මාර්ගගත ආරක්ෂණ පනතට (Online Safety Act) කළ යුත්තේ කුමක් ද ?

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සමාජ සංවාද මාලාවේ 244 වැනි කතිකාව ‘මාර්ගගත ආරක්ෂණ පනතට (Online Safety Act) කළ යුත්තේ කුමක් ද ? ’ යන තේමාව යටතේ පසුගිය ඉරිදා පවත්වනු ලැබූ අතර මෙවර කතිකාව සම්පත්දායකයින් ලෙස සමාජ මාධ්‍ය ප්‍රකාශනය සඳහා වූ සමුහිකයේ කැඳවුම්කරු  සම්පත් සමරකෝන්, ඉම්පැක්ට් වොයිසස් හි අධ්‍යක්ෂ දර්ශිත ගමගේ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු 888සහ නීතිඥ සචිනි රණසිංහ සම්පත්දායකයින් ලෙස සහභාගී වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

මාර්ගගත ආරක්ෂණ පනත Online Safety Act නමින් පොදුවේ හැඳින්වෙන 2024 අංක 9 දරන මාර්ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත 2024 ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද අතර ( පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 62කි) එය 2024 පෙබරවාරී 01 වැනි දින සිට ‘2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත’ ලෙස මෙය බලාත්මක විය.

මෙම පනත සම්මත වීම වළක්වා ගැනීම විපක්ෂය දැඩි ප්‍රයත්නයක යෙදුණු අතර මෙම පනත සම්මත වීම කෙසේ හෝ වළක්වා ගත යුතු බව එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක දැඩිව අවධාරණය කළේය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ද මෙම කෙටුම්පතට අත්සන් කිරීමෙන් වළකින ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන සහ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත විවෘත ලිපියක් යොමු කරමින් මේ පනතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අකුරට ම පිළිපදින තුරු මෙම පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කළේය.

මේ ආකාරයේ දැඩි ඉල්ලීම් මධ්‍යයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත බලාත්මක කරමින් සිය සහතිකය ලබා දුන්නේය.

මෙතැන් සිට මෙම පනත අහෝසි කිරීම විපක්ෂයේ දේශපාලන පක්ෂවල මූලික පොරොන්දුවක් වූ අතර ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම පනත ඉවත් කරන බවට ප්‍රමුඛ පොරොන්දුවක් ලබා දුන්නේය. ඒ බව පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  60 වැනි පිටුවේ මෙසේ සඳහන් විය. “ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත් කොට 2024 අංක 09 දරන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත සංශෝධනය කිරීම”.

ආණ්ඩුව සිය ප්‍රතිඥාව අනුව යමින් මෙම පනත සංශෝධනය කිරීමට අදාළව මහජන අදහස් විමසීමට හිටපු සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන රැසක් මෙම පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත යටතේ මූලිකවම

  • මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම
  • ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීමට විධිවිධාන සැලසීම
  •  තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතය වැළැක්වීම
  •  ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිත කරනු ලබන මාර්ගත ස්ථාන හඳුනා ගැනීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම
  • සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීමට මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩපැවැත්වීම යනු කරුණු අරමුණු කරයි.

සමාජ මාධ්‍ය නියාමනය කරවා ගන්න දේශපාලනඥයින් ලොකු උනන්දුවක් තිබුණා – මහාචාර්ය රොහාන් සමරජීව

