‘මාධ්‍ය මර්දනය සඳහා රාජපක්ෂ රෙජිමයෙන් ගෙන ආපු සැලසුම් වර්තමාන රජයත් ගෙඩි පිටින් ඉදිරිපත් කරනවා’- රංග බණ්ඩාරනායක

රංග බණ්ඩාරනායක – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති

මාධ්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීමය ප්‍රමිති හඳුන්වා දීමේ සහ පවත්වාගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ භට අනුෂාගිංක කාරණ සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතක් කෙටුම්පත පසුගිය ජූනි 05 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කළේ ය.

මේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 14 වැනි ඉරිදා ‘යෝජිත වරලත් මාධ්‍ය ආයතන ගැන විමසුමක්’ යන තේමාව යතේ සංවිධානය කළ ‘කතිකාව’ වැඩසටහනේදී රංග බණ්ඩාරනායක විසින් දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

පසුගිය කාලය තුළ බලයට පත්වන ආණ්ඩු විසින් අවස්ථා ගණනාවක දී ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍යවේදය සම්බන්ධ නීති සම්මත කර ගැනීමට වෑයම් කළ අතර මාධ්‍ය ප්‍රතිපත්ති ද සම්පාදනය කිරීමට අවස්ථා ගණනාවක දී උත්සාහ කළේ ය. නමුත් මේ කිසිම අවස්ථාවක රජය මේ වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සම්බන්ධ කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගත්තේ ය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්‍ගේ සංගමයේ වත්මන් සභාපති රංග බණ්ඩාරනායක පවසන්නේ වත්මන් රජය වේවා, පසුගිය ආණ්ඩු වේවා කිසිදු අවස්ථාවක ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය සංගම් මෙම ක්‍රියාවලියේ කිසිම අවස්ථාවකට සම්බන්ධ කර නොගත් බවයි.

“ආණ්ඩුව කඩිමුඩියේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනවා, ජාතික ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා, මෙවැනි පනත් කෙටුම්පත් කිරීමේ පූර්ව සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කිසිදු ආකාරයකින් සහභාගී වීමක් කරලා නැහැ. මාධ්‍යවේදීන් ලෙස හෝ මාධ්‍ය සංගම් අපි මේවා ගැන දැනුවත් වෙලා නැහැ. මේක තමයි අපට බලපාපු මූලික කාරණය. ඒ කියන්නේ මේක මාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍ය සංගම්වලින් මේ පිළිබඳව තොරතුරු විමසලා, එසේ නොමැති නම් මේ පිළිබඳව සාධාරණ ආකාරයෙන් සාකච්ඡා කරලා කෙටුම්පත් කළ පනතක් නෙමෙයි. මාධ්‍ය සම්බන්ධව ආණ්ඩුව ඉදිරිපත් කරන කිසිම කටයුත්තක විනිවිධභාවයක් නොමැති තත්ත්වයක් අපට නිරීක්ෂණය වෙනවා. ඒක ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ කෙටුම්පත්වලත්, යෝජිත වරලත් මාධ්‍ය ආයතනය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත තුළත් දැක ගන්න පුළුවන්. කිසිම ආකාරයක පූර්ව සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මේ පනත් කෙටුම්පත් ඉදිරිපත් වෙලා නැහැ” රංග බණ්ඩාරනායක කතිකාවට ප්‍රවේශයක් ගනිමින් පෙන්වා දුන්නේ ය. මෙහි දී රංග යළි යළිත් චෝදනා කළේ පසුගිය කාලය පුරාම ජනමාධ්‍ය කර්මාන්තය  හෝ ජනමාධ්‍යවේදීන්ට අදාළ කිසිම පනතක් හෝ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ දී ජනමාධ්‍යවේදීන්ගේ හෝ ජනමාධ්‍ය සංවිධානවල සහභාගීත්වයෙන් තොරව ඒවා සිදුවීම බරපතළ තත්ත්වයක් ලෙස සැලකිය හැකි බවයි.

වරලත් මාධ්‍ය ආයතනයේ සුලමුල

යෝජිත වරලත් මාධ්‍ය ආයතනයේ ආරම්භය පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමය දක්වා දිවෙන බව රංග පැවසුවේ ය. ලංකාවේ ජනමාධ්‍යවේදීන් බරපතළ ලෙස මර්දනය කළ සහ ජනමාධ්‍ය වෙත තර්ජනය කළ, ජනමාධ්‍යවේදීන්ගේ උපකරණ කුඩුපට්ටම් කළ පසුබිමක් සහිත ආණ්ඩු විසින් සම්පාදනය කළ ලියවිලි නැවත මේ සමාජයට ගෙන ඒමේ ස්වභාවයක් මේ හරහා තමා දකින බව රංග බණ්ඩාරනායක පැවසුවේ ය.

