පළාත් සභා මැතිවරණ පැවැත්වීමට යොදාගත හැකි මාවතක් තිබෙනවා – මහාචාර්ය සුදන්ත ලියනගේ
- Editor
- July 7, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments

පළාත් පාලන මැතිවරණයට ‘මිශ්‍ර මැතිවරණ ක්‍රමය’හඳුන්වා දුන්න ද එම ක්‍රමය තුළ අඩුපාඩු ගණනාවක් තිබේ. ඒ අනුව මේ අවස්ථාවේ දී පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට යාමට වඩා පසුගිය සමානුපාතික මැතිවරණ ක්‍රමය වඩාත් සුදුසු බව බව මගේ අදසයි. එසේම මිශ්‍ර සමානුපාතික ක්‍රමය මේ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීම දුෂ්කරය. එයට හේතුව වන්නේ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යම්කිසි කාලයක් අවශ්‍ය වීමය. ඒ අනුව යළි තහවුරු වන්නේ මේ අවස්ථාවේ වඩාත් පහසු වන්නේ පෙර පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමය.
සමානුපාතික ක්රමයේ ද දුර්වලතා ගණනාවක් තිබුණේය. ඒ අතර ප්‍රධාන ගැටලුවක් වූයේ ‘මනාප ක්‍රමය’ සහ මනාපයක් වෙනුවෙන් දිස්ත්‍රික්කයක් පුරා මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදීමට සිදුවීමය.
සමානුපාතික ක්රමයේ පවතින මෙකී දුර්වලතාවට පිළියම් කිහිපයක් ද තිබේ. ඒ අනුව සමස්ත දිස්ත්‍රික්කය වෙනුවට දිස්ත්‍රික්කය කොටස් කිහිපයකට බෙදා වෙන් කිරීම තුළින් සභිකයින් තෝරා ගැනීම පහසුවෙන් කළ හැකිය. උදාහරණයක් ලෙස යම්කිසි දිස්ත්‍රික්කයකින් සභිකයින් 12 දෙනෙකු තෝරා ගන්නේ නම් එම සභිකයින් 12 දෙනා තෝරා ගැනීම දිස්ත්‍රික්කය කොටස් තුනකට බෙදා වෙන් කිරීම මඟින් කළ හැකිය. (එක කොටසකින් තිදෙනා බැගින්). ඒ පියවර හරහා දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි විශාල වියදමක් දරමින් මැතිවරණ ප්රචාරක කටයුතු කිරීමට ඇති අවශ්‍යතාව අවම කර ගත හැකිය. එසේම මෙම පියවර හරහා මනාප වෙනුවෙන් පක්ෂ අතර ද ඇති වන අභ්‍යන්තර ගැටුම් අවම කර ගැනීමට අවස්ථාව උදා කර ගත හැකිය. මෙහි සරල අදහස වන්නේ ‘සමස්ත දිස්ත්‍රික්කය වෙනුවට දිස්ත්‍රික්කයේ යම්කිසි තෝරා ගත් ප්‍රදේශයක මනාප වලින් පමණක්’ තේරී පත්වීමට අවස්ථාව ලබා දීමය.
බෝනස් ආසන ක්රමයේ විකෘතිය
මනාප ක්‍රමය සම්බන්ධයෙන් පවතින බරපතළම විවේචනයක් වන්නේ ‘දුර්වල ආණ්ඩුව නිර්මාණය වීම’ය. මන්ත්‍රී ආසන දෙකක් ‘බෝනස්’ ලෙස ලබාදීම ද වත්මන් සමානුපාතික ක්රමයේ පවතින බරපතළ ගැටලුවකි. ඊට හේතුව වන්නේ බස්නාහිර, දකුණ, මධ්‍යම ඇතුළු පළාත් සභා කිහිපයක දිස්ත්‍රික්ක තුනක් පවතී. එම දිස්ත්‍රික්ක තුන අතර බෝනස් ආසන දෙකක් බෙදී යාම ගැටලුකාරී තත්ත්වයකි. මෙහි දී එක් දිස්ත්‍රික්කයක් නොසලකා හැරීමට හෝ අවාසි සහගත තත්ත්වයකට පත් වේ.
මේ ගැටලුවට විසඳුම වන්නේ පළාත් සභා නවයට අයත් සියලුම දිස්ත්‍රික්කවලට එක බෝනස් ආසනයක් බැගින් ලබා දෙන ක්‍රමයක් වෙත යාමය. එවැනි ක්‍රමයක් තුළ බෝනස් ආසන දෙකක් පමණක් ලබා දීමෙන් අගතියට පත්වන දිස්ත්‍රික්කවලට සාධාරණයක් ඉටු කළ හැකිය.