මහාචාර්ය රොහාන් සමරජීව

“මේ පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත් අපි මේ පනතක් එක්ක කාලයක් පුරා ගැටිලා තිබෙනවා. මම ICT ආයතනයේ සභාපතිවරයා ලෙස සේවය කරන සමයෙත් මේ ආකාරයේ පනත් ගේන්න ලොකු උත්සාහයක් තිබුණා. ඒ වගේම විවිධ අයට, විශේෂයෙන් දේශපාලනඥයින්ට සමාජ මාධ්‍යවල  ඔවුන් ගැන කියන දේවල් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය නියාමනය කරන ලෙස ඔවුන් කාලයක් තිස්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිත් එම ඉල්ලීම නොතකා හරින්න අපට හැකියාව තිබුණා. නමුත් පාස්තු ප්‍රහාරයෙන් පසු මහා බ්‍රිතාන්‍ය සහ සිංගප්පූරුව ආදර්ශයට ගෙන ලංකාවත් පනතක් සම්පාදනය කළා. නමුත් අපි ඒ තරම් ගැඹුරට කරුණු – කාරණා විමර්ශනය කළේ නැහැ. මෙහිදී මම යෝජනා කළා ‘ජාත්‍යන්තර සමාජ මාධ්‍ය වේදිකා සමාගම් සමඟ සාකච්ඡා කරලා මේක ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ද ?” යන්න සොයා බලන්න කියලා. නමුත් ඒ ගැන උනන්දුවක් යොමු කළේ නැහැ” කතිකාවට ආරම්භක ප්‍රවේශයක් ගනිමින් මහාචාර්ය රොහාන් සමරජීව සමාජ මාධ්‍ය නියාමන පනතේ ගමන් මග පැහැදිලි කළේය.

මෙන්න අපේ වාරය

සමාජ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් අතර දැඩි ඉල්ලීමක් තිබියදී ඊට උත්තේජනයක් සපයන ක්‍රියාවක් මහා බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව කළේය. 2023දී Online Safety Act නමින් නව පනතක් සම්මත කළ මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාව වැනි රටවල් වලට මාර්ගෝපදේශයක් ලබා දුන්නේය.

“මහා බ්‍රිතාන්‍යය ආණ්ඩුව මේ පනත සම්මත කළාට පස්සේ අපේ අයටත් විශාල උත්තේජනයක් ලැබුණා. ඒ අනුව යමින් ලංකාවත් ‘2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත’ සම්මත කළා” ලංකාව සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගත් ආකාරය පැහැදිලි කරමින් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේය.

මූලික ප්‍රශ්න මොනවාද ?

මේ පනතේ මූලික ප්‍රශ්න කිහිපයක් පවතින බව මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය. ‘මේ පනතේ අරමුණ කුමක්ද කියලා ඒ අයටත් පැහැදිලි නෑ, අනෙක් අයටත් පැහැදිලි නැහැ’ ඔහු සඳහන් කළේය.

“අපේ අරමුණ හානිය අවම කිරීම නම්, අප කළ යුත්තේ (අධිකරණමය ක්‍රියාවලියකට නොගොස්) කඩිනමින් අදාළ අන්තර්ගතය ඉවත්කර ගැනීමයි. එම අවස්ථාවේදී පණිවුඩයට දාපු අයට යම්කිසි අසාධාරණයක් වෙනවා නම් ඒ අයට යම්කිසි අභියාචනා ක්‍රියාදායමක් සකස් කර දිය යුතුයි.  නමුත් අපේ තිබෙන්නේ එවැනි ක්‍රියාවලියක් නොවෙයි. බොහොම පරණ, ප්‍රතිගාමී තත්ත්වයක්. අතීතකාමීන් පිරිසක් තමයි මේ පනත කෙටුම්පත් කරලා තිබෙන්නේ. ඔවුන් කරලා තියෙන්නේ, කරපු මනුස්සයට දඬුවම් කරන එක. අරමුණම දඬුවම් කිරීම නම් මේ පනත හරි. නමුත් අර හානිය තවත් නරක තත්ත්වයට පත්වෙනවා. උදාහරණයක් ලෙස, මේ පනත යටතේ දාපු පළමුවෙනි නඩුව ම (24 වැනි වගන්තිය යටතේ) ගන්න පුළුවන්” මෙහිදී මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ මෙම නඩුව හේතුවෙන් අදාළ ප්‍රකට පුද්ගලයාගේ ප්‍රේම සම්බන්ධතා ඇතුළු සමාජය (තමා ද ඇතුළුව) නොදත් බොහෝ දේ නිරාවරණය වූ බවයි.

“නඩුවට යාම තුළින්ම පැමිණිලිකරු තමන් සම්බන්ධ අවධානය වැඩිකර ගන්නවා. අදාළ අන්තර්ගතය තුළින් ඔහුට යම්කිසි හානියක් වුණා නම් මේ හරහා අදාළ හානිය තව දුරටත් වැඩිකර ගෙන තිබෙනවා” මහාචාර්යවරයා තම අදහස තව දුරටත් පැහැදිලි කරමින් පැවසුවේ.

වැරදි රාමුවක්

මේ පනත යටතේ ගොනු කළ එක් නඩුවක් හැර සෙසු සියලු නඩු මේ දක්වා අවසන් වෙලා නැති බව පෙන්වා දුන් මහාචාර්ය සමරජීව මේ නඩු ඉවත් කර ගැනීම ද සැලකිය යුතු ලෙස ප්‍රමාද වන බව ද සඳහන් කළේය.

මෙහිදී ඔහු දිගින් දිගටම පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය නියාමන පනත වැරදි රාමුවක් මත සම්පාදනය කරන ලද්දක් බවයි.

“ලංකාව කොමිෂන් සභා පත්කරන තරමට මේ වන විට ඒවාට පත් කරන්න සුදුසු පුද්ගලයින් පවා නොමැති තත්ත්වයක් තිබෙන නිසා මෙවැනි කොමිෂමක් අවශ්‍යය ද ? කියලා අපි එදා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා” මහාචාර්ය සමරජීව වැඩි දුරටත් සඳහන් කළේය.

මේ පනතේ දුර්වලතා රැසක් සහ එක හොඳක් තිබෙනවා – නීතිඥ සචිනි රණසිංහ

නීතිඥ සචිනි රණසිංහ

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත තුළ දැකගත හැකි ප්‍රබල දුර්වලතාවක් වන්නේ, වැරදි අපැහැදිලි සහ අවිනිශ්චිත ලෙස නිර්වචනය කිරීමය. පනතේ 12 වැනි වගන්තිය මගින් ‘අසත්‍ය ප්‍රකාශ’ සන්නිවේදනය කිරීම තහනම් කර තිබෙන අතර අර්ථ නිරූපණ වගන්තියේ මෙය ඉතාම පුළුල් ලෙස හා වැරදි ලෙස නිර්වචනය කර තිබේ.

වගන්ති රැසක් අවුල්

“නීති සම්පාදකයින් නිවැරදිව කළ යුත්තේ කුමක් ද ? යන්න විමසා බැලීමේදී හොඳ උදාහරණයක් තමයි මෙම පනතේ 13 වැනි වගන්තිය. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වැනි වගන්තියට අනුව, අධිකරණයට අපහාස කිරීමේ වරද අරගෙන, මාර්ගගත ක්‍රම හරහා අධිකරණයට අපහාස කිරීම යටතේ ඉදිරිපත් කරලා තිබෙනවා. ඊට ඇතුළත් කරලා තිබෙන දඬුවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම තමයි උපුටා ගෙන තිබෙන්නේ” යැයි කතිකාවට ආරම්භයක් ගනිමින් නීතිඥ සචිනි රණසිංහ පෙන්වා දුන්නාය.

ඇය මෙහිදී පනතේ 16 වැනි වගන්තිය වෙත ද අවධානය යොමු කළාය.

“එහි සඳහන් වන්නේ ආගමික හැඟීම් නිග්‍රහයට ලක් කරන ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශ මාර්ගගත ක්‍රම හරහා සන්නිවේදනය කිරීමයි. මෙම වගන්තියත් පුළුල් ලෙස නිර්වචනය කර තිබෙන, නමුත් වැරදි ලෙස අර්ථකථනය කර තිබෙන වගන්තියක් ලෙස සැලකිය හැකියි. මෙවැනි වගන්තිවල අවදානම වන්නේ, මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ජනතාවට ලබා දී තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පුළුල් ලෙස සීමා කිරීමයි. නමුත් මෙම 16 වැනි වගන්තිය 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පතෙන් අහෝසි කරලා තිබෙන නමුත් එම සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් කළේ නැහැ. ඉදිරියේ දී නව සංශෝධන ගෙන එනවා නම් 16 වැනි වගන්තිය අවලංගු කළ යුතු”යැයි නීතිඥ සචිනි මෙහිදී අවධාරණය කළාය.

·         මාර්ගගත වංචාව

17 වැනි වගන්තිය මගින් ‘මාර්ගගත වංචාව’ ලෙස නව වරදක් නිර්මාණය කර තිබෙන නමුත් වංචා කිරීම අතීතයේ සිට දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ පවතින වරදක් වන අතර එම වරදට අදාළ දඬුවම් ද දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා තිබේ. මෙම වරද මාර්ගගත වංචාවක් ලෙස ඉදිරිපත් නොකර එය දණ්ඩ නීති සංග්‍රහයටම දිගු කළ හැකි බව ද නීතිඥවරිය පෙන්වා දුන්නා ය.

එක හොඳ වරදක්

මෙම පනතේ එක හොඳ වරදක් පවතින බව නීතිඥ සචිනි මෙහිදී සඳහන් කළාය.

“20 වැනි වගන්තියේ තිබෙන, හිරිහැර කිරීම සඳහා  පෞද්ගලික ප්‍රකාශ සන්නිවේදනය කිරීමේ වරද තමයි මම දකින එකම හොඳ වරද ලෙස සැලකිය හැකි වන්නේ. මෙහිදී කිසියම් පුද්ගලයෙකු ඉලක්ක කර ගෙන ඔහුගේ පෞද්ගලික ප්‍රකාශනයක්, පෞද්ගලික වීඩියෝවක්, හඬපටයක් හෝ ඡායාරූපයක් මාර්ගගත ක්‍රම හරහා සන්නිවේදනය කිරීම වරදක් ලෙස නිර්වචනය කර තිබෙනවා. මෙය නීති මගින් ඉදිරිපත් කර නැති නව වරදක්. මෙම පනතේ අඩුපාඩු ලෙස මම මේවා දකිනවා” නීතිඥ සචිනි කීවා ය.

පනතේ 20 වැනි වගන්තිය දක්වා අන්තර්ජාල අතරමැදියන්

පනතේ 25 වැනි වගන්තිය යටතේ දක්වා ඇත්තේ, මේ වගන්තිය අනුව යම්කිසි තහනම් ප්‍රකාශයක් කළ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කරන ලෙස  මහේස්ත්‍රාත් අධිකරණයකට අන්තර්ජාල අතරමැදියන් (ඩයලොග් වැනි  සේවා සමාගම්) වෙත කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කළ හැකි බවයි.

නඩු හයක් පමණයි

මෙහි දී අදාළ තහනම් ප්‍රකාශය සිදු කළ පුද්ගලයාගේ තොරතුරු පෞද්ගලික තොරතුරු, ලිපිනය හෝ ඊ මේල් ලිපිනය හෙළි කරන ලෙස මේ ආකාරයෙන් කොන්දේසි සහිත නියෝගයක් කිතුත් කළ හැකියි.

මෙවැනි අවස්ථාවක පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට යොදා ඇති ක්‍රම උල්ලංඝනය කරමින් පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු අධිකරණයට ලබාදීමට අන්තර්ජාල ඇතරමැදියන්ට හැකියාව උදා වේ. මෙවැනි පෞද්ගලික තොරතුරු ඉදිරිපත් කිරීම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පෞද්ගලිකත්වය පිළිබඳ වගන්තිය උල්ලංඝනය කිරීමට සිදුවේ.

24 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබෙන නඩු දෙස බැලූ විට පෙනී යන්නේ 2024 පෙබරවාරී 01 දින සිට 2025 ජූනි මාසය දක්වා නඩු හයක් (06) පමණක් ගොනු කර ඇති බවයි. එම නඩු අතරින් එක් නඩුවක් නිෂ්ප්‍රභ කර ඇති අතර අනෙක් නඩු මේ වන විට මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින අතර එම නඩු විභාග කරන දිනයක් ගැන සඳහනක් නොමැත.

ප්‍රධාන දුර්වලතා මොනවාද ?

මෙම පනතේ ප්‍රධාන දුර්වලා කිහිපයක් ද නීතිඥ සචිනි රණසිංහ පෙන්වා දුන්නාය. “මේ පනතේ ප්‍රධාන දුර්වලතාවක් ලෙස වැරදි අපැහැදිලි ලෙස අර්ථ දක්වා තිබීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික තොරතුරු හෙළිකිරීමේ දී පවතින අවදානම ඉතාම තීරණාත්මකයි. මේ තත්ත්වය හේතුවෙන් මූලික අයිතිවාසිකම්, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සීමා වීමේ අවදානමක් තිබෙනවා.

කලාපීය එකඟත්වයක් තුළින් ප්‍රතිපත්තිමය රාමුවක් නිර්මාණය කරගත යුතුයි – ඉම්පැක්ට් වොයිසස් හි අධ්‍යක්ෂ දර්ශත ගමගේ

දර්ශත ගමගේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්පාදනය කිරීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතී. විශේෂයෙන් මෙවැනි පනතක් සම්පාදනය කිරීමේ සිදුවිය යුතු පුළුල් සහභාගීත්වය සිදු වූවා ද යන ගැටලුවට තත්ත්වය තව දුරටත් සංකීර්ණ කර ඇත.

 ප්‍රායේගික නොවන පනතක්

“මේක තමයි මේ පනත ආරම්භයේ සිටම පවතින ලොකුම ගැටලුව. ඒ නිසාම මෙම පනත බොහෝ දුරට ප්‍රායෝගික නොවන පනතක් බවට පත්ව තිබෙනවා” කතිකාවට ප්‍රවේශයක් ගනිමින් දර්ශත ගමගේ  සඳහන් කළේය.

පනතේ අර්ථ දැක්වීම් සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ එහි දැඩි ගැටලු පවතින බවයි.

“අර්ථ දැක්වීම්වල මම දකින ලොකුම ගැටලුව තමයි ‘අභිමතාර්ථය’ කියන එක. මේ පනතේ තැන් කිහිපයකම කරන පුද්ගලයාගේ අභිමතාර්ථය ගැන සඳහන් වෙනවා. මේ අභිමථාර්ථය මනින්නේ කොහොමද ? කියන එක ගැනත් ගැටලු තිබෙනවා. ඒ වගේම පනතෙන් ලබා දෙන කොමිෂම ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේ පනතෙන් ජනාධිපතිවරයා විසින් කොමිෂමටත් විශාල බලයක් ලබා දෙනවා. විශේෂයෙන් මෙහි කොමසාරිස්වරුන්ට පොලිස් බලතල වැනි විශාල බලයක් හිමිවෙනවා. ඒවට මොකද වෙන්නේ කියන ගැටලුව අප හමුවේ තිබෙනවා” යැයි පෙන්වා දුන් දර්ශත තාක්ෂණයේ සිදුවන වර්ධනයන් හමුවේ මේ පනත ක්‍රියාත්මක වීම අභියෝගාත්මක බව ද කීවේය.

“දැන් මේ පනත ගෙනත් අවුරුද්දකට වඩා වැඩියි. ඒත් මේ පනතේ ඇතැම් දේවල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන ගැටලුවක් තිබෙනවා. ඒ වගේම එදාට වඩා දියුණු නව තාක්ෂණික ක්‍රමවේදයනුත් මේ වන විට පැමිණ තිබෙනවා” සමාජ මාධ්‍ය නියාමන පනත මුහුණ දෙන නවතම අභියෝග පැහැදිලි කළ දර්ශිත, වත්මන් රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මෙම පනතට කරන බලපෑම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුව නැති බව ද පෙන්වා දුන්නේය.

වැදගත් කරුණු තුනක්

මෙම පනත තුළ තම  නිරීක්ෂණයට ලක්වන ප්‍රධාන කරුණු තුනක් දර්ශිත පෙන්වා දුන්නේය. ඒ අනුව, ආඛ්‍යාන පරිපාලනය වන ආකාරය තම නිරීක්ෂණයට ලක්වන ප්‍රධාන කරුණක් බව කී දර්ශත, ආඛ්‍යාන පරිපාලනය වන ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිර්ණායක නොමැති බව ද සඳහන් කළේය.

“මෙවැනි අවස්ථාවක ජාත්‍යන්තරය සහ ලංකාව පිළිගන්නා සංකල්පය තමයි ‘රබාත් සැලසුම’. මේ හරහා හානිකර දේවල් මනින ආකාරය පිළිබඳ යම් මාර්ගෝපදේශයක්, අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම හිතනවා මේ පනත ක්‍රියාත්මක වීමේදී හෝ සංශෝධනය කිරීමේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි කියලා” දර්ශත සඳහන් කළේය.

මෙහිදී සිය අවධානයට ලක්වන දෙවැනි කාරණය ලෙස දර්ශිත පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය නියාමන පනත සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය රාමුවක් තිබේද යන්න විමසීමට ලක්විය යුතු බවයි.

මෙහිදී තෙවැනි කාරණය ලෙස දර්ශිත පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය වේදිකා සමඟ කටයුතු කරන ආකාරය ඉතා වැදගත් කරුණක් ලෙස තමා දකින බවයි.

කලාපීය එකඟගත්වයක්

සමාජ මාධ්‍ය වේදිකා හිමි සමාගම් නිරන්තරයෙන් කෘත්‍රිම බුද්ධිය වැනි නව මෙවලම් හඳුන්වා දෙන බව පෙන්වා දුන් ඔහු නියාමනයේ අර්බුදය සහ සංකීර්ණ නිර්මාණය වන්නේ මෙම තත්ත්වය තුළ වුව ද සමාජ මාධ්‍ය නියාමන පනත මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව ද සඳහන් කළේය.

“සමාජ මාධ්‍ය වේදිකා හිමි සමාගම් ඇති දැවැන්ත ගෝලීය සමාගම්. ඒවාට ලංකාව කියන්නේ ‍නොසලකා හැරිය යුතු තත්ත්වයේ ඉතාම කුඩා වෙළඳපොළක්. ඇත්තටම ඔවුන් ලංකාව සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ තත්ත්වය තුළ කලාපීය හෝ ගෝලීය සංවාදයක්, සාකච්ඡාවක් තුළින් පමණක් අපට ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අවම වශයෙන් කලාපීයව හෝ සමාජ මාධ්‍ය වේදිකා සමඟ කටයුතු කරන ආකාරයට සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තිමය රාමුවක් නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතුයි. එවැනි සංවාදයක් හරහා වඩාත් හොඳ එකඟත්වයක් ඇතිකර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා” දර්ශත තම ස්ථාවරය පැහැදිලි කරමින් සඳහන් කළේය.

සමාජ මාධ්‍ය නියාමන පනත ආණ්ඩුවේ ඩිජිටල්කරණ වැඩපිළි‍වෙළට ඇති ප්‍රධාන අභියෝගයක් – සම්පත් සමරකෝන්

සම්පත් සමරකෝන්

සමාජ මාධ්‍ය නියාමන පනත කෙටුම්පත් කරන කාලයේ ඒ සම්බන්ධයෙන් සමාජය තුළ, විශේෂයෙන් මාධ්‍ය සංවිධාන අතර පුළුල් සංවාදයක් තිබූ අතර ඒ හේතුවෙන්ම පනතට අභියෝග කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 48ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේය.

මාධ්‍ය සමාජය සහ සිවිල් සමාජය

“මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ අය අතරේ කාටූන් ශිල්පීන් පවා හිටියා. ඇයි ඔවුන් මේ ආකාරයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේ ?. නමුත් මේ තත්ත්වය මාධ සමාජයේ සහ සිවිල් සමාජයේ සැලකිය යුතු අවධානයක් දිනා ගත්තේ නැහැ. දේශපාලන සමාජයේ කිසිම අවධානයක් තිබුණේ නැහැ” සමාජ මාධ්‍ය නියාමන පනත සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් සම්පත් සමරකෝන් සඳහන් කළේය.

මෙම පනත ‍කෙටුම්පත් අවස්ථාවේ දී වගන්ති 54ක් තිබූ අතර එයින් 34කට ආසන්න ප්‍රමාණයක් සංශෝධනය කරන ලෙස ශ්‍රෙෂ්ඨාධිකඑණය නියෝග කළ නමුත් එම වගන්ති විශාල ප්‍රමාණයක් ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.

“මේ පනත කෙටුම්පත් අවස්ථාවේ සිට පනත සම්මත කරන අවස්ථාව දක්වා අණ්ඩුව ‘කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාව’ කියන ටැග් ලයින් එකක් අරගෙන ගියා. ඒක තමයි ලංකාව අන්දපු ටැග් ලයින් එක. ඒක හොඳටම පැහැදිලි වෙන්නේ මේ දක්වා කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නියාමන පනත යටතේ කිසිම නඩුවක් පවරලා නැහැ” සම්පත් කීවේය.

මෙම පනත සම්මත කරන අවස්ථාවේ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන රැසක් සිය බලවත් විරෝධය පළ කිරීමට පියවර ගත් බව සිහිපත් කළ සම්පත් සමරකෝන් මේ අතර මෙටා සමාගම ද සිටි බව පෙන්වා දුන්නේය.

සැක සහිත තත්ත්වයක්

සාමාජ මාධ්‍ය නියාමන පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තම සංවිධානය ද ඇතුළු සංවිධාන රැසක් යෝජනා ලබා දී තිබුණ ද වත්මන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රකාශ හරහා මේ පනත ධනාත්මක ලෙස සංශෝධනය වේවිද යන්න සම්බන්ධයෙන් සැකසංකා පවතින බව සම්පත් මෙහිදී සඳහන් කළේය.

‘පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය දවස්වල කළ ඇතැම් ප්‍රකාශ හරහා පනත සංශෝධනය විය හැකි ආකාරය සම්බන්ධයෙන් අපට යම් සැකයක් ඇති වෙනවා” සම්පත් සමරකෝන් කීවේය.

මෙම පනතේ බලපෑම් දීර්ඝ ලෙස පැහැදිලි කළ ඔහු මෙහිදී පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවේ ඩිජිටල්කරණය වැඩසටහනට ඇති ප්‍රධාන බාධාව ලෙස තමා සමාජ මාධ්‍ය නියාමන පනත දකින බවයි.

“මේ පනතේ තිබෙන තවත් බරපතළ ගැටලුවක් තමයි මේ පනත හරහා ජනවාර්ගික සංහිඳියාවට බරපතළ ලෙස ගැටලු නිර්මාණය කරනවා” සම්පත් පෙන්වා දුන්නේය.

මේක අක්කා පෙන්නලා නංගි දුන්නා වාගේ වැඩක් – ලසන්ත ද සිල්වා

ලසන්ත ද සිල්වා

සමාජ මාධ්‍ය නියාමන පනත හරහා අනාගතයේ දී නිර්මාණය විය හැකි බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සංවාදයක් මාධ්‍ය සමාජය තුළ හෝ සිවිල් සමාජය තුළ මේ දක්වා සිදුව නැත. එසේම එවකට විපක්ෂයේ සිටි ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනා ද ඇතුළු  මන්ත්‍රීවරුන් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ද ඔවුන් ද මෙවැනි පනතක අවශ්‍යතාව දුටු බව විශ්වාස කළ හැකිය.

කබරගොයි – තලගොයි න්‍යාය

“වැදගත්ම දේ තමයි මේ පනත සම්මත කර ගැනීම පිටුපස තිබෙන අභිලාෂය කුමක් කියන එක. කාන්තා හිංසනය, ළමා අපචාර වැනි දේවල් වලින් ඔබ්බට ගත් විට අපට පැහැදිලි වන දෙයක් තමයි මේ පනත ‍ගෙන ඒමේ පැහැදිලි දේශපාලන අභිලාෂය දේශපාලන බලය මත කේන්ද්‍ර ගත වන බව. ඒකට හේතුව තමයි මේ පනත ගෙන එන 88මොහොතට සමපාතව ලංකාව තුළ නිර්මාණය වෙමින් පැවැති දේශපාලන ප්‍රවණතා. අරගලය, දූෂණ විරෝධය වගේම පාලකයින් විවේචනය කිරීමට තිබූ පහසු අවකාශය මේ පනත ගෙන ඒමට සැලකිය යුතු බලපෑමක් කළ බව විශ්වාස කළ හැකියි” සංවාදයට ප්‍රවේශයක් ගනිමින් ලසන්ත ද සිල්වා පැවසුවේය.

“මේක හරියට නංගි පෙන්නලා අක්කා දුන්නා වාගේ වැඩක්. කාන්තා හිංසනය, ළමා අපයෝජනය වැනි සමාජ සංවේදී කාරණා පෙන්නලා දේශපාලන වුවමනා එපාකම් හා අභිලාෂයන් මේ පනත හරහා ඉටුකර ගත්තා. මේකම තමයි ඉහත අවස්ථා කිහිපයක පෙන්වා දුන අර්ථ නිරූපණය කියන කාරණාවට කේන්ද්‍රගත වෙන්නේ” ලසන්ත සඳහන් කළේය.

“මෙහිදී වැදගත් ප්‍රශ්නය තමයි, අර්ථනිරූපණය කරන්නේ කවුද ? යන්නට වඩා අර්ථ නිරූපණ කරන්නේ කුමන අවස්ථාවේද ? යන්න. අර්ථ නිරූපණය කරන්නේ කවුද යන්න මතු වෙන්නේ අර්ථ නිරූපණය කරන අවස්ථාව, මොහොතත් එක්ක. ඒ කියන්නේ කුමක් හෝ අභිලාෂයේ මොහොතක් එකක් මේ අර්ථ නිරූපණය කියන එක බැදෙනවා” යැයි පෙන්වා දුන් ලසන්ත එය, කන්න ඕනෑ වූ විට කබරගොයා ද තලගොයා ලෙස පෙනෙන කතාවට සමපාත කළේය.

“කවුරු හරි බලයට අභියෝග කරන ‍මොහොතක් උදා වු‍ණොත් බලයේ ඉන්න කවර ආණ්ඩුවක් වුණත් අර්ථ නිරූපණ භාවිතා කරන්න ඉඩ තිබෙනවා කියන අවදානම සහිතව තමයි අපට මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පුළුවන් වෙන්නේ” ලසන්ත ද සිල්වා අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නේය.

 මෙහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ පනත තුළ තිබෙන අර්ථ නිරූපණ සංකීර්ණ වීමත් සමඟ විකල්ප මතවාද නිර්මාණය නොවීමේ විශාල අවදානමක් ඇති බවයි.

සටහන – තුෂාල් විතානගේ

Tags:

Leave A Comment