“මේ පනත් කෙටුම්පත නිරීක්ෂණය කරන විට මාධ්‍ය මර්දනයට අවශ්‍ය යම් යම් වගන්ති තිබෙන බව දැක ගත හැකි යි. මාධ්‍යවේදීන් නියාමනය කිරීමට අවශ්‍ය යම් යම් වගන්ති මේ කෙටුම්පත තුළ ඇතුළත් වෙලා තිබෙනවා. ඒ සමඟ එන ප්‍රශ්නය තමයි, “මේක ද වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්තිය” කියන එක. ඊට පස්සේ අපට තවත් ප්‍රශ්නයක් මතු වෙනවා, වර්තමාන ආණ්ඩුව මේ ආකාරයට ද ලංකාවේ මාධ්‍ය සඳහා නිදහස් වාතාවරණය, මාධ්‍යවේදීන්ට නිදහසේ වැඩ කරන්න අවශ්‍ය පසුබිම ගොඩනගන්න හදන්නේ කියලා. අපේ සංගමය තුළත්, අපි දන්න කියන විද්වතුන් සමඟත් කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේ කෙටුම්පත සම්බන්ධයෙන් අපේ විරෝධතාව මතු කරන්නේ, යෝජිත වරලත් මාධ්‍ය ආයතන කෙටුම්පත සම්බන්ධයෙන් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් එහි සභාපතිවරයා වන රංග බණ්ඩාරනායක වැඩි දුරටත් පැවසුවේ ය.

මෙහි දී රංග පැවසුවේ මෙම කෙටුම්පත අභ්‍යන්තරයේ තිබෙන කරුණු – කාරණා ගෙන බලන විට තම සංගමයේ විරෝධයට පදනම මනාව පැහැදිලි වන බවයි.

“වරලත් මාධ්‍ය ආයතනය පිහිටුවීමේ දී ජනමාධ්‍ය අමාත්‍යවරයා කරන මැදිහත් වීම, ඔහු විසින් පත්කරන කමිටු ගැන බරපතළ ප්‍රශ්නයක් අපට තිබෙනවා. ඒ වගේම මාධ්‍ය වෘත්තිකයින් සඳහා වන මෙවැනි ආයතනයකට ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හෝ රජයේ මැදිහත් වීම් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මේ ආයතනය බොහෝම ස්වාධීන මට්ටමකින් පාලනය විය යුතු, ජනමාධ්‍යවේදීන් අතර සුහදතාවය, ඔවුන්ගේ නිදහස, ඔවුන්ට වැඩ කිරීමට ඇති නිදහස, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු, ඒ වගේම ඔවුන්ගේ ආචාර ධර්ම පිළිබඳ පුළුල් කතිකාවතක් ඇති කිරීම වැනි දේවල් වරලත් මාධ්‍ය ආයතනයක් හරහා ගොඩනැගීමේ වැදගත්කම අපි පිළිගන්නවා. නමුත් මේක අභ්‍යන්තරයේ පවතින, සැඟවුණු න්‍යාය පත්‍රවලට තමයි අපි අපගේ විරෝධතාවය පළ කරන්නේ. ඉතිං මෙවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවේ පාලන හස්තය ජනමාධ්‍යවේදීන් වෙත යොමු කරන විට අපි (මාධ්‍ය සංවිධාන ලෙස) කවදත් විරුද්ධ වුණා. ඒක මාළිමාව ද, රනිල් වික්‍රමසිංහ ද, මහින්ද රාජපක්ෂ ද කියලා වෙනසක් නැහැ. මේ සෑම යුගයකම අපි මෙවැනි රාජ්‍ය මර්දනයට විරුද්ධ වුණා. ඒ සංවිධානගත ව්‍යුහය අපි තව දුරටත් ආරක්ෂා කර ගෙන යනවා. ඒ නිසාම තමයි වරලත් මාධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා නිකුත් කළ පනත් කෙටුම්පතට අපි අපේ විරෝධය පළ කරන්නේ. ඒ ව්‍යුහය ගොඩනැගීමේ තිබෙන ආරවුල, ඒ පැහැදිලි කිරීමක් නැති තත්ත්වයක් යටතේ අපි අපේ විරෝධතාව මතු කළා. ඒක තමයි මේ විරෝධතාව මතු කිරීමේ පසුබිම” රංග බණ්ඩාරනායක පැවසුවේ ය.