මෙහි දී තවත් වැදගත් කරුණක් ඉස්මතු කළ යුතුය. එනම් දිස්ත්‍රික්ක තුනක් ඇති පළාත්වල බෝනස් ආසන දෙක ලබාදීමේ දී බොහෝ විට සිදුවන්නේ ‘මනාප ලැයිස්තුවේ ඊළඟට වැඩියෙන් මනාප ලබාගත් අපේක්ෂකයාට මන්ත්‍රීධුරය ලබා දීම’ය. මනාප ලැයිස්තුවේ පහළින් සිටින අපේක්ෂකයෙකුට බෝනස් මන්ත්‍රීධුරය ලැබුණේ ඉතා කලාතුරකිනි. නමුත් දිස්ත්‍රික්ක සියල්ලටම එක් බෝනස් ආසනයක් ලබා දීම මඟින් මෙම තත්ත්වය සැලකිය යුතු ලෙස කළමනාකරණය කරගත හැකිය. මෙම තත්ත්වය ද පවතින මනාප ක්රමයේ ප්‍රකට දුර්වලතාවක් වශයෙන් සැලකිය හැකිය.
තරුණ සහ කාන්තා නියෝජනය
පළාත් සභාවල තරුණ සහ කාන්තා නියෝජනය තහවුරු කිරීම සම්බන්ධ සංවාදයේ දී බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ දෙපිරිසම නියෝජනය වන ආකාරයට 25%ක නියෝජනයක් තහවුරු කළ යුතු බවය. කාන්තා නියෝජනය 25%ක් සහ තරුණ නියෝජනය 25%ක් ලෙස තහවුරු කිරීම අපහසු බව විවේචකයින්ගේ අදහසය. තර්කය ඒ ආකාරය නම් මෙම 25%ක නියෝජනය තුළ කාන්තාවන් 15%ක් සහ තරුණයින් 10%ක් හෝ තරුණයින් 15%ක් හෝ කාන්තාවන් 10%ක් වශයෙන් නියෝජනය තහවුරු කිරීමට පියවර ගැනීම වැදගත්ය.
එසේම කාන්තාවන්ගේ සහ තරුණයින්ගේ ‘වෙනම ලැයිස්තුවක්’ ඉල්ලා සිටීමේ හැකියාවක් ද පවතී. නමුත් මෙහි දී ‘පත් කිරීමේ ක්‍රමවේදයක්’ තෝරා ගත යුතුය. උදාහරණයක් ලෙස එක් අවස්ථාවක අප විසින් අපේක්ෂකයින් තිදෙනකු තෝරා පත්කර ගැනීමේ දී ‘සිවු වැනියා අනිවාර්යයෙන් තරුණයෙක්’ විය යුතු බවට සංශෝධනයක් ඉදිරිපත් කරන ලද නමුත් එය අවධානයට ලක් නොවීය.
මෙහි අදහස වන්නේ උපක්‍රමශීලී ලෙස මෙම ගැටලු විසඳා ගත යුතු බවයි. එසේම එය අපහසු බවක් ද දැක ගත නොහැකිය. රජය පාර්ලිමේන්තුවේ අති බහුතර බලයක් තිබෙන හෙයින් පැවති සමානුපාතික ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති සංශෝධනය කළ හැකිය. එසේම පැවති ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් අලුත් නීති සංශෝධනයක් ද හෝ අලුත් නීති සම්පාදනය කිරීමක් ද අවශ්‍ය නොවේ.
යම්කිසි ආකාරයකට රජය පළාත් සභා මැතිවරණ ක්රමයේ සංශෝධනයක් කරන්නේ නම් බෝනස් ආසන ක්‍රමය වඩාත් තාර්කික ලෙස බෙදා දීමටත් (එක් දිස්ත්‍රික්කයකට එක බැගින්) තරුණ හා කාන්තා නියෝජනය (25%) තහවුරු කිරීමට පියවර ගත යුතුය.
එසේම ලැයිස්තුවෙන් සභිකයින් තෝරා ගැනීමේ යම්කිසි නිශ්චිත ප්‍රතිශතයක් (10%ක් වැනි) කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කළ යුතුය. එවැනි නෛතික ප්‍රතිපාදන තුළින් හැර පළාත් සභාවේ කාන්තා සහ තරුණ නියෝජනය ශක්තිමත් කර තහවුරු කිරීමට හැකියාවක් නොමැත.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ වැඩසටහන්’ මාලාවේ 280 වැනි කතිකාවේ දී ඉදිරිපත් කළ අදහසකි.
සටහන – තුෂාල් විතානගේ

