඒ දේශපාලන පන්නරය ලැබුවේ පළාත් සභාව තුළිනුයි. ඒ වගේම අධ්‍යපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය හා විශේෂයෙන් සංචරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රඥාප්ති හදමින් වඩාත් නිර්මාණශීලීව කටයුතු කරන්න පළාත් සභාව තුළ අපට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් ළදරු අධ්‍යාපනය පළාත් සභා විෂය යටත ගැනුණු වැදගත් අංශයක් ලෙස සැලකිය හැකියි. මේ විෂය හා සම්බන්ධ ප්‍රඥාප්ති සම්පාදනය කිරීම තුළින් මධ්‍යම පළාතේ ළදරු අධ්‍යාපනය ඉහළ තලයකට ගේන්න අපට අවස්ථාව ලැබුණා”

පළාත් සභා මැතිවරණය මේ දක්වා ‘දින නියමක් නොමැතිව කල් දැමීම’ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවට චෝදනා කළ කෝන්ගහගේ මහත්මිය ඒ සියලු නොසලකා හැරීම් හා නොතකා හැරීම් ‘සීමා නිර්ණය’ පිට දමා වගකීමෙන් ගැළවී ගිය බව ද කීවාය.

සීමා නිර්ණය කටයුතු නිසි පරිදි, නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වීම ‘රජයේ දුර්වලතාවක්’ බව සඳහන් කළ ඇය මේ අසමත්වීම තුළ පළාත් සභා ‘රාජ්‍ය නිලධාරීන්ගේ’ පාලනයට නතුවී ඇති බව ද පෙන්වා දුන්නා ය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය මෙසේ ද පෙන්වා දුන්නා ය. “ පළාත් ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා. ඔහු වගකියන්නේ ජනාධිපතිවරයාට පමණයි. ඔහු උනන්දු වන්නේ වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පමණයි. ඒ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රීවරියක් ලෙස මම දන්නේ නැහැ ඊළඟ පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කවදා ද කියලා. මේක ජනතාවටත් අදාළ ප්‍රශ්නයක් නොවෙයි. ජනතාවට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සහ පළාත් සභාව හරහා ඉටුවන සේවාව පමණයි. ඒ වගේම අපි අමතක කරන වැදගත් කරුණක් තිබෙනවා. පළාත් පාලන මැතිවරණ පවත්වා පළාත් පාලන ආයතන යළි සක්‍රිය කළත් පළාත් සභා අක්‍රිය තත්ත්වය තුළ පළාත් පාලන ආයතනවල පාලනයටත් බරපතළ බාධා හා දුෂ්කරතා ඇති වෙනවා. මේවා බාධා හා දුෂ්කරතා අවම කර ගන්න නම් මේ ආයතන ද්විත්වයම එකට ක්‍රියාත්මක විය යුතුයි.”

මෙහිදී කෝන්ගහගේ මහත්මිය පෙන්වා දුන්නේ පළාත් සභා සේවය සඳහා (පුස්තකාල සේවය) නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු පසුගිය දිනවල සිදුවුවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හා ප්‍රශ්න කිරීමට කිසිවෙක් නොසිටින බවයි. මේ හරහා ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බව යළි අවධාණය කළ ඇය ‘පළාත් සභා සුදු අලියෙක්’ යැයි කියන අදහස තරයේ ප්‍රතික්ෂේප කරමින් මෙසේ ද සඳහන් කළා ය. ‘පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් කියන අයගෙන් මම අහනවා ඔබට පුරවැසියෙක් ලෙස ලබාගත යුතු බොහෝ රාජ්‍ය සේවාවන් කොළඹට නොගොස් පළාත තුළ ම ඉටුකර ගන්න අවස්ථාව ලබුණේ කොහොමද ? කියලා. නමුත් පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම හරහා, එහි මහජන නියෝජිතයින්ගේ පාලනයක් නොතිබීම හේතුවෙන් දැන් ඔබ බලවත් දුෂ්කරතාවයකට පත්ව සිටිනවා. මේ තත්ත්වය නිර්මාණය කළේ පසුගිය රජයන් විසින් බව මම කියනවා. පළාත් සභා ක්‍රමය බිහි වුණේ අහම්බයක් ලෙස නොවෙයි. 1987 ජූලි මාසයේ 29 වැනිදා ඉන්දිය අගමැති රජිව් ගාන්ධි සහ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්න විසින් අත්සන් කළ ‘ඉන්දු – ලංකා ගිවිසුම’ අනුවයි පළාත් සභා ක්‍රමය බිහි වුණේ. ඒ කුමක් වෙනුවෙන් ද ? දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල් දමන ආණ්ඩු මේ ගැන කල්පනා නොකරන්නේ ඇයි ?”

Tags:

Leave A Comment