වරලත් මාධ්‍ය ආයතනයක අවශ්‍යතාව

අමාත්‍යවරයාගේ මැදිහත් වීම වැනි ඍණාත්මක කරුණු හැර මෙවැනි වරලත් ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පිළිගන්නේ ද යන්න සම්බන්ධයෙන් ඒ් පිළිබඳ ස්ථාවරය කුමක් දැයි’ මෙහි දී කතිකාව මෙහෙයවන ලද ලසන්ත ද සිල්වා රංගගෙන් විමසුවේ ය. රංග බණ්ඩාරනායක එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙසේ පැවසුවේ ය.

“මේ කෙටුම්පත මඟින් ඉදිරිපත් කරලා තිබෙන ආයතනය නම් නැති වුණාට කමක් නැහැ” රංග අවධාරණයයෙන් යුතුව පැවසුවේ ය.

“මාධ්‍යවේදීන් පුහුණු කිරීම හෝ ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සිදුවිය යුතු දෙයක් ලෙස අපි පිළිගන්නවා, ඒකේ විවාදාත්මක තත්ත්වයක් නැහැ. නමුත් මේ ආකාරයෙන් ආයතනයක් පිහිටුවීම හරහා මේ අරගෙන එන මර්දනයේ හස්තය පරාජය කළ යුතුයි. ඒක මේ ආණ්ඩුව පමණක් නොවෙයි ඉදිරියේ දී බලයට පත්වෙන තවත් ආණ්ඩුවක් පවා කටයුතු කරන්නේ මේ ආකාරයටම තමයි. මේ පනත් කෙටුම්පතේ මාධ්‍යවේදීයා, මාධ්‍යකරුවා යන්න අර්ථ නිරූපණය කරලා තිබෙන ආකාරය ගැටලු සහගතයි. මේ පනත් කෙටුම්පතට අනුව මාධ්‍ය හිමිකරුවා මාධ්‍ය වෘත්තිකයෙක් බවට පත්වෙනවා. මාධ්‍ය හිමිකරුවෙක් කොහොමද මාධ්‍ය වෘත්තිකයෙක් ලෙස සලකන්නේ? යැයි ප්‍රශ්න කළ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ‘මේ එලන්නේ දැලක්, මේ මාධ්‍ය සමාජය ඔවුන්ගේ මර්දන හස්තයේ රඳවා ගැනීම සඳහා එලන දැලක්’ ලෙස යෝජිත වරලත් මාධ්‍ය ආයතන පනත් කෙටුම්පත විවේචනය කළේ ය.

පරණ තැටියම වාදනය කිරීමේ ආදීනව

“මේ එකෙන් එකට ගැට ගැසෙන මාධ්‍ය ප්‍රතිපත්තිය, ජාතික මාධ්‍ය අධිකාරිය, යෝජිත වරලත් මාධ්‍ය ආයතනය වැනි මේ සියල්ල ඇතුළේ එක කුලයක් ඉන්නේ. රාජපක්ෂ රෙජිමයෙන් ආපු මාධ්‍ය මර්දනය සහ සමාජ මාධ්‍ය මර්දනය සඳහා ගෙන ආපු මෙවලම් වර්තමාන රජයත් ගෙඩි පිටින් වර්තමාන සමාජයට ඉදිරිපත් කරනවා. මම හිතන ආකාරයට මේ ආණ්ඩුවට මේ තත්ත්වය දුරු කර ගන්න තිබුණා. මාධ්‍යවේදීන්, මාධ්‍ය සංවිධාන, කර්තෘ සංසදය, මාධ්‍ය වෙනුවෙන් කටයුතු කරන ආයතන, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වැනි ආයතන, මාධ්‍ය උපදේශකවරු, මාධ්‍ය සම්බන්ධව කටයුතු කරන නීතිඥයින් වැනි පුළුල් පාර්ශ්වයක් සමඟ සාකච්ඡාවකට ගියා නම් ආණ්ඩුවට වරදින්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව කළේ පරණ ආණ්ඩුවල කුණු නැවත සමාජගත කිරීමක්. ඒක කරන්න ගිහින් තමයි මේ ආණ්ඩුව අමාරුවේ වැටුණේ” මෙහි දී රංග පෙන්වා දුන්නේ පුළුල් සමාජ සංවාදයක්, කතිකාවක් තුළින් මෙම පනත් කෙටුම්පත සම්පාදනය කළේ නම් වඩාත් හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් වීමට හැකියාව තිබූ බවයි.

