පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ව්‍යවස්ථාවට කරන නිගාවක් වගේම ජනතාවට කරන අපහාසයක් – සුනිල් ජයසේකර – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පවතින සංවාදය යළි අලුත් වී තිබේ. ඒ පසුගිය මැයි 23 වැනි දා ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්, ටිල්වින් සිල්වා යාපනයේ දී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙනි. එහි දී ටිල්වින් සිල්වා පැවසුවේ 2026 වර්ෂයේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙන බවයි. මෙම තීන්දුවට හේතු වශයෙන් ඔහු ඉදිරිපත් කළේ ‘පළාත් සභා මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන්කරන ලද මුදල් දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් දේපොළ ප්‍රතිසංස්කරණයට වෙන් කළ බව’යි. මෙම ප්‍රකාශයට විපක්ෂයෙන් සහ සිවිල් සමාජයෙන් දැඩි විවේචන එල්ල වී සමඟ ජාතික ජන බලවේගය මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ටිල්වින් සිල්වාට වෙනස් අදහස් ඉදිරිපත් කරමින් සංවාදය තව දුරටත් සංකීර්ණ කළේය.

දේශපාලන සංවාදය මේ ආකාරයෙන් වුව ද වසර 12කට අධික කාලයක් පුරා ‘කිසිඳු පළාත් සභා මැතිවරණයක්’ නොපැවැත්වීම ජනතා පරමාධිපත්‍ය විෂයෙහි පමණක් නොව සාමාන්‍ය ජනජීවිතය කෙරෙහි ද හානිකර තත්ත්වයක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

පළාත් සභා මැතිවරණය සම්බන්ධ සංවාදයේ දී ආණ්ඩුවට එල්ල වන බරපතළ චෝදනාවක් ද තිබේ. ඒම චෝදනාවට පදනම වන්නේ පසුගිය මැතිවරණයට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. එහි ඉතාම පැහැදිලිව ‘වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට’ ප්‍රතිඥා දී තිබේ. මේ පසුබිම තුළ ද ආණ්ඩුව විවිධ හේතු ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම ජනවරමට පිටුපෑමක් ලෙස අර්ථකථනය කළ හැකිය.

මෙම සංකීර්ණ පසුබිම තුළ ප්‍රවීණ මාධ්‍යවේදී ශාන් විජේතුංග විසින් මෙහෙයවන ලද ‘සිද්ධමුල්ල’ ගුවන් විදුලි වැඩසටහනේ දී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්, සුනිල් ජයසේකර විසින් දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

පළාත් සභා ක්‍රමය මේ මොහොතේ පවතින තත්ත්වය ගැන පුළුල් පැහැදිලි කිරීමක් කරමින් ම සංවාදය ආරම්භ කරමු ද ?

පළාත් සභා කියන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම විධිවිධාන සලසා තිබෙන ප්‍රධාන මහජන නියෝජන ආයතනයක්.  එපමණක් නොවෙයි විශේෂයෙන් ගත්විට සෞඛ්‍ය, අධ්‍යාපන, මහා මාර්ග, වාරිමාර්ග ආදි වශයෙන් මේ රටේ ජනජීවිතයට සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවකට අදාළ මූලික පාලන බලය සහිත ආයතනයක් ලෙස පළාත් සභා සැලකිය හැකියි. එපමණක් නොවෙයි, මේ රටේ ජනවාර්ගික සංයුතියේ පවතින විවිධත්වය ගත් විට ඒ ඒ ජනවර්ග ජීවත් වන ප්‍රදේශවල පවතින විවිධත්වය, භූ විෂමතා, සංස්කෘතික විවිධත්වය යටතේ ගත්විට තම තමන්ට අදාළ ප්‍රදේශවල පරිපාලනය සහ  ජනතාවගේ යහපැවැත්මට අදාළ තීන්දු – තීරණ ගන්න ප්‍රධානම ආයතනය පළාත් සභාවයි.

මේ පසුබිම තුළ මෙවැනි ආයතනයක් මහජනතාවගේ නියෝජිතයින් නැතිව, මහජන නියෝජිතයින්ගේ අදහස් සැලකිල්ලට ගැනීමකින් තොරව, මහජනතාවගේ වුවමනා එපාකම් පිළිබඳ අවධානයක් යොමු නොකර  රටේ විධායකයේ පමණක් තනි පාලනයට නතු කර ගෙන සිටීම ව්‍යවස්ථා විරෝධීයි, ඒක ව්‍යවස්ථාවට කරන විශාල නිග්‍රහයක් වගේම රටේ මහ ජනතාවට කරන අවමානයක්.

පළාත් සභා කියන ආයතනය මේ රටේ පාලනයට අදාළව ‘ඉතාම වැදගත්’ ආයතනයක්. නමුත් අවුරුදු 14ක් පුරා, ආණ්ඩු ගණනාවක් විසින් මේක අක්‍රිය කර තිබෙනවා. මේ කාලය පුරා රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම මේකට වගකිව යුතුයි. විශේෂයෙන්ම වර්තමාන පාලනයට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙනවා. ඒකට හේතුව තමයි ජාතික ජන බලවේගය මැතිවරණයට ඉදිරිපත් කළ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව තිබෙනවා ඔවුන් බලයට පත්වෙලා වසරක් යාමට පෙර පළාත් සභා සක්‍රීය කරනවා, පළාත් සභා මැතිවරණ පවත්වනවා කියලා. නමුත් අවාසනාවට මේ ආණ්ඩුව බලයට පත්වෙලා වසර දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා, නමුත් අපට තවමත් පළාත් සභා සක්‍රීය කරන ආකාරයක් පේන්න නැහැ.

ඒ සක්‍රීය නොකිරීම තුළ, මේ රටේ එක පැත්තකින් සදාචාරාත්මක ගැටලුවක් තිබෙනවා, එසේම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හරිමින් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හැරීම වගේම ඉතාම  තීරණාත්මක කරුණ තමයි මේ රටේ මහජනතාවට අදාළ විශාල පාලන පරාසයක කටයුතු අකර්මණ්‍ය කරලා තිබෙනවා. ඒක රටට කරපු අසාධාරණයක් වගේම මේ රටේ ජනතාවට කරපු අසාධාරණයක්.

2010-15 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, 2025-20 මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් මේ අර්බුදයට වගකිව යුතුයි නේද ?

2012 දී තමයි නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණේ.  එ් වගේම 2013 දී මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභාවල නිල කාලය අවසන් වුණා, ඒ වගේම 2014 දී ඌව, බස්නාහිර සහ දකුණු පළාත් සභාවල නිල කාලය අවසන් වුණා. සමස්තයක් ලෙස ගත්විට 2012 සිට 2014 දක්වා අවුරුදු දෙකක කාලය තුළ පළාත් සභා නමයම තමන්ගේ නිල කාලය අවසන් කරලා තිබුණා. ඔබ මුලින් සඳහන් කළ ආකාරයට 2012 දී බලයේ සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, ඊට පස්සේ 2015 දී මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව, ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ ඊට පසුව 2022 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වුණා. ඒ අනුව පසුගිය ආණ්ඩු හතරක්, ජනාධිපතිවරු හතර දෙනෙක් සහ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වගකීම පැහැර හැරලා තිබෙනවා.

ඔබ සිතන ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නො හැකි ලෙස කොතැන ද ඒක සිර වෙලා තියෙන්නේ ?

ලංකාවේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක් පුරා පවතිනවා. ඒක පළාත් සභාවලට පමණක් අදාළ කාරණයක් නොවෙයි. උදාහරණයක් ලෙස පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙනුත් විවිධ සංශෝධන ගෙනාවා, ඒ වගේම මහ මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ද එවැනි සාකච්ඡාවක් රටේ තිබෙනවා. ඒ ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් පත් කර තිබුණා. එම තේරීම් කාරක සභාව මේ ගැන විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා. එපමණක් නොවෙයි, මේ සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතීත්වයෙන් ජනාධිපති කොමිෂමකුත් පත්කර තිබුණා.

මේ ආකාරයෙන් බලන විට ලංකාවේ මැතිවරණ නීතිය සහ මැතිවරණ පවත්වන ආකාරය පිළිබඳ සංවාදය අලුත් දෙයක් නොවෙයි. පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්විට කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දෙමින් අපි වෙනසකට ගියා. ඒ වගේම පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය සඳහා නීති සංශෝධනය කර ගැනීමට අදාළව මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාවක් පත්කරලා තිබුණා, ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් අවාසනාවට එදා ඒක සම්මත කරගන්න නොහැකි වුණා.

ඇත්තටම මෙතන තියෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. මේ තාක්ෂණික ප්‍රශ්නය ලිහා ගැනීමට තිබෙන්නේ ක්‍රම දෙකයි. එකක් අලුත් සීමා නිර්ණයකට යාම, නමුත් ඒක දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරලා, සොයා බලලා, පරීක්ෂා කරලා, ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම ආදිය දෙස බලන විට ඒක කාලයක් ගත වෙන දෙයක්. මෙන්න මේ තාක්ෂණික ගැටලුවට මුවා වෙලා තමයි ආණ්ඩු ගණනාවක්ම පළාත් සභා මැතිවරණය ප්‍රමාද කළේ. ඒක හිතාමතා, චේතනාන්විතව කරන වරදක්.

අනෙක, පසුගිය පාලන සමයේ දී දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් සුමන්තිරන් මන්ත්‍රීවරයා යෝජනාවක් ගෙනාවා. පැරණි සීමා නිර්ණයේ අඩුපාඩු පෙන්නලා ඔහු පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අලුත් මැතිවරණ ක්‍රමයක් පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒක අනුව කටයුතු කළා නම් එදා පාර්ලිමේන්තුවටත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබුණා. ආණ්ඩුව බලය තිබිලත් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා නේද ?

පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා. ඒ අනුව මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් ගැඹුරු විමර්ෂණයකට ගිහින් තීන්දුවක් දීලා තියෙනවා. ඒ තීන්දුව කියන්නේ, ඉතාම සුළු වෙනස්කම් කිහිපයක් කළාට පස්සේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පනත සංශෝධනය කරලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් බවයි. නමුත් එවකට පැවැති ආණ්ඩුව ඒ සඳහා උනන්දු වුණේ නැහැ. ඊට පස්සේ ආණ්ඩුව විසුරුවා හැරියා. ඒ නිසා සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ යෝජනාව අක්‍රිය වුණා.

නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ යෝජනාව සහ ඒ යෝජනාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මගපෙන්වීම් ද සැලකිල්ලට අරගෙන ශානක්‍යන් රාජපුත්තිරන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අලුත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ යෝජනාව නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු නැහැ. ඒකට හේතුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මීට කලින් ලබා දුන් තීන්දුව සැලකිල්ලට ගෙන තමයි නව පුද්ගලික මන්ත්‍රී යෝජනාව සකස් කර තිබෙන්නේ. එයින් අදහස් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මගපෙන්වීම් සහ නිර්දේශ ඇතුළත්ව තමයි රාසමාණික්කම් මන්ත්‍රීවරයාගේ පුද්ගලික මන්ත්‍රී යෝජනාව සකස් කරලා තිබෙන්නේ. ඒ නිසා මේ යෝජනාව සම්බන්ධයෙන් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවශ්‍යතාවක් නැහැ, ඒ වගේම ගියත් වැඩක් නැහැ. මේකට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ පරණ තීන්දුවමයි. ඒ පූර්වාදර්ශයක් කලින්ම දීලා තිබෙන නිසා.

නමුත් වර්තමාන ආණ්ඩුව හැකියාව තිබෙනවා මේ යෝජනාව වහාම පාර්ලිමේන්තුවට ගෙනත්, න්‍යා පත්‍රයට දාලා ඒක සම්මත කර ගන්න. ඒ සඳහා වර්තමාන ආණ්ඩුවට කිසිම බාධාවක් නැහැ. ආණ්ඩුවට 2/3කට වඩා වැඩි බලයක් තිබෙනවා. ඒ නිසා මේක කල්මැරීමේ කිසිඳු අවශ්‍යතාවක් හෝ යුක්ති සහගත භාවයක් නැහැ. වර්තමාන ආණ්ඩුවත් මේ කල්මැරීම හරහා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීමයි, මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොසලකා හැරීමයි, ඒක නොකළ යුතු බවයි අපේ අදහස.

මේ ආණ්ඩුවත් විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා තිබෙනවා නේද ?, මේ කමිටුවේ කාර්යභාරය කුමක් ද ?

කමිටුවට අවධානය යොමු කළ හැකි කාරණා දෙකයි තිබෙන්නේ. එකක් තමයි පසුගිය සීමා නිර්ණය කොමිෂම ලබා දීලා තිබෙන තීන්දුව පිළිගන්නවා ද, නැතිනම් ඒකට සංශෝධන අවශ්‍ය ද කියන එක. තව දුරටත් නිර්දේශ අවශ්‍යයි කියලා හිතනවා නම් සීමා නිර්ණය කොමිෂමකට ඒක පවරන්න පුළුවන්. නමුත් ඒක දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. නමුත් මම කියන්නේ මේ ආකාරයෙන් තව දුරටත් කල් මැරීමට ඉඩ නොදිය යුතුයි.

මේ කමිටුවත් කල්මැරීමට ගන්නා උත්සාහයක් කියල ද ඔබ කියන්නේ ?

පැහැදිලිවම ඒක කල්මැරීමට ගන්නා වූ උත්සාහයක්. ඒ කමිටුවට නිසි ගෞරවය ලබා දෙමින් අපි කියන්නේ, අලුත් යෝජනා අර ගෙන මේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒක කළ හැකියි. නමුත් ඒක කළ යුතු නම් ඊළඟ මැතිවරණයෙන් පසු ඒක කරන්න. දැනට පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පවත්වලා, මේ ආයතන ශක්තිමත් කරලා, ඒ පාලනය ඉදිරියට යමින් තිබිය දී, ඒ අතරතුර කාලය යොදා ගන්න පුළුවන් අවශ්‍ය වෙනස්කම් කරන්න. ඒකට කිසිම බාධාවක් නැහැ. අපි කියන්නේ ඒකයි, ඒ වෙනස්කම් කළ යුතු නම් ඒක කළ යුතුයි, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකියි. ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය නම් කාලය ගැනීම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ කාලය ගැනීම හිලව් කරන්න එපා, ඒ කාලය ගැනීම තුළ හැංගෙන්න එපා,  පළාත් සභා සක්‍රීය කිරීම නතර කිරීමට මේවා යොදා ගන්නත් එපා.

මේ වන විට පළාත් සභා 09ම පාලනය වෙන්නේ විධායකය, එසේ නොමැති නම් ජනාධිපතිවරයා විසින් පත්කළ ආණ්ඩුකාරවරුන් හරහා. මේ පාලනයට ව්‍යවස්ථාවට අනුකූලයි නේද ?

ආණ්ඩුකාරවරයෙකුට තිබෙන බලය තමයි පළාත් සභාව විසින් පනවන ප්‍රඥප්ති පිළිබඳව සැලකිල්ලට ගෙන ඒවා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලයෙන් ඔබ්බට යනවා නම් ඒවා සම්බන්ධයෙන් මැදිහත් වීම සහ ඇතැම් විධායක තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම. නමුත් පළාත් සභාව තුළ ගන්නා වූ තීන්දු – තීරණ, (උදාහරණයක් ලෙස පළාත් සභාවට අයත් පාසල් සම්බන්ධ තීරණයක්) ක්‍රියාත්මක කළ යුත්තේ මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පළාත් සභාවයි. ඒ කටයුතු පළාත් ආණ්ඩුකාරවරයෙකුට පවරලා නැහැ. යම්කිසි අවස්ථාවක එවැනි පැවරීමක් සිදුවෙන්නේ පළාත් සභාව විසුරුවා හැර තිබේ නම් පමණයි. පළාත් සභාව විසුරුවා හැරීමේ සිට, නැවත මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පළාත් සභාවක් පත්වන තෙක් ගත වන කාලය තමයි සදාචාරාත්මකව පළාත් සභා කටයුතු සඳහා ආණ්ඩුකාරවරයෙකුට පළාත් සභා  කටයුතුවලට මැදිහත් වීමට අවස්ථාව ලැබෙන්නේ. එසේ නොමැතිව මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පළාත් සභාව අක්‍රිය කරලා ඒ සමස්ත බලය ආණ්ඩුකාරවරයා යටතට පවරා ගැනීම නීතිය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි, ඒක දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්.

පළාත් සභාව සම්බන්ධයෙන් ජනතාව අතර මුල්බැස ගත් මත කිහිපයක් තිබෙනවා. ජනප්‍රියම මතය තමයි ‘පළාත් සභා කියන්නේ සුදු අලියෙක්’ කියන කතාව. ඒ වගේම පළාත් සභා හරහා බෙදුම්වාදයට පාර කැපෙනවා කියලා තර්කයකුත් තිබෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි මුල්ම නැගෙනහිර පළාත් සභාව ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට එවකට නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වර්ධරාජා පෙරුමාල් කටයුතු කිරීම. මේ දේවල් නිසා නේද පළාත් සභා ක්‍රමය ගැන ජනතාව තුළ යම් බියක් නිර්මාණය වෙලා තිබෙන්නේ ?

මේ රටේ වෙනම පළාතක පාලනයක් පිළිබඳ අදහස දීර්ඝ කාලයක් පුරා මේ රටේ තිබුණා පමණක් නොවෙයි, ඒ සඳහා යුද්ධයකුත් මේ රටේ තිබුණා. එ්කට විසඳුමක් ලෙස තමයි පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ. පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරන්නේ සන්නද්ධ යුද්ධයක් රට තුළ පවතින අවස්ථාවක. 1987 අංක 47 දරන පනතින් තමයි මේ පළාත් සභා සක්‍රීය වුණේ. ලෝකයේ බිහිසුණුම සන්නද්ධ ව්‍යාපාරයට සහ ලෝකයේ තිබුණ දරුණුතම, බිහිසුණුම, මිලේච්ඡතම යුද්ධයකටත් නොහැකි වුණා නම් මේ රටේ භෞමික අඛණ්ඩතාවයට හානියක් කරන්න, මේ රටේ ස්වාධිපත්‍යයට හානියක් කරන්න, නීත්‍යානුකූල ආයතනයකට එවැනි හැකියාවක් තිබෙනවා ද?, එවැනි ඉඩක් නැහැ. නමුත් අවාසනාවට පටු දේශපාලන අරමුණු මත කටයුතු කළ බලවේග ගණනාවක් තමන්ගේ දේශපාලන බලය සහ අරමුණු ඉටුකර ගන්න ගොඩනැගූ මිත්‍යාවන් දෙකක් තිබෙනවා, විශේෂයෙන් පළාත් සභාවලට අදාළව. එක මිත්‍යාවක් තමයි, ‘පළාත් සභාවලින් රට බෙදෙනවා” කියන මිත්‍යාව. නමුත් ශ්‍රී ලංකාව කියන්නේ ඒකීය රාජ්‍යයක්, අපට තිබෙන්නේ ඒකීය ආණ්ඩුක්‍රමයක්. තනි මධ්‍යගත පාලනයකින් තමයි රටේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ. ඒකේ බලය පමණයි විමධ්‍යගත කළේ, පාලනය විමධ්‍යගත කළේ නැහැ. ජාතිය ආරක්ෂාව, විදේශ ප්‍රතිපත්තිය, මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු තීරණාත්මක මධ්‍යගත බලතල සම්බන්ධයෙන් වෙනත් කිසිම ආයතනයකට බලතල බෙදාදීමක් සිදුවෙලා නැහැ. ඒ බලතල තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුවට පමණයි. එහි අදහස තමයි ‘ශ්‍රී ලංකාව කියන්නේ ඒකීය රාජ්‍යයක්’. මේ වගේ තත්ත්වයක් තුළ බලය විමධ්‍යගත කළ ආයතනවලට (උදාහරණයක් ලෙස පළාත් සභා) මධ්‍යයේ බලය ඉක්මවා කටයුතු කළ නොහැකියි.  ඒ නිසා මොනම තත්ත්වයක් යටතේවත් පළාත් සභා හේතුවෙන් රට බෙදෙනවා කියන එක පිළිගන්න නැහැ. මේක පටු සහ අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් ඇතැම් දේශපාලන ව්‍යාපාර හා පක්ෂ ගොඩනැගූ මිත්‍යාවක්. එවැනි ආකාරයට රටක් බෙදන්න පුළුවන් නම් ඉන්දියාව අපට කලින් බෙදෙනවා. අපට කලින් තමයි ඉන්දියාවේ බෙදුම්වාදී ව්‍යාපාර වර්ධනය වුණේ. විශේෂයෙන් දකුණු ඉන්දියාවේ ‘අපි දෙමළ” ව්‍යාපාරය. ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක බෙදුම්වාදී ව්‍යාපාර තිබෙනවා. නමුත් ඉන්දියාව අපට වඩා බලතල බෙදා දී තිබෙනවා. පෙඩරල් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. පොලිස් බලතල පවා සහිත ප්‍රාන්ත පාලනයක් ක්‍රියාත්මක වන ඉන්දියාවේ බෙදන්න පුළුවන් තරමේ තර්ජනයක් අදත් නැහැ.  ඉන්දියාව කියන්නේ ජාතික ආරක්ෂාව අතින් ඉතාම ශක්තිමත් රාජ්‍යයක්. ඉන්දියාව පෙඩරල් පාලනයක් තුළ තමන්ගේ රට ඉතාම විධිමත් ලෙස පාලනය කරනවා.

ලංකාවේ තිබෙන්නේ පෙඩරල් පාලනයක් නොවෙයි, ඒක වෙනම විමධ්‍යගත තත්ත්වයක්. එනිසා මොනම තත්ත්වයක් යටතේවත් ලංකාවේ ස්වාධිපත්‍යයට අභියෝග කරන්න පළාත් සභාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ජාතික ආරක්ෂාවට අභියෝග කරන්න පළාත් සභාවලට හැකියාවක් නැහැ. ඒ සඳහා අවශ්‍ය බලය පමණක් නොවෙයි යාන්ත්‍රණයක් පවා පළාත් සභාවලට නැහැ. ඒ නිසා පළාත් සභා සම්බන්ධයෙන් අපි කිසිසේත් බිය විය යුතු නැහැ, බිය වීමට හේතු සාධකත් නැහැ. හොඳම උදාහරණය ලෙස වර්ධරාජා පෙරුමාල් කළ දේ ගන්න පුළුවන්. අද එදා පැවැති තත්ත්වයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ නිසා කුමනාකාරයේ තත්ත්වයක් යටතේ හෝ පළාත් සභා නිසා රට බෙදෙයි කියන මානසිකත්වය ඇතිකර ගත යුතු නැහැ.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment