පොලිසිය ඇතුළු විමර්ශන ආයතන නීතිය අවභාවිත කිරීම බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතුවක් – නීතිඥ දුලාන් දසනායක
- Editor
- August 1, 2026
- මතවාද, සිංහල Header
- opinion
- 0 Comments
බන්ධනාගාරවල අමානුෂික තදබදයට ප්‍රායෝගික විසඳුම්
ඇප ලබා දීම ඇතුළු යම් යම් දැඩි මර්ධනකාරී නීතියක් සම්මත වුවහොත් විමර්ශන ආයතනයක් ලෙස පොලිසිය එම නීතිය දැඩිව භාවිත කිරීම සුලබ තත්ත්වයක් වන අතර පොලිසිය කිසිම ‘සද්භාවයකින්’ තොරව එම නීතිය භාවිත කිරීම දැකගත හැකිය. පොලිසියේ මෙම ක්‍රියා කලාපයට එරෙහිව පසුගිය කාලය තුළ මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක් පවරා තිබුණ ද, පොලිසිය එම නඩු වලින් බහුතරය පැරදී තිබුණ ද පොලිසියේ මෙම ක්‍රියා කලාපයේ ‘කිසිම වෙනසක්’ දැකගත නොහැකිය.
මෙහි වඩාත් බරපතළ තත්ත්වය දැකගත හැකි වන්නේ මත්ද්‍රව්‍ය නඩු සම්බන්ධයෙනි. මෙහි දී නඩු පැවරීම, මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ වර්ගය නිර්ණය කිරීමට පොලිසියට අසීමිත නිදහසක් හිමිවන අතර එය ප්‍රශ්න කිරීමට හෝ එයට අභියෝග කිරීමට සැකකරුවන්ට ඇති අවස්ථාව ද ඉතා සීමිතය. මේ තත්ත්වය තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය පවරන ලද නඩු අභියෝගයට ලක් වූ අවස්ථාව වලදී මෙම නඩු පැවරීමේ දී පොලිසිය කටයුතු කරන අත්තනෝමතික ස්වභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෙළි වී ඇත.
මෙහි තවත් පැතිකඩක් ද ඇත. පොලිසිය මේ ආකාරයෙන් ‘සියලු නඩු වලදී ‘කටයුතු නොකරන බව ද පිළිගත යුතු ය. පොලිසිය මේ ආකාරයෙන් කටයුතු කරන්නේ ‘තෝරා ගත් පිරිසක්’ සම්බන්ධයෙනි. විෂ මත්ද්‍රව්‍ය නඩු පැවරීම ගත් විට පොලිසිය බොහෝ විට ‘ග්‍රෑම් දෙකකට අඩු ප්‍රමාණයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කරන අතර සැකකරුවන් ද පොලිසිය සමඟ තර්ක කිරීමකින් තොරව හෝ පොලිසියට අභියෝග කිරීමකින් තොරව අධිකරණයේ දී වරද පිළිගැනීම සාමාන්‍ය තත්ත්වයයි.
මෙහි දී පොදු අත්දැකීම වන්නේ මත්ද්‍රව්‍ය ප්‍රමාණය තීරණය කිරීම සම්බන්ධයෙන් ‘පොලිසිය ඉතාම පැහැදිලිව අත්තනෝමතිකව’ කටයුතු කරනු ලබන බවයි. මේ තත්ත්වය මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවන පුද්ගලයින් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාමට ඍජුව හේතු වී ඇත.
පොදු ස්වරූපයක්
දැඩි හෝ මර්ධනකාරී නීති ලෙස සැලකිය හැකි නීති අවභාවිත කිරීම හෝ අත්තනෝමතික ආකාරයෙන් භාවිත කිරීම ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතනවල ‘පොදු ස්වභාවයක්’ ලෙස සැලකිය හැකිය. යළි අවධාරණය කළ යුත්තේ මෙය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් නොව සෙසු බොහෝ නීති සම්බන්ධයෙන් ද සිදුවන බවයි. මේ සඳහා දැක්විය හැකි ‘හොඳම උදාහරණය’ වන්නේ ICCPR පනත සහ ‘පොදු දේපොළ පනත’යි.
මෙම පනත් බොහොමයක් ‘ඇප දීම සීමා කරන’ නීති හෙයින් පොලිසිය හෝ අදාළ විමර්ශන ආයතන තම අභිමතය පරිදි මෙම නීති භාවිත කරන ආකාරයක් දැකගත හැකිය. එහෙත් ප්රශ්නය වන්නේ මේ නීති බොහොමයක් සමාජයේ ‘නිර්ප්‍රභූ’ යැයි සම්මත ජනතාවට එරෙහිව භාවිත වීමය. එසේම දිගින් දිගිටම, අත්තනෝමතික ආකාරයෙන් පොලිසිය ද ඇතුළු විමර්ශන ආයතන මෙම නීති අවභාවිත කරන ආකාරය අධිකරණය හමුවේ පවා ඔප්පු වී තිබුණ ද එම අත්තනෝමතිකත්වය පාලනය කිරීමට පියවර ගන්නා බවක් දැකගත නොහැකිය.
මහේස්ත්රාත්වරුන්ගේ ප්‍රධාන වගකීම
මෙහි දී මහේස්ත්රාත්වරුන්ගේ වගකීම, ප්‍රධාන වගකීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය. නමුත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අති විශාල නඩු ප්‍රමාණය හේතුවෙන් මහේස්ත්‍රාත්වරුන් සතු මෙම ප්‍රධාන වගකීම් අතපසු වීම සිදුවන බව දැකගත හැකිය.
උදාහරණයක් ලෙස 1991 අංක 08 දරන රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් මුදා හැරීමේ පනත යටතේ මහේස්ත්‍රාත්වරුන් මාසිකව රිමාන්ඩ් බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකා කළ යුතු බව සඳහන් වුව ද, මහේස්ත්රාත්වරුන්ගේ අතිෂය කාර්ය බහුලත්වය හේතුවෙන් මෙවැනි සාධනිය පියවර ගත නොහැකිය.
මෙහි දී ඇති වන තවත් ගැටලුවක් වන්නේ තමා ඉදිරියේ විභාග වන නඩු සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් යෙදීමට මහේස්ත්‍රාත්වරුන්ට නොහැකි වීිමයි. දෛනිකව අති විශාල නඩු ප්‍රමාණයක් විසඳීමට හෝ විභාග කිරීමට සිදුවන මහේස්ත්‍රාත්වරයෙකුට නඩුවෙන් – නඩුව වෙත දැඩි අවධානයක් යොමු කිරීමට ප්‍රමාණයක් කාලයක් නොලැබෙන අතර ‘ඇප ලබා දීම’ හෝ රස පරීක්ෂණ වාර්තා නොලැබීම හෝ ප්‍රමාද වීම හේතුවෙන් ‘යළි රිමාන්ඩ් කිරීම’ වැනි අවස්ථාවලදී ‘විත්තිකරුට කූඩුවට නැඟීමට පවා අවස්ථාවක් නොලැබී’ යළි බන්ධනාගාර ගත වීමට සිදුවන අවස්ථා අධිකරණය තුළ සුලභය.
උසාවිය තුළ සිදුවන මෙම තත්ත්වයේ තවත් හානිකර, ඍණාත්මක ප්‍රතිඵලයක් වන්නේ ‘සාක්ෂිකරුවෙක් පවා උසාවියට යාමට අකමැති තත්ත්වයක්’ නිර්මාණය වීමය. එසේම මහේස්ත්‍රාත් උසාවි තුළ පොදු පහසුකම් ප්‍රමාණවත් නොවිම, නඩු කැඳවීමට විශාල කාලයක් ගත වීම. සැකකරුවන්, පැමිණිලිකරුවන් සහ සාක්ෂිකරුවන් එකම පරිශ්‍රයක් තුළ රැඳී සිටීම ආදි තවත් කරුණු ගණනාවක් මෙහි දී සාක්ෂිකරුවන් උසාවි වෙත පැමිණීම අධෛර්මයත් කිරීමට හේතු වී තිබේ.
මෙහි වත්මන් ප්‍රවණතාව ද අවධානයට යොමු විය යුතු කරුණකි. එනම් යම්කිසි අපරාධයක් හෝ සිදුවීමක් සම්බන්ධ CCTV දර්ශන ලබාදීමට බොහෝ පුද්ගලයින් අදිමදි කිරීමට මේ තත්ත්වය ද හේතුවී ඇත. එයට හේතු වන්නේ සාක්ෂි ලබාදීමට උසාවි යාමට සිදුවීමය. මෙය අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියට ඍජුව බලපෑව ද පුද්ගල හැසිරීම හෝ ආකල්ප වෙනස් කිරීමට එය ප්‍රමාණවත් නැත.
මෙම සමස්ත ක්‍රියාවලිය පොදුවේ අධිකරණ පද්ධතිය තුළ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසීමට, නඩු විසඳීමට ගතවන කාලය දීර්ඝ වීමට, බන්ධනාගාර පද්ධතියට දරා ගත නොහැකි තරමට රැඳවියන් පිරිසක් නිර්මාණය කිරීමට පමණක් නොවන පොදු අධිකරණ හා බන්ධනාගාර පද්ධතියට සම්බන්ධයෙන් සමාජය තුළ ඍණාත්මක ආකල්පයක් වර්ධනය වීමට හේතු වී ඇත.
එකිනෙක බද්ධ වී ඇති මෙම සංකීර්ණ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සමාජය හමුවේ පවතින වත්මන් අභියෝගයකි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ වැඩසටහනේ 283 වැනි කතිකාවේ දී (බන්ධනාගාරවල අමානුෂික තදබදයට ප්‍රායෝගික විසඳුම්) නීතිඥ දුලාන් දසනායක මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – තුෂාල් විතානගේ