මේ කිසිම දෙයක් සිදු නොකර මේ ආයතනවල තනතුරු ලබා ගන්න දඟලපු යම් යම් පුද්ගලයෝ, මාධ්‍යවේදීන්, මාධ්‍ය උපදේශකයින් සුළු පිරිසක් එකතු කර ගෙන මේ පරණ තැටියම ගෙන්ල්ලා නැවත වාදනය කරන්න ගත්තාම සිද්ධ වෙන වින්නැහිය තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අදහසින් තමයි අපි මාධ්‍ය සංවිධානයක් විදිහට මේ පනත් කෙටුම්පත දිහා පුළුල් ලෙස බලලා, පුළුල් නිරීක්ෂණයක් එක්ක මේ ස්ථාවරයට එන්න සිදුවෙලා තියෙන්නේ. වරලත් මාධ්‍ය ආයතනය පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පත ගැන වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් රංග බණ්ඩාරනායක පැහැදිලි කළේ ය.

ආණ්ඩුව සමඟ සාකච්ඡාවකට සූදානම් ද ?

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සංවිධාන සමඟ කිසිම සංවාදයකයින් තොරව මෙම පනත් කෙටුම්පත සම්පාදනය කිරීම දැඩිව විවේචනය කරන හෙයින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පුළුල් සංවාදයකට ආරාධනා කළ හොත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්දැයි මෙහි දී ලසන්ත ද සිල්වා රංග බණ්ඩාරනායකගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් රංග බණ්ඩාරනායක මෙසේ පැවසුවේය, “අපි මුුල සිටම කිව්ව දෙයක් තමයි පසුගිය ආණ්ඩු හදපු දේවල් එක්ක නෙමෙයි අපේ ගමන තියෙන්නේ. අපි ජනමාධ්‍ය අමාත්‍යවරයා හමු වුණා. ඒ හමුවුණ අවස්ථාවේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේ දී අපි අපේ විරෝධය පළ කළා. අමාත්‍යවරයා ඒ අවස්ථාවේ පිළිගත්තා මෙවැනි විරෝධතාවක් තිබෙනවා නම් අලුත් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් හදනවා කියලා. ඒ අදහසට පයින් ගහලා, ජනමාධ්‍ය අමාත්‍යවරයා අතික්‍රමණය කරලා පරණ විදිහටම ක්‍රියාත්මක වීමක් තමයි අපි දකින්නේ. ඒක අපිට දැනෙන්නේ ජනමාධ්‍ය සංගම්වලින් හෝ ජනමාධ්‍ය සමාජයෙන් එල්ල වෙන විරෝධතාවය සම්බන්ධයෙන් රජය සැලකිල්ලක් නොදක්වන තත්ත්වයක් තමයි අපි ජනමාධ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් දකින්නේ. ආණ්ඩුව එවැනි ගමනක් නම් යන්නේ අපට ඒකට එකඟ වෙන්න බැහැ. නමුත් සාධනීය තත්ත්වයන් යටතේ අපි පමණක් නොවෙයි සියලුම මාධ්‍ය සංවිධාන, ජනමාධ්‍ය සමාජයේ සියලු දෙනා එකතු කරගත් සාකච්ඡාවකින් වඩාත් යහපත් මාධ්‍ය සමාජයක් ගොඩනැගීම සඳහා සහ මාධ්‍යවේදීන්ට වඩාත් යහපත් අනාගතයක් උදාකරලීම සඳහා අපේ මැදිහත් වීම කරන්න අපි සූදානම්.” රංග බණ්ඩාරනායක සිය ස්ථාවරය පැහැදිලි කරමින් පැවසුවේ ය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 14 වැනි ඉරිදා “යෝජිත වරලත් මාධ්‍ය ආයතන ගැන විමසුමක්” යන තේමාව යතේ සංවිධානය කළ ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 277 වැනි කතිකාවේ දී වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, රංග බණ්ඩාරනායක මහතා දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි. මෙම කතිකාව මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් මෙහෙයවනු ලැබුවේ.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment